ස්වාධීන රාජ්‍යයක් වන ලංකාවේ නිදහස අර්ථවත් වීමට !

103

1948 පෙබරවාරි 04 වන දිනය අපට සුවිශේෂී දිනයකි. බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදීම සඳහා ලංකාවට ඩොමීනියන් තත්ත්වයක් ප‍්‍රදානය කෙරුණේ එදිනය. එදින සිට මේ දක්වා වසර හැත්තෑ හතරක කාලයක් ගත වී තිබේ. ලංකාවේ නිදහස් දිනය ලෙසින් අද සැලකෙනුයේ මේ දිනයයි. මේ නිදහස ලබා ගැනීම පිණිස පැමිණි දිගු ගමනක් විය. බි‍්‍රතාන්‍ය පාලකයන් හට ගිවිසුමකින් ලංකාව භාර දෙන ලද්දේ 1815 දීය. නමුත් ලංකාවට නිදහස ලැබ දෙන්නේ ඒ ගිවිසුම පදනම් කරගෙන නොවේ. ඒ වෙනුවට 1947 නොවැම්බර් මස 11 දින සකස් කරන ලද අවසාන ගිවිසුම් කීපයක් විය. ලංකා නිදහස් පනත. ලංකා නිදහස් රාජ්‍ය පනත. ආරක්ෂක ගිවිසුම ආදී වැදගත් ලියවිලි කීපයක් මේ ගිවිසුම් වලට පදනම් විය. ඒ අනුව බි‍්‍රතාන්‍ය රජුට යටත් ආණ්ඩුකාරවරයෙකු පත් කරනු ලැබීය. හෙතෙම ඉන්පසු බි‍්‍රතාන්‍ය මහ රජුගේ නියෝජිතයා වශයෙන් පෙනී සිටියද ව්‍යවස්ථානුකූලව ස්වාධීන පාලකයෙකු බවට පත් විය. මෙය අපට ලැබුණු ස්වාධීනත්වයේ (Indipendence) සාරාංශයයි.

1815 දී එවකට සිටි ලංකාවේ රජ පවුල ඉන්දියාවට පිටුවහල් කරන ලද්දේ දෙමළ වර්ගයාට ලංකාව පාලනය කිරීමට තිබෙන අයිතිය අහිමි කරමිනි. උඩරට ගිවිසුමේ දෙවන වගන්තියේ ඒ බව දක්වා තිබේ. අප දන්නා පරිදි 1739 සිට 1815 දක්වා ලංකාවේ රාජ්‍යත්වයට පත් වූයේ නායක්කර් වඩුග පාලකයන්ය. යටකී ලෙස දෙමළ වර්ගයා ලෙස සඳහන් කරන ලද්දේ මේ වඩුග පෙළපත සහ අවශේෂ පිරිසයි. එහෙත් අනාදිමත් කාලයක සිට ලංකාව පාලනය කරනු ලැබූ සූර්ය වංශයට අයත් ලම්බකර්ණ හෝ ටිකා රජ පෙළපත් වලට ලංකාවේ බලය ලබා ගැනීමේ අයිතිය එහිදී අහිමි කර නැත. නමුත් අපට නිදහස ලැබීම සඳහා කරන ලද සාකච්ඡා වලදී ලංකාවේ සැබෑ රජ පෙළපත් තවදුරටත් ජීවමානව නැතැයි යන්න මෙරට නියෝජිතයන් විසින් දක්වා තිබීම බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් සැලකිල්ලට ගෙන තිබේ. මෙරට රජ පෙළපත් ඒ වන විට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ මර්දනකාරී ස්වභාවය මත ලංකාවේ විවිධ පළාත්වල සැඟවී සිට ඇත. ඔවුන් ඉදිරිපත් වූයේ නම් ඇතැම් විට නිදහස යටතේ ලංකාවේ පාලනය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. ඒ අනුව නිදහස් ලංකාවේ පාලනය භාර දීම පිණිස සේනානායක පරපුර සූදානම් කරන ලද අතර 1948 නිදහස ලබන දිනයේදී සිංහල රජුගේ සිංහාසනය සහ රාජකීය කොඩිය ඉහළින් තබා ඊට පහළින් බි‍්‍රතාන්‍ය රජු නියෝජනය කරමින් ගලෝස්ටර් ආදිපාදවරයා විසින් නිදහස ප‍්‍රදානය කරන ලද්දේය.

බි‍්‍රතාන්‍ය මහ රජුට යටත් ලංකාවේ අග‍්‍රාණ්ඩුකාර වරයෙකුගේ පාලනය සහ බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායට ගැති ව්‍යවස්ථාදායක් බිහිවන්නේ ඉන් පසුවයි. 1972 ව්‍යවස්ථාවෙන් මේ තත්ත්වය යම් තරමකින් වෙනස් කරනු ලැබීය. ලංකාව ජනරජයක් බවට පත් විය. ජනාධිපතිවරයෙකු යටතේ ව්‍යවස්ථාදායකයක් සහ අධිකරණයක් පිහිටුවනු ලැබීය. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමි කරදෙන ලද්දේය. එහෙත් දළදා වහන්සේට වගකිව හැකි රාජ්‍ය තන්ත‍්‍රයක් බිහි නොවීය. 1815 දී ඉංග‍්‍රීසීන්ට අප භාරදෙන ලද්දේ සිංහලේ රටවල්ය. පරංගි ලන්දේසි සහ ඉංග‍්‍රීසි පාලන සමයන්හිදී එය සිලෝන් යනුවෙන් ව්‍යවහාර විය. මේ නාමය 1948 දී නැවතත් සිංහලේ හෝ සිංහලද්වීප යනුවෙන් යළි ස්ථාපිත විය යුතුව තිබුණි. නමුත් එය එසේ නොවීය. 1972 ව්‍යවස්ථාව සකස් කළ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා විසින් සිලෝන් නැත්නම් සිංහලේ රාජ්‍යය ශ‍්‍රී ලංකා යනුවෙන් නම් කරන ලද්දේය. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිලාශය මතයි. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී විධායක ජනපතිවරයෙකු බිහිකරනු ලැබූ අතර එම ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පරිවර්තනයේ දී ශ‍්‍රීලංකා යනු සිලෝන් බව පැහැදිලිව දක්වා තිබෙන බවද මෙහිදී මතක් කළ යුතුය.

ස්වාධීන රාජ්‍යයක් වන ලංකාවේ නිදහස අර්ථවත් වීමට !

1978 ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු අවස්ථා විස්සකදී සංශෝධන එක් කර තිබේ. වසර හතළිස් හතරක් තිස්සේ කරන ලද මේ සංශෝධන වලින් රටේ ඉදිරි ගමනට ලැබුණු දායකත්වය කුමක්දැයි යම් ප‍්‍රශ්නයක් පැණ නැගුනහොත් දීමට උත්තරයක් නැත. ඊට හේතුව මේ සංශෝධන සියල්ලම කරන ලද්දේ ඒ කාලය තුළ රටේ ඇතිවූ බෙදුම්වාදී බලවේගයන්හි මනදොළ පුරවාලීම සඳහා බැවිනි. උදාහරණයක් වශයෙන් දහතුන් වන සංශෝධනය සහ දාසය වන සංශෝධන දැක්විය හැකිය. 1796 දී ඉංග‍්‍රීසින් රට පාලනය කිරීම සඳහා අවතීර්ණ වීමේදී එවක මදුරාසි සමාගම් පාලනය ඊට හවුල් වී තිබුණි. උතුරේ බෙදුම්වාදයේ මූල බීජය ජනිතවන්නේ මදුරාසි පාලනය යටතේ ඇතිවූ සමින්දාර් ක‍්‍රමය නිසාවෙනි. 1948 නිදහස ලැබුණ පසු අතීතයෙන් ලබන ලද පාඩම් මධ්‍යයේ මේ බෙදුම්වාදය අවසන් කළ යුතුව තිබුණි. නමුත් එය සිදු නොවූයේ ඒ වන විටත් ලංකාව බි‍්‍රතාන්‍ය රැජිනගේ අණසක යටතේ තිබූ බැවිනි. බිතාන්‍ය පාලනයට බෙදුම්වාදය අත්‍යවශ්‍ය සාධකයක් විය. විධායක ජනපති ක‍්‍රමයක් පවත්වාගෙන ගියද ඉහත කී බෙදුම්වාදී සංශෝධන මගින් විධාකයේ බලය දුර්වල කොට ඇති බව අප පිළිගත යුතුය. ඒ අනුව නව ව්‍යවස්ථා සංශෝධනයකදී විධායක ජනපති ක‍්‍රමය විධායක අගමැතිවරයෙකු බවට පත් කිරීමෙන් ප‍්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල වීම වැළැක්විය නොහැකිය. මන්ද වර්තමාන පක්ෂ ක‍්‍රමය තුළ ව්‍යවස්ථාදායකය ආක‍්‍රමණය කිරීමට බෙදුම්වාදී පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන බැවිනි.

ඉංග‍්‍රීසීන් විසින් ලංකාවේ ආර්ථික මර්මස්ථාන සියල්ල උඩු යටි කුරු කරන ලද්දේය. මෙරට පාරම්පරික ගොවිතැන වැවිලි ආර්ථිකය මගින් පොඩිපට්ටම් කර ඇත. මුඩුබිම් පනත සහ ඉඩම් ආඥා පනත් මගින් මේ තත්ත්වය උදා කර දී ඇත. නිදහසින් පසු බි‍්‍රතාන්‍යයන් යටතේ තිබූ වැවිලි සමාගම් රජයට පවරා ගැනීම මත රාජ්‍ය ව්‍යවසායකත්වයක් බිහිවනු ඇතැයි බලාපොරොත්තු විය. නමුත් එය එසේ සිදු නොවීය. ඒ වෙනුවට වතු ආර්ථිකය ක‍්‍රමානුකූලව බිඳ වැටී ඇත. වැවිලි සමාගම් සිය ඉඩම් සශ‍්‍රීක කරන්නේ නැත. ඒ සමගම දෙමළ දේශපාලන නායකයන්ගේ බලයට නතුව සමාගම් සතු වත්කම් හීනවී යමින් ඇත. ඉඩම් කට්ටි කඩා වතු ප‍්‍රජාවට ඉඩම් ලබා දීම මගින් කඳුකරයේ බලය තවදුරටත් දෙමළ දේශපාලනඥයන් සතු වෙමින් තිබේ. අඹගමුව ප‍්‍රාදේශීය සභාව තුනට කැඞීම ඊට උදාහරණ දක්වයි. ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත යටතේ පවරා ගන්නා ලද මෙරට නින්දගම් සහ වතු හිමියන් ගේ ඉඩකඩම්වල අද තත්ත්වය සලකා බලන කල්හි දැඩි සංවේගයක් දැනෙන බව කිව යුතුය. එම ඉඩම් දේශපාලන හිතවතුන්ට සහ විදේශීය සමාගම් වලට අතයට විකුණන ලද බව පැහැදිලිය. ඒ මගින් දේශීය ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉතාම පහළ අඩියකට වැටී තිබේ.

නිදහස ලැබෙන විට රත්තරන් පවුම සහ වී බුසල එක සමාන වටිනාකමකින් යුක්තව තිබූ බව දක්වා ඇත. වසර හැත්තෑ හතරක් ගෙවී ගොස් ඇති සමයක රත්තරන් සංචිත වැඩි කර ගැනීමට රජය සමත් වී නොමැත. වසරකට හාල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ තිහක් පමණ නිෂ්පාදනය කරන අතර ඉන් පරිභෝජනය කරනු ලබනුයේ ලක්ෂ 24 ක් පමණි. එහෙත් කෘෂිකර්මයේ දායකත්වය සියයට හතක් ලෙසට තවමත් පෙන්වා දී තිබීම විමතියට කරුණකි. සහල් මිලද ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම කිසිවෙකුට පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වී තිබේ. රටක් වශයෙන් අද මුහුණ දී තිබෙන විදේශ සංචිත හිඟය, විදේශ ණය බර, බලශක්ති අර්බුදය, ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම ආදී සියල්ල තුළින් ගම්‍ය වන්නේ රාජ්‍ය කළමනාකාරිත්වයේ බංකොලොත් භාවයයි. සුද්දාට නැවත රට භාර දීම වඩා පහසු ක‍්‍රමය යැයි විදේශ ගැත්තන් කල්පනා කරන බව පැහැදිලිය. සෘජුවම ඒ කටයුත්තට ජනතා සහභාගීත්වය ගත නොහැකි බැවින් විවිධ උපක‍්‍රම යොදමින් විදේශ හස්තයන් විසින් ලංකාව පාලනය කරන තත්ත්වයට ඇද දමා ඇත.

මෙරට ඉදිරි ගමනට තිබෙන බලවත්ම බාධකය පක්ෂ දේශපාලනය බව පැහැදිලිය. එක රටක් වශයෙන් නොපැවතීමද එක නීතියක් ක‍්‍රියාත්මක නොවීමද නිසා නොගැළපෙන රෝද මත දුවන වාහනයක් මෙන් එක තැන නැවතී තිබේ. ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සමත් සම්පත් රැසක් තවමත් මහ පොළව යටය. ඒවා ඩැහැ ගැනීමට බලා සිටින විදෙශිකයන් ඉදිරියේ ජාතියක් වශයෙන් අප අසරණය. මෙරට පරිපාලනය හසුරුවන නිලධාරීන්ට ජාතික අභිමානයක් නොමැතිකම, රට පිළිබඳ ගෞරවයක් නොමැතිකම සහ මෙරටට ආවේණික සිතුම් පැතුම් වලින් තොර වීම නිසා අනුකරණවාදී බහුතරයක් මගින් රටේ දියුණුව අඩාල කර තිබේ. නිදහස් අධ්‍යාපන ක‍්‍රමවේදය තුළ සිදු වූ විකෘතිතාවය මීට හේතු වශයෙන් දකිමි. වසර හැත්තෑ හතරකට පසු ආපසු හැරී බලන කල්හි අප දකින්නේ මෙයයි. රටේ උගතුන් බහුතරයක් රට හැර යෑම නිසා අනාගත ලංකාවට ඉතිරිවනුයේ කම්කරුවන් පිරිසක් පමණකි. ගොවියන් සිය ඉඩම් වලින් පන්නා දැමීමට සහ ඒ ඉඩම් විදෙස් සමාගම් සතු කරලීමට රනිල් වික‍්‍රමසිංහ ගෙනා රීගේනින් ශ‍්‍රී ලංකා වැඩසටහන 2002 සිට විවිධ මුහුණුවරින් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. ඒ තත්ත්වය මත වාර්ෂිකව නිදහස් දිනය සැමරීමද, සැමරීමෙන් පසු නිදහස අමතක කර යළි වහල් භාවයේ ගැලීමද සිදු වෙමින් පවතී. නමුත් අඳුරු අහසේ රිදී රේඛාවන් පහළ නොවෙනවා යැයි නොසිතිය යුතුය. තවමත් අප ජාතියක් වශයෙන් අසරණ වී නැත. ඒ සඳහා මාර්ග සොයා ගැනීමට හැකි අතලොස්සක් දෙනකු හෝ පුරුෂ වීර්යයෙන් නැගී සිටීම මෙන්ම ප‍්‍රඥාවන්තව වැඩ කිරීම ඊට සෑහේ යැයි කිව යුතුය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment