සාපෙළ විශිෂ්ටයෝ අගමැති හමුවෙති

149

2020 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගනිමින් දිවයිනේ ඉහළම ප‍්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස්දෙනා සහ ඉතිහාසයේ පළමු වතාවට විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් දෘශ්‍ය ආබාධ සහිත දරුවන් දෙදෙනෙක් ඊයේ (22දා) පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

 මෙසේ තමන් හමුවීමට පැමිණි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප‍්‍රතිඵල ලැබූ දරුවන් සමඟ සුහද කතාබහක නිරත වූ අග‍්‍රාමාත්‍යතුමා, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ විමසමින් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුභාශිංසන එක් කළේය.

 මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සයුරන්ගි තරුෂිකා දෙව්මිනි පේ‍්‍රමසිරි, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආර්. පහන්මා උපනි ලෙනෝරා, හොරණ ශ‍්‍රීපාලි මහා විද්‍යාලයේ ආර්. ඔෂධී සන්දීපා, රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ශ‍්‍රීමාතුරෙයි සින්තනාචෙල්වන් සහ කඳාන ද මැසිනද් විද්‍යාලයේ ඞී. නිපුන් දිනුක අධිකාරි යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙලෙස සාමාන්‍ය පෙළ දිවයිනේ ඉහළම ප‍්‍රතිඵල ලැබූවන් ලෙස අග‍්‍රාමාත්‍යතුමා හමුවූහ.

 ඉතිහාසයේ පළමු වතාවට දෘශ්‍ය සහ කායික ආබාධ සහිත දරුවන් තිදෙනෙකු විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගෙන ඇති බව එම දරුවන් දෙදෙනෙකු අග‍්‍රාමාත්‍යතුමාට හඳුන්වාදෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහි දී පැවසීය.

 මෙලෙස විශිෂ්ට සාමාර්ථ 9 ලබාගත් රත්මලාන අන්ධ විද්‍යාලයේ බ‍්‍රයන් කිංග්ස්ටන් සහ මඩකලපුව ශිවනන්ද විද්‍යාලයේ පාලක‍්‍රිෂ්ණන් පිරසෝපන් සිසුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසූ අග‍්‍රාමාත්‍යතුමා, ඔවුන්ගේ දක්ෂතාවයට සුබ පැතුම් එක් කළේය.

 මෙම අවස්ථාවට එක්වීමට නොහැකි වූ විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් උපතින්ම කායික ආබාධ සහිත මාතර, බබරැුන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ දෙව්මි රන්සාරා රාජපක්ෂ දියණිය ද මෙහි දී සිහිපත් කෙරිණි.

 අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, අග‍්‍රාමාත්‍ය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ප‍්‍රියන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


advertistmentadvertistment