ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියට පත් ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික නාහිමියෝ

135

‘වායමෙථෙව පුරිසො – යාව අත්ථස්ස නිප්ඵදා’ යන බුදු වදන තම ජීවිතයට මුසුකොටගෙන තමන්ගේ යහපත් බලාපොරොත්තු සම්පූර්ණ වනතුරු නොපසුබට උත්සාහයෙන් ජීවිත ජයග්‍රහණ හිමිකොට ගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි ආචාර්ය තවලම ධම්මික හිමිපාණෝ. උන්වහන්සේගේ නොපසුබස්නා උත්සාහය නිසා බෞද්ධයන්ගේ පමණක් නොව අන්‍ය ආගමික නායකයන්ගේ ද ආදර ගෞරවයට පාත්‍රව අසීමිත සේවාවක් සිදුකරමින් වැඩවාසය කිරීම අගය කොට සලකමින් තවලම ධම්මික හිමිපාණන් වෙත සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහ නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව මගින් ‘ධර්ම කීර්ති ශ්‍රී භාෂාන්තර විශාරද’ යන ගෞරව නාමය සහිත ‘ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක’ පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ අක්තපත්‍රය ලබාගැනීමේ පුණ්‍යෝත්සවය 2024 නොවැම්බර් 21 දින සවස 02.30ට ඓතිහාසික මල්වතු මහා විහාරයේදී පැවැත්වේ. මේ නිමිතිකොට උන්වහන්සේට ආශීර්වාද පළ කිරීමේ පිරිත් දේශනාවක් නොවැම්බර් 23 දින සවස 5.00ට ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනයේදී සිදුකෙරෙන අතර නොවැම්බර් 24 දින දහවල් ආශීර්වාද ලබාදීම උදෙසා තවලම හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන සඟ සතු මහා දානයකි.

හිනිදුම් පත්තුවේ තවලම ග්‍රාමයේ සුමනසේන අබේසිංහ පියතුමාගේ සහ සොපිනෝනා අබේසිංහ මවුතුමියගේ දයාබර පුත්‍ර රත්නයක්ව 1955දී උපත ලබා සුදුසු වයස් ගතවීමත් සමග හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා විහාරාධිපති පූජ්‍ය මාවනානේ සෝණුත්තර මාහිමියන්ගේ සහ ගාලු – මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මාවනානේ ශ්‍රී පේමානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් 1967 මාර්තු 22 දින තවලම ධම්මික නමින් පැවිදි බිමට පත් වූ අතර 1978දී මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලබාගත්හ. තම ගුරු හිමිවරුන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා මහරගම ඉංග්‍රීසි ගුරු පුහුණු ආයතනයෙන් ඉංග්‍රීසි දැනුම වර්ධනයකොට ගත්හ. තම ලබාගත් උසස් දැනුමෙන් සිසු පරපුරට සේවයක් සිදුකිරීමේ අටියෙන් බණ්ඩාරවෙල, මාතලේ, පොළොන්නරුව හා කොළඹ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක ආචාර්යවරයකු වශයෙන් සේවය කොට 1987දී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළුව දක්ෂ ආචාර්යවරයකු වශයෙන් පමණක් නොව මහත් සේවයක් සිදුකරන විද්‍යාලයේ බෞද්ධ සංගමයේ අනුශාසකවරයා වශයෙන් පත්ව සිදුකළ සේවය අද පවා ගුරු ශිෂ්‍ය සෑම දෙනාම මහත් සේ අගය කරමින් කතා කරති.

ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියට පත් ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික නාහිමියෝ

පූජ්‍ය තවලම ධම්මික හිමිපාණන්ගේ ජීවිතයේ සදානුස්මරණීය ආලෝකය පැතිරෙන්නට පටන් ගත්තේ ශාස්ත්‍රපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ආරාධනයෙන් ප්‍රංශයට වැඩමවීමත් සමගය. එහි සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකොට ගත් ධම්මික හිමියෝ චන්දරතන නාහිමියන්ගේ මඟපෙන්වීම අනුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට වැඩමවා එහි සිටින ලාංකික, ප්‍රංශ, වියට්නාම්, කාම්බෝජ ආදී විදේශ ජාතිකයන්ගේ සහායෙන් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ආරම්භ කළහ. දැනට අක්කරයකට වැඩි භූමිභාගයක පිහිටි මෙම ආරාමය මගින් සිදුකරන සේවය විශාලය. සතියේ දිනවල ලොකු කුඩා අය සඳහා වෙන් වූ පන්ති පමණක් නොව විශේෂ දේශන, ධර්ම සාකච්ඡා හා භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරති. වර්ෂයකට කිහිප විටක් කඳුකර ප්‍රදේශයන්හි භාවනා වැඩසටහන් බෙහෙවින් ජනප්‍රියව පවතී. අන්‍යාගමික ආයතනවලටත්, විශ්වවිද්‍යාල සහ එක්සත් ජාතීන්ගේ ආයතනයටත් විශේෂ අවස්ථාවල වැඩමවීම ලාංකික භික්ෂූන්ට මහත් ගෞරවයක් ලබාදීමට හේතු වෙයි. ලාඕස්, කාම්භෝජය, ප්‍රංශය, ජපානය, රුසියාව ආදී බොහෝ රටවල පැවැත්වෙන සම්මන්ත්‍රණවලට සහභාගි වන ධම්මික හිමිපාණන් ඒවායේදී පවත්වන හරවත් දේශන බෙහෙවින් අගනේය.

කොපමණ කාර්යබහුල ජීවිතයක් ගත කළත් ලංකාව නිරන්තරයෙන් සිහියේ තබාගෙන ධම්මික හිමියෝ කටයුතු කරති. සුනාමි සහ ගංවතුර උවදුරුවලදී හිතවත් දායක පින්වතුන්ගේ නොමසුරු සහායෙන් නිවාස සෑදීම, වෛද්‍ය සායන පැවැත්වීම, ඇස් පරීක්ෂා කොට කණ්ණාඩි ලබාදීම, රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබාදීම, විහාරස්ථානවලට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකරවීම, පාසල් ළමයින්ට පොත්පත් හා ශිෂ්‍යත්ව ලබාදීම ආදී අපමණ සේවාවන් සිදුකරති. මේ අනුව ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික හිමිපාණන් වෙත පිරිනැමීම ප්‍රශංසනීය ක්‍රියාවකි. ඒ පිළිබඳව අක්තපත්‍රය ලබාගැනීමේ පුණ්‍යොත්සවය 2024 නොවැම්බර් මස 21 දින සවස 2.30ට මල්වතු මහා විහාරයේදී පැවැත්වේ. පූජ්‍ය ධම්මික නාහිමියන්ට ආශීර්වාද පළ කිරීමේ පිරිත් දේශනාවක් නොවැම්බර් 23 දින සවස 5.00ට ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයේදී පැවැත්වෙන අතර නොවැම්බර් 24 දින දහවල් ආශීර්වාද ලබාදීම උදෙසා තවලම හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා විහාරස්ථානයේදී සිදුකරන සඟසතු මහා දානයකි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක උපාධ්‍යාය,
ගල්කිස්ස බෞද්ධායතනාධිපති
ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි


advertistmentadvertistment