ස්වර්ණවාහිනී නාලීකාවේ විකාශය වූ “නොනිමි”ටෙලි නාට්‍යයේ තේමා ගීතය “සහස් රැස්” ගායනා කළ,ගායන ශිල්පී රන්ජන් සාලිය පෙරේරා මෙවර 2023 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම ගායකයාට හිමි සම්මානය දිනාගන්නට වාසනාවන්ත විය. රන්ජන්ගේ වසර තිස් අටක කලා ජීවිතයේ මෙතෙක් ආ ගමන්මග පිළිබඳවත් මේ ලැබූ ජයග්‍රහණයේ සතුටත් මීවිත අපත් සමග බෙදා හදා ගත්තේ මෙලෙසිනි.
රන්ජන් අපි මුලින්ම ඔබේ විස්තර ටිකක් කියමු.
මගේ නම රංජන් සාලිය පෙරේරා. මගේ උපන්ගම කොළඹ බම්බලපිටිය. මම පාසල් ගියේ ලුම්බිණි මහා විද්‍යාලයට. මම දැන් විවාහකයි.
ඔබේ සංගීත ගමන ආරම්භ වන්නේ කොහොමද?
මගේ සංගීත ගමන ආරම්භ වන්නේ පාසල් කාලයේදීමයි. පාසල් යන කාලයේ මට සංගීතය ඉගැන්නුවේ ආර්. මුත්තසාමී මාස්ටර්, ප්‍රීති දසනායක සහ ඩී. වික්ටර් පෙරේරා යන ගුරුතුමන්ලයි. ඊට පස්සේ මම මුලින්ම ප්‍රසංගවලට සම්බන්ධ වෙන්නෙ 1986 දී. ඒක දෙමළ ගීත තරගයක්. ඒකෙන් මම පළවැනියා වෙනවා. ඊට පස්සේ ගීතයෙන් ගීතය තරගයක් තියෙනවා. ඒකෙනුත් පළමුවැනියා වුණාට පස්සේ ඒගොල්ලෝ මාව “අප්සරා” සංගීත කණ්ඩායමට බඳවා ගත්තා මගේ දක්ෂතාවය දැකලා. එතනින් තමයි මගේ සංගීත ගමන ආරම්භ වුණේ.
2023 රයිගම් ටෙලි හොඳම ගායකයාට හිමි සම්මානය ලැබුණ වෙලාවේ ඇත්තටම මොකද හිතුණේ?
ඇත්තටම මට ප්‍රධාන ධාරාවේ සම්මානයක් ලැබුණ පළවැනි අවස්ථාව තමයි මේ. ඉතිං ඇත්තටම හිතාගන්න බැරි තරම් සතුටක් දැනුණා. ඒක කියාගන්න තේරෙන්නේ නෑ. කාලයක් තිස්සේ මම මේ ගීතය වෙනුවෙන් වැයකළ ශ්රමයට ප්‍රතිඵලයක් ලැබුණා.
කවදාකහරි මෙලෙස සම්මානයට පාත්‍රවෙන්න ලැබෙයි කියල හිතුවද?
බලාපොරොත්තුවක් තිබුණා, නැතුව නෙවෙයි. හැබැයි ලොකුවට මම ඔළුවෙ තියාගෙන හිටියෙත් නැහැ.
අපි මේ ගීතය සම්බන්ධවත් කතා කරමු.
මේ ගීතය අපි වොයිස් කළේ මීට අවුරුදු දහයකට විතර කලින්. මාව මේ ගීතියට සම්බන්ධ කළේ, දර්ශන රුවන් දිසානායක. ඒ දවස්වල සුරාජ් මාපත් මට කතා කළා. මේක යුග ගීතයක්. සහාය ගායිකාව තමයි සචිනි නිසංසලා.මේ ගීතය පද රචනය කළේ, අමිල තේනුවර. සංගීතය දර්ශන රුවන් දිසානායකගේමයි.
මෑතකදී ඔබේ හඬින් රසවත් වූ වෙනත් නිර්මාණ ගැන කතා කළොත් ?
ගිය අවුරුද්දේ ෆිල්ම් එකක් අවුට් කළා වෛද්‍ය කපිල සූරියආරච්චිගේ “සිනේමා”කියලා. ඒකේ මමයි උරේෂා රවිහාරියි ඩුවෙට් එකක් කළා.
ඔබේ කලා කටයුතු සාර්ථකව කර ගන්න ගෙදරින් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?
ඇත්තටම මගේ බිරිඳ නදීකාගෙන් වගේම අම්මගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ දෙන්නා මට නිතරම ආශිර්වාද තමයි දෙන්නේ. මගේ ගීත වැඩිපුරම රස විඳින්නේ එයාලා.
කලා ක්ෂේත්රයට සම්බන්ධවෙලා කොච්චර කාලයක් වෙනවද?
මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වුණේ 1986 වර්ෂයේ. දැනට අවුරුදු තිස් අටක් වෙනවා.
කලා ක්ෂේත්රයේ මෙතෙක් පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?
මගේ හිතමිතුරන් වගේම බොහෝමයක් දෙනා කියන්නෙ සාලිය ඔයා යන්න ඕන තැනට ගියේ නැහැ කියලා. මගේ හිතට ඒක පොඩි වදයක්. හැමෝම කියන නිසා මට ඒ ගැන පොඩි දුකක් තියෙනවා. නැතුව නෙවෙයි. ඇත්තටම සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන්නේ නැති තැනක් තමයි අපේ කලා ක්ෂේත්රයේ තියෙන්නෙ.
පාරමී කෞෂිකා