ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑම්: දේශපාලනඥයන්ට විද්යුත් මාධ්‍ය තහංචියක්!

228

රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දේශපාලන පක්‍ෂවලට බලපෑම් කිරීමේ අරමුණින් මෙරට සියලුම විද්යුත් නාලිකා දේශපාලනඥයන් සිය වැඩසටහන්වලට සම්බන්ධ කර නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රවෘත්ති විකාශයන් හැර සියලුම ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් සඳහා වෘත්තිකයන්, තාක්ෂණවේදීන් සහ විෂය ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන්ට ප්‍රමුඛත්වය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විකාශකයින්ගේ සංසදය පවසයි.

ඊට අමතරව සියලුම වැඩසටහන්වල ප්‍රමුඛතාව වන්නේ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදය පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් කිරීම සහ ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රශ්නවලට ජනතාව සූදානම් කිරීම බවද සඳහන් කරයි.

ඒ අනුව අවම වශයෙන් ඉදිරි වසරක කාලය තුළ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙස මෙම තීරණ ක්‍රියාත්මක කරන බවද එම සංසදය ප්‍රකාශ කරයි.

නව මහ බැංකු අධිපතිවරයාත්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාත් පත්වීමෙන් පසු ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රට තුළ ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද අවධාරණය කර ඇති බවත්ය. ශ්‍රී ලංකා විකාශකයන්ගේ සංසදය පවසන්නේ මේ වනතෙක් රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ ඒ සඳහා සාධනීය පියවරක් ගෙන ඇති බව පෙනෙන්නට නැති නිසා මෙම පියවර ගන්නා බවයි. මෙම තීරණය ඊයේ (03දා) සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බවද වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment