ස්විස්ටර්ලන්තයේදී ආරම්භ වුණු 25 වෙනි දෙමළ ක්රීඩා උළෙලේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිළිනොච්චියේ හිටපු බුද්ධි අංශ නායකයා මෙන්ම වර්තමානයේදී ස්විස්ටර්ලන්තයේ එල්.ටී.ටී.ඊ ශාඛාවේ කළමනාකරු වන කන්දයියා රඝුපති නමැත්තාව ස්විස් පොලිසිය විසින් 10 දා ක්රීඩාංගණ භූමියෙන් පලවා හැර තිබේ.
ක්රීඩා උළෙලේ සමාරම්භක උළෙලට සහභාගි වූ රඝුපති විශේෂ කතාවක් කරමින් ප්රභාකරන්ගේ බිරිඳ මදිවදිනී හා දියණිය ද්වාරකා ගැන සඳහන් කිරීමට යෑමේදී ක්රීඩා උළෙලට සහභාගි වී සිටි විශාල පිරිසකගෙන් ඔහුට එරෙහිව විරෝධයක් පැන නැගුණි. මේ අවස්ථාවේ ඔහුගේ කතාව නතර කරන ලෙස බොහෝ දෙනකු ප්රකාශ කිරීමත් සමගම එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ. වහාම පොලිසිය පැමිණ කරුණු විමසීමෙන් පසුව රඝුපතිව ක්රීඩා භූමියෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අවස්ථාවේදී ක්රීඩකයින් දෙපිරිසකට බෙදී රඝුපතිට එරෙහි වීම නිසා ඔවුන් ක්රීඩා තරගයට සහභාගී වීම හා ක්රීඩා කිරීම ප්රතික්ෂේප කරන බව පවසා ඇත. කෙසේ වෙතත් ඉතිරි වූ පිරිස ක්රීඩා උළෙල පවත්වා ගෙන ගොස් තිබේ.
ස්විස්ටර්ලන්තය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් නොවූවත් රඝුපතිගේ හැසිරීම තුළින් මහජනයා කුපිත වීම හේතුවෙන් ඔහුව එම ස්ථානයෙන් නෙරපා හැර තිබේ. ස්විස්ටර්ලන්තය තුළ මේ වන විට පවා එල්.ටී.ටී.ඊ.සංවිධානය වෙනුවෙන් මුදල් එකතු කිරීම හා ගිණුම් පරිපාලනයද, දෙමළ ඩයස්පෝරාවේ කටයුතුද මෙහෙයවනු ලබන්නේ රඝුපති විසිනි.
දිනසේන රතුගමගේ