ස්වර්ණවාහිණී කැමරා ශිල්පියා හෝටලයකදී ඝාතනය කරලා

1642

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කටුවස්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක පවත්වාගෙන ගිය හෝටලයක් තුළදී පෙරේදා (30) රාත්‍රි 7ට පමණ පුද්ගලයකු ඝාතනය කර ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අත්තනගල්ල වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි ස්වර්ණවාහිනියේ කැමරා ශිල්පියකු වන මහේශ් ගුණසිංහ නමැති දෙදරු පියෙකි.

ඝාතනය සිදුවූ නිවසේ හිමිකාර යුවළ විසින් එම නිවසේ හෝටලයක් සහ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා පෙරේදා පස්වරුවේ එම හෝටලයට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවී ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල තිබූ බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

කැපුම් තුවාල සහිතව අදාළ පුද්ගලයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ එම නිවසේ හිමිකාර යුවළ විසින් බව විමර්ශනවලදී හෙළිවී ඇත.

ඝාතනය සම්බන්ධව සැකපිට අදාළ නිවසේ හිමිකාර යුවළ වේයන්ගොඩ පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කරන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා එම හෝටලයට පැමිණ ඇත්තේ යතුරු පැදියකින් වන අතර එම යතුරු පැදියද නිවස ඉදිරිපිට නවතා තිබී ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනය සිදු වූ ස්ථානයේ පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ අතර ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වති.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment