සාජන්ගේ කතාව සහ දරුවාගේ කතාව

1279

තඹුත්තේගම නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා ව්‍යාපාරිකයකු විසින් ගෙනෙන ලද රුපියල් දෙකෝටි විසි තුන් ලක්ෂයක් කොල්ලකෑමට පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු මෙල්ල කර ඔවුන් අත්අඩංගුවට ගත් තඹුත්තේගම පොලිසියේ සැරයන් බුද්ධි කුමාර පිළිබඳ කතාව මේ දිනවල ඉතා ප්‍රසිද්ධය. සාමාන්‍යයෙන් මෙවැනි වීරයෝ නගරයට වඩා ගම්වල බහුලය. මෙයට කලකට පෙර දියේ ගිලෙමින් සිටි පිරිසක් බේරා ගැනීම සඳහා සිය ඇඳුම පිටින්ම වැවකට පිනූ ආරක්ෂක අංශයක සෙබළකු ගැන අපට දැන ගැනීමට ලැබිණ. ඒ අතර බැංකුවක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයකු සමග පොර බදා ඔහුගෙන් වෙඩි කා මියගිය පෞද්ගලික ආරක්ෂක අංශයක සේවකයකු ගැනත් අපි කතාවක් ඇසුවෙමු. කොළඹ සිටින්නේ වීරයන් නොව නරඹන්නන් පමණි. ගමේ සිටින්නෝ නරඹන්නෝ නොව වීරයෝය. තඹුත්තේගම කොල්ලකරුවන් දෙදෙනා බුද්ධි කුමාර සාජන් මහත්තයාට වෙඩි තබා මරණ ලද්දේ නම් ඒ පාඩුව ඔහුගේ බිරිඳ හා දරුවන්ටය. එවැනි අවස්ථාවකදී සාජන් මහත්තයකුට එස්.අයි. කෙනකු ලෙස උසස්වීමක් ලබාදී එකී එස්.අයි. පඩිය මිය ගිය අයගේ බිරිඳට ලැබෙන්නට සලස්වනු ලැබේ. ඊට අමතරව එම පවුලට කිසියම් වන්දියක් ද ලැබෙනවා ඇත. එහෙත් පවුලේ ඡායාරූපයේ තාත්තාට හිමි තැන පිරවීමට කාටවත් කිසි කලෙකත් ඉඩ ලැබෙන්නේ නැත. එබැවින් සාජන් බුද්ධි කුමාර සම්බන්ධයෙන් කිසියම් විශේෂ පියවරක් ගෙන කටයුතු කිරීමට පොලිසිය ක්‍රියා කළ යුතු බව අපගේ වැටහීම වේ. එසේම මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඔහුට ස්තුතිය පුද කරමු.

 දින හතක් වයසැති තම පුතා රුපියල් පනස්දාහකට දරුකමට විකුණූ පියකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. එම දරුවා මිලදී ගත් කාන්තාව සහ විකිණීම සංවිධානය කළ බ්‍රෝකර් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවාගේ පියා අතුරුදන් වී ඇත. මෙවැනි පියකු ඇසුරෙහි හැදෙනවාට වඩා වෙනත් කෙනකු ළඟ හැදී වැදීමට ඇත්නම් මේ දරුවාගේ අනාගතය සුරක්ෂිත වන බව අපගේ වැටහීමය. දරුකමට හදාගැනීම සඳහා දරුවා මිලට ගත් කාන්තාව සම්බන්ධයෙන් අපි කිසිදු ද්වේශ සහගත ප්‍රකාශයක් නොකරමු. එම වැඩේ සංවිධානය කළ බ්‍රෝකර්ට නම් රිදෙන්නට දෙකක් දිය යුතුමය. සමහර වෙළෙඳාම්වල කිසියම් මානුෂික පැත්තක් තිබුණත් ඒවායේ වැඩි කොටස අමානුෂිකය. සමහරවිට මේ දරුවා සිය අලුත් මව යටතේ හොඳ පහසුකම් සහ වැඩි ආදරයක් ඇතිව හැදෙන්නට ඉඩ තිබිණ. බර්ටොල්ට් බ්‍රෙෂ්ට්ගේ (Bertolt Brecht) හුණු වටේ කතාව ද මීට සමානය. මහෞෂධ පණ්ඩිතයන්ගේ කතා පෙළ තුළද දාරක ප්‍රේමයට සම්බන්ධ කතන්දර තිබේ.

 ඉපදුන ගමන් දරුවන් මරා වළ දැමීම, පාළු තැනක එම දරුවා තබා මව සහ පියා අතුරුදන් වීම, දරුවන් විකිණීම යනාදිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලට අලුත් දෙයක් නොවේ. මෙබඳු සිද්ධි නිතර නිතර අපට දැන ගන්නට ලැබේ. මේ තත්ත්වයට අදාළ Breaking News කතාවක් මීට අවුරුදු හතළිහකට පමණ පෙර දිවයින පුවත්පත මගින් මුල් වරට හෙළි කරන ලදි. ඒ කතාව මෙසේය. මැද පෙරදිග රටකට ගෘහ සේවිකාවක ලෙස ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් එහිදී ගැබ්බර වී දැරියක ප්‍රසූත කළාය. එකෙනෙහිම දැරිය ද මව ද එරටින් පිටුවහල් කර මෙරටට එවන ලදහ. දැරිය ද සමග කටුනායක ගුවන් තොටුපළින් අලුයම් කාලයේදී ලංකාවට ඇතුළු වූ මව කටුනායක වන ලැහැබක දැරිය තබා සිය ගම් බිම් බලා ගියාය. එතනින් ගමන් කළ යුවළකට දරුවකු හඬනු ඇසිනි. දිමියන් වට කොටගෙන සිටි දැරිය වහා අතට ගත් එම යුවළ ඇය පිරිසිදුකොට වහා ගෙදර ගෙනගොස් කිරි පොවා පොලිසියට සහ උසාවියට ගොස් සිය පවුලේ නවතම සාමාජිකාව ලෙස ඇය කුලවද්දා ගත්තාය. මේ දැරිය එකල ප්‍රසිද්ධියට පත්වූයේ ඩුබායි බබා ලෙසය. කෙසේ වුවද දැරියට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන්නට පටන් ගත් විට එමගින් ඇයට සිදුවිය හැකි හානිය වටහාගත් මෙම පවුලේ උදවිය සිය දේපල සියල්ල විකුණා වෙන පළාතක පදිංචියට ගියහ. අද මේ දැරිය තරුණ විය ද ඉක්මවා මැදිවියට ගමන්කොට සිය මව්පියන් සහ සහෝදර සහෝදරියන්ද සිය දූ දරුවන් ද සමග කදිම ජීවිතයක් ගතකරනු ඇතැයි අපි උපකල්පනය කරමු. මේ කතාව පරිත්‍යාගශීලීත්වය පිළිබඳ ඉතාම කදිම කතාවකි. මෙවැනි කතා අදටත් නැවත නැවතත් සිදුවනවා ඇත. එහෙත් ඒ සියල්ල දරුවන්ගේ යහපත පතා අප්‍රසිද්ධියේ සිදුවන බැවින් කිසිවකුට ආරංචි නොවනවා ද ඇත.

 ළදරුවන් විකිණීම ජාවාරමකි. ඉන්දියාවේ සහ බංගලාදේශයේ ඇතැම් පළාත්වල ගණිකා මඩම්වල අයිතිකාරියෝ කුඩා දැරියන් මිලට ගෙන ලොකු මහත්කර ගණිකා වෘත්තියේ යොදවති. පියා විසින් සිය දියණිය ගණිකා වෘත්තියේ යෙදවීම පිණිස පාරවල් අයිනේ තබාගෙන සිටින අයුරු නේපාලයේ දිළිඳු නගරවලදී දැකගත හැකිය. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ තවමත් වර්ධනය වී නැත. එහෙත් ශ්‍රී ලංකාව යම් හෙයකින් එම දිශාවට ගමන් කරන්නේ නම් ඊට සම්බන්ධ අය අල්ලා ඔවුන්ගේ ඇට තැලීමට (මෙහිදී ඇට යනුවෙන් හඳුන්වන්නේ අස්ථීන්ය.) වගකිවයුත්තන් පියවර ගත යුතු බවට අපි යෝජනා කරමු. මානව හිමිකම් ගැන පස්සෙ බලාගන්නට බැරියැ.

advertistmentadvertistment
advertistmentadvertistment