සාගිනි අන්දරය

1222

ගෝලීය සාගිනි දර්ශකය (Global Hunger Index)  නමැති පර්යේෂණාත්මක ලේඛනයට අනුව ලෝකයේ බඩගිනිකාර රටවල් අතර 65 වෙනි ස්ථානය මේ අවුරුද්දේ ශ‍්‍රී ලංකාවට හිමිව ඇත. මේ ලේඛනයේ රටවල් 116 ක් තිබේ. මෙහිදී Global Hunger Index යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න ගැන කෙටියෙන් සඳහන් කළ යුතුය. මෙය රාජ්‍ය නොවන සංවිධානයකි. ලෝකයේ රටවල්වල සිටින බඩගිනිකාරයන්ගේ ප‍්‍රමාණය, ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වයන්, ආහාර හිඟය නිසා උසට සරිලන පරිදි බර වර්ධනය නොවීම යනාදිය ගැන මේ දර්ශකය පිළියෙල කරන අය සලකා බලති. මේ දර්ශකය පිළියෙල කිරීමේදී 100% ක් සංවර්ධිත රටවල් සේ සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, බි‍්‍රතාන්‍ය සහ යුරෝපයේ රටවල් ගණනාවක් අත්හරිනු ලැබේ.

කුසගින්න යනු කුමක්ද යන්න පිළිබඳව මේ එන් ජී ඕ එකට අර්ථකථනයක් තිබේ. මෙහිදී වැදගත් යමක් කිව යුතුය. ඇතැම් එන් ජී ඕ වලින් සත පහකට වැඩක් නැත. තවත් සමහර එන් ජී ඕ වල සමාජ සහ අධ්‍යාපනික වටිනාකම ඉතා ඉහළය. උදාහරණයක් වශයෙන් UNICEF ආයතනයේ සමාජ වටිනාකම ඉතා ඉහළය. UNESCO ආයතනයේ අධ්‍යාපනික වටිනාකම ඉතා ඉහළය. ඒ අතර රට රටවල ඇවිදිමින් හිර කාරයන් ගැන හොයන  AMNESTY INTERNATIONAL  ආයතනය බාගෙට භාගයක්ම කරන්නේ බොරුය. ලෝක සාමය ඇති කිරීම, යුද ගැටුම් නිමා කිරීම යනාදිය මූලික කරගත් රාජ්‍ය නොවන සංවිධාන විශාල ප‍්‍රමාණයක් යුරෝපයේ ඇත. ලංකාවේ වාර්ගික ප‍්‍රශ්නයට මැදිහත්වීම සඳහා ඔවුහු විශාල උත්සාහයක් ගනිති. මේ සංවිධාන අතරින් වැඩි හරිය පල් හොරුය. ඔවුන් කරන්නේ පල් බොරුය. එබැවින් ඔවුන් වෙතින් පල් ගඳ හමයි. ලෝක සාගිනි දර්ශකය මගින් සාගින්නට දී ඇති අර්ථකථනය මෙසේය. සාගින්න කියන්නේ බඩගින්න විතරක්ම නොවේ. ප‍්‍රමාණවත් තරම් ශරීරයට කැලරි නොලැබීමද සාගින්නය. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අදහසට අනුව ප‍්‍රමිතියෙන් අඩු ආහාර, පෝෂණයෙන් අඩු ආහාර, ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය වීම අඩුකරන ආහාර, ශක්තිය නොලැබෙන ආහාර, පුද්ගලයන්ගේ ලිංගික ශක්තිය සහ කායික ක්ෂමතාව පවත්වාගෙන යෑමට ප‍්‍රමාණවත් නොවන ආහාර, කිසියම් පුද්ගලයකුට හෝ ජාතියකට දිගින් දිගටම හෝ කඩින් කඩව හෝ සැපයෙන්නේ නම් එයද සාගින්නය.

මේ අනුව අප සාමාන්‍යයෙන් සාගින්න ලෙස හිතන දේ බොරුවක් බවට පත්වෙයි. සාගින්න ලෙස අප දකින්නේ ආහාර නැතිව බඩ හිස්වීමය. එසේ නම් කුමක් හෝ දෙයක් උගුර දිගේ පහළට බස්සවා බඩ පුරවාගත හැකිය. උදාහරණයක් වශයෙන් අප‍්‍රිකාවේ රටවල දුර්භික්ෂ කාලයට ඉතා තුනී කිරි මැටි වර්ගයකින් බිස්කට් සාදනු ලැබේ. මේ කිරි මැටි තුනී ලෙස අඹරා ඇල් වතුර සමග අනා බිස්කට් වල හැඩයට අතින් පැතලි කර අව්වේ වියළා ළමයින්ට කෑමට දෙනු ලැබේ. මෙය කෑමෙන් බඩ පිරේ. කිඹුලා කුසගින්නට කිරි මැටි ගිලීම සහ මෙය අතර වෙනසක් නැත. එහෙත් මේ ආහාරයෙහි කිසිදු පෝෂ්‍ය පදාර්ථයක් අඩංගු වී නැත. ලෝක සාගිනි දර්ශකයේ අඩංගු රටවල් 116 න් පළමු තැන හිමිවන්නේ බෙලරුස් නමැති රාජ්‍යයටය. සංවර්ධනය වන රටවල සාගිනි සංකල්පය අඩුම රට මෙයය. මෙම දර්ශකයේ පස්වෙනි තැන චීනයට හිමිවෙයි. නවවෙනි තැන කුවේට් රාජ්‍යයට හිමිය. එහි අර්ථය වන්නේ කුවේට් රාජ්‍යය තුළද බඩගිනිකාරයන් යම් ප‍්‍රමාණයක් සිටින බවය. කුවේට් රටේ තෙල් ඇති බැවින් ද ඒ තෙල් වලින් එන සල්ලි බහුල බැවින්ද කුවේටයේ සිටින ආරාබිකාරයන් තුන්වේලම බඩ පැලෙන තුරු කන බව අපගේ අදහස වේ.

අවසාන ඵලයේදී බලන විට පෙනී යන්නේ ඔවුන්ගේ ආහාර වේල කැලරි හෝ පෝෂ්‍ය පදාර්ථ වලින් එතරම් දුරට සංතෘප්ත වී නැති බවය. ලෝකයේ දියුණු රාජ්‍යයක් සේ සැලකෙන රුසියන් ෆෙඩරේෂනයට සාගිනි දර්ශකය තුළ 25 වැනි තැන ලැබී තිබේ. සෞදි අරාබියට ලැබී තිබෙන්නේ 29 වන තැනය. එනම් රුසියාවට වැඩි ඒක පුද්ගල ආදායමක් සෞදි අරාබියේ තිබුණද ඔවුන් අනුභව කරන්නේ පිදුරු හෝ තණ කොළ වැනි පෝෂ්‍ය පදාර්ථ අඩු ආහාර විය යුතුය. ගිය අවුරුද්දේ ශ‍්‍රී ලංකාව හිටියේ මේ ලේඛනයේ 64 වන තැනය. මේ අවුරුද්දේ එක පඩියක් ආපසු බසිමින් ලංකාව 65 වන තැනට බැස්සේය. ශ‍්‍රී ලංකාව තුළ කුසගිනි ප‍්‍රශ්නයට වඩා ආහාර ප‍්‍රශ්නයක් තිබේ. චූං පාන් සහ ෆ‍්‍රයිඞ් රයිස් වලට රටේ නාගරිකයෝ බිලිවී ඇත්තාහ. ඊළඟට, පාන්වලට සහ පෝෂ්‍යදායක නොවන ආහාරවලට ගම්බද බිලිවී ඇත. කන තරමට බඩ නොපිරීම නිසා මේ රටේ මිනිස්සු විවිධ රෝගවලින් පෙළෙති. එක්කෝ මේ රටේ කොටසකට ආහාරවලින් කැලරි නොලැබෙයි. නැත්නම් කැලරි සහිත ආහාර ගන්නා අයට ඒවා දවා ගැනීමට තරම් ඇඟ මහන්සි වී වැඩ කිරීමට තත්ත්වයක් නැති වෙයි. ශ‍්‍රී ලංකාව ප‍්‍රතිපත්ති බහුල රාජ්‍යයකි. එහෙත් කිසිදු පවුලකට ආහාර ප‍්‍රතිපත්තියක් නැත. එසේ ආහාර ප‍්‍රතිපත්ති නැති විට එක එක රාජ්‍ය නොවන සංවිධානවල සාගිනි ලේඛනයේ නම රෙජිස්ටර් කර ගැනීමට අපට සිදුවෙයි. සාගිනි අන්දරය මෙතකින් නිමයි.

advertistmentadvertistment