සාර්ලිස් මාස්ටර්ගේ දිය සායම් පරපුර

496

20 වන සිය වස මුල් භාගය වන විට විෂයක් ලෙස සිතුවම් හා මූර්ති කලාව ශාස්ත‍්‍රාලීය කලාවක් ලෙස හැදෑරීමට අධ්‍යාපන ආයතනයක් අද මෙන් එකල නොවීය. එකල ඒ ඒ විෂයන් හැදෑරුවේ පුද්ගලිකව තෝරා ගත් ගුරුවරු හරහාය. යම් පමණක් හෝ ශාස්ත‍්‍රීය විෂයක් ලෙස චිත‍්‍ර කලාව හැදෑරීමට අවස්ථාවක් ලැබෙනුයේ 1893දී ඇති කළ මරදානේ කාර්මික විද්‍යාලය විසින් 1905 දී චිත‍්‍ර කලාව උප විෂයක් ලෙස විද්‍යාලයේ කටයුතුවලට ඇතුළත් කිරීමෙන් පසුවය.

සාර්ලිස් වෘත්තිය මට්ටමේ ශීල්පීන් බිහි කිරීමත් චිත‍්‍ර හා මූර්ති ශිල්පය තරුණ පරපුර අතර ජනප‍්‍රිය කිරීමත් අරමුණු කොට ගෙන චිත‍්‍ර ශිල්පය හැදෑරීමට පාසලක් ආරම්භ කළේය. එය දෙමටගොඩ ඇල්බියන් මාවතේ ලංකා චිත‍්‍ර කර්ම විද්‍යාලය නමින් වූ චිත‍්‍ර පාසලය. මෙය ලංකාවේ බිහි වූ පළමු චිත‍්‍ර පාසල විය හැක. පසු කලෙක මෙම චිත‍්‍ර පාසල ගල්කිස්සේ ශාන්ත රීටා පාරටත් එයට පසුව ගාලූ පාරටත් ගෙන යන ලදී. මෙයට අමතරව තැපැල් මාර්ගික අධ්‍යාපන පාඨමාලවක් හරහාද චිත‍්‍ර ශිල්පය ඉගැන්වීය. මෙම පාසල තුළින් චිත‍්‍ර කලාව හැදෑරූ පිරිස අති විශාලය. සාර්ලිස්ගේ අභාවයෙන් පසුව 1960 දක්වා සුසිල් පේ‍්‍රමරත්න විසින් පාසල පවත්වා ගෙන යනු ලැබීය.

සාර්ලිස් මාස්ටර් කළ විහාර බිතු සිතුවම් සඳහා පාවිච්චි කළේ දිගු කල් පවතින කාලගුණයට ඔරොත්තු දෙන තීන්ත වර්ග වුවද අනෙක් බොහෝමයක්ම චිත‍්‍ර දිය සායම් චිත‍්‍රයන්ය. සාර්ලිස් විසින් ලිතෝ මුද්‍රිත චිත‍්‍ර සියල්ලම දිය සායම් චිත‍්‍ර විය. සාර්ලිස්ගේ ගෝලයන් හා ඔවුන්ගේ ගෝලයන්ද දිය සායම් චිත‍්‍ර ශිල්පයේ විශිෂ්ඨයන් විය. ඔවුන් සියල්ලන් විසින් ගොඩනැ`ගූ සාර්ලිස්ගේ ශක්තිමත් දිය සායම් පරපුර අද දක්වාම පවතී.

සාර්ලිස් දිය සායම් චිත‍්‍රවලට අමතරව රේඛා චිත‍්‍ර ද ප‍්‍රගුණ කළේය. කුමාරතුංග මුනිදාසගේ උපදේශ ග‍්‍රන්ථ හා අක්ෂර මාලා ඇඳීම හුරු කිරීම සඳහා ඇඳි චිත‍්‍ර බොහෝමයක් රේඛා චිත‍්‍ර විය. පසු කාලයේ සාර්ලිස් පරපුරේ ජී. ඇස්. ප‍්‍රනාන්දු, සුසිල් පේ‍්‍රමරත්න, පුරවිජය ෆොන්සේකා, ගුණසිරි කොළඹගේ යන චිත‍්‍ර ශිල්පීන්ද රේඛා චිත‍්‍රයේ විශිෂ්ඨයන් බවට පත් විය.

සාර්ලිස් මාස්ටර්ගේ දිය සායම් පරපුර

ශ‍්‍රී ලංකාවේ චිත‍්‍ර කථා මාධ්‍ය තුළ පෙරමුණ ගැනීම හා කාටුන් චිත‍්‍ර ශිල්පයේ පතාකයන් වීම රේඛා චිත‍්‍රයේ විශිෂ්ඨයන් වීම මෙයට හොඳම උදාහරණයන්ය.

සාර්ලිස් මාස්ටර් බිහි කළ සිය ගණන් ගෝලයන් අතරින් මුල් පෙළේ සිටිනුයේ ජී. ඇස්. ප‍්‍රනාන්දු, ජී. ඇල්. ගෞතමදාස, ඇම්. නොර්බට් වැනි ශිල්පීන්ය. මෙයට අමතරව ලව්නේරිස් හා ඞී. ඇස්. ජයවර්ධන යන කලාකරුවන්ද සාර්ලිස්ගේ ගෝලයන් යැයි මතයක් පවතියි.

සාර්ලිස් මාස්ටර්ගේ දීප්තිමත්ම ශිෂ්‍යයා වූයේ ජී. ඇස්. ප‍්‍රනාන්දුය. ජී. ඇස්. ප‍්‍රනාන්දු සාර්ලිස්ගේ දිය සායම් පරම්පරාව ශක්තිමත් කළ පවුර විය. ජී. ඇස්. ගේ පියාට අවශ්‍ය වූයේ තම පුතා දේශීය වෛද්‍යවරයකු කිරීමටය. ඒ සඳහා අධ්‍යාපනය හැදැරීමට කොළඹට එන ජී. ඇස්. ව මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් කරනු ලැබූයේ පාලි සංස්කෘත ආදි භාෂාවන් ප‍්‍රගුණ කිරීමටය. මෙහිදී රිචඞ් හෙන්ඩි‍්‍රකස් හමුවීමෙන් ඔහුගෙන් මුලින්ම චිත‍්‍ර කලාව හදාරන අතර හෙන්ඩි‍්‍රකස් සාර්ලිස්, ජී. ඇස්. ව භාර කරයි. සාර්ලිස් මාස්ටර්ගෙන් දිය සායම් හා රේඛා චිත‍්‍ර කලාව ඉගෙන ගන්නා ජී. ඇස්. සාර්ලිස් සමීපතමයා සේම හොඳම ගෝලයා බවට පත් වේ. සාර්ලිස් විශ්වාසයෙන් වැඩකටයුතු භාර දුන්නේ ජී. ඇස්.ටය. මහා චිත‍්‍ර ශිල්පියකු වුවද සාර්ලිස් තම එකම පුතු සුසිල් පේ‍්‍රමරත්නට චිත‍්‍ර ඉගැන්වීමට භාර කළේ ජී. ඇස්.ටය. එපමනක් නොව සුසිල් තම පුත් නයනජිත් පේ‍්‍රමරත්නටද චිත‍්‍ර ඉගැන්වීමට භාර කළේ තම ගුරු ජී. ඇස්.ටය. සාර්ලිස් මාස්ටර් රාජකීය වික‍්‍රමය චිත‍්‍රපටයේ කලා අධ්‍යක්‍ෂණය කරන විට වයස අවුරුදු 20 ක් වූ ජී. ඇස්.ව එහි සහය කලා අධ්‍යක්‍ෂක ලෙස පත් කර ගත්තේය. ජී. ඇස්. පසු කලෙක ලංකාදීප වැනි පුවත් පත්වල ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා ලෙසත් ක‍්‍රියා කළේය. කොලට්ගෙන් පසුව බිහි වන විශිෂ්ඨ කාටුන් ශිල්පියා වූයේ ජී. ඇස්.ය. ලංකාවේ පළමු චිත‍්‍ර කතාව වූ නීලා ජී. ඇස්.ගේ නිර්මාණයකි. දිය සායම් කලාවේ පතාකයකු වූ ජී. ඇස්.ගේ ගෝල පරපුර තුළ කීර්තිමත් චිත‍්‍ර ශිල්පීන්ගෙන් පිරී ඇත. ඒ අතර සුසිල් පේ‍්‍රමරත්න, ගුණසිරි කොළඹගේ, තිස්ස හේවාවිතාරණ, පුරවිජය ෆොන්සේකා, නයනජිත් පේ‍්‍රමරත්නද වේ.

සාර්ලිස් මාස්ටර්ගේ ගෝලයන් අතර ජී. ඇල්. ගෞතමදාස හා ඇම්. නෝබට් ද වේ. ලේක්හවුස් ආයතනයේ සේවය කළ ගෞතමදාස පසුව නිදහස් ශිල්පියකු ලෙස කටයුතු කළේය. ගෞතමදාසයන් වඩා ප‍්‍රසිද්ධ වූයේ ආයතනයන්ට අවශ්‍ය ව්‍යාපාර ලාංඡනයන් නිර්මාණය කිරීම නිසාය. මෙම ලිපි පෙළෙන් පළමු වරට ඉදිරිපත් කළ සාර්ලිස්ගේ ඡායාරූපවලට පෙර බොහෝ දෙනා යොදා ගත්තේ ගෞතමදාස ඇඳි සාර්ලිස්ගේ ආලේකය චිත‍්‍රයය. සාර්ලිස්ගේ තවත් සිසුවකු වූ ඇම්. නෝබට් විහාර සිතුවම් කලාවෙහි යෙදී සිටි අතර වෙසක් සුභ පැතුම් පත් නිර්මාණයේද යෙදී සිටියේය.

සාර්ලිස් මාස්ටර්ගේ දිය සායම් පරපුර

සුසිල් පේ‍්‍රමරත්න, ජී. ඇස්. ප‍්‍රනාන්දුගේ දීප්තිමත්ම ශිෂ්‍යයා යැයි හැඳින්වීම නිවැරදිය. සුසිල් මහනුවර ධර්මරාජ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව වැඩි දුර අධ්‍යාපනයට මරදානේ ටෙක්නිකල් කොලේජියට ඇතුල් විය. ගායනයට කැමැත්තක් දැක්වුවද පියාගේ ආභාෂය සුසිල්ටද චිත‍්‍ර ශිල්පියකු වීමට හේතු වන්නට ඇත. .සුසිල් ජී. ඇස්.ගෙන් දිය සායම් පමනක් නොව රේඛා චිත‍්‍ර ඇඳීම හා ඉන්දියානු තීන්ත :ෂබාස්බ ෂබන) ආශ‍්‍රය කොට රේඛා චිත‍්‍ර කිරීම නිර්මාණය කිරීමට ද පුහුණු විය. ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත් ආයතනයේ ලංකාදීප පුවත් පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පී ලෙස කටයුතු කළ කාලයේ ජී. ඇස්. ප‍්‍රනාන්දු තම ශිෂ්‍ය සුසිල්ව ලංකාදීප පුවත්පතට බඳවා ගනී. එතැන් පටන් ලංකාදීප වනිතා විත්ති, රසවාහිනි හා එහි වෙනත් පුවත් පත් සඳහාද අවශ්‍ය චිත‍්‍ර ඇන්දේය. ඔහු වඩාත් ජනප‍්‍රිය වූයේ ලංකාදීපය හා වනිතා විත්තිවලට නිර්මාණය කළ චිත‍්‍ර කථා නිසය. හොර හවුල, ඔහුගේ පළමු චිත‍්‍ර කථාව වන අතර එයට පසු තනිකඩයා මහ හෙනේ රීරි යකා ආදී කුඩා චිත‍්‍ර කථා නිර්මාණය කළේය. සුසිල් 1959දී ඉරිදා ලංකාදීපයට කළ බිලි පූජාවත් 1959 මාර්තුවල වනිතා විත්ති පුවත් පතට රන් දූපතත් සමඟ දීර්ඝ චිත‍්‍ර කථා රචනය අරම්භ කළේය. එයට පසුව රිදී කුමාරි, ලන්දේසි හටන, හැංගි මුත්තං ආදී චිත‍්‍ර කථා නිර්මාණය කළේය.

ලංකාදීපයෙන් ඉවත්ව නිදහස් චිත‍්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළ සුසිල් එම කාලයේදී සිත්තර, සත්සිරි හා ස්වර්ණ යන චිත‍්‍ර පුවත් පත්වලට කළ චිත‍්‍ර කථා බොහෝය. ගාමිණී ෆොන්සේකා, උදයකාන්ත වර්ණකුලසූරිය පමනක් නොව පුරවිජය ෆොන්සේකා, තිස්ස හේවාවිතාරණ, ගුණසිරි කොළඹගේ, නයනජිත් පේ‍්‍රමරත්නද කලක් සුසිල් ගේ ගෝලයන් විය. විජය අබේදේව නිතරම සුසිල්ගේ නිවසට ආ කලාකරුවෙකි. පින්සල අතපත ගෑවද ඔහු චිත‍්‍ර ශිල්පයට ඔහු යොමු නොවීය.

තිස්ස හේවාවිතාරණ කාගෙත් වැඩි අවධානයකට යොමු නොවූ චිත‍්‍ර ශිල්පියෙකි. දිය සායම් චිත‍්‍ර කලාව මනාව ප‍්‍රගුණ කළ තිස්ස සාර්ලිස්ගේ ඇසුර නිසාම චිත‍්‍ර ශිල්පයකු බවට පත් විය. තිස්සගේ නිවස පිහිටියේ හරියටම සාර්ලිස්ගේ නිවසට මායිම් වන අල්ලපු ගෙදරය. සාර්ලිස් මාස්ටර්ගේ ලංකා චිත‍්‍ර කර්ම විද්‍යාලය පිහිටියේද මෙම නිවස තුළය. නිතරම මෙම නිවසට යන තිස්ස කුඩා කළ සිට දුටුවේ චිත‍්‍ර ඇඳීමය. සාර්ලිස් නිතරම පැමිණෙන මෙම අසල්වැසියා තම පුත් සුසිල්ට භාර දෙනු ලබයි. කලක් සුසිල්ගෙන් චිත‍්‍ර ශිල්පය හැදෑරු තිස්ස දිය සායම් චිත‍්‍ර හැදෑරුවේ ජී. ඇස්. මාස්ටර්ගෙන්ය.

ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලබන තිස්ස කොළඹ පෙම්රොක් අයතනයෙන් වැඩි දුර අධ්‍යාපනය ලැබීය. පසුව ප‍්‍රධාන පෙළේ පුද්ගලික දැන්වීම් ආයතන කීපයක හා විදේශීය රටවල් කීපයකද සේවය කළේය. එපමනක්ද නොව ඔහු ඉංග‍්‍රීසි පුවත්පත්වලටද ලිපි සැපයූ ලේඛකයෙකි. දෙස් විදෙස් හී චිත‍්‍ර ප‍්‍රදර්ශන රාශියක් පැවැත් වූ තිස්ස ලංකාවේ ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පීන් රාශියකගේ තොරතුරු ඇතුළත්ව ඊරමිය ිඑරදනැි දෙ ධකා ඵ්ිඑැරි නමින් ග‍්‍රන්ථයක්ද රචනා කොට ප‍්‍රකාශයට පත් කරන ලදී.

සාර්ලිස්ගේ මුනුබුරෙකු වූ සුසිල්ගේ පුත් නයනජිත් පේ‍්‍රමරත්න සාර්ලිස්ගේ දිය සායම් පරපුරේ දැනට සිටින කීප දෙනා අතරින් එක් ශිල්පියෙකි. සාර්ලිස්ට යටි සිතෙන් හෝ තම පරපුරේ අයෙකු චිත‍්‍ර ශිල්පියකු කිරීමට ආශාවක් තිබී ඇත. ඒ බව ඔහු සුසිල්ට ද සිහිපත් කොට ඇත. එහි ප‍්‍රතිඵලය සාර්ලිස්ගේ මුණුබුරු සුසිල්ගේ පුත් නයනජිත් පේ‍්‍රමරත්නද ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පියකු වීමය. සුසිල් තම පුත් නයනජිත් චිත‍්‍ර ශිල්පියකු කිරීමට භාර දුන්නේ ජී. ඇස්. ප‍්‍රනාන්දුටය. එසේම සුසිල් විසින් රේඛා චිත‍්‍ර ශිල්පය වෙනම නයනජිත්ට පුහුණු කරන ලදී. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලබන නයනජිත් යොවුන් වියේදීම දැන්වීම් ෙක්‍ෂත‍්‍රයට යොමු වන අතර මුලින්ම රංජිත් ජයසූරිය ඇසෝෂෙට්ස්වලට සේවයට බැඳී පසුව ග‍්‍රන්ට් ඇඞ්වර්ටයිසින්වල උප සමාගමක් වූ මයින්ඞ්ස් බොස්සෙල් ආයතනයේ චිත‍්‍ර අධ්‍යක්‍ෂක හා නිර්මාණ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළේය. හොං කොංවල කලක් දැන්වීම් නිර්මාණයන්හි නව මාවත් පිළිබඳව පුහුණුව ලත් ඔහු පසු කලෙක නිදහස් ශිල්පියකු ලෙස නිර්මාණ කටයුතුවල යෙදුණි. 1974 දී පමණ තම ප‍්‍රථම චිත‍්‍ර කථාව ලෙස කුඩා චිත‍්‍ර කථාවක් සිය පියාගේ උපකාරයෙන් ලංකාදීපයේ පල කරයි. එයට පසුව සත්සිරි හා සිත්තර පුවත් පත්වල රන් කැටි පුතා, සිහින ලොවින් පියවි ලොවට වැනි වර්ණ චිත‍්‍ර කථා නිර්මාණය කළේය. දරුවන්ගේ චිත‍්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කර ගැනීමට දිය සායම් චිත‍්‍ර කලාව ගැන ”දර්ශන චිත‍්‍ර’’ නමින් ග‍්‍රන්ථයක්ද නයනජිත් විසින් ප‍්‍රකාශයට පත් කරන ලදී.

ගුණසිරි කොළඹගේ නම් ප‍්‍රකට චිත‍්‍ර ශිල්පියාද සාර්ලිස් පරපුරට අයත් ශිල්පියෙකි. ලංකාවේ දැන්වීම් කලාව වෙත යොමුවන ගුණසිරි නිදහස් ශිල්පියකු ලෙස කටයුතු කළේය. 1954 සිට 1959 දක්වා වූ එච්. බී. පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ යන ප‍්‍රසිද්ධ චිත‍්‍ර ගුරුවරුන් යටතේ ලලිත කලා විද්‍යායතනයෙන් චිත‍්‍ර හැදෑරූ ගුණසිරි 1959 දී ජී. ඇස්. ප‍්‍රනාන්දු යටතේ දිය සායම් චිත‍්‍ර කලාවත් සුසිල් පේ‍්‍රමරත්නගෙන් රේඛා චිත‍්‍රත් හදාරනු ලැබීය.

පුරවිජය ෆොන්සේකා සාර්ලිස් පරපුරේ කාගෙත් ආදරය දිනූ ඉතාම අඩු වයසකදී මියගිය සොඳුරුම ශිල්පියකු විය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ පුරවිජය නිදහස් චිත‍්‍ර ශිල්පියකු විය. ඔහුගේ කාලයෙන් වැඩි කොටස ගත කළේ සුසිල් සමඟ හෝ ජී. ඇස්. මාස්ටර් සමඟය. ජී. ඇස්.ගෙන් දිය සායම් චිත‍්‍ර කලාවත් සුසිල්ගෙන් රේඛා චිත‍්‍ර කලාවත් හැදෑරු පුරවිජය චිත‍්‍ර කථා කිපයක් ප‍්‍රකාශයට පත් කළේය. ශී‍්‍ර වික‍්‍රම ඔහුගේ ජනප‍්‍රිය චිත‍්‍ර කථාව වූ අතර චම්පා වැනි කෙටි චිත‍්‍ර කථාද ඔහු අතින් නිර්මාණය විය. 1960 ගණන්වල මුල් භාගයේ සඳ තරණය කාගෙත් කථාබහට ලක් වූ මාතෘකාවකි. ලංකාවෙන් සඳට ගිය පිරිසක් ගැන එකල ඔහු කළ චිත‍්‍ර කථාව ලොකු කුඩා කා අතරත් ජනපි‍්‍රය විය.

ලාංකේය සිනමාවේ අග‍්‍රගන්‍ය නළුවකු වූ ගාමිණී ෆොන්සේකා සාර්ලිස් පරපුරේ තවත් සාමාජිකයෙකි. ගාමිණීගේ පියත් විශේෂයෙන් ඔහුගේ මහප්පත් සාර්ලිස් මාස්ටර්ගේ කිට්ටුම හිතවතුන් විය. ගාමිණී පදිංචිව සිටියේ දෙහිවල හංන්දියේ වන අතර සාර්ලිස් මාස්ටර් සිටියේ ගල්කිස්සේය. 1949 හෝ 1950 දී පමණ ගාමිණීගේ වැඩිහිටියන් චිත‍්‍ර ශිල්පය හැදෑරීමට ගාමිණීව සාර්ලිස් මාස්ටර්ට භාර දුන්නද තමන් වයසට ගොස් ඇති බව පවසා තම පුතු සුසිල්ට වගකීම පවරන ලදී. මෙතැන් පටන් සුසිල් පේ‍්‍රමරත්නගෙන් චිත‍්‍ර ශිල්පය හැදෑරු ගාමිණී තම චිත‍්‍ර ගුරු ලෙස සැලකුවේ සුසිල්ය. මෙකල ගාමිණී පාසල් සිසුවෙකි.

ගාමිණීද සිය පින්සල හැසිරුවේ දිය සායම් සඳහාය. අදත් ඔහුගේ ඉතිරිව ඇති චිත‍්‍ර සියල්ලම වාගේ දිය සායම් වුවත් එක් චිත‍්‍රයක කළු සුදු රේඛා චිත‍්‍රයක් දක්නට ලැබේ. මෙය ඉන්දියන් තීන්තෙන් අඳින ලද්දක් විය හැක.

මන්ද සාර්ලිස් පරපුර ඉන්දියන් තීන්ත වලින් චිත‍්‍ර ඇඳීමට හපනුන් වූ නිසාය. නළුවකු ලෙස ඔහු රඟ පෑ චිත‍්‍රපටවල චිත‍්‍ර අඳින දර්ශනවල චිත‍්‍ර ඇන්දේ ඔහු විසින්මය.

වර්තමානයේ ජනප‍්‍රියම චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ උදයකාන්ත වර්ණකුලසූරිය දක්ෂ චිත‍්‍ර ශිල්පියකු බව සමහරුන් නොදනී. ඉසිපතන හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන උදයකාන්ත 1973 දී චිත‍්‍ර ශිල්පය සුසිල් පේ‍්‍රමරත්නගෙන් ප‍්‍රගුණ කළේය. ලේක්හවුස් ප‍්‍රකාශයට පත් කළ චිත‍්‍ර කථා රාශියක නිර්මාණකරුවකු වූයේ උදයකාන්තය. පසු කාලවල ඔහු නිපද වූ ටෙලිනාට්‍ය වලටද මෙම චිත‍්‍ර කථා පසුබිම් කොට ගත්තේය. චිත‍්‍රපට අධ්‍යක්ෂණයට පැමිණෙන උදයකාන්ත තම චිත‍්‍රපට සාර්ථක කර ගැනීමට චිත‍්‍ර ශිල්පයද ආධාර කොට ගත් අවස්ථා ඇත.

2015 වසරේ අගෝසතු 8 දී හැකි සියල්ලන්ම එක් කොට Masters and Pupils නමින් මහා චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවති අතර ගුරුන්ගෙත් ගෝලයන්ගෙත් දිය සායම් විත‍්‍ර එහි ප‍්‍රදර්ශනය කළේය. සාර්ලිස් මාස්ටර්ගේ චිත‍්‍රද ගෝලයා වූ ජී. ඇස්. ප‍්‍රනාන්දුගේ චිත‍්‍රද ජී. ඇස්.ගේ ගෝලයන් වූ සුසිල් පේ‍්‍රමරත්න හා තිස්ස හේවාවිතාරනයන්ගේ චිත‍්‍රද සුසිල්ගේ ගෝලයන් වූ ගාමිණී ෆොන්සේකා, පුරවිජය ෆොන්සේකා චිත‍්‍රපට අධ්‍යක්‍ෂක උයදකාන්ත වර්ණකුලසූරිය, නයනජිත් පේ‍්‍රමරත්න යන ශිල්පීන්ගේ චිත‍්‍ර එකවර ප‍්‍රද්ර්ශනය කිරීම සාර්ලිස්ගේ පරපුර ලොවට පෙන්වීමක් බඳුවිය.

ගුරුවරයා ශිෂ්‍යයාට ආදරය කිරීමත් ශිෂ්‍යා ගුරුවරයාට ගරු බුහුමන් කිරීමත් නිසි ලෙස පවත්වා ගෙන ගිය පරපුරකට හොඳම නිදසුන සාර්ලිස් පරපුරය. සාර්ලිස් තම ගෝලයන්ට ආදරය කළා පමනක් නොව ඔවුන්ට අවස්ථාවද ලබා දුන්නේය. ගුරුවරුන්ට ගරු කිරීමට ගෝලයනට කියා දුනි. ජී. ඇස්.ද තම ගෝලයන් වූ සුසිල්, තිස්ස හා පුරවිජයට දරුවන්ටසේ ආදරය කළේය. පුරවිජය මියගිය පුවත ඇසූ ජී. ඇස්. පමනක් නොව සුසිල්ද කම්පනයට පත් විය. වරක් තිස්ස හේවාවිතාරණ විදේශයක සේවය කරන විට ජී. ඇස්.ගේ අත් අකුරෙන්ම ලියු ලිපියක් ඔහුට ලැබුණි. එහි වූයේ තමා මියයන්නට පෙර තම ගෝලයා වූ තිස්ස දැකීමට අසා බවය. තිස්ස මියයන තුරුම එම ලිපිය මහා වස්තුවක් ලෙස ආරක්‍ෂා කළේය. සැම සිංහල අලූත් අවුරුදු දිනකම සුසිල්ගේ නිවසේ ප‍්‍රථම ආහාර අනුභවය කළේ ජී. ඇස්.ය. එදින ගුරුවරයාට සුසිල් නයනජිත් ආදින් ගුරු ප`ඩුරු දුන්නද ජී. ඇස්. කළේ එහි සිටි දරුවන්ට චිත‍්‍ර ඇඳ දීමය. ගාමිණී ෆොන්සේකා තම ගුරුවරුන් ගැන සඳහන් කරන විට වඩාත් කථා කළේ සුසිල් හා අරිසෙන් අහුබුදු ගැනය. සුසිල් 1951 සැඟවුණු පිළිතුර චිත‍්‍රපටයට ගී ගැයීමට ඉන්දියාවට යන විට ගුවන් තොටුපළට රුගෙන ගියේ ගාමිණීගේ පියා විසිනි. මෙම පරපුරේ විශේෂත්වය වන්නේ සියලූ දෙනාම සහෝදර බැම්මෙන් මිතුරන්සේ එකිනෙකාට ගරු කරමින් ජීවත්වීමය.

ගල්කිස්සට සාර්ලිස් මාස්ටර් පැමිණීම ගල්කිස්ස වටා නව චිත‍්‍ර කලා පරපුරක් බිහි විය. ඇම්. නොර්බට්, පුරවිජය, සුසිල්, තිස්ස, නයනජිත් සියල්ලන්ම ගල්කිස්සේ වැසියන් විය. ජී. ඇස්. ද තම අවසාන කාලය ගෙව්වේ තම ගෝලයන් සමඟ ගල්කිස්සේය. ගල්කිස්ස ප‍්‍රදේශයේ බොහෝ මධ්‍යම පංතික පවුල්වල දරුවන් සුසිල් වෙත හෝ නයනජිත් වෙත චිත‍්‍ර ඇඳීම ඉගැනීමට නිතර ඔවුන්ගේ නිවසට පැමිණියේය.

සාර්ලිස් පරපුරේ හඳුනා නොගත් සමාජිකයන් රාශියක් සිටිය හැක. දැනට ජීවතුන් අතර සිටින්නේද හඳුනාගත් කීප දෙනෙකි. එහෙත් මේ පරපුර කලාවට ඉතිරි කළ බොහෝ දේ අමරණීයව පවතිනු ඇත.

සමහර තොරතුරු සපයා දුන් නයනජිත් පේ‍්‍රමරත්නට ලේඛකයාගේ ස්තුතිය පිරිනැමේ.

ආශි‍්‍රත ලේඛණ

  • The Old Masters – Catalogue
  • Susil Premaratne – Great Artist with Variety of Talents- T.K.Premadasa
  • (ලේඛකයා – ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික විධායක නිලධාරියෙකි. [email protected])

පේ‍්‍රමදාස තෙලිකෝරල
කටුබැද්ද

advertistmentadvertistment
advertistmentadvertistment