ස්වභාවික සම්පත් තියාගෙන බඩගින්නෙ ඉන්න රටක් ශ්‍රී ලංකාව

79

ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක කීර්ති වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම් සෑම ක්‍ෂේත්‍රයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්‍ෂක බලශක්ති හා කර්මාන්ත ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා පැවැසීය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වික්‍රමරත්න මහතා මෙසේ ද කීවේය.

කර්මාන්ත හා බලශක්ති ඉංජිනේරුවෙක් විදිහට මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තියාගෙන, බඩගින්නෙ මිනිස්සු ඉන්න රටක් ලංකාව. ඉදිරියේදී අපි තව තවත් ණය ගත්තොත් අපේ දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ වෙලාවේදී ජනතාව තීරණය කරන්න ඕනෑ දේශපාලනය කරනවාද? ආර්ථිකය ගොඩ ගන්නවාද කියලා.

මේ රටේ විශාල වශයෙන් අසාධාරණයට ලක්වන පිරිසක් තමයි කාන්තාවන් හා ළමුන්. ඒ අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෑ.

මාත් එක්ක පක්‍ෂ කිහිපයක් සම්බන්ධ වෙලා ඉන්නවා. මම ඉදිරිපත් වන්නේ අපේ ජනබල පක්‍ෂයෙන්, සමසමාජ පක්‍ෂයට වාරණ නියෝගයක් තිබෙන නිසා. ඒ වගේම තවත් පක්‍ෂ 4ක් මගේ සහයෝගයට ඉන්නවා. විශේෂයෙන්ම ජාතික සංවිධාන 21 ක් අපේ සහයට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉංජිනේරු, වෛi, ගොවි, ව්‍යවසායක ආදී වෘත්තීය සංගම් මා සමග එක්ව කටයුතු කරනවා. මා කර්මාන්තකරුවෙක් හැටියට හොඳ ආර්ථිකයක් ඇතිව ජීවත් වෙනවා.

රාජ්‍ය සේවකයන්ට තිබෙන ප්‍රශ්න ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. මා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු හැටියට කටයුතු කිරීම තුළ, ඒ අය මුහුණපාන ගැටලු ගැන මට හොඳ අත්දැකීම් තිබෙනවා. කර්මාන්ත නැතිව ලෝකයේ දියුණු වූ රටක් නැහැ.

ආර්ථිකයට අවශ්‍ය රැකියා, ඩොලර් නිෂ්පාදනය වන්නේ කර්මාන්ත ක්‍ෂේත්‍රය හරහායි. හොඳ ආර්ථිකයක් ගොඩනඟාගැනීම තුළින් තමයි නොබැඳි පිළිවෙතක් ගතකළ හැක්කේ. මේ රට ආර්ථික වශයෙන් ගොඩනැඟිය හැකි හොඳම අවිය මා ළඟ තිබෙනවා. ඒ සඳහා මට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment