“ස්මාට්” වසන, පංචස්කන්ධ රකින රටක අපි කුමක් කරමුද?

783

නූතනත්වයට ගැළපෙන බස් මගී ප්‍රවාහන සේවයක් රට තුළ ඇති කිරීම සඳහා 2018 වසරේදී රජයේ “උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය” මගින් සහයෝගයෙන් සැරිසරමු යන තේරුම සහිතව “සහසර” නමින් බස් සේවා නව්‍යකරණ නියමු වැඩසටහනක් හඳුන්වා දෙන ලද්දේ ප්‍රවාහනයේ නව්‍යකරණය ගැන පළපුරුදු විද්වතුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් යොදාගනිමිනි. මහනුවර-දිගන දුම්බර මාර්ගය සහ මහනුවර-කඩුගන්නාව දෙනුවර මාර්ගය නමින් හඳුන්වා එම මාර්ගවල ක්‍රියාවට නැගුණු මෙම වැඩසටහන මගින් අත්හදා බලන්නට යෙදුණේ මෙම සමස්ත මාර්ග දෙකේ එහෙත්, වෙන වෙනම වශයෙන් ගෙන එක් එක් මාර්ගයේ දිවෙන සමස්ත බස් වාර ගණනේ දිනක ආදායම එක් පොදු බැංකු ගිණුමකට බැර කර සවසට ඒ සියලු මුදල් සමසේ එම එක් එක් මාර්ගයේ බස් හිමිකරුවන් වෙත බෙදා දීමය. එසේම, මෙම සියලු බස් රථ ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ මෙහෙයුම් මැදිරියක සිට නිරීක්ෂණයකට ලක් කරන ලද අතර, බස් රථයට ටිකට් ගැනීම සඳහා මගීන් ඉදිරිපත් කරන්නට යෙදුණේ ඒ.ටී.එම්. කාඩ්පතක් බඳු පෙර ගෙවුම් කාඩ්පතකි. මේ කාඩ්පත කියවීම සඳහා වෙනමම ටිකට් මැෂිමක් භාවිත වීම ද මෙම අත්හදා බැලීමේ විශේෂත්වයකි.

මෙම අත්හදා බැලීමට නොහොත් පයිලට් ප්‍රොජෙක්ට් එක එම මාර්ගවල මගීන්ට අමුතුම අත්දැකීමක් වූ අතර, සත්‍ය වශයෙන්ම මෙම මාර්ගවල එකිනෙකා කප කපා යන හෝ කොට කොටා යන බස් රථ වෙනුවට මේ මගින් මගීන්ට කාර්යක්ෂම බස් රථ සේවයක් ලැබුණේ බස් රථ හිමිකරුවන් හා සේවකයින් යන හැමෝම එකතුවී එදා දවසේ ආදායම වැඩිකරගෙන වැඩි ආදායම් කොටසක් ලබාගන්නට වෙහෙස දරන බස් සේවයක් එම මාර්ගවල මගීන්ට ලැබීම නිසාය.

නමුත් මෙය නියමු ව්‍යාපෘතියක් පමණක් විය. මාස 6 කින් මේ ව්‍යාපෘතිය නිමා විය. ඒ මෙම සාර්ථක ව්‍යාපෘතිය බස්නාහිර හා මධ්‍යම පළාත් දෙකේ ක්‍රියාත්මක කරන ලෙස එවක මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කරන ලද ලිඛිත නියෝග ද සහිතවය.

එහෙත් එය ක්‍රියාවට නැගුණේ නැත. නමුත් මේ දක්වා එම “සහසර” වැඩසටහන තවදුරටත් (ඩිජිටල්) සුහුරු වැඩසටහනක් ලෙස වඩාත් පුළුල් ලෙස රටේ මගී ප්‍රවාහනය ශක්තිමත් කරමින් ජාතික මට්ටමෙන් හා දිවයිනේ සියලු පළාත් සභා බලප්‍රදේශ යාකරමින් ක්‍රියාවට නගන ලද්දේ යුරෝපයේ මෙන් රටට නොසිතන ආකාරයේ මගී ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණ ඇතිවය. මේ මගින් සම්පූර්ණයෙන්ම බස් සේවාව නව්‍යකරණය ලක්කරනු ලබන්නේ මගියාගේ අත රැඳි ජංගම දුරකථනයේ ඇති ඇප් එකක් දක්වා බස් සේවාව ගෙන එමිනි. බස් රථ සේවාව හා දුම්රිය, ත්‍රී වීලර් ටැක්සි සේවාවද යාකරමිනි. එසේම, බස් සේවකයින් තවත් එක් රැකියා කුටුම්භයක් ලෙස ගෙන ඔවුන්ට ඊ.ටී.එෆ්. – ඊ.පී.එෆ්. ලැබෙන වටිනා මෑන් පවර් රස්සාවක් බවට පත් කිරීම ද මේ මගින් ලබාදෙන සේවා අතරට යෝජනා කර ඇත. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ රටේ සමස්ත මගී ප්‍රවාහනය බස් හෝල්ට් සියල්ල ද සමගින් නවීකරණය හා දත්ත ගතකර කාර්යක්ෂම භාවිතයට ගනු ලබන සුහුරු සේවාවක් බවට පත්කිරීමය.

නමුත් මුදල් නැතිකම ඉදිරියට දමා සහ ඇත්තටම ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරී මාෆියාව නිසා අනාගත ප්‍රොජෙක්ට් රැසකින් සමන්විත මෙම වැදගත් සංකීර්ණ “සහසර” වැඩසටහන මෙම පෙබරවාරි 28 දිනෙන් ඈවර කර වසා දමන්නට රජය තීන්දුවක් ගෙන තිබේ. සත්‍යවශයෙන්ම මේ සඳහා ඇස්තමේන්තු කර, කැබිනට් මණ්ඩලය මගින් ලබාදී ඇති රුපියල් බිලියන 26.8 න් මේ වසර 4 ට සියලු කටයුතු සඳහා වැය කරන්නට යෙදී ඇත්තේ රුපියල් මිලියන 49 ක් පමණි. නමුත් රටේම මගී ප්‍රවාහනය නව්‍යකරණය සඳහා තීන්දු කෙරෙන “සහසර” ස්මාට් වැඩසටහන රට තුළ ක්‍රියාත්මක කරන්නට ඔන්න මෙන්න ඇති මේ මොහොතේ සල්ලි නෑ කියමින් එය වසා දමන්නට තීන්දු කිරීම විශාල වරදක් හා අපරාධයකි. අනාගත පරපුරේ උරුමය උදුරා විනාශ කිරීමකි.

තත්ත්වය එසේ තිබියදී පැන්ෂන් ගිය හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු ජනාධිපති බිරින්දෑවරුන් නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි ගණන් මුදල් වැයකිරීම සඳහා 2023 වසරේදීත් මුදල් කන්දරාවක් වෙන්කරන ලද රටක් වීම ගැන අපි සැබැවින්ම රට ගැන ලජ්ජා විය යුතු වෙමු. ඊයේ (02) මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබූ පරිදි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මියගේ මෙම වසරේ නඩත්තුව සඳහා රුපියල් කෝටි එක හමාරක්, එනම් ලක්ෂ 156.7 ක් වෙන්කර ඇත. පිළිවෙළින් මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ට ලක්ෂ 231.7 ක් බැගින් ද, ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 141.7 ක්
හා හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස බිරිය හේමා ප්‍රේමදාස මහත්මියට තවත් ලක්ෂ 82.8 ක් ලෙස හිටපු ජනාධිපතිවරු 5 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 844.6 ක් නොහොත් රුපියල් මිලියන 84.46 ක් මේ වසරේ නඩත්තුවට වෙන්කර ඇත. මෛත්‍රීපාල සිරිසේන ඉහත වරප්‍රසාද ලබන්නේ පාස්කු සිද්ධියට කෝටි 10ක් ජනතාවට ගෙවන්නට තිබියදීය.

පැන්ෂන් ගිය ජනාධිපතිවරුන් නඩත්තු කරන මේ වියදම රටකට මහා අපරාධයක් බව අපගේ කල්පනාවයි. මේ අනුව අරගල මගින් හෝ ජනාධිපතිවරුන් බලයෙන් පහකර හෝ තව තවත් ජනාධිපතිවරුන් අලුතෙන් පත්කරනවාට වඩා යම් අයෙක් මැරෙන තුරුම එම තනතුර දරන්නේ නම් එක අතකින් එය මීට වඩා හොඳය. (තවත් මේ ලැයිස්තුව දික්වීම රටට බරක් නිසා). නමුත් රට බලාපොරොත්තු වන සැබෑ සිස්ටම් චේන්ජ් එක මේකද…? යන්න ඇසිය යුතු කතාවයි. එක අතකින් සල්ලි නෑ කිය කියා තරුණයන්ගේ අනාගතය තීන්දු කරන සුහුරු, ස්මාට් වැඩසටහන් වසා දමද්දී තවත් පැත්තකින් රටේ රාජ්‍ය සේවයටත් පඩි ගෙවාගන්නට මුදල් නෑ කියා ළතෝනි දෙති. ඉන්ධන ගෙන්වන්නට හෝ මැතිවරණ තියන්නට හෝ මුදල් නැතැයි ද කියති. නමුත් තිබෙන මුදල් ටිකෙනුත් දිරා යන පංචස්කන්ධ නඩත්තු කරන්නට කෝටි ගණන් මුදල් වැය කරමින් තැලෙන එකාට පොළොවේ වැලලෙන්නටම පාලකයින් කුළුගෙඩි පහර දෙන්නේ නම් එවන් තුච්ඡ පාලනයකට එරෙහිව අපි කුමක් කරමුද…?

advertistmentadvertistment
advertistmentadvertistment