“ඉතිහාස පොත කියන්නේම කතාන්දරයක්, කොහොමත් ඉතිහාසය කියන්නේ යළි පුනර්ජීවනය ලබන්නේ නැති යුගයක්, ඒ නිසා ඉතිහාසය අයිති කතා කලාවටම තමා. අපිට තියෙන්නෙ ඒ කතා දිහා විමසිල්ලෙන් බලලා ඒවායින් නොකියවෙන සමාජ දේශපාලනය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගැනීම. හැබැයි ඒවා විභාගවලට නම් එන්නේ නෑ. ඒත් මට ඕන කරන්නේ ඔය ළමයින්ව විභාගවලට සූදානම් කරනවට වඩා පාඩම් පොතෙන් වහලා දාලා තියෙන දේවල් ගැන ඔය ළමයිට යම්කිසි අවබෝධයක් ලබාදෙන එක.”
නිලංක ඇලෙක්සැන්ඩර්… සිය , “වසා දැමූ කතා” කෙටි කතා සංග්‍රහයෙන් කියන්නේය.
වැළලී ගිය බොහෝ මතක යළි යළිත් සිහිපත් කරමින් බොහෝ කතුවරුන්ට හසු නොවූ මානයන් සිය පෑන් තුඩට හසු කර ගන්නා තිර පිටපත් රචකයෙකු සහ ලේඛකයෙකු වන නිලංක ඇලෙක්සැන්ඩර් සමග වර්තමාන සාහිත්‍ය සහ ටෙලි නාට්‍ය කලාව පිළිබඳ කරන ලද සංවාදයයි මේ.
වර්තමාන සාහිත්‍ය කලාව වර්තමාන සමාජ ප්‍රගමනයට දක්වන දායකත්වය කොහොමද?
අපි මේ පසු කලේ සහ පසුකරමින් ඉන්නේ අඳුරු යුගයන්. අඳුරු යුගයක ලියවෙන දේවල් ඒ අඳුරු යුගය ගැන විය යුතුයි. ඒ වුණත් මේ යුගයේ එහෙම ලියවුනු බහුතරයක් දකින්න ලැබෙන්නේ නෑ. සාහිත්‍යයෙන් සමාජ ප්‍රගමනයක් ඇති කරන්න බෑ. ඒත් සමාජ ප්‍රගමන ක්‍රියාවලියට අවශ්‍ය කරන අංශු මාත්‍රික උරදීමක් එහෙමත් නැත්තම් සියුම් කම්පනයක් සිදු කරන්න සාහිත්‍යයට පුළුවන්. ඒත් සාහිත්‍ය නිර්මාණත් අනිත් නිෂ්පාදන භාණ්ඩ වාගේම, නොවැළැක්විය හැකි ලෙස වෙළඳ පොළේ තරග කළ යුතු භාණ්ඩයන් බවට අද පත්වෙලා. එතෙන්දි සාහිත්‍යය නිර්මාණයකින් ඉටුකළ යුතු යුගයේ සමාජ කාර්යභාරය මගඇරිලා. පාඨකයා ඉල්ලන භාණ්ඩය සපයන තත්ත්වයක් තමා මේ මොහොතේ තියෙන්නේ. පාඨකයා ගෙවන ආතති සහිත සමාජ වාතාවරණය තුළ ඔවුන්ව මනසින් ෆැන්ටසියක් තුළ රඳවන සාහිත්‍ය නිර්මාණ ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඒත් සාහිත්‍යය තුළින් සාමජය ප්‍රඥ්ඥාවට පැමිණවීමේදී ෆැන්ටසියෙන් මිදිලා හිත තැලෙන නිර්මාණ දෙස සමාජය හැරී බැලිය යුතුයි. ඒ දුක්ඛ රසය ලැබීම සඳහා නෙමෙයි. අවබෝධය ලැබීම සඳහා. අපි මේ පසු කරන්නේ ඒ සමාජ අවශ්‍යතාවය පවතින යුගයක. ඇතැම් සාහිත්‍යකරුවන් මේ අවශ්‍යතාවය තේරුම් අරගෙන කරන නිර්මාණ අපිට කලාතුරකින් හමුවෙනවා. දෙමළ ලේඛක දීපචෙල්වම්ගේ “නඩුගල්” උදාහරණයක් විදියට පෙන්නන්න පුළුවන්. හැබැයි ඒ විදියේ නිර්මාණයන් බිහිවුවත් මේ පවතින ධනේෂ්වර රටාවේ ආතතියට හසුවුණ පාඨකයාගෙන් එවැනි නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර නම් ඒ තරම්ම සුබදායී නෑ. ඒ වගේම ඇතැමුන් විශ්වාස කරන්නේ අප සාහිත්‍යමය නිර්මාණ කළ යුත්තේ වෙළඳපොළ කේන්ද්‍රගත කරගෙනම විය යුතු බවයි. ඒ තමා මා මුලින්ම කිවු සාහිත්‍යයත් අනෙකුත් නිෂ්පාදන භාණ්ඩ තත්ත්වයටම පත්වීමේ අනිසි ප්‍රතිඵල. වැඩියෙන් විකිණෙන පොතකට වඩා වැඩියෙන් සමාජය රිදවිය විය හැකි පොත වඩාත් අනගි බව මගේ අදහසයි.
“වසා දැමූ කතා” අන්තර්ගතය යම් කාලයක කතා බහට ලක්වී පසුව වියැකී ගිය සිදුවීම් පෙළක්. ඒ සිදුවීම් කෙටිකතා සංග්‍රහයක් ලෙස එළිදක්වන්නේ කවර අරමුණක් පෙරදැරි කරගනිමින් ද?
වසා දැමූ කතා එහි නමේ අර්ථයෙන්ම ගත් කල වසා දමන ලද කතා තමයි එහි අන්තර්ගත වන්නේ. ඒ කියන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රධාන ධාරාවෙන් වසා දමන ලද සත්‍ය කථාංග අටක එකතුවක් තමා වසා දැමූ කතා කියන්නේ. මෙහිදී මෙරට යුග කිහිපයක සිදු වූ නිශ්චිත දේශපාලනික සහ සමාජයීය සත්‍ය සිදුවීම් අටක් මෙයට වස්තු බීජ වෙනවා. එහිදී එක්දහස් නවසිය හැත්ත එකේ අරගලය, එක්දහස් නවසිය අසූවේ ජූලි වර්ජනය, එක්දහස් නවසිය අසූ එකේදී යාපනය පුස්තකාලය ගිනි තැබීම, එක්දහස් නවසිය අසූ අට / එක්දහස් නවසිය අසූ නවය රාජ්‍ය ත්‍රස්තවාදය, එල්ටීටීඊ ගුවන් ප්‍රහාර, පශ්චාත් යුද කාලීන අතුරුදන් කිරීම්, යුද සිරකරුවන් සහ පශ්චාත් යුද සමයේ මුසල්මානුවා ප්‍රධානතම සතුරා බවට පත්කරවීමේ දේශපාලනික වෑයම යනාදී වශයෙන් නිශ්චිත සත්‍ය කථාංගයන් අයත් කෙටිකතා සංග්‍රහයක්. බේෂ්ට් පැවැසූ පරිදි මේ අඳුරු යුගයේ ගැන ලියවුන ඒ කතා සියල්ලම ඒ අඳුරු යුගය ගැනම පමණයි. මෙවැනි අඳුරෙන් වැසීගිය කතා කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් අඳුරටම යට කර තැබි යුතු නෑ. උදාහරණයක් ලෙස එක්දහස් නවසිය හැත්ත එකේ අරගලයේ නියැළුණ ඒ මිනිසුන්ගේ ඒ අප්‍රතිහත ධෛර්යට ජේ. ආර්. ජයවර්ධන වැනි මෙරට ධනේෂ්වරයේ සංකේතය බඳු දේශපාලන අධිපතියෙකුට එරෙහිව නොබියව කර්මාන්තවලින් එළියට බැස්ස එක්දහස් නවසිය අසූවේ ජූලි වර්ජකයින්ගේ ඒ අභීත සටන්කාමීත්වයට එසේම එක්දහස් නවසිය අසූ අට / එක්දහස් නවසිය අසූ නවයේදී රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නොබිය මුහුණ දුන් දකුණේ තරුණයන්ගේ සහ දිගින් දිගටම අහිමි කරවමින් ගිය තම අයිතීන් උදෙසා සටන් කරනු ලැබූ ඒ උතුරේ දෙමළ තරුණයන්ගේ ඒ අප්‍රතිහත නිර්භීත සටන්කාමිත්වයට ලබාදිය යුතුම ගෞරවය ලබාදෙන්න තමා මා විසින් වසා දැමූ කතා කෙටි කතා සංග්‍රහය කරනු ලබන්නේ. මේ යුගයේ මේවැනි දේශපාලනික සවිඥානයන් ඇති කරවන මතෘකා ගැන ලියවුනු ප්‍රබන්ධ සාහිත්‍යයේ අඩුවක් මා දකිනවා. ඒ නිසා එවැනි මාතෘකා පිළිබඳව අපේ වර්තමාන පරම්පරාව දැනගත යුතු වනවා සේම අනාගත පරම්පරාවට ද ඒ පිළිබඳව අප සංවේදීත්වයක් ඇති කරවිය යුතුයි. ඒ වගේම අනාගත පරම්පරාවට මේ අත්දැකීම් පිළිබඳව දැනුවත්භාවයක් ලබාදීමට මෙවැනි කතා මේ මොහොතේ ලියැවී තිබිය යුතුමයි.
“ජෙගන්” ලංකා ඉතිහාසයේ උතුරු සහ දකුණු කැරලි ද්විත්වයක හෙළිදරව්වක්. ඒ පිළිබඳ නැවත සමාජගත කිරීමට ඔබ අපේක්ෂාව කළේ ඇයි?
දෙමළ වදනකුදු කතා කිරීමට නොහැකි අකුරකුදු ලිවීමට නොහැකි නමුත් නමින් පමණක් දෙමළ වු දකුණේ සිංහල ජන සමාජයේ ජීවත් වූ තරුණයෙක්ව මේ සිංහල ජාතිකවාදී සමාජය විසින් ත්‍රස්තවාදියකු ලෙසින් හංවඩු ගැසීමකට ලක්කරන සිදුවීමක් වටා ලියවුණ කථාංගයක් තමා ජෙගන් කියන්නේ. ඒක නවකතාවක්. මෙය ප්‍රධාන වශයෙන්ම උතුරේ වාර්ගික අර්බුදය පාදක කරගත්ත නිර්මාණයක්. ලංකාවේ වාර්ගික අර්බුදය දෙස දකුණේ වැසියෙකුගේ ඇසින් බැලීමක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේ කතාව ආරම්භ වෙන්නේ එක්දහස් නවසිය අසූ තුනේ සිංහලයා විසින් කොළඹ සහ තදාසන්න පෙදෙස්වල ජීවත් වූ දෙමළ මිනිසුන් වෙත එල්ල කරපු ඒ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමගින්. ඒ කියන්නේ කළු ජූලියත් සමගින්. එසේම එක්දහස් නවසිය අසූ අට / එක්දහස් නවසිය අසූ නවය දී රාජ්‍ය ත්‍රස්තවාදය විසින් දකුණේ තරුණයන්ව ම්ලේච්ඡ ලෙස මර්දනයට ලක් කර වූ ආකාරය පිළිබඳ එහි මධ්‍ය භාගයේදී කතා කරනවා. දිගින් දිගටම අහිමි කරවූ තම අයිතීන් සහ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට සහ රාජ්‍ය මර්දනයට එරෙහිව පෙනී සිටිමින් අවසානය ආයුධ සන්නද්ධ අරගලයක යොමු වූ උතුරේ තරුණයන් සහ ඒ ආශිත්‍රව ගොඩනැගුනු යුද්ධය පිළිබඳව මේ කෘතිය පුරාවටම සාකච්ඡාවට ලක්වෙනවා. අපේ භූමිය කියන්නේ මෙවැනි ම්ලේච්ඡ සිදුවීම් සහ රාජ්‍ය මර්දනයන් දිගින් දිගටම සිදුවුණ බිමක්ය කියන කාරණාව අනාගතය දැනගත යුතුයි. ඔවුන් ඒ පිළිබඳව සංවේදීත්වයක් ඇති කරගත යුතුයි. අප ඒවා දැන ගත යුත්තේ වෙන කිසිවක් නිසා නොවේ. ලංකාවේ ජාතික ගැටලුව ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත් අඛණ්ඩව අද දක්වා තිබෙන මේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට එරෙහි මතවාදයක් දකුණේ ගොඩනැගීමට අවශ්‍ය නිසාත්ය. මම යුද්ධය අමානුෂික බව පිළිගන්නා නමුත් දිගින් දිගටම කුමන හෝ පාර්ශවයක් වෙත එල්ලවෙන මර්දනය සහ පීඩනය ඊටත් වඩා අමානුෂික බව විශ්වාස කරනවා. ඒ නිසා අප විරුද්ධ විය යුත්තේ යුද්ධයට නොවේ යුද්ධයට මං පෙත සකසන ඒ මර්දනයට එරෙහිවයි. ඒ නිසා දකුණේ පුරවැසියකු විදියට මේ අඳුරු යුගයේ ඒ ම්ලේච්ඡ සිදුවීම් කෙරෙහි මා තුළ හට ගත් කම්පනය නිසාවෙන්ම තමා මා ජෙගන් නවකතාව රචනා කරන්නට පෙළඹෙන්නේ. මා තුළ හට ගත්ත ඒ කම්පනය මනුෂ්‍යත්වය අගය කරන අන්‍යන්ටත් ඇති කරවන්න වගේම ඒ කම්පිත සිදුවීම් පිළිබඳ මතකය අපි අනාගතයට පවරා දිය යුතු නිසාත්ය.
ඔබ ටෙලි නාට්‍ය තිරපිටපත් රචකයෙක් වශයෙන් සිතන පරිදි වර්තමාන සමාජ ක්‍රමය සමඟ බිහි විය යුතු නිර්මාණ මේ මේ ආකාර විය යුතු යැයි ඔබ සතුව අදහසක් තිබේද? ඒ වෙනුවෙන් ඔබ ලබා දෙන දායකත්වය කුමක්ද?
ටෙලිනාට්‍ය කලාවක් ලෙසින් වරනැගීම ගැන මට තියෙන්නේ විවේචනාත්මක අදහසක්. ආරම්භක යුගයේ ඉඳලාම ගත්තොත් ටෙලි නාට්‍ය වඩාත් බර වෙන්නේ කලාවට වඩා ව්‍යාපාරික අරමුණුවලට. ඒ නිසානේ මේවා සෝප් ඔපෙරා විදියට හඳුන්වන්නත් පටන් ගත්තේ. මුල් යුගයේ නිවසේ හුදකලාව සිටින ගෘහණිය කේන්ද්‍රගත කරගනිමින් ඔවුන්ගේ විනෝදාස්වාදය උදෙසාම නිර්මාණය වුණ මේ ඔපෙරා ගණයේ නාට්‍ය සඳහා සබන් නිෂ්පාදකයින් තම භාණ්ඩයන්ට ප්‍රචාරණය ලබාදීම වෙනුවෙන් කරන ලද දීර්ඝකාලීන ආයෝජන නිසාවෙන්නේ මේ නාට්‍ය සබන් නාට්‍ය නැතිනම් සෝප් ඔපෙරා ලෙසින් හඳුන්වන්න පටන් ගත්තා. අපේ රටේ මුල්ම ටෙලිනාට්‍ය වුණු දිමුතු මුතු ගත්තත් එය එකල ජිනසේන නම් වතුර පොම්පකරුවන්ගේ අනුග්‍රහයෙන් නිර්මිත නාට්‍යයක්. ඉතිං ධනේෂ්වරයේ වෙළඳ සංකේතයක් බඳු ටෙලිනාට්‍ය වඩාත් බර වෙන්නේ කලාවට වඩා වෙළඳපොළ ප්‍රචාරණ අවියකටයි. ඒ නිසා ව්‍යාපාරික අරමුණ පෙරදැරිව කෙරෙන නිර්මාණ තුළ කලා භාවිතාවක් සෙවීමම පවා විහිළුවක්. නමුත් මෙරට රූපවාහිනිය පැමිණි මුල් යුගය ගත්තොත් එකල රූපවාහිනි නාලිකා තිබුණේ දෙකක් පමණයි. ඒ නිසා ඔවුන් අතරේ තරගකාරිත්වයක් එතරම්ම තිබුණේ නෑ. ඒ නිසා ඒ යුගයේ ටෙලිනාට්‍ය නිර්මාණකරණයේ නියැළුණු ඒ ශිල්පීන්ට තමන්ගේ නිර්මාණය වෙනුවෙන් වැය කරන්න ඇති තරම් කාලයක් සහ මානසික නිදහසක් තිබුණා. ඒ නිසා වෙළඳපොළ ප්‍රචාරණය උදෙසා වුවත් ඉතා හොඳ තත්ත්වයේ ටෙලි නාට්‍ය තිරපිටපත් බිහිවුණා. නමුත් අදවෙනකොට මේක සම්පූර්ණයෙන්ම උඩුයටිකුරුවෙලා තිබෙන්නේ. රූපවාහිනි නාලිකා ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙනවා. ඔවුන් තමන්ගේ නාලිකාවේ ගුවන් කාලයට වැඩි වෙළඳ වටිනාකමක් ලබාගැනීම වෙනුවෙන් සතියේ දින හතේම එක දිගටම ධාවනය වන ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමුවෙලා තිබෙනවා. මෙවැනි අධික වෙළඳපොළ තරගකාරීත්වය හමුවේ ටෙලිනාට්‍ය සැණින් එසැණින් බිහිවීමේ ප්‍රවණතාවය වැඩිවෙලා තියෙනවා. ඒ නිසාවෙන් මුල් කාලයේ මෙන් වර්තමාන ටෙලිනාට්‍ය තිර රචකයාට තම නිර්මාණය වෙනුවෙන් වැය කරන්න ඇති තරම් කාලයක් සහ මානසික නිදහසක් ඇත්තේම නැති තරම්. ඒ නිසාවෙන් අවරගණයේ යැයි සැළකෙන නිර්මාණ සැණින් එසැණින් බිහිවීම වැඩිවෙලා තියෙනවා. එවැනි නිර්මාණ බිහිවීම එම ටෙලි නාට්‍ය තිර රචකයාගේම දුර්වලතාවයක් නිසා සිදුවන්නක් නෙමේ. එය මේ වෙළ පොළ තරගකාරීත්වයේ එක් අඳුරු පැතිකඩයක්. ඒ නිසා වෙළපොළ අරමුණ පෙරදැරිව කෙරෙන ටෙලි නිර්මාණ තුළින් මේ මොහොතේ ගුණාත්මකභාවයක් සෙවීමම පවා විහි`ඵවක්.
එවැනි දීර්ඝ ටෙලි නිර්මාණ තුළින් සමාජ සංවර්ධනයට හෝ පුද්ගල විනෝදාස්වාදයට යම් ධනාත්මක බලපෑමක් එල්ල කළ හැකිද?
වර්තමානයේ ටෙලි නාට්‍ය කියන්නේ හුදෙක් සරල විනෝදාස්වාදය සැපයීම උදෙසාම බිහිවන නිර්මාණයන්ම පමණයි. පවතින තරගකාරී රටාව නිසාවෙන් තිර රචකයාට ලැබෙන කාලය සහ මානසික නිදහසේ සීමාවන් නිසාවෙනුත් දෛනික තිරපිටපත් ලිවීමට සිදුවීම නිසාවෙනුත් ගුණාත්මකභාවයෙන් යුතු තිර රචනා ලියවෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඇතැම් අවස්ථාවල කතාවේ මුල මැද අග කිසිදු තේරුමක් නැතිව පැටලිලි සහගතභාවයක් එන්නේ මේ සිදුවීම් නිසා. රූපවාහිනි මාධ්‍යයේ තිබෙන ප්‍රබලභාවය නිසාවෙන් ඒ කියන්නේ රූපවාහිනිය කියන්නේම පෙළඹවීම වැඩියෙන් කළ හැකි මාධ්‍යයක් නිසාවෙන් මේ ටෙලිකතා නරඹන ඒ ප්‍රේක්ෂකාගාරයට ඇතැම් විට එම වෙනස වැටහෙන්නේ නෑ. වැටහුනත් ඔවුන්ගේ විඥානය විසින් ඒ වෙනස කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරවන්නෙත් නෑ, ඒ නිසා තමා සමහර අවස්ථාවල විවිධ හේතු මත ටෙලිනාට්‍යයේ රඟපාන ප්‍රධාන නළුවා හෝ නිලිය ඉවත් කර එම චරිතයටම වෙනත් නළුවෙකු හෝ නිලියක යෙදුවාමත් ප්‍රේක්ෂකයින් එම නාට්‍යයෙන් ඉවත් නොවී දිගින් දිගටම එම නාට්‍යයන් සමගම රැඳී ඉන්නේ. මේ ආතතීමය සමාජයක දිවිගෙවන ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ආතතිය මගහැරවා ගැනීමට අවශ්‍ය සරල වින්දනයයි. මේ දීර්ඝ ටෙලිනාට්‍ය ආමන්ත්‍රනය කරනු ලබන්නේ ඔවුන්ගේ අන්න ඒ නාඩියටයි. නමුත් දීර්ඝකාලීනව ගත් කල මේ දීර්ඝ ටෙලිනාට්‍ය නිසාවෙන් මෙරට ප්‍රේක්ෂකාගාරයේ රසවින්දනය මොට කරවීමක් හැර වෙනත් ධනාත්මක බලපෑමක් නම් සිදුනොවන බව කිව යුතුයි.
නිර්මාණකරුවකු ලෙස ඔබ සිතන පරිදි වර්තමාන සමාජය තුළ පවතින විෂමතාවයන් පිළිබඳ කතා කරන නිර්මාණ පිළිබඳව ඔබ සෑහීමකට පත්වනවාද?
වර්තමානයේ සමාජ විෂමතා බොහොමයක් තියෙනවා. ලංකා සමාජය තුළ පවතින වාර්ගික අර්බුදය එතෙන්දි ප්‍රමුඛයි. ඒ පිළිබඳව සාහිත්‍ය නිර්මාණකරුවෝ තමන්ගේ අවධානය යොමු කළ යුතු වීමේ ඒ අවශ්‍යතාවය දශක ගණනාවක් තිස්සේ තවමත් අහෝසිවෙලා නෑ. කෙනෙකුට කියන්න පුළුවන් දැන් යුද්ධය අවසන් ඉතින් ඇයි අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරන්නේ කියලා. යුද්ධය අවසානයි සාමයෙන් ප්‍රවේසම් වෙයල්ලා. බ්‍රෙෂ්ට් කිව් පරිදි අපි දැන් වඩාත් පරිස්සන් විය යුත්තේ අප ඉදිරියේ මවා දක්වන මේ සාමයෙනුයි. මා සිතන ආකාරයට යුද්ධය භෞතිකව නිම වූවත් දීර්ඝකාලීන යුද්ධයකට හේතු සාධක වුණ ඒ මූල බීජයන්ට මේ වනතෙක් නිවැරදි දේශපාලන විසඳුම් තවම ලැබී නෑ. ඒ නිසා තවමත් ඒ සමාජ විෂමතාවය ඒ විදියටම පවතිනවා. උදාහරණයක් විදියට ගත්තොත් යුද්ධය අවසන් අදියරේ මුල්ලිවයිකාල් බිමෙහි දෙමළ ජනයා තම කුසගිනි නිවා ගැනීමට උපකාරි කරගත් කැඳ සහ තමන් සමගින් සිටි යුද්ධයේදී මරා දැමුනු ඒ ඥාතීන් සිහිපත් කරවීම උදෙසා ඔවුන් විසින් කරනු ලබන ඒ මුල්ලිවයිකාල් කැඳ සතියට දකුණේ රාජ්‍ය විසින් දිගින් දිගටම එල්ල කරනු ලබන බාධාවන් පෙන්විය හැකියි. ඒ වගේම අතුරුදන් කරවූ සහ මරා දැමුනු තම ඥාතීන් සිහිපත් කිරීමට යෑමේදී තවමත් දකුණෙ රාජ්‍යය විසින් ඔවුන් වෙත කරනු ලබන බාධාවන්ද ඒ අතර ප්‍රධානයි. ඒ නිසා පශ්චාත් යුද සමයක ජීවත් වන අපි පශ්චාත් යුද සාහිත්‍යයක් කෙරෙහි අවදානය යොමු කළ යුතුයි. ඒ නිසා මෙරට වාර්ගික අර්බුදය පිළිබඳව කෙරෙන සාහිත්‍යයම මැදිහත්වීම කිසිලෙසකින්වත් තවම අහෝසි නෑ. නමුත් සාහිත්‍යයම මැදිහත් වීමක් තුළින්ම පමණක් මේ ආකාරයේ සමාජ විෂමතාවයන් අවම කරගත හැකිවේවි කියන විශ්වාසය නම් මා තුළ නෑ. එවැන්නක් උදෙසා අවශ්‍ය වන්නේ සංවිධානගත සමාජ ව්‍යාපාර. එවැන්නක් ඔස්සේ කෙරෙන විප්ලවීය මැදිහත් වීමකින් හැර සමාජ විෂමතාවයන් අවම කිරීමට සාහිත්‍යය තුළින් හැකිය යන විශ්වසාය අබමල් රොනක තරම්වත් මා තුළ නෑ.
නව පරපුර නිර්මාණකරණය කෙරෙහි බොහෝ පසුගාමී තත්ත්වයක් දක්නට ඇත. ඒ පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද?
නව පරපුර නිර්මාණකරණයට පැමිණීමේ අඩුවක් නම් මට පේන්නේ නෑ. මේ වන විට යූටියුබ් ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය සහ සයිබර් සාහිත්‍ය හරහාත් ඔවුන් විශාල වශයෙන් විවිධාකාරයේ නිර්මාණ කරනු ලබනවා. ඒ නිසා ඔවුන්ව අමුතුවෙන් නිර්මාණවලට යොමු කිරිමක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔවුන් නව තාක්ෂණය ඔස්සේ මේ වෙන විටත් නිර්මාණකරණයට යොමුවෙලා අවසන්. අප විසින් කළ යුත්තේ ඒ නව පරපුරේ නිර්මාණයන් වඩාත් ගුණාත්මක නිර්මාණ බවට පත් කරවීමට දායක විමයි. ඔවුන් විසින් කරනු ලබන ඒ නිර්මාණවල ගුණාත්මකභාවය රඳා පැවතීමට ඔවුන්ගේ අත්දැකීම බලපානවා. අන්න ඒ අත්දැකීමවලට අපට සහය වෙන්න පුළුවන්. ඔවුන්ව දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා අපි දායකත්වය ලබාදෙන්න ඕනේ. අපේ රටේ පහුගිය දශක කිහිපය කියන්නේ සමාජ ආර්ථික සහ දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක මංසංදි පහු කරපු යුගයක්. ඒ යුගයේ සජීවි ජීවිත අත්දැකීම් නොමැති පරම්පරාවක් තමයි නවපරපුර කියන්නේ. ඔවුන්ගේ ජීවිතේ වැඩිම කාලයක් ගෙවිලා තියෙන්නේ එක්තරා පාලක පැලැන්තියක් විසින් ගොඩනගන ලද යුද උන්මාදයත් එක්කයි. එන් එහා අනුව දශකය වැනි දාර්ශනික මතයන් බහුලව සංවාදයට බඳුන් වූ දශකයක ඒ අත්දැකීම්වලින් මොවුන්ව පෝෂණය කළ යුතුයි. උදාහරණයන් ලෙස අනූව දශකයේ වමේ දේශපාලනය තුළ තිබුණු ඒ දේශපාලනික සංවාද, එක්ස් කණ්ඩායම වැනි කණ්ඩායම් අතරේ සිදුවූ දේශපාලනික විග්‍රහයන් පිළිබඳවත් අසූව දශකයේ ඒ අඳුරු මතකයන් පිළිබඳවත් මොවුන්ට සජීවි අත්දැකීම් නොමැති නිසාවෙන් ඒ දැනුමෙන් මොවුන්ව පෝෂණය කර ඒ පිළිබඳව ඔවුන් සංවේදී කිරීම තමා අප විසින් මේ මොහොතේ කළ යුතු වන්නේ.
● චින්තනී වික්‍රමනායක