සාමාන්‍යයෙන් අසාමාන්‍ය වැඩ කිරීම ඔහුගේ පුරුද්ද විය

307
Sunil Ariyarathna2

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ජන්ම දිනය ඊයේ(28)ට යෙදී තිබුණි.  මේ ඒ නිමිත්තෙන් පළවන ලිපියකි.
 
 තමාටම අනන්‍ය වූ ගැඹුරු පර්යේෂණාත්මක මංපෙතක ඔහු සරනුයේ දිගු කලක සිටය. සිංහල ගීතයේ අක්මුල් සෙවීම ගමනේ අරමුණය. කිසිවකු නුදුටු, නොඇසූ ඉසව් ඔහුගේ ග‍්‍රහණයට නතු විය. දුලබ මූලාශ‍්‍ර හා දත්ත සොයා ගැනිණ. බයිලා, කපිරිඤ්ඤා, විමර්ශනයක්. කැරොල්, පසම් කන්තාරු, සින්දු විස්තරය, ග‍්‍රැමෆෝන් ගී යුගය, ආනන්ද සමරකෝන් අධ්‍යයනය වැනි කෘති ගණනාවක් දැයට දායාද වූයේ ඒ නිසාය. මේ ඇතැම් පොත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබිණි.
 
 සාමාන්‍යයෙන් අසාමාන්‍ය වැඩ කිරීමට ඔහු අති දක්ෂයෙකි. ඒ නිසාම ඒවායේ නවතාවක් මෙන්ම අපූර්වත්යක් ද දිස්වේ. ‘‘විරුද සහ විරුදු’’ එබඳු පර්යේෂණයකි. පොත ජනගත කළ දා ඔහු අලූත් මතයක් ද ජනගත කළේය. ඒ විරුද හෙවත් ප‍්‍රශස්ති යනු පද්‍ය කාව්‍ය වෙසෙසක් නොව ගේය කාව්‍ය වර්ගයකැයි සාධක සහිතව සනාථ කරමිනි.
 
 මොහොමඞ් ගවුස්, බී. ඇස්. පෙරේරා, මුත්තුසාමි, රොක්සාමි, ආර්. ඒ. චන්ද්‍රසේන, සෝමදාස ඇල්විටිගල වැනි පිරිපුන් සංගීතවේදීන් ගැන ගාන්ධර්ව අපදාන පොත් පෙළක් ද ඔහු අතින් ලියැවිණි. සිංහල ගීතය සිය ජීවිතය කරගත් මේ සාහිත්‍යධරයාගේ සමස්ත සංගීත පර්යේෂණ කි‍්‍රයාවලිය වෙනුවෙන් ද දැයේ හරසර හිමිවිය. 1999 දී රාජ්‍ය සංගීත සම්මානය ඔහුට පිරිනැමුණේ එබැවිනි.
 
 නුතන පද්‍ය කාව්‍ය සංහිතා, නූතන ගේය කාව්‍ය සංහිතා, මානවසිංහ ගීත නිබන්ධ, මහින්ද ප‍්‍රබන්ධ, ජෝන් ද සිල්වා නූර්ති නාට්‍ය එකතුව වැනි සංස්කරණ කෘති ගණනාවක් ද ඔහු ලිවීය. මෙබඳු ඇතැම් නිර්මාණ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීම ඔහුගේ ගවේෂණාත්මක දිරියට හා විරියට කළ උපහාරයකැයි මම සිතමි. යටගිය දවස පැවැති නූර්ති, ටීටර් හා නාඩගම් පිළිබඳව ඔහු සිදු කළ පර්යේෂණ භූමිකාව අන් කිසිවකුට අතගැසිය හැකි ඉසව්වක් නොවේ.
 
 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ 85 වැනි ජන්ම දිනය සමරනු වස් 2004 වසරේදී එළිදැක්වූ ‘‘ලෙස්ටර් ශී‍්‍ර ලංකාවේ අග‍්‍රගණ්‍ය සිනමාවේදියා’’ නම් විශේෂ ග‍්‍රන්ථය ඔහු ලිව්වේ ද අලූත් වැඩක් හැටියටය. එය රූපාලේඛයකි. (Coffee table book) මේ ගණයට වැටෙන පොතක් අපේ සාහිත්‍යයෙන් සොයා ගැනීම අසීරුය.
 
 ලෙස්ටර් ගැන කතා කරන්නට ඔහුට අයිතියක් තිබුණේය. ඒ ඔහු ද සිනමාවේදියෙක්ව සිටි බැවිනි. ‘‘සිරිබෝ අයියා’’ චිත‍්‍රපටය වෙනුවෙන් 1981 දී දක්ෂතම අධ්‍යක්ෂවරයා ලෙස ඔහු ජනපති සම්මානය ලැබීය. ‘‘සුදු සෙවණැලි’’ සරසවි සම්මානය දිනා ගත්තේය. කැලෑමල්, සරුංගලේ, කි‍්‍රස්තු චරිතය වැනි චිත‍්‍රපට ගණනාවක් ද, මෑතදී කතාබහට බඳුන් වූ ‘‘කුස පබාවතී’’ ද ඔහු අධ්‍යක්ෂණය කළේය.
 
 ඔහුගේ සරසවි ඇදුරු භූමිකාවේද සුවිශේෂත්වයක් මම දකිමි. එදා මෙදාතුර ශී‍්‍ර ජයවර්ධනපුර සරසවි කිතු ගොස නඟන්නට ඔහු කළ කී දෑ බොහෝය. තාරුණ්‍යයේ ආකල්ප ගැන ඔහුට හොඳ ඉවක් තිබුණේය. සිසුනට ඔහු යහපත් ගුරුවරයෙක් විණ. සිසුහු ද නිබඳව ඔහුට ලෙන්ගතු වූහ. සිය ඉගැන්නිලි, විෂය ධාරාවට පමණක් සීමා නොකළ හේ, සිසු කැළ සෞන්දර්ය කලාව වෙතද රැගෙන ගියේ ඔවුනගේ නිසග කලා හැකියාවන් අවබෝධ කරගෙනය.
 
 මුලින් ජ‘පුරට කීර්තිය ගෙනෙමින් ‘‘නල මුදු සුවඳ’’ හමා ගියේත්, පසුව ජ’පුර වර්ණවත් කරමින් ‘‘පහන්තරු’’ දිදුලූවේත් එහි ඵල ලෙසිනි. සරසවියට උරුම කැපිලි, කෙටිලි මැද වුවද උපේක්ෂාව හා සිසු ප‍්‍රජාව සමග හිඳිමින් ස්වකීය ඉලක්ක ඔහු ජය ගත්තේය. ඒ ජ’පුර සිසුන්ගේ හෙට දවස වෙනුවෙනි.
 
 ජ’පුරේ අනන්‍යතාව සනිටුහන් වන අලූත් දේ කරන්නට ද ඔහු පුරෝගාමී විය. විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදාන ව්‍යාපෘතියේ නිර්මාතෘ ඔහුය. 2000 වසරේදී ඇරඹි මෙම සාහිත්‍ය කටයුත්ත (2003 සිට 2008 දක්වා හැර) 2014 ඉකුත් සම්මාන ප‍්‍රදානය දක්වා 09 වතාවක් පවත්වන්නට ඔහු සමත් වූයේ විවිධ බාධක, අභියෝග මැදය. මෙරට සංවිධානය කෙරෙන සාහිත්‍ය සම්මාන උත්සව අතරින් සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ එළඹුමත් සමග මුලින්ම පැවැත්වෙන උළෙල බවට මෙය පත්ව තිබීම ද විශේෂත්වයකි.
 
 ජ’පුර සිසු කැළ අතර පැවැත්වෙන සෞන්දර්ය කලා තරග මෙන්ම මෙම විදුදය සම්මාන ප‍්‍රදානයේ කතා නායකයා ඔහු වුව ද ඒ සෑම තැනකදීම අප ඔහු දකින්නේ කටයුතු හමාර වූ පසුවය. වැඬේ යද්දී ඔහු ඉන්නේ තිරය පිටුපසය. ඒ ඔහුගේ හැටිය. ඔහුගේ මෙහෙයවීමෙන් සංවිධාන වන කවර උත්සවයක් වුව ද හරි වෙලාවට පටන්ගෙන නිසි කලට නිමා වීම ද කැපී පෙනේ. ඔහු හොඳ දේශකයෙකි. කතා හරබරය. රසවත්ය. ඇසීමට පි‍්‍රයය. විශේෂිත චරිත පිළිබඳ සැමරුම් දෙසුම් සඳහා ඔහු අති දක්ෂය. සරල සුගම බස්වහර ඉදිරිපත් කරන විලාසය අපූරුය. සභාවක වෙනත් පූර්ව කතා රළුව, දිගුව, රසික ජනයාගේ අමනාපයට පාත‍්‍ර වී තිබෙන බවට ඉඟි බිඟි ඇසි දිසි වෙද්දී ඔහු සූදානම් කරගත් තම කතාව කුඩා කරමින් ග‍්‍රාහක රුචිය යළි ඇද බැඳ ගන්නට පුදුමාකාර හපන්කම් පාන්නෙකි. 1992 වසරේදී ඔහු කළ එබඳු වැදගත් දෙසුමක් නිසාම සංස්කෘතික බලධර ඉල්ලීමෙන් ඔහු ලියූ ‘ජාකෝමේ ගොන්සාල්වෙස් තෝරාගත් කෘති’’ නමැති ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය ආණ්ඩුවෙන් අච්චු ගසා 1993 දී දොරට වැඩියේය.
 
 ඇතැම් රසික ජනයා ඔහු දන්නේ හරවත් ගීත රචකයකු ලෙසිනි. නන්දා මාලිනියන්ගේ මධුර ගීතාවලියේ ගේය කාව්‍ය රචකයා ඔහුය. ඔහු ලියූ භාවපූර්ණ සරල හා චිත‍්‍රපට ගී සමුච්චයත්, ඒවා ගැයූ ප‍්‍රබුද්ධ ගායන ශිල්පීන්ගේ ගැයුම්හි අරුත්බර මිහිරත් ගැන සිතන විට රසික දැක්ම නිවැරදිය. දක්ෂතම ගීත රචකයාට හිමි ජනපති, සරසවි හා ස්වරණ සංඛ සම්මාන වැඩි ගණනක් හිමිකර ගැනීමට ඔහු වරම් ලැබුවේ ගේය කාව්‍යයට ඔහු තුළ තිබෙන ආලය නිසා යයි සිතමි.
 
 ගේය කාව්‍ය නිර්මාණ කෘති සඳහා ද ඔහු සම්මානයට පාත‍්‍ර විය. මකරන්ද සහ විසිතුරුය, ? අහස යන ගේය කාව්‍ය වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ගත්තේය.
 
 අරුන්දතී, ළා හිරු දහසක් වැනි කෘති කීපයක් ද ඔහු අතින් ලියැවිණි. සිංහල ගීතය සමඟ ඇලී වෙළී සිටියද ඔහු නිර්මාණ සාහිත්‍යයට ද ඇලූම් කළේය. ඔහු නිර්මාණකරණයට පියමැන්නේම හැත්තෑ ගණන් මුලදී ‘‘ජීවිතය ගීතයක් වේවා’’ සහ ‘‘නරියා සහ මිදිවැල’’ යන නවකතා ලියමින්ය.
 
 ඔහු ගැන කතා කළ හැකි දේ බොහෝය. සිවු දශකයක් තරම් දිගු කලක් පුරා ඔහු තම ජීවිතය කැප කළේ සරසවි ඇදුරු භූමිකාවට සහ සෞන්දර්ය කලාවටය. ඔහුගේ භූමිකාවේ ඇති සුවිශේෂත්වය ලෙස මා දකින්නේ මේ හැම දෙයක්ම නවතාවක් හා අපූර්වත්වයක් උපදින පරිදි කරන්නට ඔහු තුළ වූ අසාමාන්‍ය හැකියාවයි. මේ පිරිපුන් විද්වතා නමින් සුනිල් ආරියරත්නය.
 
 සිහින් සිරුරක් උරුම මේ දෙටු මහඇදුරු තුළ දිරිය හා විරිය පාරමිතාව පිරූ දැවැන්තයෙක් සැඟව සිටිනා බව මම දනිමි. ඒ සැඟවුණු මිනිසා තාරුණ්‍යයෙන් හෙබිය. පිරිපුන් යොවුන් සිතක් ඇත්තෙකි. ප‍්‍රඥාවෙන් වැඩ කරන්නෙකි. බුද්ධිමත්ව සිතන්නෙකි. හැමදේම මුදලින් මැනෙන විවෘත වෙළෙඳපොළ වටාපිටාව තුළ අද්‍යතන ගේය කාව්‍ය ප‍්‍රවණතා නිසා මෙබඳු පිරුණු මිනිසෙක් කලකිරීමට පත්විය යුතු නැත.
 
 මහඇදුරුතුමනි, බොල්ගොඩ ගංතෙර නිසල අරණ තුළ හුදෙකලාව තනිකඩව හිඳිනා ඔබට දැයේ සංස්කෘතික සෝදාපාළුව වළකාලීම වෙනුවෙන් කළ හැකි, කළ යුතු බොහෝ දේ තිබෙන බව මතක් කරනුයේ සැබෑ ගුරු බැතියෙනි. ඔබට චිරං ජයතු.
 
 (නැවත පළ කිරීමකි.)
 
ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක
ඡායාරූපය – හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment