අපේ මේ අත්භවය ඒ තරම් හොඳ බවක් නොපෙනේ. ශත වර්ෂයක පමණ කාලයක් තිස්සේ අපට අහන්නට ලැබුණේ නරක ආරංචි ය.
අපට හම්බ වුණ තරමක් හම්බ වුණේ සාම්ප‍්‍රදායික දේවදත්තලා ය. පරණ මොඞ්ල් එකේ අංගුලිමාලලා ය. නොඑසේ නම් වැල් දිරාගිය දුනු බැහැපු චිංචිමානවිකාවන් ය. නොඑසේ නම් කළ සොරකම මුළු ඇෙඟ්ම ගාගෙන අපේ ඇෙඟ්ත් ගාන හරන්තික සැම්පලයේ සොරුය. මේ අසාර්ථක සමාජය (Failed society) තුළදී අපට හමුවන ආනන්ද පොලිස් සාජන් මහත්තයා (48176) ලංකාවේ පොලිසියට හෝ මේ රටේ ජන සමාජයට අයිති නැති අමුතුම මිනිහෙකි. ඉකුත් ඉල් පුන් පොහෝදා කිරිබත්ගොඩ පදිංචි කාන්ති පෙරේරා අනුරාධපුරේ ගියේ ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමටය. ඇය අතේ වූ පසුම්බියක රුපියල් දස ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ ද (අද රන් මිල ගණන් අනුව කැරට් 22 පවුම් 9 ක් පමණ) රුපියල් හාරදාහක පඬුරු සහිත පසුම්බියක් ද තිබිණ. කෙසේ හෝ වේවා බෝමැඬ අසලදී කාන්තිට මේ ටික අමතක විය.
මෙවැනි අවස්ථාවලදී කාන්තාවෝ ගිනි ගනිති. ඒ ගින්න නිවීමට ඉදිරියට එන්නේ අනුරාධපුරේ උඩමළුව පොලිසියේ ආනන්ද සාජන් මහත්තයා ය. කාන්තිගේ සියලූ ධනය විනාඩි 45 ක් ඇතුළත ආනන්ද සාජන් මහත්තයා විසින් සොයාදෙන ලදී. කිරිබත්ගොඩ සිට අනුරාධපුරයට එන කාන්ති එසේ එද්දී තමන්ගේත් දරුවන්ගේත් රත්තරන් බඩු සියල්ල බෑග් එකක දමාගෙන එන්නේ පිස්සුවට නොව සොර බිය නිසාය. ආපසු ගෙදර යනවිට තම පවුල සතු රන් මාල තුනක්, මුදු අටක්, කරාබු කුට්ටම් හයක් සොරුන් විසින් ගේ බිඳ පැහැරගෙන යනු ඇතැයි ඇය සැක කළාය. ආනන්ද සාජන් මහත්තයා මේ බඩු ආපසු භාර දෙන්නේ කරාබු බෝලයක අඩුපාඩුවක් නැතුවය.
සුදුලූනුවලින් හොරකම් කරන, නැනෝ යූරියාවලින් ගසාකන, පොහොරවලින් වංචා කරන රටක විනාශය නමැති සාධකය ස්වකීය අභිවෘද්ධිය සඳහා යොදාගනු ලබන මිනිසුන් අතර ආනන්ද සාජන් මහත්තයා ඉතා විසිතුරු චරිතයක් විය යුතුය. පොලිසියේ ලොකු පඩි ඇත්තේ ලොක්කන්ට පමණි. පොඞ්ඩන්ට ලැබෙන්නේ හිඟන පඩිය. කොස්තාපල්ලාත් සාජන්ලාත් පගා ගසන්නේ යැයි කියමින් අපි විශාල හඬක් මුදාහරින්නෙමු. මේ පොඩි මිනිසුන් වැඩිම වුණොත් පගා වශයෙන් ගන්නේ බුලත් විටකි. මාළු පාන් ගෙඩියකි. ප්ලේන්ටියකි. කසිප්පුකාරයකුගෙන් නම් සාධාරණ ගාණක් කපාගත හැකිය. කුඩු වෙළෙන්දකුගෙන් නම් අසාධාරණ ගාණක් කපාගත හැකිය. එහෙත් සිල්ලර කඩකාරයන් හෝ මාළු වෙළෙන්දන් තරමට කුඩු වෙළෙන්දන් සහ කසිප්පු වෙළෙන්දන් බහුල නැත. එසේ තිබියදීත් මිනිස්සු පුවක් කෑල්ලක් පගාව ගත් පොලිස්කාරයාත් එල්ලූම්ගස් ඇරිය යුතු බව කීමට කට හදාගෙන සිටිති.
එවැනි දුෂ්කර තරගකාරී ලෝකයක ජීවත්වන ආනන්ද සාජන් මහත්තයාට මේ රත්තරන් බඩු ටික සඟවාගන්නට හැකිවී නම් ඔහු ඉදිරිපිට දැනට තිබෙන ආර්ථික ප‍්‍රශ්නවලට කිසියම් උත්තරයක් ලබාගැනීමට හැකිව තිබිණ. එහෙත් අද ඔහු ගෙදර ගොස් නිදාගන්නේ කිසිදු අපරාධයකට සම්බන්ධ නැති නිදහස් මිනිසකු ලෙස මිස අතට ආ කුරුල්ලා මුදාහළ (මෙය පරණ උපමාවකි. අලූත් දේවල් නැතිව මෙවැනි පරණ දිරාගිය උපමා පාවිච්චි කිරීම ගැන සමාව ඉල්ලමු.) මෝඩයකු ලෙස නොවේ.
ශ‍්‍රී ලංකාවේ සොරකම් සහ අපරාධ ක‍්‍රමානුකූල ලෙස ඉහළ යමින් පවතී. World Data Atlas නමැති අන්තර්ජාල මගපෙන්වීමට අනුව වසර 2018 දී මේ රටේ සෑම ලක්ෂයකටම 38 දෙනෙක් සොරකමකට ලක්වූහ. මේවායින් වැඩිහරිය ගෙවල් බිඳුම් ය. ජනගහනයෙන් සෑම ලක්ෂයකටම පහළොස් දෙනෙක් මංකොල්ලකෑමකට ලක්වූහ. එසේම කාන්තා ජනගහනයෙන් සෑම ලක්ෂයකටම එකොළොස් දෙනෙක් දූෂණය කරන ලද්දාහ. මෙවැනි අපරාධ වර්ග ගණනාවක් මේ රටේ තිබේ. සාපරාධීත්වය යනු බුදුන් වහන්සේ දේශනා කළාක් මෙන් එදත් තිබිණ. අදත් තිබේ. හෙටත් තිබෙනවා ඇත. මිනිහකු අපරාධයක් කරන්නේ නිකන්ම නොවේ. එයට සමාජ දේශපාලන සහ ආර්ථික පෙළඹවීමක් තිබිය යුතුය. කිසියම් නරුමයෙක් හොරකමක් කළාට දේශපාලනඥයන් මොනවා කරන්නදැයි මෙහිදී කෙනෙක් ප‍්‍රශ්න කරනු ඇති. සමාජය සහ ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ දේශපාලනය විසිනි. ඒ නිසා සමාජය තුළ හටගන්නා සෑම ව්‍යසනයක් සම්බන්ධයෙන්ම දේශපාලනඥයාට ද වගකීමක් තිබේ. සාජන් ආනන්ද ද මෙකී දේශපාලන, සමාජ සහ ආර්ථික පෙළඹවීම තුළ සිටින ජීවියෙකි. එහෙත් ඒ පෙළඹවීමට හසුනොවන ඔහු
පටිසෝතගාමි හෙවත් රැඩිකල් ගමනක් ගොස් ඇත. ඒ ගමන කෙළවර ආර්ථික සම්පත් නැත. මානසික සංතෘෂ්ටිය පමණක් ඇත. සාජන් ආනන්ද සාජන් නල්ලතම්බි නොවීම ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයකි.