සාමකාමී උද්ඝෝෂණ සඳහා පොලිසියේ මර්දනකාරී පිළිවෙත  ඕමල්පේ හිමියෝ හෙළා දකිති

160

රජයට එරෙහිව රට පුරා සාමකාමීව, උද්ඝෝෂණ සහ අරගල සිදුවන අවස්ථාවක දැඩි මර්දනකාරී පිළිවෙතක්  අනුගමය කරමින් පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය දැඩිව හෙළා දකින බව රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ “දිවයින” ට ඊයේ (04 දා) ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තු පිවිසුම අසල දී ඊයේ (04දා) රජයට එරෙහිව සාමකාමී විරෝධතාවක නිරතව සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.

රට පුරා තරුණ පිරිස් රජයට ඉවත්ව යන ලෙස කරන මෙම අරගල ව්‍යාපාරය ඉතාමත් සාධාරණයි. මෙවන් ආකාරයෙන් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිසිය පියවර ගතහොත් රට තුළ වෙනස් ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගතවිය හැකියි.

මේ උද්ඝෝෂණයේ යෙදී සිටි කාන්තා පුරුෂ දෙපක්‍ෂයේම පිරිසෙන් 13 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රට වටේම රජයට විරුද්ධව අරගලයේ යෙදී සිටින පිරිස් අත්අඩංගුවට ගැනීමේ මූලික පියවර පාර්ලිමේන්තුව පිවිසුමේදී සිදු වුණාද කියන සැකය තිබෙනවා.

අපි මහා සංඝරත්නය හැටියට පොලිසියට සහ නීතිය කරවන අයට අවවාද කරනවා රජයට එරෙහිව රට පුරා සිදුවන මෙවැනි උද්ඝෝෂණ මේ ආකාරයෙන් මර්දනය කිරීමට පියවර නොගන්නා ලෙස.

සුජීව තත්සර


advertistmentadvertistment