ස්වේච්ඡා පත්වීම නෑනාට ලබාදුන් විදුහල්පති

1159

රජයේ පාසල්වලට ගුරුවරුන් බඳවා ගන්නා ක‍්‍රමවේද කිහිපයකි. උපාධිධාරී ගුරුවරුන් ලෙස සෘජුවම බඳවා ගැනීම එක් ක‍්‍රමවේදයකි. උසස් පෙළ විභාගයේ දී දක්වන කුසලතා මත ලබාගන්නා ලකුණු අනුව සරසවියට පිවිසීමට ලකුණු කිහිපයක් මදි වූ සිසුන් ගුරු සිසුන් ලෙස බඳවා ගෙන රජයේ අධ්‍යාපන විද්‍යා පීඨයන් හි වසර තුනක විධිමත් පුහුණුවකින් පසුව පාසල්වලට ගුරුවරුන් ලෙස පත්කිරීම තවත් ක‍්‍රමවේදයකි.

අයදුම්පත් කැඳවා තරග විභාගයක් පවත්වා ඉන් ඉහළම ලකුණු ලබාගන්නා අපේක්‍ෂකයන් ගුරුවරුන් ලෙස පත්කර පසුකාලීනව ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ ක‍්‍රමවේදයක් ද දශක කිහිපයකට පෙර කි‍්‍රයාත්මක විය. එසේම රජයේ මැති ඇමැතිවරු තමන්ට දර දිය ඇදි තරුණ තරුණියන්ට ගුරුපත්වීම් දීමේ ක‍්‍රමවේදයක් ද ඉස්සර කාලයේ කි‍්‍රයාත්මක විය.

ඉහත දැක්වූ ක‍්‍රමවේද දෙකම වත්මනෙහි කි‍්‍රයාත්මක නොවීම මෙරට දරු පරපුරේ යහපතට හේතුවකි.

ස්වෙච්ඡා ගුරුවරුන් ලෙස වසර ගණනාවක් යම් යම් පාසල්වල සේවය කළ ගුරුවරුන්ගේ සේවය ස්ථිර කර පසුව ඔවුන් පුහුණු කිරීමේ ක‍්‍රමවේදයක් ද අතීතයේ කි‍්‍රයාත්මක විය. මෙකී ක‍්‍රමවේදය දැනට කි‍්‍රයාත්මක නැතත් මීට වසර 20කට පෙර ස්වේච්ඡා ගුරුවරුන් ලෙස යම් යම් පාසල්වලට පැමිණ අදත් ස්වේච්ඡාවෙන් උගන්වන ගුරුවරුන් ගැන දකුණු පළාතෙන් අද ද වාර්තා වෙයි.

ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ප‍්‍රදානය කරන බවට 90 දශකයේ මුල් භාගයේ දී රාවයක් පැතිර ගියේය.

වසර ගණනාවක් ඩුබායි රටේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර පැමිණ සිටි සිල්වියා අතිශය රූමත් තරුණියකි. ඉහත දැක්වූ රාවයට ඇගේ දැඩි අවධානය යොමුවිය. වහා කි‍්‍රයාත්මක වූ ඕ අල්ලපු ගමේ මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ තම වැඩිමහල් සොයුරියගේ ස්වාමිපුරුෂයා සොයා ගියා ය.

අයියේ… ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථිර පත්වීම් දෙනවා කියල ආරංචියක් තියෙනවා. මමත් හෙට ඉඳලා එනවා අයියලගෙ ස්කෝලෙ උගන්වන්න’’ ඕ සිය මස්සිනා හමුවේ තොදොල් වෙමින් කීවා ය.

‘‘එහෙම රාවයක් තියෙනවා. එහෙම දුන්නත් දෙන්නෙ අවුරුදු දෙක තුනක් අඛණ්ඩව උගන්වපු අයටනේ. හෙට එන ඔයාට අනිද්දා පත්වීමක් දෙන එකක් නෑ. අනික ඔයාට හරි හමන් සුදුසුකමකුත් නෑ නේද? ඔහු ඇෙඟ් වචන එතරම් ගණන් නොගනිමින් කියවමින් සිටි පුවත්පතින් තම දෙනෙත් ඉවතට නො ගනිමින්ම කීවේය.

සාමාන්‍ය පෙළ වැඩ හයයි සම්මාන දෙකක් තියෙනවා. ගණන නම් නෑ. සිංහලවලටයි බුද්ධාගමටයි එස් පාසස් තියෙනවා. අවුරුදු දෙක තුනක් ගියත් කාරි නෑ. පෙන්ෂන් එකක් තියෙන ආණ්ඩුවෙ රස්සාවක්නෙ අයියේ. ඒ ඇෙඟ් අභියාචනයයි.

ඔය සහතිකේ මදි ගුරු පත්වීමකට. ඔය ටික තියෙන්නෙත් දෙවරකට නේද? අවුරුදු ගණනාවක් නොමිලේ උගන්වලා අන්තිමට පත්වීම් දෙන්න සහතික පරීක්‍ෂා කරනකොට කැපිලා යාවි. එවර ඔහු තමා කියවමින් සිටි පුවත්පත හතරට නමා අසල තිබූ පුටුව මතට විසිකර නැඟී සිටිමින් කීවේය.

එහෙම කියල හරියන්නෙ නෑ. ඔහේට පුළුවන් මේකට මොනවා හරි කරන්න. එක පාරට ම බෑ කියන්න එපා. මේ මගේ එක කුස උපන් නංගී. විදුහල්පතිගේ සැර පරුෂ බිරිඳ තම සොයුරිය වෙනුවෙන් පෙනී සිටිමින් තර්ජනාත්මක ස්වරයෙන් උස් හඬින් කීවා ය.

ඇෙඟ් කට සේම කෙරුවාවල්වල ද හැටි දන්නා හේ ඉන් එහාට ඒ ගැන වචනයකුදු නොදොඩා තම කාමරයට ගියේය.

‘‘එහෙනම් අයියේ… මම හෙට ඉඳලා එනවා. පාන්දරින් මෙහාට ආවොත් අයියත් එක්ක බයික් එකේ යන්නත් පුළුවන් නේද අක්කේ..’’ සිල්වියා මහත් උද්දාමයෙන් කීව ද ඔහු ඊට කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක් වූයේ සිය ශරීර සෞඛ්‍ය යහපත පතාය.

ඔව් නංගී.. එයා යන්නෙ හයහමාරට නේ. ඔයා ඊට කලින් එන්න. පඩියකුත් නැතිව නිකං උගන්වන්න පලයල්ලකො බස්වලටත් වියදම් කරගෙන.’’ අක්කා ඇයට කදිම ශක්තියක් වූවාය.

සිල්වියා පසු දින පාන්දර හයට තම සොයුරියගේ නිවසට පැමිණියා ය. ඒ ඇයට ම ගැළපෙන වෛර්ණ සාරියකින් ද වසාගත යුතු ඉන්ද්‍රියන්වල යම් යම් කොටස් ප‍්‍රදර්ශනය වෙන ආකාරයේ හැට්ටයකින් ද සැරසී ගෙනය. රත්තරන් පොරවා ගෙනය. මඟුල් ගෙදරකට ඔබින කොණ්ඩා මෝස්තරයක් දමා ගෙනය. ඇෙඟ් පාවහන් යුවළෙහි විලූඹ පොළෝ මට්ටමින් අඟල් හතරක් පහක් පමණ විය. ඒ සියල්ලට ම වඩා ඇය ඇඟ ගල්වා තිබූ විලවුන් සුවඳ අහල පහළ නිවෙස්වල අයට ද දැනෙන්නට ඇත.

‘‘ඔයා බස් එකේ එන්න. හෙල්මට් එකකුත් නෑ. පොලිසියෙන් අල්ලා ගත්තොත් දඩ කන්නත් වෙනවා.’’ විදුහල්පති මස්සිනා එසේ කීවේ ඇය තම යතුරු පැදියෙන් ප‍්‍රවාහනය කිරීමට ඇති බලවත් අකැමැත්ත නිසාම ය.

‘‘මම සිරිමල් මල්ලිගෙන් හෙල්මට් එකක් ඉල්ලගෙන එන්නම්. කී බිරිඳ එළියට බැස්සත් විදුහල්පති පරාජයට පත්විය.

‘‘ඔව් අක්කෙ.. අදට එහෙමහ කරමු. එන ගමන් කඩෙනේ අලූත් එකක් ගනිමු. පොලිසියෙන් අල්ලාගත්තොත් අයියට හොඳ නැහැනෙ.’’ සිල්වියා කීවා ය.

‘‘නංගි උදේට කාල ද?’’ හෙල්මටයක් රැගෙන ගෙට ගොඩවෙමින් ඇය ඇසුවා ය.’’

‘‘නෑ අක්කෙ.. මම අම්මට කරදර කෙරුවෙ නෑ. කැන්ටින් එකෙන් මොනවා හරි කන්න බැරියැ..’’ සිල්වියා කීවා ය.

‘‘නෑ… නෑ.. එන්න මොනවා හරි කන්න. අයියත් තවම කෑවෙ නෑ. ඉන්ටවල් එකට දෙන්නට ම කන්න මම පාර්සලයක් හදල අයියගෙ බෑග් එකට දැම්මා. අද ලොකු උණුසුම් බෝතලේට තේ දැම්මා. ඔයාටත් එක්ක. අයියා වෙනදා තේ ගෙනියන්නෙ අර චූටි උණුසුම් බෝතලේ නේ. විදුහල්පති මේ දෙදෙනාගේ කථා බහ අසාගෙන හිටියේ කෝපයෙන් පුපුරමිනි. එහෙත් හේ අසරණය.

සූදානම් වූ විදුහල්පති උදේ ආහාරය සඳහා මේසයට ආවේය. හේ කිසිදු කථාබහක් නැත. ඕනෑවට එපාවට කෑම ගත් ඔහු අත සෝදාගෙන නැඟිට්ටේ ය. තම බෑගය ද රැගෙන මිදුලට බැස්සේය.

සිල්වියා හෙල්මටය පැළඳගෙන දිවගොස් විදුහල්පතිගේ යතුරු පැදියට නැඟ ගත්තා ය.

‘‘අයියෙ… දෙන්න ඔය බෑග් එක’’ ඕ ඔහුගේ බෑගය බලෙන්ම ගත්තාය.

‘‘ඔයා හරියෙ පාර ලිස්සනවා ප‍්‍රවේශමෙන්. මගේ කෙල්ල බිම දානව හෙම නෙවෙයි බිරිය නියෝගයක ස්වරයෙන් කීවාය.

‘‘අන්න අර සමයම ඔෆිස් එකට ඇවිත් ඉන්නවා. විදුහල්පති කාර්යාලයේ සිට ගුරු වේවිකාගාරයට පැමිණි ගුරුවරයෙක් කීවේය.

‘කවුද කවුද? ගුරුවරු කිහිපදෙනෙක්ම මහත් කුතුහලයෙන් ඇසීය.

‘‘පිනාගෙ නෑනා…. අර ඩුබායි ගිහිං ඇවිත් ඉන්න සක්කරවට්ටම’’ ඒ ඔවුන් ලද පිළිතුරයි.

‘‘හරියට තොරොම්බල් කරත්තයක් වගෙයි. රත්තරන් පෙරවලා සෙන්ට් නාලා. සාරිය මඟුල් ගෙවල්වලට අදින ජාතියෙ එකක්.

මහ පොළොවට අඟල් හයක් උඩින් ගමන. මොකට ද දන්නෙ නෑ ඇවිත් ඉන්නෙ හේ වැඩිදුර විස්තරයක් කළේය.

‘‘පත්වීමක්වත් ලැබිල ද දන්නෙ නෑ. අද මාසෙ පළමුවැනිද නේද? තවත් ගුරුවරියක් දෙගිඩියාවෙන් ඇසුවාය.

‘‘මොන පත්වීමක් ද? සාමාන්‍ය පෙළවත් නෑනෙ. මගෙ ක්ලාස් මේට්නේ. තවත් ගුරුවරියක් කීවා ය.

‘‘සුවඳේ බෑ. මට බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුණා. ඒත් බෑනෙ. පිනා එතැනම නේ. විශ‍්‍රාම යෑමට ආසන්න වියේ සිටි වයෝවෘද්ධ ගුරුවරයෙක් ගුරු විවේකාගාරයට එමින් කීවේය.

‘‘යකෝ නාකියට හිතිච්ච දෙයක්. මටවත් එහෙම අයිඩියා එකක් ආවෙ නෑ.’’ තරුණ ගුරුවරයෙක් කීවේය.

අර බඩුව ඇවිත් තියෙන්නෙ උගන්වන්න. කාර්යාලයේ සිට පැමිණි ගුරුවරයෙක් කීවේය.

‘‘මොනවා? සුදුසුකම් නැහැනෙ’’ තවත් ගුරුවරියක් කීවාය.

‘‘නෑ නෑ හෙට අනිද්දා ස්වෙච්ඡා පත්වීම් ස්ථිර කරනවා කියල දැනගෙන පිනා තමයි ඔය එක්කගෙන ඇවිත් තියෙන්නෙ. මට එයා කථාව කිව්වා. තවත් ගුරුවරියක් කීවා ය.

විදුහල්පතිවරයා එදින උදෑසන රැස්වීමේ දී තම නෑනා ගුරු මණ්ඩලයට හා සිසු කැළට හඳුන්වා දුන්නේය. ගුරුවරු සේම ඉහළ පන්තිවල සිසුන් ද යම් යම් අයහපත් ප‍්‍රතිචාර දැක් වූ අයුරු සිල්වියා කෙසේ වෙතත් විදුහල්පති නොදුටුවා නොවේ.

ඇය වැරදිලාවත් ගුරු විවේකාගාරයට නම් ආවේ නැත. ඒ අසලින්වත් නොයෑමට ඕ ප‍්‍රවේශම් වූවාය. ඕ වැඩිපුරම කාලය ගතකළේ විදුහල්පති කාර්යාලයේම ය. විවේක කාලයේ තේ බීවේ ද ඔහු සමග එහි ය. ඇය සමග ගමේ පාසලේ එකට ඉගෙනුම ලැබූ ගුරුවරු ගුරුවරියන් ගණනාවක්ම එහි සේවය කළ ද ඔවුන් සමග කථා කළේවත් අඩුම තරමින් සිනාසුනේවත් ඇය නොවේ.

‘‘සිල්වියා… එන්න යන්න ස්ටාෆ් රූම් එකට.. ’’එවැන්නියෝ ගණනාවක්ම ඇයට කථා කළහ.

අයියා මට වැඩක් පවරලා ගියා. එන්න කලින් මේක ෆිනිෂ් කරල තියෙන්න ඕන. නැත්නම් බැනුම් තමයි. මම පස්සෙ එන්නම්. ‘‘ඇය ඇඟ බේරාගැනීමට එසේ කීවත් ඇය නොවේ එසේ කළේය.

පිනා කියනවා ඇති ස්ටාෆ් රූම් එකට යන්න එපා කියල. අපි උන්දෑව බයිට් කරාවි කියලා. ගුරුවරයෙක් සිනාසෙමින් කීවේය.

සියලූම සිසුහු ඇයව හැඳින්වූයේ ‘‘ඩුබායි මිස්’’ යන නමිනි. ඕ එම නමට ඇලූම් කරන සෙයක් පෙනිණි.

ඕ ඉඳහිට ගුරුවරයක් නොසිටි පන්තියකට ගියා ය. ඒ ප‍්‍රාථමික පන්තිවලට ය. ඉහළ පන්තිවලට නොයෑමට ඇය වගබලා ගත්තා ය.

දිනක් ඕ හතර වැනි ශ්‍රේණියට ගියා ය. ‘‘ඔයාලට මේ පීරියඞ් එකේ තියෙන සබ්ජෙක්ට් එක වට්?’’

ඕ සිසුන්ගෙන් විමසුවාය.

‘‘බුද්ධාගම’’ සිසුහු හැම එකවර මහ හඬින් කීහ.

‘‘ගන්න බලන්න පොත්, සිසුහු ඇයට අවනත වූහ.

‘‘ලංකාවට බුඩිසම් ඉම්පෝට් කරපු කාලේ මේ කන්ටි‍්‍ර එක රූල් අවුට් කරපු කිං කවුද?’’ ඕ සිසුන් ගෙන් විමසුවා ය.

සියලූම සිසුහු අන්දමන්ව ඔවුනොවුන්ගේ මුහුණ බලාගත්හ. දෙපස පන්තිවල උගන්වමින් සිටි ගුරුවරියෝ උපහාසයෙන් සිනාසෙමින් ඔවුන්වොනුගේ මුහුණු බලාගන්නවා පෙනිණි.

‘‘මගේ ක්වෙස්චන් එක අන්ඩර්ස්ටෑන්ඞ් නැද්ද කාටවත්ම?

ලංකාවට බුද්ධාගම ගෙනාපු කාලේ මේ රට පාලනය කරපු රජතුමා කවුද?’’ එවර ඕ තේරෙන භාෂාවෙන් ඇසුවා ය.

‘‘දේවානම්පියතිස්ස රජතුමා’’ සිසුන් කිහිප දෙනෙක්ම එකවර පිළිතුරු දුන්හ.

‘‘එහෙම ද ඉගෙන ගෙන තියෙන්නෙ? වැරදියි වැරදියි. ලංකාවට බුද්ධාගම ගේන කාලෙ මේ රට පාලනය කළේ දුටුගැමුණු රජතුමා ඇය එසේ කියද්දී සිසුහු අන්දමන් ද වූහ.

දෙපසේ පන්තිවල සිසුහු මහ හඬින් සිනාසෙද් දී ඒ පන්තිවල සිටි ගුරුවරු ඔවුහු නිහඬ කරවූහ.

එදා දවසේ ගුරු විවේකාගාරයේ මාතෘකාව වූයේ එයයි.

‘‘හෙට අනිද්දා වෙනකොට ගෑනි මුළු ඉතිහාසෙම කණපිට හරවා වි. අපි පිනාට කියමු ද? ඕන නෑ. පොර ඇනගනිපු වාවෙ. වයිපරේට බයට තමයි ඔය අම්මණ්ඩිට එන්න දීලා තියෙන්නෙ. දැන් මුළු ගම පුරා ආරංචි වෙයි ගෑනිගෙ ඉගැන්නිල්ල. උඹලත් නොදන්නා දේවල් තියෙනවා නම් අහගනිල්ලා. මේ ගුරුවරු දැක්වූ අදහස්ය.

‘‘මිස් එන්න අපේ පන්තියට’ ඇය අසලින් යනවා දැක සා/පෙළ පන්තියේ සිසුහු ඇයට කථා කළහ.

ඕ සිනාසෙමින් පන්තියට ගොඩවූවා ය.

‘‘දිස් පීරියඞ් වට් සබ්ජෙක්ට් යූ හෑව්’’ ඕ ඇසුවාය.

සියලූම සිසුහු මහ හඬින් සිනාසෙද් දී සිසුවියෝ ඔවුන් නිහඬ කරවූහ.

‘‘දැන් අපට තියෙන්නෙ ඉංග‍්‍රීසි…. මිස්.. සිසුවියක් කීවාය.

‘‘ ඕ.. කේ. ගන්න ඔයාලගෙ ඉංග්ලිෂ් බුක්ස්..’’ ඕ කීවා ය.

‘‘මිස්.. අපේ ඉංග‍්‍රීසි සර් කිව්වා මිස් පාර වැරදිලා හරි අපේ පන්තියට ආවොත් ඉංග‍්‍රීසි නම් උගන්වන්න දෙන්න එපා කියලා… පන්තියේ සිටි කටකාර සිසුවෙක් කීවේය.

‘‘සර්ට කියනවලා.. මම එබ්‍රෝඞ් ඉන්න කාලෙ සුද්දන්ටත් ඉංග්ලිෂ් ටීච් කරලා තියෙනවා කියලා..’’ ඕ අමුතුම ලතාවකට කට උල්කරමින් දෙඋර ගස්සමින් කීවා ය.

ඒ සමගම සීනුව නාද විය. ඇය තම ඔරලෝසුව දෙස බැලූවාය.

‘‘වට් සබ්ජෙක්ට් නව් හෑව්?’’ ඕ ඇසුවාය.’’

‘‘නව් ඉංග්ලිෂ් හෑව්’’ කටකාර සිසුවා කීවේය.

‘‘ඉංග‍්‍රීසි සර් ඇවිත් ඉන්නවානේ.. මම යන්නම්.. ඕ නැඟී සිටිමින් කීවා ය.

‘‘අපරාදෙ.. බෙල් එක ගැහුවෙ නැත්නම් රට ෆොරින් ඉංග‍්‍රීසි ටිකක් අහගන්න තිබුණා’’ සිසුවෙක් කීවේය.

ඕ දිනක් තුනේ පන්තියට ගණන් උගන්වමින් සිටියා ය. ‘‘අපි තිස් හත දෙකෙන් බෙදමු’’ කියමින් ඕ එම ගණන කළු ලෑල්ලේ ලීවා ය.

37/2 =

‘තුනට දෙකේ ඒවා කීය ද? ඇය සිසුන්ගෙන් ඇසුවාය.

‘‘එකයි මිස්’’ සිසුහු කෑ ගසා කීහ.

‘‘කීයක් ඉතිරි ද?’’ ඕ යළි ඇසුවාය.

‘එකායි මිස්’’ සිසුහු කෑගසා කීහ.

‘ඒ එකයි මේ හතයි කීය ද?’’ ඕ ඇසුවාය.

‘‘දාහතයි ටීචර්’’ සිසුහු කෑගසා කීහ.

‘‘එකයි හතයි දාහත නෙවෙයි අටයි. ඇය කීවෙන් සිසුහු අන්දමන් ද වූහ.

‘අටට දෙකේ ඒවා කීය ද?’’ ඇය ඇසුවත් සියලූම සිසුහු නිහඬය.

‘‘අටට දෙකේ ඒවා හතර බව දන්නෙ නැද්ද?’’ ඕ තරමක කෝපයෙන් ඇසුවාය.

ඇය සිසුනට ගණන මෙසේ සාදා දැක්වීය.

37/2 =14 යි.

ඇගේ ගණන් ශාස්ත‍්‍රය දෙපසේ පන්තිවල උගන්වමින් සිටි ගුරු භවතුන් මගින් ගුරු මණ්ඩලයටත් සිසුන් මගින් ගම පුරාත් ආරංචි විය.

දිනක් ඕ හතර වැනි පන්තියට ගණන් දහයක් දුන්නා ය. සිසුහු ඒවා සාදා ඇයට පෙන්වූහ. ඇය ඒවාට හරි වැරදි දමා දුන්නා ය. ඇය නිවැරදි ගණන්වලට වැරදි දමා වැරදි ඒවාට හරි දමා තිබිණි. අන්දමන් ද වූ සිසුහු ඒවා වෙනත් ගුරුවරුනට පෙන්වූහ.

ඔයාල ඔය පොත් අරගෙන ගිහිං පින්සිපල්ට පෙන්වන්න. ගුරුවරු සිසුනට උපදෙස් දුන්හ.

පුතාල පන්තියට යන්න. මම එන්නම්.. හේ කීව ද පැත්ත පළාතකට නාවේය.

පසුදින දෙමාපියෝ කිහිපදෙනෙක් පාසලට පැමිණ සිද්ධිය පිළිබඳව විදුහල්පතිට පැමිණිලි කළහ.

‘‘දවසක් අපේ පුතාලට කියාදීලා තිබුණා ඩුබායි රටට ඉර පායන්නෙ බස්නාහිරින් කියලා’’ මවක් කීවාය.

‘‘අපේ දූලගෙ පන්තියට උගන්වලා තිබුණා චතුරාංගනී සේනාව කියන්නෙ ආමි එකයි. නේවි එකයි, එයාෆෝස් එකයි පොලිසියය කියලා’’ තවත් මවක් පැමිණිලි කළාය.

‘‘හොඳයි ඔය අම්මලා තාත්තලා යන්න. මම පියවරක් ගන්නම්’’ විදුහල්පති ගැටලූව සමථයකට පත්කළේය.

විදුහල්පති කා.කා.ස ලවා එම සිසුන්ගේ ගණන් පොත් ගෙන්වා ගෙන පෙරදින තමා නෑනා හරි වැරදි දමා තිබූ ගණන් සහිත පිටු සියල්ල කඩා කුණු කූඩයට දැම්මේය.

ඩුබායි මිස්ගේ ගුරු සේවය පසුදින සිට අත්හිටුවන ලදී. එම පියවර ගැනීමට ඔහුට ගෙදර දී මාර යුද්ධයක් කරන්නට සිදුවිය. එදින රැයේ ඔහුට නිරාහාරව සිටින්නට සිදු වූ අතර සතියක් පමණ ගතවෙනතුරු නගරයේ හෝටලයකින් කෑම කන්නට සිදුවිය.

ගාලූ නගරයට ආසන්න පාසලකින් වාර්තා වූ මෙම සිද්ධිදාමයේ යොදාගෙන ඇති පෞද්ගලික නාමය මනඃකල්පිතය. නමුත් සමාන්තරය.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment