‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ තරුණ පරපුරට හඳුන්වා දෙනවා – ජනපති තඹලගමුවේදී කියයි

69

අක්කර දෙකක් දුන් පමණින් අද තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමු නොවන බවත් ඔවුනට නව තාක්‍ෂණය රැගත් ස්මාර්ට් ඇග්‍රිකල්චර් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තඹලගමුවේදී පෙරේදා (2දා) පැවැසීය.

බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂිකර්මාන්තයක අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද පැවැසීය.

'ස්මාර්ට් ඇග්‍රිකල්චර්' තරුණ පරපුරට හඳුන්වා දෙනවා - ජනපති තඹලගමුවේදී කියයි

ජනාධිපතිවරයා එසේ පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙළීමට සහභාගිවූ අවස්ථාවේදීය. තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000 ක පමණ වී වගාව සිදුකර ඇති අතර ගලමැටියාව ග්‍රාම නිලධාරී වසමේ පමණක් මහ කන්නයේ අක්කර 672 ක් වගා කොට ඇත.

ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ එහි රැස්වූ ප්‍රදේශවාසීහු ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු ඒ මහතා වෙත ඉදිරිපත් කළහ. එම ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබාදීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තමන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු ලෙස කන්න දෙකම වගා කිරීමට ප්‍රමාණවත් ජලය ලබාගැනීම සඳහා ඇළ මාර්ගයක් සහ වගාබිම් ආරක්‍ෂා කර ගැනීම සඳහා කඩිනමින් අලි වැටක් ඉදිකර දෙන ලෙස ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය ලබාගැනීමට වෙන්ඩ්‍රාසන් වැවේ සිට පුලියුතුකුලම් වැව දක්වා වන වැව් නවයම පෝෂණය වන පරිදි ඇළ මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය මූලික අධ්‍යයනය සිදුකිරීමෙන් අනතුරුව කෘෂි කර්මාන්තයේ අවශ්‍යතාව මත පදනම්ව එය ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවැසීය.

එසේම අලි වැට ඉදිකිරීම් කටයුතු ආරම්භ වනතුරු, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 94 ප්‍රදේශයේ සිට පාලම් පටාර් දක්වා කඩිනමින් වීථි ලාම්පු ස්ථාපිත කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මීට අමතරව ගොවි පවුල් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීම, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට ඉඩම් ලබාදීම සහ කිරි ගොවීන් සඳහා තෘණ භූමියකට ප්‍රමාණවත් භූමි භාගයක් වෙන්කිරීම යන කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවිය. එම ඉල්ලීම් සඳහා කඩිනමින් සාධනීය විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අමතරව ඉන්දියාවේ සිට නළ මාර්ගයෙන් ඉන්ධන සැපයීමේ සැලසුමක්ද තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අමතරව රැකියා අවස්ථා පුළුල් කරමින් ආයෝජන කලාපයක් ඇති කිරීමටද සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය නැගෙනහිර තිබෙන ප්‍රධාන වරායක් ලෙස දියුණු කරමින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදන ඒ හරහා හුවමාරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මගින් මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයම සංවර්ධනය වෙනවා.
කන්තලේ – වික්‍රමසිංහ සහ ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment