සාගතයක් එනවාද? නැද්ද? ඇත්ත කියන්නේ කවුද?

116

කළමනාකරණය කරගත හැකි ප‍්‍රශ්නයකට හැප්පෙන දේශපාලඥයින් හා විද්වතුන්…!

”සාගතයක්” යන වචනය අතිශය ප‍්‍රබලය. මන්ද මෙරට මෙයට මාස තුනකට පෙර සිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයකු වූ මහාචාර්යවරයකුට සිය ලේකම් ධුරය අහිමි වූයේ මේ වචනය නිසාය. ඒ නිසාම කෘෂිකර්ම අමාත්‍යවරයා වන මහින්දානන්ද අලූත්ගමගේ හැම විටම ”කීයටවත් සාගතයක් එන්නේ නැති” බව කියන්නේය.

මහාවංශයේ ප‍්‍රථමවරට සාගතයක් ගැන දක්වා ඇත්තේ කාවන්තිස්ස රජුගේ කාලය වර්ණනා කරන විටය. අක්ඛක්ඛායික දුර්භික්ෂය හෙවත් බුළු කෑ සැය යනුවෙන් එහි දක්වා තිබේ. අටුවාවල දක්වා ඇත්තේ ගල් කෑමට සිදු වූ සාගතය යනුවෙනි. වලගම්බා රජු කළ ඇති වූ බැමිණිතියා සාගතය පිළිබඳව කියැවෙන්නේ ග‍්‍රන්ථ ඇසුරෙහිය.

ලංකාවේ පුස්කොළපොත් නාමාවලියේ දක්වන බැමිණිතියාසාය නම් වූ ග‍්‍රන්ථයක දක්වන පරිදි (ජාතික ලේඛනාගාරයේ 5/63/115/1) මෙම බ‍්‍රාහ්මණ ශාපය සිදු වූයේ එවකට දඹදිව විසූ මිලිඳු නම් රජුගේ අධර්ම ක‍්‍රියාවක් හේතුකොට ගෙනය. ඒ මිලිඳු රජු භික්ෂූන් වහන්සේලා නොසලකා හැර බමුණන් වටකොට ගෙන රාජ්‍ය විචාල කෙනෙකි. රජු හා විරසක වූ එක් බමුනෙක් රජ අණින් මරණයට පත් කරන ලද්දේය. ඒ බමුණාගේ භාර්යාව බැමිණි තෙම පතිවෘතාව ආරක්ෂා කළ කාන්තාවකි. ඇය කළ ශාපය නිසා දොළොස් අවුරුද්දක් යනතෙක් මහ පොළවට එක වැසි බිඳකුදු නොවැටුණ බව මේ ග‍්‍රන්ථයේ දක්වා තිබේ. එහෙයින් එය සාගත කාලයක් වූ බවද එහි සඳහන්ය.

මෑත අතීතයේ ලංකාවේ තිබී ඇත්තේ ආංශික සාගතයකි. 1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතයක් තිබූ බවත් තමන් එය අත්විඳි බවත් වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා ලිපියක් මගින් මාධ්‍ය වෙත කියා තිබිණි. ලෝක ආහාර අර්බුදය මෙන්ම 1970 සමගි පෙරමුණු රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති නිසාද ආහාර හිඟයක් බලපැවැත්වුණු බව ඔහුගේ ලිපියෙහි සඳහන් විය. එහි සඳහන් වූ තවත් තොරතුරු බිඳක් මෙලෙස උපුටා දක්වමි.

”එකල, හාල් පොලූ, මිරිස් පොලූ හේතුවෙන් හාල් ප‍්‍රවාහනය තහනම් කොට තිබුනේය. සතියට දින දෙකක් බත් කෑම තහනම් කරන ලදී. මඟුල් ගෙදරකට ආරාධනා කළ හැකිව තිබුණේ සීමිත පිරිසකට විය. පාන් ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලද්දේ සලාක ක‍්‍රමයකටය. මයියොක්කා, බතල පරිභෝජනයට බල කෙරුණි. සීනි හිඟය නිසා බොහෝ දෙනකු තේ බීමට හුඹස් මැටි සහිත හකුරු හෝ සක්කර යොදා ගත්හ. ග‍්‍රාමීය ප‍්‍රදේශවල මෙන්ම නාගරික ප‍්‍රදේශවල දුප්පත් ජනයා අතර මන්දපෝෂණය බහුල වූයේය.

ආංශික සාගත කාලයේ ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ට පවා ආහාර හිඟයට මුහුණ දෙන්නට සිදු වූහ. සලාක ක‍්‍රමයට ආහාර බෙදා හැරීම නිසා බොහෝ දෙනකු සමුපකාර මැනේජර්ලා මිතුරු කර ගන්නට වෑයම් දැරූහ. ඒ කාලයේ ළමුන් සවස සෙල්ලම් කරමින් සිටියද පාන්කාරයා ආ විගස පෝලිම්වලට දිව ගියේ පාන් ගැනීමටය. එක් අයකුට එක් පාන් ගෙඩියකි. එම නිසා නිවසේ සිටින කොල්ලා බල්ලා පවා පාන් පෝලිමේය.

මිනිසුන් කුණු බක්කි අවුස්සා කෑම සොයනවා මම දුටුවෙමි. එසේම සරස්වතී තෝසේ කඩය ඉදිරි පස තිබූ කුණු බක්කියේ තිබූ කෙසෙල් ලෙලි අනුභව කරන මිනිසුන් මම දුටුවෙමි. 1973 – 1974 කාලයේ සාගතයට අසුව ළමුන් 3000 – 5000 අතර ප‍්‍රමාණයක් අකාලයේ මරු දුටු බව මම සිතමි. වීදි දරුවන් වූ ඔවුන් ගැන කිසිම ආයතනයක් සංඛ්‍යාලේඛන තබා ගත්තේ නැත. විනාශව ගිය මෙම මනුෂ්‍ය කසළ ගැන අද දිනයේදීවත් කිසිවකු කතා නොකරති.” වෛද්‍ය එම්. රුවන් ජයතුංග මහතා එසේ ලියා තිබුණේ දෙදහස් දහසය වසරේ පෙබරවාරි දහඅට වැනිදාය. ඔහු කී පරිදි හැත්තෑ තුන හැත්තෑ හතර කාලයට සමාන කම් දක්වන ඇතැම් සිදුවීම් අදටත් සිදු වන්නේය. අද සීනි ගත හැක්කේ කිලෝවක් හෝ දෙකක් පමණි. පොල් ගෙඩි පහක් පමණි. හාල් කිලෝ පහක් පමණි. චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන්ද කියා සිටින්නේ අල බතල මඤ්ඤොක්කා කෑමට හුරුවන ලෙසය. එදත් අදත් බොහෝ සමානතා ඇති බව වෛද්‍යවරයාගේ ලිපිය හා සසඳන විට දැනෙන්නේය.

සාගතයක් එනවාද? නැද්ද? ඇත්ත කියන්නේ කවුද?

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා දෙදහස් විසිදෙකේ ජනවාරි මස විසිනව වැනිදා කියා සිටියේ, ”මේ රටේ ආහාර හිඟයක් ඇතිවන බවට වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරු කටයුතු කරමින් සිටින” බවය. ජනතාව මේ වන විට බුක්ති විඳිමින් සිටින්නේ පසුගිය යල කන්නයේ වී අස්වනු බවත් මහ කන්නයේ අස්වැන්න ඉදිරියේදී නෙළීමට ඇති බැවින් ආහාර හිඟයකට කිසිදු ඉඩක් නොමැති බවත් හෙතම තදින්ම කියා සිටියේය.

එහිදී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේද පැවසුවේය. ” ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාස විස්සක්ම රට පාලනය කරන්න වුණේ කොවිඞ් වංසගතයත් එක්කයි. සමාජ මාධ්‍ය බොහොමයක් බැලූවම දකින්නට තිබෙන්නේ හරියටම කොවිඞ් හැදිලා තියෙන්නේ ලංකාවේ විතරයි වගේ. මේ අය ළිඳේ ඉන්න මැඩියෝ වගෙයි. ලෝකයේ අනිත් රටවල කොවිඞ් හැදුණු ලෙඞ්ඩු නෑ වගේ තමයි මොවුන් හැසිරෙන්නේ. අද වන විට ලෝක ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා ඉන්නේ. ජනපතිවරයාගේ මූලික අරමුණු වුණේ සියල්ල පැත්තකට දමා ජනතාව ජීවත් කරවීමයි. අපේ රටේ ජනගහනය මිලියන විසි දෙක යි.

ඊට සාපේක්ෂව දැන් මරණ සංඛ්‍යාව අඩුයි. නොමැරී ජීවත් වීම තමයි වැදගත්ම දේ. ආණ්ඩුවක් හැටියට අපිට යම් අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. බඩු මිල වැඩියි. කොවිඞ්වලට කලින් පරිප්පු කන්ටේනර් එකක් ලංකාවට ගෙන්වන්න ගියේ ඩොලර් 600 යි. කොවිඞ් එකට පස්සේ ඩොලර් 2400 ක් යනවා. සියයට හාරසීයකින් නැව් ගාස්තු බඩු මිල ඉහළ ගිහින්. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිහින්. පසුගිය ආණ්ඩුව කාලේ තෙල් බැරල් එකක් ඩොලර් 19 යි. අද ඩොලර් 100 යි. මේ සියල්ලත් එක්ක ලෝක ආර්ථික අර්බුදයක් ඇති වෙලා. එන්නත්කරණය නිසා සියල්ල අපට යම් ප‍්‍රමාණයකට පාලනය කරගන්න හැකිවී තිබෙනවා. තව මාස කිහිපයකදී බඩු මිල අඩු කරලා ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න පුළුවන්.

එසේ කී අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ අතරමග අපූරු කතාවක් කියා සිටියේය. එය මෙසේය..

”රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂධූරයක් හොබවන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ප‍්‍රකාශ කර තිබෙනවා. එවැනි ආහාර හිඟයක් ඇති නොවන බව මම වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරනවා.

මේ රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරු පුනපුනා කිව්වා. ගොවියෝ කිව්වා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්නවා රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂවරයෙක්. ඒ මහචාර්යවරයා ඇවිත් කිව්වා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා. කිසිම ආහාර හිඟයක් එන්නේ නැහැ. තාම මේ රටේ මිනිස්සු කන්නේ ගිය කන්නේ අස්වැන්නෙන් ලබාගත් වී ටිකයි. මහ කන්නයේ අස්වැන්න නෙළන්න තිබෙනවා. නිෂ්පාදනයේ අඩුපාඩු තිබුණත් ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. මේවා සමාජ මාධ්‍ය මගින් හදන මතයි. සංචාරක ව්‍යාපාරය යම් ප‍්‍රවර්ධනයක් ඇති වෙලා. ආර්ථිකය හෙමින් හෙමින් දැන් යහපත් අතට පත් වෙමින් තිබෙනවා. වෙන දේ ඉදිරියේදී බලාගන්න පුළුවන්..” ඇමැතිවරයා කියා සිටියේය.

මෙවර රජය බලයට පත් කිරීමට මහත් වෙහෙසක් ගත්තේ රටේ බුද්ධිමත් බලමුළුය. විශ්වවිද්‍යාල වියතුන් එක්ව තැනූ වියත්මග ඔස්සේ රටේ ජනතාවට බුද්ධිමත් බවෙහි අගය සහ එවන් ගමන් මගක සාර්ථකත්වය පුන පුනා කියමින් රට ගොඩගන්නට වෙර දැරූ පිරිසට අද ඒ රජයේ මැති ඇමැතිවරු කතා කරන්නේ එලෙසය. ජනතාවට තිබෙන්නේ දැන් ඒවා අසා බලා කුස පුරවාගන්නටය.

පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ විද්වතුන් ඇතුළු රටේ විශ්වවිද්‍යාල රැසක විද්වතුන් රැසක් මේ වන විට රටේ පොහොර අර්බුදයත්, පාංශු පාලන ක‍්‍රමවේද සහ ආහාර සුරක්ෂිතතාවයත් පලිබෝධ පාලනය සහ කාබනික පොහොර භාවිතයත් පිළිබඳව දහසක් තොරතුරු ලබා දෙමින් නීති රීති අනපනත් රැකගැනීමේ මහ සටනක නිරතව සිටිති. ඒ අතරින් මහින්දානන්ද ඇමැතිවරයාගේ චෝදනාවට ලක් වූයේ යැයි යන සැකය මත රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂ ධුරය හොබවන විද්වතෙක් සෙව්වෙමි. මේ වන විට පොහොර සමාගමක අධ්‍යක්ෂධුර හොබවන අයකු නොසිටියද වසර දෙදහස් දහහතේ එවන් ධුරයක් හෙබවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළෙමි.

”මෙරට සාගතයක් ඇතිවන බවක් මා කිසි විට සඳහන් කළේ නැහැ. මොකද සාගතයක් එහෙමත් නැති නම් දුර්භික්ෂයක් කියන්නේ මහා විශාල ව්‍යසනයක්. ආහාර හිඟය නියඟය ඇතුළු පාරිසරික තත්ත්වයන් සමග මිනිසුන්ට ජීවත්වීමට කිසිදු ක‍්‍රමවේදයක් නොමැති වීම සාගතයක් විදිහට සලකන්න පුළුවන්. මා මේ මොහොතටත් ප‍්‍රකාශ කරන්නේ ආහාර අර්බුදයක් පැමිණෙන බව. හරි විදිහට විග‍්‍රහ කරනවා නම් ලෝක ආර්ථික අර්බුදයක් ඇති විට රටේ ස්වයංපෝෂිත ආහාර නිෂ්පාදනයක් සිදු නොවන්නේ නම් ආහාර හිඟයක් පැමිණීම අනිවාර්යයයි.

අපි අද ඉන්නේ සහල් ආනයනය කරමින් රටේ ආහාර අවශ්‍යතාවය පිරිමසන යුගයක. නව වගා ප‍්‍රතිපත්තියක් ඇති කර ගොවීන්ට සිය වගාව වෙනුවෙන් වන්දි ගෙවන යුගයක. ඩොලර් හිඟවීම මත නැව් වරායවල් අසල පෝලිම් ගැසී සිටින යුගයක. බුද්ධිය මෙහෙයවමින් අප බැලිය යුත්තේ මෙවන් අර්බුදකාරී තැනකට අප ඇදවැටුණේ කොහොමද කියන කාරණයයි.” මහාචාර්යවරයා කියා සිටියේය.

තවදුරටත් මහාචාර්යවරයා මෙලෙස කියා සිටියේය.

”රජය මේ ගෙන තිබෙන ප‍්‍රතිපත්තිමය තීරණ මත රට තුළ ආහාර හිඟයක් ඇතිවන බවට අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැහැ. ඊට අදාළ වන පෙරනිමිති දැන් පහළ වෙලා තිබෙන්නේ.

දැනටමත් මියෙන්මාරයෙන් සහල් ටොන් ලක්ෂ තුනක් ආනයනය කර තිබෙනවා. චීනයෙන් හාල් ටොන් මිලියනයක් ඒ කියන්නේ ලක්ෂ දහයක් ලබා දෙන්න කියා වෙළෙඳ අමාත්‍යවරයා මේ වන විට ඉල්ලීම් කර තිබෙනවා. මෙතනම සහල් ටොන් ලක්ෂ දහතුනක්.

අපේ රටේ සහල් අවශ්‍යතාවය ටොන් ලක්ෂ විසිතුනක් සහ විසිහතරක ප‍්‍රමාණයේ දෝළනය වෙනවා. මේ අනුව රටේ අවශ්‍යතාවයෙන් සියයට පනස් හතරක ප‍්‍රමාණයක් සහල් ආනයනය කිරීමට රජය මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඊටත් වඩා වැඩි විස්තරයක් ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ නැහැ ආහාර අර්බුදය ගැන. සහල් හිඟවන බව තේරුම් ගත් සැනින් රජය සහල් ආනයනයට සැලසුම් සකස් කොට වහා ක‍්‍රියාත්මක වී තිබෙනවා.

නමුත් හොඳින් මතක තබා ගතයුතු කාරණයක් තමයි රටේ ජනතාවට කන්න නැති වේගෙන එන විට කොහෙන්හරි සහල් ගෙනැත් රටේ ජනතාවට කන්න දෙන එක වගකිවයුතු රජයක යුතුකමක් වගකීමක්. ඒ වගකීම මේ රජය මේ මොහොතේ අරගෙන තිබෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. ශ‍්‍රී ලංකාව අතීතයේ කෘෂිකර්මාන්තයෙන් සහලින් ස්වයංපෝෂිත රටක්. පෙර රජ දවස ගැන කියන්න අවශ්‍ය නැහැ. අපි වසර දෙදහස් අට වන විට තිරසාර ලෙස සහලින් ස්වයංපෝෂිතව සිටියා. දේශගුණික කාලගුණික විපර්යාසවලට හොඳින් මුහුණ දුන්නා. මිනිස්සු බඩ පිරෙන්න කෑවා. කම්මැලි නැතිව ගොවිතැන් කළා. අද වගේ අහේනියක් අපට තිබුණේ නැහැ.

මේ රටට තමන්ගේ නිෂ්පාදන ගේන එක කාබනික වගාවකට යන එක නරකයි කියා මා කියන්නේ නැහැ. එය ඉතා හොඳ තත්ත්වයක්. අපේ දේ ඉදිරියට ගෙනියන්න ලැබීම රටේ ජනතාවගේ ජයග‍්‍රහණයක්. නමුත් වැරදි ප‍්‍රතිපත්තිමය සැලසුම් මත අද සිදුව තිබෙන්නේ අපේ තිබූ දියුණු කෘෂිකර්මාන්තය වළපල්ලට ඇදලා දැමීමක්. ඕනෑම සාමාන්‍ය පුද්ගලයකුට කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් සරල කාරණා කිහිපයක් පමණයි මා කියන්නේ.

අද වී වගාව සාර්ථක ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය පසුබිම ගොවියාට නැහැ. පොහොර ටික වෙලාවට නැහැ. වී බීජ වෙලාවට නැහැ. පලිබෝධ නාශක වෙලාවට නැහැ. මෙතන රසායනික කාබනික කතාව අමතක කර බලමු. ගොවිතැන සිදුවන්නේ සොබාවික චක‍්‍රයට අනුගතව. නිසි කලට පස පෙරළන්න අවශ්‍යයයි. නිසි කලට වී ඉහින්න අවශ්‍යයි. නිසි කලට පැල හදන්න අවශ්‍යයි. එවිටයි නිසි කලට හොඳ අස්වැන්නක් ලැබෙන්නේ. නමුත් මේ චක‍්‍රය අද වක‍්‍රව හෝ කණපිට පෙරළිලා. එහි ප‍්‍රතිඵලය අස්වනු හිඟ වීම. මෙය වී වලට පමණක් නොවෙයි හේන් ගොවිතැනට, එළවළු පළතුරු, පලා, අලබෝග ආදි සියලූ වගාවන්ට බලපෑම් ඇති කර තිබෙනවා. විශේෂයෙන්ම අසවල් පළාතේ පමණයි කියා නැහැ. උඩරට ද පහතරටද උතුරෙද දකුණෙද රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම වගාව හානි වෙලා. මේ හානිකර තත්ත්වයත් සමග ආහාර අර්බුදයක් නැති නම් ආහාර හිඟයක් එන්නේ නැති නම් එය ආශ්චර්යයක් විය යුතුයි.

කොහෙන් හෝ ගෙනැත් රටේ ජනතාවට කන්න දෙන එක හොඳයි. නමුත් ගැඹුරින් සිතා බලන්න. අපි අපේ ස්වයංපෝෂිත ආහාර නිෂ්පාදනය බිඳ දමලා කෘෂිකර්මාන්තය අනතුරේ හෙළා දමලා ගොවීන්ගේ අභිමානය බිඳ දමලා රටේ ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ කියමින් උදම් ඇනීමේ තේරුම කුමක්ද? මෙතන අදහස් දැක්වීමේ තර්ක බිඳ දමමින් ප‍්‍රකාශ පිට ප‍්‍රකාශ නිකුත් කරමින් ඉඳීමේ පලක් නැහැ. වගකීමෙන් කියන්න අවශ්‍ය වන්නේ දැන්වත් හොඳින් සිහි නුවණින් සිතා බලා රටේ ජනතාවගේ කුසට නිදහසේ ආහාරයක් ගන්න හැකි ප‍්‍රතිපත්තියක් නිසි ලෙස ක‍්‍රියාත්මක කරමු.”

අද සිදුවන්නේ එයද? යන්න සිතා බැලීමට දැන් කාලය පැමිණ තිබේ. පක්ෂ දේශපාලන ප‍්‍රතිපත්ත් රාජ්‍ය ප‍්‍රතිපත්ති බවට පරිවර්තනය වූ පසු ඒවා නිසි පරිදි කාලෝචිත ලෙස ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න විචක්ෂණශීලීව සිතා බැලිය යුතුය. කවුරුන් හෝ වුවද මේ රටේ ජනතාවගේ කුසට අහරක් ලබා දිය යුතුවන්නේ, නිරෝගී සම්පන්න ජීවිතයක් උදෙසාය. මන්ද මේ ජන ජීවිත සියල්ල නැවත රටේ සංවර්ධනය උදෙසා සිය කායික මානසික වෙහෙස කැප කරන නිසාය. ඊට පැහැදිලි සහ ක‍්‍රමවත් සැලසුම් අවශ්‍යය. ඒ වෙනුවෙන් කැපවෙන්නට ඇති තරම් බුද්ධිමතුන් මේ රටේ ඉන්න බවත්, පැහැදිලි ගමනක ගමන්ගන්නට කැමති පිරිස් ඕනෑ තරම් සිටින බවත් බලධාරීන් දැන් තේරුම් ගත යුතුය.

අද හීන වන කෘෂිකර්මාන්තය යළි ගොඩගන්නට අපමණ වෙහෙසක් දැරිය යුතුය. රටේ අනාගතය පිළිබඳව සැකෙවින් සිතන කල ආහාර හිඟයකට පැලැස්තර අලව අලවා සිටිනු විනා තව වසර තුනකට එපිට ආහාර සුරක්ෂිතතාවයක් පිළිබඳවත් අද වන විට පැහැදිලි තීරණයක් ගෙන නැති බව පමණක් පෙනෙන්නට ඇත්තේය. ජනතාවටත් මේ වග හරිහැටි දැනෙන්නේ කුසගින්නේ සිටින්නට සිදු වුවහොත් පමණි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment