අනුලා විජේසූරිය හුණුපිටිය නාහේන ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය විවාහක දෙදරු මවකි. උසස් අධ්‍යාපනයක් ලබා ඇති ඇය රජයේ ප‍්‍රධාන ආයතනයක සහකාර කළමනාකරුවකු වශයෙන් සේවය කළාය.
දෙව්මිණි ඇයගේ බාල දියණියයි. පාසල් යන කාලයේ පටන් ඇය පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියාය. ඒ එම ප‍්‍රදේශයේම තරුණයකු සමගින්ය.
කලක් ගත වෙද්දී ඇයගේ දෙමව්පියෝ එම පෙම් සම්බන්ධතාවය ගැන දැන ගත්හ. එලෙස දැනගත් ඔවුන් ඇයට කියා සිටියේ වහාම එය නවතා දමන ලෙසයි. එහෙත් දෙමව්පියන් කොතරම් පවසා සිටියත් ඇය එම සම්බන්ධතාවය නවතා දැමූවේ නැත. ඇයගේ අධ්‍යාපන කටයුතු පවා ඇනහිටියේ එම සම්බන්ධතාවය නිසාය. අනුලා ජ්‍යෝතිෂය සහ යන්ත‍්‍ර ගුරුකම් කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටි තැනැත්තියක් වූවාය. ඇය දන්නා කපු මහතුන් කිහිප දෙනෙකුම ලවා ගුරුකම් පවා කර ගත්තේ තම දියණියගේ සම්බන්ධතාවය නවතා ගැනීම සඳහාය. එහෙත් ඒ කිසිවකින් පලක් වූයේ නැත. අවසානයේ එම දියණිය තමා පෙම්වතා සමඟ හොර රහසේ පැන ගියාය. දියණියට ඇති සෙනෙහෙවන්ත කමත්, සමාජයට මුහුණ දීමට නොහැකි වීමත් යන ප‍්‍රධාන කාරණා දෙක නිසා ඇය තම දියණිය යළි නිවසට ගෙන්වාගෙන නීත්‍යානුකූලව එම තරුණයාට විවාහ කර දුන්නාය. එහෙත් තම බෑනාට ඇය කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත. විවාහයෙන් පසු ඇයගේ දියණිය ස්වාමිපුරුෂයා සමඟ වෙනම ජීවත් වූවාය. විවිධ අගහිඟකම් මැද වුව ද ඔවුන් දෙදෙනා ඉතා සතුටින් කාලය ගත කළේය. වසර පහක් පමණ එලෙස ගත විය. පසුගිය දිනක අනුලා තමන් දන්නා හඳුනන ජ්‍යොතිෂවේදියකු වෙත තම විවාහක දියණියගේ හඳහන රැගෙන ගියාය. ඒ ඇයගේ ඉදිරි ජීවිතය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහාය. එලෙස ගිය ඇයට ජ්‍යොතිෂවේදියා පැවසුවේ මෙවැනි දෙයකි.
”මේ දැරිවිය හරිම වාසනාවන්තයි. හැබැයි අපල බාධක ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි ඇය නිවැසියන්ගේ කීම නොතකා විවාහයක් සිදු කර ගත්තේත්. ඒ වගේම ඇයට මාරක අපලයකුත් තියෙනවා.”
”අවුරුදු 25 වෙන්න කලින් කුසේ දරුවකු පිළිසිඳ ගතහොත් ඒකාන්තයෙන්ම ඇය මිය යනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. හොඳම දේ තමයි අවුරුදු 25 වෙනකම් ඇයට දරුවකු හදන්න එපා කියන එක. එහෙම කළොත් ඇයගේ අපලත් අවසන් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්නත් පුළුවන් වෙනවා.”
ජ්‍යොතිෂ්‍යවේදියාගේ අනාවැකිය අසා ඇය බලවත් සේ කම්පා වූවාය. නිවැසියන්ට ද ඇය ඒ ගැන පැවසුවාය. ඔවුන් ඇයට පැවසුවේ ඔය බොරු මනස්ගාත විශ්වාස නොකරන ලෙසයි. එහෙත් ජ්‍යොතිෂය ගැන දැඩි විශ්වාසයකින් සිටි ඇය ජ්‍යොතිෂවේදීයාගේ අනාවැකිය සිතින් බැහැර කළේ නැත. නිරන්තරයෙන්ම ඇය කල්පනා කළේ තම දියණියව එම මාරක අපලයෙන් ගලවා ගන්නේ කෙසේද කියාය. වරින් වර ඇය තම දියණියට ජ්‍යොතිෂවේදියා පැවසූ අනාවැකිය මතක් කර දෙමින් පැවසුවේ අවුරුදු 25 වෙනකම් දරුවකු සෑදීමට නොයන ලෙසයි. ජ්‍යොතිෂය ගැන අබ මල් රේණුවකවත් විශ්වාසයක් නොතිබූ ඇය උගත් කාන්තාවක් වන තම මව ජ්‍යොතිෂය ඉදිරියේ කොතරම් අන්ධයෙකු වී ඇත් ද යන්නය පිළිබඳව සිතා යටි සිතින් සිනාසුණාය.
මාස කීපයක් එලෙස ගතවිය. ඒ කාලය අතරතුර එම තරුණිය ගැබ් ගත්තාය. ඇය එය දැනගත් පසු තම මවට පවසන්නේ කෙසේද කියා දින කිහිපයක් කල්පනා කළාය. එයට ප‍්‍රධානම හේතුව වූයේ තම මව ජ්‍යොතිෂ අනාවැකිය තදින්ම විශ්වාස කරගෙන සිටින නිසාය.
”හැමදාම මෙය මව ගෙන් වසන් කරගෙන සිටීමට නොහැකිය. යම් කිසි දිනක ඇයට මේ බව පැවසිය යුතුය. එම නිසා මව කුමක් සිතුවත් කමක් නැත. අදම අම්මට මේ බව කියනවා.” එලෙස සිතු ඇය තම මවට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවාය.
”අම්මා, කොහෙද ඉන්නේ.”
”මම ඔෆිස් එකේ ඉන්නේ.”
”අම්මත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද දැන්.”
”ඇයි මොකක් හරි කරදරයක් ද?.”
”නැහැ නැහැ කරදරයක් නොවෙයි. සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා. ඒකයි කෝල් කළේ.”
”මොකක්ද? ඉක්මනට කියන්න බලන්න මටත් ආසයි දැනගන්න.”
”අම්මා, මමත් අම්මා කෙනෙක් වෙන්න යනවා.”
”උඹට පිස්සුද?”
”ඇයි අම්මෙ එහෙම කියන්නේ. සතුටුදායක දෙයක් කියපුවහම.”
”ඒක කොහොමද සතුටුදායක දෙයක් වෙන්නේ.”
”මට ඒක ගොඩක් සතුටු දෙයක්. මම හිතුවේ අම්මත් ඒක අහලා ගොඩක් සතුටු වෙයි කියලා.”
”සතුටු වෙන්න මම. මතක නැද්ද අර ජ්‍යොතිෂවේදීයා කියපු අනාවැකිය. අවුරුදු 25 ට කලින් ළමයෙක් හැදුවොත් ඒකාන්තයෙන්ම උඹ මැරෙනවා කියපු එක. ඒකනේ මම කට කැඩෙනකන් කීවේ දැම්ම දරුවෙක් හදන්න එපා කියලා. කෝ තියෙන දාංගලයට උඹ ඇහුවද ඒක.”
”අනේ අම්මේ ඕව බොරු මනස්ගාත. අද කාලේ කවුද ඕවා විශ්වාස කරන්නේ.”
”අනේ මේ නිකන් ඉන්න. ඒ මනුස්සය කියපු සේරම අනාවැකි හරි ගිහිල්ලා තියෙන්නෙ.”
”දැන් ඔය මනස්ගාතවලින් වැඩක් නැහැ. කුසට ආපු දරුවා හදා ගන්නවා මිසක්.”
”උඹ කවදාවත් අපි කිව්ව එවා ඇහුවේ නැහැ. ඒකනේ ඔය ගැලපෙන්නෙ නැති කසාදයක් කරගෙන ජීවිතයත් විනාශ කර ගත්තේ.”
”කොහෙද මම ජීවිතේ විනාශ කරගත්තේ. අපි සතුටින් ඉන්නවා.”
”අනේ යන්න. මම දන්නවනේ උඹලගෙ සතුට. මට ඒකෙන් වැඩක් නැහැ. ඔය ළමයව හදන්නේ නැහැ. ඒක තමයි මගේ තීරණය.”
”අනේ අම්මේ එහෙම කියන්න එපා.”
”ජීවිතයට පොඩි හරි ආදරයක් තියෙනවා නම් උඹ ඒකට කැමති වෙන්න ඕනා.”
අවසානයේ මවගේ සහ දියණියගේ දුරකථන සංවාදය එලෙස අවසන් විය.
අනුලා එදින නිවසට පැමිණියේ පිස්සියක් මෙන්ය. එලෙස පැමිණි අය නිවැසියන්ට තම දියණිය ගැන පවසා ඉදිරියේදී ඇයට අත්විඳින්නට සිදු වන දෙය ගැන ද යළි මතක් කළාය.
”කුමක් හෝ කර දියණියගේ කුසේ සිටින දරුවා නැති කර දැමිය යුතුය. එසේ නොවුණොත් ඇයට අනිවාර්යෙන්ම අකාලයේ මිය යෑමට සිදුවෙනවා. මොකද ඒ මනුස්සය කියපු කිසි දෙයක් වැරදිලා නැහැ තවම. ඒක නිසා කෙල්ලව බේරගන්න නම් මේකට මොකක් හරි කරන්න වෙනවා.”
නිවැසියන්ට එලෙස පැවසූ ඇය යළිත් වරක් තම දියණිය ගැන අනාවැකිය පැවසූ ජ්‍යොතිෂවේදියා මුණගැසීමට ගියාය.
යළිත් වරක් එම තරුණියගේ හඳහන පරීක්ෂා කළ ජ්‍යොතිෂවේදීයා ඇයට මෙලෙස පැවසුවේය.
”මම එක පාරකුත් කිව්වනේ නෝනා දැරිවිය පරිස්සම් කරගන්න කියලා. අවුරුදු 25 වෙනකම්. බලන්න දැන් වෙලා තියෙන දේ. ඔය කුස තුළට දරුවා ආවෙ හොඳකට නොවෙයි. කෙලින්ම මාරකය. ආයි කාටවත් වක්වන්න බැහැ.”
”දැරිවිය බේරගන්න ඕන නම් දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. ඔය කළලය විනාශ කරල දාන එක. නැත්නම් මොන ජගතෙකුටවත් ඔය දැරිවිය බේරගන්න බැහැ. කරන්න ඕන දේ මම කිව්වා. නෝනා කල්පනා කරලා බලලා තීරණයක් ගන්න.” එදින නිවසට පැමිණි ඇය ඒකාන්ත වශයෙන්ම තම දියණියගේ කුසෙහි ඇති දරු ගැබ විනාශ කරන බවට තීරණය කළාය. තම නිවැසියන්ව ද ඒ සඳහා ඇය කැමැති කරවා ගත්තාය.
එතැන් පටන් ඉතා සූක්ෂම ලෙස තම දියණියගේ දරුගැබ විනාශ කිරීම සඳහා ඇය සැලසුම් කළාය. ඒ සඳහා අවශ්‍ය බෙහෙත් පෙති කිහිපයක් වත්තල ප‍්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ඇය මිලදී ගත්තාය. එලෙස බෙහෙත් පෙති මිලදීගෙන දින කිහිපයකට පසුව එනම් පසුගිය 15 වැනිදා වෑන් රථයකින් තවත් පුද්ගලයන් දෙදෙනකු සමග ඇය තම දියණිය පදිංචි නිවස වෙත ගියහ. එම අවස්ථාවේදී නිවස තුළ සිටියේ ඇයගේ දියණිය පමණි.
ඇය තම දියණියට පැවසුවේ හදිසි ගමනක් යෑම සඳහා ඉක්මනින් සූදානම් වන ලෙසයි. තම මවගේ කීමට අවනත වූ ඇය හැකි ඉක්මනින් සූදානම් වූවාය. ඒ අතර ස්වාමි පුරුෂයාට ද දුරකථන ඇමතුමක් ලබාදී ඇය තම මව සමඟ එළියට යන බව පැවසුවාය.
මව සහ පැමිණි අනෙක් දෙදෙනා සමග ඇය ද වෑන් රථයට ගොඩ වූවාය. එලෙස ගොඩ වී මද දුරක් ගිය පසු ඇය මව ගෙන් මෙලෙස විමසුවාය.
”අම්මේ කොහෙද මේ අපි යන්නේ.”
”ඒක වැඩක් නැහැනෙ. ඔයා මාත් එක්ක යන්න එන්න.”
”ඉතින් කියන්න මට යන තැන.”
”ඔයාව මරන්න එක්ක යනවා නොවෙයි. ඒක නිසා කට වහගෙන යමු.”
”මරන්න එක්කන් යන් නැති බව දන්නවා. ඒත් යන තැනක් කියන්න.”
”අපි යන්නේ කෑගල්ලට.”
”ඒ මොකටද ? එකපාරටම.”
”මේක ඔයාගේ හොඳට කරන වැඩක්. ඒක නිසා ගියහම බලාගමු. දැනට ඔය විස්තර ටික ඇතිනේ.”
පැය කිහිපයක ගමනකින් පසු කෑගල්ල ප‍්‍රදේශයේ එක්තරා නිවසක් ඉදිරිපිට එම වෑන් රථය නතර කළේය. වෑන් රථයෙන් බැසගත එම පිරිස නිවෙස තුළට ගියහ. නිවෙස තුළට ගිය පසු අනුලා තම දියණියට මෙලෙස පැවසුවාය.
”දුවේ මම ඔයාව මෙහෙට එක්කන් ආවේ ඔයාගේ හොඳට. ඒක නිසා මම කියනදේ අහලා දවස් දෙක තුනක් මෙහෙ ඉන්න ඕනා.”
”මගේ හොඳකට. දවස් දෙක තුනක් මෙහෙ නවතින්න මොනවා කරන්නද?.”
”ඔයාට මතකනෙ අර ජ්‍යොතිෂවේදී කියපු දේ.”
”ඉතින්.”
”ඔය දරු කළලය අපි විනාශ කරමු. එහෙම නැති වුණොත් ඔයාව මැරෙයි. මට බැහැ ඔයාට මැරෙන්න දෙන්න.”
”ඇත්තටම අම්මේ ඔයාට පිස්සුද? කොහෙවත් යන මිනිහෙක් කියපු දේකට මගෙ දරු පැටියාව විනාශ කරන්න. ඒකට මම කොහොමත් ඉඩ දෙන්නේ නෑ. මට ගෙදර යන්න දෙන්න.”
”ඔයා එදා ඉඳන් මම කියපු දේ ඇහුවේ නැහැ. මේ පාරවත් මං කියන දේ අහන්න . ඔයාගේ හොඳට මම කියන්නේ.”
”අම්මට තරම් මට පිස්සු නැහැ. මම ඒ දරු පැටියා විනාශ කරන්නේ නැහැ.”
”මේ පාර හොඳින් බැරි නම් නරකින් හරි මම මේක කරනවා. ඔයා අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. මම සේරම ලෑස්ති කරලා තියෙන්නෙ.”
තම දියණියගේ බලවත් අකැමැත්ත මත දරු කළලය විනාශ කර දැමීමට ඇය කටයුතු කළාය. වත්තල ප‍්‍රදේශයෙන් මිලදී ගත් බෙහෙත් පෙති කිහිපයක් බලහත්කාරයෙන් එම තරුණියට පෙව්වාය. එතනින් නොනැවතුණු ඇය තම දියණියගේ යෝනි මාර්ගයට ද පෙති කිහිපයක් දැමුවාය.
බලහත්කාරයෙන් දරු කළලය විනාශ වීමට බෙහෙත් දුන් ඇය තම දියණියව දින පහක් එම නිවස තුළ සිර කර ගෙන සිටියාය. පස් වැනි දින තම මව එම නිවසේ නොසිටි අවස්ථාවක ඇය එම ස්ථානයෙන් පැන ගත්තාය. එලෙස පැනගත් ඇය කෑගල්ල නගරයට පැමිණ තම ස්වාමිපුරුෂයාට දුරකථන ඇමතුමක් ලබාගෙන සිදු වූ සියල්ල පැවසුවාය. දුරකථන ඇමතුමට අනුව පැය කිහිපයකට පමණ පසු කෑගල්ල නගරයට පැමිණි ඔහු තම බිරිඳ රැගෙන කෙලින්ම පෑලියගොඩ පොලිසියට පැමිණියේය. එලෙස පැමිණි එම තරුණයා තම බිරිඳගේ මව සිදු කළ අපරාධ ගැන සියල්ල පවසා පැමිණිල්ලක් දැමුවේය. පසුව පෑලියගොඩ පොලිසිය විසින් එම පැමිණිල්ල විභාග කිරීම සඳහා කිරිබත්ගොඩ පොලිසියට අවසර ලබා දෙන ලදී. පරීක්ෂණ පැවැත්වූ කිරිබත්ගොඩ පොලිස් නිලධාරීහු සැකකාර ස්ත‍්‍රියව අත්අඩංගුවට ගත්හ. ඒ දරු ගැබ විනාශ කිරීමේ සහ තම දියණිය බලහත්කාරයෙන් රඳවා ගැනීමේ චෝදනාව මතයි. එලෙස අත්අඩංගුවටත් ගත් රජයේ ප‍්‍රධාන ආයතනයක සහකාර කළමනාකාරියක වශයෙන් සේවය කරන එම සැකකාර ස්ත‍්‍රිය මහර අධිකරණයට ඉදිරිපත් කළේය.
ජ්‍යොතිෂවේදියෙකු පැවසූ අනාවැකියකට තම දියණියගේ කුසෙහි සිටී දරුවා මැරීමට තරම් මෙම සැකකාර ස්ත‍්‍රිය පෙළඹුණේ දියණියට තිබූ ආදරේ නිසාද නැතහොත් ජ්‍යොතිෂයට තිබුණු බිය නිසාද යන්න පිළිබඳව අපි හරියාකාරව නොදන්නෙමු. එහෙත් එකක් පැවසිය යුතුය. සමහර ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි විශ්වාස කරමින් මෙවැනි තකතීරු වැඩ සිදු කරන්නේ මොළේ කළඳක්වත් නැති තිරිසන් සතුන්ටත් වඩා අන්ත මිනිසුන්ය.
– ගයාන් සමරසිංහ