ස්වර්ණ පුස්තක සම්මානය මිතුරන්ට පිදිය යුතු තුටු පඬුරක් ද?

172

දෙසැම්බර් 12 වන ඉරිදා දිවයින පුවත්පතට ”ස්වර්ණ පුස්තක සම්මානයට පසුවදනක්” මැයෙන් දියාරු ලිපියක් ලියා තිබිණි. තම දිගුකාලීන මිතුරු මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතාගේ ”මුක්ති” නවකතාවට සම්මාන නොදුන්නේ යැයි මුසුප්පු වී ලියන ලද එම ලිපිය ප‍්‍රකාශකයා හා කතුවරයා සතුටු කිරීමට කරන ලද සිල්ලර වැඩක් යැයි බැහැරලිය හැකි වුවත් මේ විවේචන ක‍්‍රියාත්මක වන්නේ කුමන පදනමක සිට දැයි පාඨකන්ට පෙන්වාදීම වැදගත්ය.

ඔහු මුලින්ම ”මෙවර ස්වර්ණ පුස්තක උත්තරීතර මණ්ඩලයේ අවසන් විනිශ්චයට ඉතා විශිෂ්ට ගණයේ නවකතා පහක් ඉදිරිපත් කර තිබූ බව’’ කියයි. ඒ සමගම මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ හොඳම නවකතාව වූ එරික් ඉලයප්ආරච්චිගේ ”මැස්සා’’ සලකා බලන්නටවත් උත්සාහ කර නැති බවත් කියයි. එය උත්තරීතර විනිශ්චය මණ්ඩලයට අදාළ කාරණයක් නොවුණත් අවසන් විනිශ්චයට ඉතා විශිෂ්ට ගණයේ නවකතා පහක් ඉදිරිපත් කර තිබූ බව මේ ලේඛකයා විශ්වාස කරන්නේ නම් මැස්සා ඇතුළත් කරන්නේ කෙසේද කියා තමන්ගේ අදහස්වල ඇති පරස්පරයවත් නොතේරෙන මේ ලේඛකයාට කිව හැකිද?

‘‘රූපා ශ‍්‍රියානි ඒකනායක ලියූ භේරුණ්ඩ කැදැල්ල සැබවින්ම විශිෂ්ට ගණයේ නවකතාවක් බව ඇත්තය” කියන ලියුම්කරු තව තැනක සෝමරත්න බාලසූරිය ගේ ”මුක්ති” නවකතාවට වඩා ඉස්තරම් වන්නට රූපා ශ‍්‍රියානිගේ ”භේරුණ්ඩ කැදැල්ල” පෙන්වා ඇති සාහිත්‍යමය සුවිශේෂතා කවරේ ද යනුවෙන් ප‍්‍රශ්නයක් අසයි.

සම්මාන උලෙළ පැවැති දෙසැම්බර් 04 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට ගිය මේ රටේ නවකතා කියවන බොහෝ උගතුන් වියතුන් හා පාඨකයන් මෙවර විශිෂ්ටතම නවකතාව ලෙස මුක්ති සම්මානය දිනාගනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බව පැවසීම ද ලියුම්කරුගේ හිතලූවක් පමණි. උගතුන් වියතුන් කෙසේ වෙතත් හිතවතුන් දෙතුන් දෙනෙකු නම් බාලසූරිය මහතාටත් වඩා සම්මාන අපේක්ෂාවකින් සිට ඇති බව ඉන් පසුව වන විගඩම් සහගත හැසිරීම්වලින් පෙනේ.

උත්තරීතර විනිශ්චය මණ්ඩලය ඒකමතික නොවූ තීන්දුවක් ගෙන ඇති බවට ලිපිය තුළින් ඒත්තු ගන්වන්නට හදන කරුණ ද වැරදිය. විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් නිවසේ සිට කුමන කෘතියක් සිත් තබාගෙන ආවත් පස් දෙනාම සාකච්ඡා කොට ඒකමතිකව අත්සන්කොට දුන් තීන්දුව කිසිසේත් බෙදුණු තීන්දුවක් නොවේ. මෙහිදී මේ ලේඛකයා ”මුක්තිට” සම්මාන නොලැබුණේ සිංහල සාහිත්‍ය නොදන්නා හින්දි මහාචාර්යවරයෙක් උත්තරීතර මණ්ඩලයේ සිටි නිසා යැයි විශ්වාස කරන බවද නිර්දය පහර ගැසීමෙන් පෙනේ. ගොඩගේ, රාජ්‍ය වැනි සම්මාන උලෙළවල අවසන් නිර්දේශ කෘති අතරවත් ”මුක්ති” නොතිබුණේ ඒවායේ ද හින්දි, ගුජරාට, බෙංගාලි භාෂා උගතුන් සිටි නිසාද?

සැබවින්ම මුක්ති සමාජ ගවේෂණාත්මක නවකතාවක් බවද මේ ලේඛකයා පවසයි. මුක්ති පමණක් නොව ”භේරුණ්ඩ කැදැල්ල” නවකතාව තුළද සමාජ ගවේෂණයක් තිබෙයි.

අප දැන් මේ ලේඛකයා ඉස්තරම් යැයි කියා පාඨකයා නොමග යවන නවකතා තුන ගැන කෙටියෙන් විමසා බලමු. මුක්ති නවකතාවට පාදක වන්නේ 88/ 89 භීෂණ සමයේ අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන ප‍්‍රශ්න කරනු ලබන පුවත්පත් කලාවේදියෙක්ගේ ජීවන අත්දැකීම්, සිතුම්-පැතුම් හා හැඟුම් ය. නවකතාවට අනුව මේ පුවත්පත් කලාවේදියා කලක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙසින්ද සේවය කොට ඇත්තෙකි. විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුරක් හැරදමා පුවත්පත් වාර්තාකාරයකුවීමේ අභව්‍ය අපි අමතක කරමු. මේ භීම සමයේ සිදු වූ තොරතුරුවලට වඩා කතුවරයා වැඩිමනක් අවධානය යොමුකොට ඇත්තේ කතානායකයා ගේ හතරවෙනි තට්ටුවේ හා ස්වර්ණා නම් වූ ප‍්‍රකට නිළිය ගේ සුවපහසු ඇනෙක්සියේ ගත කළ ජීවිතයටයි. හුදකලාවේ වෙසෙන මේ මිනිසා කරන සෑම දෙයක් ගැනම කීමට කතුවරයා අමතක නොකරයි. වීදුරුවට මත්පැන් වත්කරන හැටි, මත්පැන් වීදුරුව අල්ලන හැටි, සිගරෙට්ටුව උරන හැටි, ගිනිකූර ගසන හැටි, එළවළු කපන හැටි, ලූනු කපන හැටි, රැුවුල බාන හැටි, ස්නානය කරන හැටි පමණක් නොව ශරීර කෘත්‍යය කරන හැටිද මහත් අභිරුචියෙන් වට්ටෝරුගත කෙරේ. එමෙන්ම ස්වර්ණා නමැති නිළිය ඇවිදින හැටිද කන බොන හැටිද සිනාසෙන හැටිද විස්තර කෙරේ. මේ කිසිවක් පාඨකයාට වැදගත් දේවල් නොවේ. කතානායකයාගේ ඉතා නොවැදගත් හැසිරීම් මාලාවක් දිගහරින ”මුක්ති” ඇතැමුන්ට හොඳවී ඇත්තේ මිත‍්‍රත්වයේ පරිමාව අනුව මිස අන් යමක් නිසා නොවේ.

මේ භීෂණ සමය ගැන මනා අද්දැකීම් ඇති තැනැත්තෙකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නවරත්න රඹුක්වැල්ල මහතා පැරණි දින සටහන් ඇසුරින් කලකට පෙර මුහුණු පොතට කදිම ලිපියක් ලිවීය. එතුමාට අනුව මහ මඟ කපා, කොටා, ටයර් දමා පුච්චා, ගංගාවල පාකොට ප‍්‍රදර්ශනය කරමින් මරණ ලද තරුණයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. 67000 යන සංඛ්‍යාව ව්‍යාජයක් බව ඔහු පෙන්වාදී තිබුණේ 89 සැප්තැම්බර් මස පාර්ලිමේන්තුවේදී, ශ‍්‍රී.ල.නි.ප. මන්ත‍්‍රීවරයෙක් විසින් ඒ වනවිට මරාදමා ඇති තරුණයින් සංඛ්‍යාව 75000 ක් බවට පවසනු ලැබූ හැන්සාර්ඞ් ගත ප‍්‍රකාශයක් උපුටා දක්වමිනි. එහෙව් කාල පරිච්ෙඡ්දයක් නවකතාවට වස්තුකර ගන්නා කතුවරයාට මේ භීම සමය පිළිබඳ අද්දැකීම් සහිත පුද්ගලයකු ගේ මනෝභාවයක් කතානායකයාගේ චරිතයෙන් නිරූපණය කිරීමට සමත් නොවේ. ඔහුව ප‍්‍රශ්න කිරීම සඳහා හතරවෙනි තට්ටුවට ගෙන ගොස් එහි රඳවාගෙන සිටියදී පවා බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති, කිසිදු සන්නිවේදන උපකරණයක් නොමැති, පුවත්පතක් පවා නොමැති හුදකලා වූවෙකුගේ මානසික ක‍්‍රියාකාරිත්වය, චිත්ත ස්වභාවය, චෛතසික ලක්ෂණ පිළිබඳ විභාග කිරීමට සමත් නොවේ. නවකතාවෙන් නිරූපිත කතානායකවරයා හොඳින් ආහාර ගෙන, ස්නානය කොට, රෙදි සෝදා වේළාගෙන, හිස පීරා, සුවඳ විලවුන් ගල්වා සපාන් එකේ පසුවෙයි. රැඳවුම් භාරයේ සිටින ඔහුට හොඳ ඇඳුම් පමණක් නොව සිගරට් පවා ලැබේ. ඉන් නිදහස්ව නවාතැනේ සැඟවී සිටිනවිට ද කිසිම හිඟයකින් තොරව සතිපතා එළවළු, පලතුරු හා වෙනත් ඉස්තරම් වර්ගයේ ආහාර හා බීම වර්ග ලැබේ.

මේ හැරුණුවිට හරියකට සෝදුපත්වත් බලා නැති ”මුක්ති” නවකතාවේ දෝෂයක් නැති පිටුවක් සොයාගත නොහැකිය. මුද්‍රණ දොස් සහ භාෂා දොස් එමටය. කෘතිය පළකිරීමේ දී උපදේශකයන් ලෙස ක‍්‍රියාකළ විශ්වවිද්‍යාල දෙකක සිංහල අංශ කථිකාචාර්යවරියන් දෙදෙනෙක්ට ස්තුති කර ඇතත් ඒ අයවත් මේ වැරදි පෙන්වාදී නැත. දැන් කසකාරයින් කීපදෙනෙකු සන්ධානගතව මැසිවිලි නගන්නේ එහෙව් කෘතියකට සම්මාන නොලැබීම ගැනය.

”ඔයිල් පැල්ලම්” නවකතාව ගැනත් සඳහන් කර තිබුණ ද එය තනිකරම නන්නත්තාර පාදඩ නිර්ධන පන්තියේ භාෂාව නවකතාවට ගෙන ඒමක් ලෙස දැක්විය හැකිය. මෙවැනි කෘතියකටත් ඔජ වැඞීමෙන් චිරන්තන බෞද්ධ සාහිත්‍ය ගැන ලියූ කියූ මේ ව්‍යාජ භාෂා පේ‍්‍රමීන් අද, ඇදවැටී ඉන්නා තැන හඳුනාගත හැකිය. මේ නවකතාවේ පිටු දහයක් කියවන්නෙකුට වුවත් එහි ඇති කෂඩ භාෂාවට නිදසුන් ඕනෑ තරම් සොයාගත හැකියි. එබැවින් ඒවා මෙහි නැවත පුනරුච්චාරණය කිරීමට අපේක්ෂාවක් නැත. මේ කෘතිය අවසන් කෘති පහ අතරට නොව මුල් වටයේ නවකතා 12 අතරටවත් ගැනීමට නුසුදුසුය. නවකතාවේ චරිතයක් වන ඇන්ටනී සිය ජීවිත කතාව ලියන ලෙස කථකයාට ඇරයුම් කරයි. එවිට ඔහු ”මං පොත් ලියන්න තියා පොතකට නම තියන්නවත් නොදන්නා මිනිහෙක්. බලන්ඩ මං කතාකරන හැටි. මට කුණුහබ්බයක් නොකියා වාක්‍ය හතරක් කියා ගන්න බෑ. මෙහෙම පොත් ලිව්වොත් සාහිත්‍යකාරයෝ මට ගහලා පන්නයි” (350 පිට) යනුවෙන් පවසයි. ඇත්ත වශයෙන්ම ”ඔයිල් පැල්ලමේ” තත්ත්වය ද එයයි.

ස්වර්ණ පුස්තකයට පසුවදන් ලියන්නේ එහෙන් මෙහෙන් අහුලාගත් අදහස්වලින් බව ආරාමදාස ගැන කියන වැකි දෙකින් ද ඔප්පු වේ. එය වැඩවසම් දේවාලගම්වල වහල් සේවය කරන ජනතාවගේ නැගිටීමක් ගැන කියන බවද මේ ලේඛකයා කියයි. නමුත් ආරාමදාස දේවාලගම් ගැන කියන නවකතාවක් නොවේ. එය යොවුන් කතාවක හා සුරංගනා කතාවක සම්මිශ‍්‍රණය දනවන මනස්ගාත රාශියකින් පිරී පවතින දුර්වල නවකතාවකි. යොවුන් කොටස වන්නේ හේමරත්න නමැති පාසල් ශිෂ්‍යාගේ කතාවයි. සුරංගනා කතාව වන්නේ වාමන රූප බිත්තිවලින් ගැලවී සැරිසැරීමත් කතා කිරීමත්ය. මේ සුරංගනා කතාවට, කතා කරන මුරගල්වල ඇති නාගරූපද, කතා කරන ගස්ද ඇතුළත් වේ. ආරාමදාස පාඨකයින් වන්නේ අපරිණත යොවුන් ජනතාව මිස පරිණත පාඨකයින් නම් නොවේ. කතුවරයාට කීමට අවශ්‍ය වී ඇත්තේ පුරාවිද්‍යා බිම් එළිපෙහෙළි කළ කම්කරුවන් පිළිබඳව කිසිවෙකු ලියා නැති බවත්, එදා කැණීම් කටයුතුවලට සිංහල, දෙමළ හා මුස්ලිම් මිනිස්සු සහභාගී වූ බවත්, 1958 ජාතිවාදී කෝලාහලවලදී මෙම දෙමළ කම්කරුවන් වව්වනියාට පලාගිය බවත්ය. ඒ සඳහා සම සමාජවාදය, ඓතිහාසික භෞතිකවාදය, කුලවාදය, ප‍්‍රාදේශීය වාදය, ස්වෝත්තමවාදය ආදී නහුතයක් මාතෘකා පටලවා කවලම් මැල්ලූමක් සාදා තිබෙන ආකාරය ආරාමදාස කියවන ඕනෑම කෙනෙක්ට තේරුම් ගත හැකියි.

අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා බහුල ව්‍යාජ ගොඩනැගීමක් වන ආරාමදාස නමැති විකෘති මසාලාව මුළුමනින්ම පාහේ කාල විරෝධී වේ. පොලොන්නරුවේ දෙමළ මිනිසුන්ට 1958 දී වව්නියාවේ පදිංචිවීමට ගාන්ධියන් ව්‍යාපාරය උදව් කළ බව කීම (240 පිට) කතුවරයා ගේ දැනුමේ තරම පැහැදිලි කරන්නෙකි. ගාන්ධියන් ව්‍යාපාරය ඇති වූයේ 1977 දී ජේ.ආර්. බලයට පත්වීමෙන් පසුව 1978 දී උඩරට වතුකරයේ කම්කරුවන්ට පහරදීම නිසා අවතැන්වූවන්ට උදව් කරන අටියෙනි. මේ සඳහා යුරෝපීය ආධාර ගාන්ධියන් නම් එන්.ජී. ඕ සංවිධානයට ලැබිණි. මෙසේ කතුවරයා 1978 සිද්ධියක් 1958 ට එනම්, අවුරුදු 20 ක් ආපස්සට ගෙන යෑමට තරම් කරුණු අධ්‍යනය නොකළ අයෙක් බවට පත්වෙයි. මෙය කාල විරෝධයට එක් නිදසුනක් පමණි. තවත් නිදසුන් දැක්විය හැකි වෙතත් ඒ සියල්ල උපුටා නොදක්වන්නේ ලිපිය දීර්ඝවීම වළක්වා ගැනීම සඳහාය. අනික මේ ලේඛකයා ආරාමදාස ගැන සඳහන් කරන්නේ ”මුක්ති” වෙනුවෙන් තමන් ගේ පෙනීහිටීමේ කැත වසාගැනීමට සැරසිල්ලක් ලෙස විනා ආරාමදාස උසස් නවකතාවක් බව තමන් ද පිළිගන්නා නිසා නොවේ.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
(සාමාජික- උත්තරීතර විනිශ්චය මණ්ඩලය)

ස්වර්ණ පුස්තක සම්මානය මිතුරන්ට පිදිය යුතු තුටු පඬුරක් ද?
advertistmentadvertistment
advertistmentadvertistment