සාරා ජෙස්මින්ට මොකද වුනේ… සයින්දමරුදු හෑරුවාම පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිවෙයිද?

669

වසර තුනක් ඉක්ම ගොස් තිබුණද අදටත් පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු නොවුණේ යැයි යන්න මේ මොහොතේත් බොහෝ පාර්ශ්ව වෙතින් එල්ල වන චෝදනාවකි. අද වන විට එකී චෝදනා ජාත්‍යන්තරය දක්වාම විහිදී ගොස් අවසන්ව ඇත. එහිදී නිතර නම කියැවෙන එක් ප්‍රකට චරිතයක් බවට පත්ව සිටින්නී පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජමය තත්ත්වය එසේ වී තිබියදී එම ප්‍රහාරයෙන් පසුව අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළදී බිහිසුණු පුපුරවා ගැනීමක් සිදුකරමින් මියගිය පිරිසේ දේහ කොටස් යළි ගොඩගැනීමට අධිකරණ අවසරය මත පොලිසිය ඉකුත් 27 වැනිදා පියවර ගනු ලැබීය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටින බොහෝ පාර්ශ්වවල ප්‍රබල මාතෘකාවක් බවට පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් අදවන විට පත්ව සිටින්නේද මෙකී සයින්දමරුදු පිපිරීම හේතුවෙනි.

එම පිපිරීමෙන් පසු එම නිවසේ සිටි ඇය පොලිස් නිලධාරියකුගේ සහායෙන් විදේශයකට පැන ගියේ යැයි ලෙසින් කතාවක් සමාජගතවී තිබීම එයට හේතුව වී ඇත.

සැබවින්ම පුලස්තිනී එසේ පැන ගියේද? පාස්කු වින්දියන්ට සාධාරණයක් ඉටු නොවුණේද? එම ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන්ගේ ආත්මයන්ට සාධාරණය ඉටු කිරීම කවුරුන් විසින් හෝ මඟහැර යමින් තිබේද? එසේ සිදුවෙමින් ඇතැයි දසතින් චෝදනා රැසක් එල්ලවෙමින් තිබියදී අම්පාර පොදු සුසාන භූමියේ වළදමා තිබූ සයින්දමරුදු පිපිරීමෙන් මියගිය වුන්ගේ සිරුරු යළි ගොඩ ගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබුවේ කුමක් නිසාද?

සියලු අර්බුද අතරේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කිරීමේදී මේවා අද සමාජය ඉදිරියේ ඇති ප්‍රබල ගැටලු බවට පත්ව ඇත. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදාය. එම සිද්ධියත් සමඟ ඒ පිළිබඳව පුළුල් ලෙස විමර්ශන සිදු වෙමින් තිබෙන අතරේ හරියට ඉන් දින පහකට පසු අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදු නිවසක් තුළ සැඟවී සිටි සහරාන් හෂීම්ගේ සොහොයුරා වූ මොහොමඩ් රිල්වාන් ඇතුළු පිරිසක් මෙම පුපුරවා ගැනීම සිදු කරනු ලැබීය.

අදාළ නිවස පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව පොලිසිය සහ යුද හමුදාව එම නිවස වැටලීමට කටයුතු කිරීමේදී මොහොමඩ් රිල්වාන් එම පුපුරවා ගැනීම සිදු කරනු ලැබිණි. එහිදී ප්‍රබල පිපිරීම් තුනක් සිදුවන අයුරු එම නිවස වටලා සිටි ආරක්‍ෂක අංශවලට නිරීක්‍ෂණය විය. පසුව ආරක්‍ෂක අංශ සහ පොලිසිය එම නිවස සහ පිපිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ අතිශය වැදගත් කරුණු කාරණා රාශියක්ම තිබිණි. එම නිවස කාමර දෙකකින් සහ කුඩා සාලයක් මෙන්ම මුළුතැන් ගෙයක් හා ඊට යාබදව පිහිටි වැසිකිළියකින් සමන්විත වූ කුඩා ප්‍රමාණයේ එකක් විය. ඉතා බියකරු ලෙස එහි සිදුවූ පිපිරීම්වලින් පසු ඊට පසුදා අලුයම ආරක්‍ෂක අංශ සහ පොලිසිය එහි ගියේය.

එම නිවසට ළඟා වෙත්ම එහි ගිය නිලධාරීන්ට මුලින්ම අසන්නට ලැබුණේ නිවස තුළින් නැගුණු කෙඳිරිලි හඬකි. ප්‍රබල පිපිරීමක් සිදු වුවද තවදුරටත් නිවස තුළ කිසිවකු හෝ ජීවතුන් අතර සිටින බව වටහා ගත් නිලධාරීහු වහා එහි අතුළු වී පරීක්‍ෂා කර බැලූහ. එහිදී එවුන්ට දැක ගන්නට ලැබුණේ බරපතළ ලෙස තුවාල ලබා සිටි සිටි සිඟිති දැරියක සහ කාන්තාවකි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් හා ආරක්‍ෂක අංශ නිලධාරීහු ඔවුන් දෙදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කරන ලැබූහ. එදා එසේ සයින්දමරුදු නිවස තුළ බරපතළ තුවාල ලබා සිටියදී හමුවූයේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයා වූ සහරාන් හෂීම්ගේ බිරිඳ, හාදියා සහ ඇගේ දියණිය විය. එය ඒ දිනවල මුළු රටම දැන සිටි සිදුවීමකි. ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සහරාන්ගේ සොහොයුරා වූ මොහොමඩ් රිල්වාන් විසින් නිවසේ වූ ගෑස් සිලින්ඩරය හා සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවන ලද යතුරු පැදියක් නිවසේ සාලය තුළට ගෙන ඒමෙන් පසු පුපුරවා ගැනීම සිදුකර ඇති බව අනාවරණය කර ගැනීමට විමර්ශකයෝ එදා සමත්වූහ. සිදුවූ පිපිරීම්වලින් එම නිවස එකම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණු අතර මිනිස් සිරුරු කොටස් රාශියක් එම සුන්බුන් අතර විසීරී ගොස් තිබිණි. සහරාන්ගේ බිරිඳ හාදියාගෙන් ලද තොරතුරකට අනුව පිපිරීම සිදුවන මොහොතේ නිවසේ කුඩා දරුවන්ද ඇතුළුව පුද්ගලයන් දහනව දෙනකු සිටි බව ඒ වන විට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබිණි.

එම දහනව දෙනා අතරින් සහරාන්ගේ බිරිඳ සහ දියණිය ජීවත්ව සිටින බැවින් පිපිරීමෙන් මියගොස් ඇත්තේ තවත් දහහත් දෙනකු බව ඒ වන විට විමර්ශකයන්ගේ නිගමනය විය. අද අතුරුදන්ව ඇතැයි කියන සාරා ජෙස්මින්ද පිපිරීම සිදුවන විට සිටියේ එම නිවසේමය. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුහු හතර අතේ විසිරී ගොස් තිබුණු මිනිස් සිරුරු කොටස් වෙන් වෙන් වශයෙන් ගොඩවල් දහහතකට එක්කර පසුව කල්මුණේ රෝහල වෙත රැගෙන ගියහ. එසේ ගෙන ගිය සිරුරු කොටස් ගොඩවල් දහහත අතරින් සාම්පල් දහහතක් ගෙන කල්මුණේ රෝහලේ ශීතකරණයක සුරක්‍ෂිතව තබන ලැබීමෙන් පසු ඉතිරි සිරුරු කොටස් අම්පාර පොදු සුසාන භූමියේ වළ දැමීම සිදු කෙරිණි. ඒ වන විට මියගිය අය අතරින් පුද්ගලයන් හය දෙනකු නිශ්චිතව හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව සිටියද අනෙක් කිසිදු පුද්ගලයකු හඳුනා ගැනීමට නොහැකිව තිබිණි. සිරුරු කොටස් අතරින් කොටස් දහහතක් ගෙන කල්මුණේ රෝහලේ ශීතකරණයක තැන්පත් කරනු ලැබුවේද එසේ හඳුනාගත නොහැකි වූ මළ සිරුරු කාගේදැයි දැන ගැනීම පිණිස ඩීඑන්ඒ පරීක්‍ෂණ සඳහා යොමු කරනු පිණිසය.

සාරා ජෙස්මින්ට මොකද වුනේ… සයින්දමරුදු හෑරුවාම පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිවෙයිද?

මේ අනුව මූලික විමර්ශන අවසානයේ දින කිහිපයකට පසු විමර්ශන කණ්ඩායම් යළි කල්මුණේ රෝහලට පැමිණියේ නියමිත පිරිදි ඩීඑන්ඒ පරීක්‍ෂණ සඳහා යොමු කිරීම පිණිස රෝහලේ ශීතකරණයක තැන්පත් කර තිබූ සිරුරු කොටස් රැගෙන යෑමටය.

එහෙත් ඒ වන විට සිදුව තිබුණේ අභාග්‍යයකි. අදාළ සිරුරු කොටස් දාහත අතරින් කොටස් තුනක් පරීක්‍ෂණවලට යොමු කළ නොහැකි තරමට නරක් වී ඇති බව විමර්ශකයන්ට නිරීක්‍ෂණය විය. එහිදී වහා ක්‍රියාත්මක වූ ඔවුහු කරනු ලැබුවේ අම්පාර පොදු සුසාන භූමියට ගොස් සිරුරු කොටස් වළ දැමූ ස්ථානවලින් තවත් කොටස් තුනක් ලබා ගැනීම වූහ.

පසුව එසේ ලබා ගත් ඒවාද සමඟ මළ සිරුරුවලින් ලබාගත් සාම්පල් කොටස් දහහත ඩීඑන්ඒ පරීක්‍ෂණයකට යොමු කිරීම සිදු කෙරිණි. අප මේ කතා කරන්නේ මෙතෙක් සමාජය දැන නොසිටි එදා රටම කම්පනයට පත් කරමින් එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඒ අතිශය බරපතළ සිදුවීම පිළිබඳව අපේ විමර්ශකයෝ විමර්ශන සිදු කළ අන්දම පිළිබඳවය. අහිංසක මිනිස් ජීවිත දෙසීය පනහකටත් අධික සංඛ්‍යාවක් අකාලයේ රටට අහිමි කෙරෙමින් තවත් පන්සියයක් පමණ බරපතළ තුවාල ලැබූ එම සිද්ධියේදී මෙසේ විමර්ශන ආරම්භ වීම කොතෙක් දුරට නිවැරදිද යන්න තීරණය කිරීමේ අයිතිය මෙය කියවන ඔබ සතුය.

මේ අන්දමට සාම්පල ලෙස ලබාගත් සිරුරු කොටස් ඩීඑන්ඒ පරීක්‍ෂණවලට යොමු කිරීමෙන් පසු සයින්දමරුදු නිවසේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයන් දහසය දෙනකු හඳුනා ගැනීමට විමර්ශන කණ්ඩායම් එදා සමත් වුවද එක් පුද්ගලයකුගේ ඩීඑන්ඒ සාම්ල කිසිදු සිරුරු කොටසක් හා නොගැලපුණි.

එසේ නොගැළපුණේ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ගේ මවගෙන් ලබාගෙන තිබූ ඇයට අදාළ ඩීඑන්ඒ සාම්පලය. මෙම ඩීඑන්ඒ පරීක්‍ෂණය සිදු කෙරුණේ පාස්කු ප්‍රහාරය එල්ල වී මසක් ගතවෙමින් තිබියදී ඉකුත් 2019 වසරේ මැයි මාසයේදීය. එහෙත් පාස්කු ප්‍රහාරය සිදුවී මාසයක් ගත වෙද්දී එසේ සයින්දමරුදු පුපුරවා ගැනීම පිළිබඳව බරපතළ ගැටලුවක් විමර්ශන කණ්ඩායම් හමුවේ මතුවුවද එයට විසඳුම සොයා ගන්නට එදා කිසිවකුත් සිටියේ නැත. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙනුත් පසු යළිත් ඒ පිළිබඳ අවධානය යොමු කෙරෙන්නේ ඉකුත් 2020 වසරේ අගෝස්තු මාසයේදීය. එහිදී විමර්ශන කණ්ඩායම්වල තීරණය වූයේ යළිත් ඩීඑන්ඒ පරීක්‍ෂණයක් සිදු කිරීම විය. ඒ අනුව සයින්දමරුදු පිපිරීමේ මළසිරුරු සම්බන්ධයෙන් දෙවැනි ඩීඑන්ඒ පරීක්‍ෂණයද සිදු කෙරිණි. එහිදීත් පරීක්‍ෂණයට ලක් කෙරෙන්නේ මුල් අවස්ථාවේ මළ සිරුරු අතරින් ලබා ගත් සාම්පල කොටස් දහහතමය. එකී දෙවැනි පරීක්‍ෂණයේදීද මුලදී හඳුනාගත් දහසය දෙනා හැරෙන්නට පුලස්ති මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ගේ ඩීඑන්ඒ සාම්පල එම සිරුරු කොටස් අතරින් හඳුනා ගන්නට නොහැකි වන්නේය.

එසේ වූයේ ඇයි? මේ ප්‍රශ්නයට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිදු කෙරුණු විමර්ශනයේදී පැහැදිලි පිළිතුර දී ඇත්තේ ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයා වූ සහරාන් හෂීම්ගේ බිරිඳ හාදියා ය. ඇය සඳහන් කර ඇත්තේ කුමක්ද? සයින්දමරුදු පුපුරවා ගැනීමෙන් පසු ජීවිතය බේරුණු ඇය පසුව විමර්ශන කණ්ඩායම් ඉදිරියේ සඳහන් කර තිබුණේ මෙවැන්නකි.

‘මම එදා වැසිකිළියට ගිහින් නැවත ගේ ඇතුළට එනකොට සාරා ජෙස්මින් එක්ක අනෙක් ඔක්කොම දෙනා ගෙයි මැද සාලේ වාඩි වෙලා හිටියේ. ඒ වෙලාවේ සාරා ජෙස්මින් මරාගෙන මැරෙන ජැකට් එකකුත් දාගෙන හිටියා. එයා මාව දැක්ක ගමන් එන්න අපි ස්වර්ගයට යන්න හදන්නේ ඔයත් එන්න කියල මට කතා කළා.

ඒ වෙලාවේ මගේ හිතට ලොකු බයක් දැනුණා. ඒ නිසා මම දරුවවත් අරගෙන ඉක්මනට ගෙදර කාමරයකට ගියා. තත්පර දෙකතුනක් ගත වෙන්න ඇති. මම කාමරයට යනවත් එක්කම මහා හඬක් සමඟ අපි හිටපු ගේ පිපිරුවා’

මේ සඳහන් කෙරුණේ ඇය සිය ප්‍රකාශයේදී සයින්දමරුදු නිවසේ අවසන් මොහොතේ පැවති වාතාවරණය පිළිබඳ කර ඇති සඳහනේ සරල සාරාංශයකි. මෙම කතාව ඇය විසින් මුලින්ම අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසියටත්, අවස්ථා තුනකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටත් සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමටත් ආදී වශයෙන් වරින් වර අවස්ථා පහකදී කී කතාවක් වන්නීය.

එසේ නම් ඇය කියන ආකාරයට එදා සයින්දමරුදු නිවසේදී සහරාන්ගේ සොහොයුරු මොහොමඩ් රිල්වාන් සිදු කළ පිපිරීමේදී පුලස්ති මහෙන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අත්වූ ඉරණම කුමක් විය හැකිද? එය තීරණය කිරීමද මේ සටහන කියවන ඔබට භාරය.

සයින්දමරුදු පුපුරවා ගැනීමේ කතාව මෙසේ වෙද්දී එම පිපිරීම සිදුවූ අවසන් මොහොතේ මරාගෙන මැරෙන බෝම්බ ජැකට්ටුවක් පැළඳඑහි සිටි පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් චරිතය යළි සමාජ කතිකාවක් බවට පත්වෙන්නේ එම මළසිරුරු සම්බන්ධයෙන් සිදු කෙරුණු දෙවැනි ඩීඑන්ඒ පරීක්‍ෂණයත් සමඟය.

ඒ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමද ක්‍රියත්මකව තිබිණි. ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන මාහින්කන්ද යනු එම ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාය. පසුව ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීමක්ද ලැබීය. පාස්කු කොමිසම ක්‍රියාත්මක වෙද්දී දිනක් විමර්ශන ප්‍රධානියා ලෙස ඒ වෙත යන ඔහු තමන්ගේ විශ්වාසවන්ත ඔත්තුකරුවකු පාස්කු ප්‍රහාරය පිළිබඳ වැදගත් තොරතුරක් අනාවරණය කරන බව සඳහන් කරන්නේය. ඒ අනුව සිය විශ්වාසවන්ත ඔත්තුකරුවා කොමිසම ඉදිරියට ගෙන ඒමට සීඅයි මාහින්කන්දට අවස්ථාව ලැබෙන අතර එසේ කොමිසමට පැමිණෙන මාහින්කන්දගේ ඔත්තුකරුවා සඳහන් කරන්නේ කුමක්ද?

අපි ඔහුව එම්ඒ ලෙස හඳුන්වමු. එසේ කරනුයේ අනන්‍යතාව සුරක්‍ෂිත වනු පිණිසය. කොමිසම ඉදිරියට පැමිණෙන ඔහු කියන්නේ සයින්දමරුදු පිපිරීමෙන් ටික දිනකට පසු එවකට අම්පාර පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු වූ අබුබක්කර් නමැති පොලිස් නිලධාරියා කැබ් රථයකින් කලවංචිකුඩි ප්‍රදේශයට පැමිණ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ව එහි නංවාගෙන පලා ගිය බවකි. සාරා ජෙස්මින් පාස්කු ප්‍රහාරය පිළිබඳ කතාවේ ප්‍රධාන චරිතයක් වන්නේ එතැන් සිටය. අලුයම තුනට පමණ අබුබක්කර් එසේ පැමිණ සාරා ජෙස්මින්ව රැගෙන ගිය බවද කොමිසම හමුවේ කියන මාහින්කන්දගේ ඔත්තුකරුවා වූ එම්ඒ එම සිදුවීම තමන්ගේ ලොරි රථයේ සහායකයා දුටු බවද සඳහන් කරන්නේය.

අපි ඒ සහායකයා එස්ආර් ලෙසින් හඳුන්වමු. පසුව එකී ලොරි සහායකයාද පැමිණ සාරා ජෙස්මින්ව එසේ රැගෙන යනු තමන්ද දුටු බව ජනාධිපති කොමිසම ඉදිරියේ සඳහන් කරන අතර ඒ අනුව එම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති කොමිසම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙනු ලැබිය. ඒ අනුව විමර්ශන ආරම්භ කෙරිණි. අම්පාර පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අබුබක්කර් අත්අඩංගුවට ගැනිණි. එකී අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ ඉකුත් 2020 වසරේ ජුලි මාසයේදීය. පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔහු අදටද සිටිනුයේ බන්ධනාගාරගතවය. අනතුරුව අදාළ තොරතුර ලබාදුන් පුද්ගලයන් දෙදෙනා පිළිබඳව විමර්ශන අරඹන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දුරකථන දත්ත වාර්තා ඔස්සේ පරීක්‍ෂණ සිදු කරමින් අනාවරණය කර ගනු ලබන්නේ සයින්දමරුදු පිපිරීම සිදුවූ කාලයේ ඔවුන් දෙදෙනා නිකමටවත් කලවංචිකුඩි හෝ ඊට ආසන්න ප්‍රදේශයකටවත් පැමිණ නැති බවකි. එම කාල සීමාව තුළ ලොරි සහායකයා සිට ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙළිකර ගන්නේය.

එසේම අත්අඩංගුවට ගනු ලැබූ අම්පාර පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අබුබක්කර් නමැති නිලධාරියා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයේදී දුරකථන දත්ත වාර්තා අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගනු ලබන්නේ වැරදීමකින්වත් ඔහු කලවංචකුඩි ප්‍රදේශයට ගොස් නැති බවය.

මේ අන්දමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාහින්කන්ද විසින් ජනාධිපති කොමිසම ඉදිරියට ගෙන ආ ඔහුගේ විශ්වාසවන්තම ඔත්තුකරුවන්ගේ පැටිකිරිය අනාවරණය කරගනිද්දී එස්ආර් හෙවත් මහින්කන්දගේ ඔත්තුකරුගේ ගෝලයා වූ ලොරි සහායකයා ක්ලමුණේ අධිකරණය වෙත ගොස් ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් 5 වැනිදා විශේෂ රහස් ප්‍රකාශයක් සිදු කරන්නේය.

ඉන් අනතුරුව 2021 වසරේ මාර්තු මාසයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යන එස්ආර් හෙවත් ලොරි සහායකයා එහිදී කියා ඇත්තේ තමන් අබුබක්කර් කියන පොලිස් නිලධාරියා කැබ් රථයකින් සාරා ජෙස්මින්ව රැගෙන ගිය බවට කියා සිටියේ ලොරි හිමියාගේ බලපෑම නිසා බවය. එවන් සිදුවීමක් තමා කිසිදා නොදුටු බවද ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පසුව ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීමත් සමඟ වහා ක්‍රියාත්මක වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාහින්කන්ද නමැති විමර්ශන නිලධාරියාගේ ඔත්තුකරු කී සියල්ල අසත්‍ය බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමට දැනුම් දෙනු ලබන අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අබුබක්කර්ට එරෙහිව චෝදනා එල්ල වූ සිද්ධිය තහවුරු කිරීමට කිසිදු සාක්‍ෂියක් අනාවරණය නොවූ බව සඳහන් කරමින් විමර්ශනයේ උධෘත නීතිපතිවරයාටද යොමු කරන්නේය. මෙම සිදුවීමත් සමඟ කලකට පෙර හිමිවී තිබූ ග්‍රීන් කාඩ් වීසා අවසරයක් මගින් පාස්කු කොමිසමට ව්‍යාජ සාක්‍ෂි ඉදිරිපත් කළ අර්ජුන මාහින්කන්ද නමැති නිලධාරියා සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස් වීමක්ද ලබා සිටියදී පොලිස් ඇමරිකාව බලා පිටත්ව ගියේය. එය සිදුවූයේ මීට මාස දෙක තුනකට ඉහතදීය.

එහෙත් අම්පාර පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අබුබක්කර් තවමත් සිටින්නේ බන්ධනාගාරගතවය. මේ වන විට ඔහුට එරෙහිව බී වාර්තාවක් මගින් නඩුවක්ද පැවරී තිබෙන බව දැනගැනීමට ඇත.

එසේ වීමට හේතුව කුමක්දැයි අපට වැටහෙන්නේ නැත. එවැන්නක් සිදුව ඇත්තේ අබුබක්කර් නමැති එකී පොලිස් නිලධාරියාගේ අවාසනාව නිසාද? නැති නම් වෙන කුමක් හෝ හේතුවක් නිසාද? තේරුම් ගත නොහැකිව ඇත්තේද ඒ ටිකය. පසුගිය දිනක පාර්මේන්තුවට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳව වැළපෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කියාය. ඒ සම්බන්ධයෙන් දැනටමත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. එහෙත් පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට නම් මනුෂ නානායක්කාර වැනි අය කළ යුත්තේ මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ වරප්‍රසාදවලට මුවා වී කෑමොර දීමද?

නැත ඔහු සැබෑවටම පාස්කු වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් සිදුකළ යුතු වන්නේ සියලු සාක්‍ෂි සමඟ ගොස් මේජර් ජෙනරාල් සුරේෂ් සලේට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමය.

එසේ නොහැකි නම් නීතිඥයකු සමඟ අධිකරණය හමුවට යෑමේ අවස්ථාවට ඔහුට ඇත. එලෙස නිවැරදි දේ කරනු වෙනුවට මේ අන්දමට කටයුතු සිදු කිරීමෙන් පාස්කු වින්දිතයන්ට හිමිවන කිසිදු සෙතක් නැත. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හෝ වෙන යම් කෙනකු වුවද මේ අපරාධයට සම්බන්ධ නම් කාට වුව තරාතිරම නොබලා දඬුවම් හිමිවීම නියත වශයෙන්ම සිදුවිය යුතු දෙයකි. එහෙත් ඊට අවස්ථාව නොතබා මනුෂ නානායක්කාර වැනි අය මේ අන්දමට කටයුතු කරන්නේ ඇයි? ඉහත සටහන් වූ සමස්තය ද සමඟ බලන කල ඉන් කියැවෙන්නේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ සිටම කිසියම් අදිසි යාන්ත්‍රණයක් ඒ පසුපස ක්‍රියාත්මක වූ බවද? එවැන්නක් සිදුවූයේ නම් පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් කරනවාක් මෙන්ම රටත් සමාජයත් නොමඟ යවමින් කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක වූ ඒ සියලු දෙනාටද දඬුවම කළ යුතුය.

කාට හෝ එසේ නීතියෙන් දඬුවම් නොලැබුණද පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන්ගේ නාමයෙන් ඒ කිසිවකුටත් කිසිදා ස්භාවධර්මයෙන් නම් ගැලවීමක් ලැබෙන්නේම නැත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment