විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය
බසින් රස මවන්නේ සාහිත්‍යය යි. එදිනෙදා මානව ක්‍රියාකාරකම් සහ මානව අත්දැකීම් අතික්‍රමණය කරමින් සමාජයේ ගැඹුරු තලය හා පවත්නා සහසම්බන්ධතා වියමන ශක්තිමත් කරලන ප්‍රධාන හුය වන්නේ ද සාහිත්‍යය යි. හුදෙක් මානවීය පොදු ධර්මතා හමුවේ වියළි හදවත්හි අස්කොන් අතර නිද්‍රාශීලීව යටපත් වන්නා වූ ඉසියුම් සංවේදනයන් අවදි කරවා ඉස්මතු කොට ළතෙත් කරවන්නේ ද සාහිත්‍යය යි.
සාහිත්‍යයෙහි ඇති විවිධ දිශානති අතර ප්රබන්ධකරණයෙහි ලා උනන කාල්පනික අපූර්වත්වයත් ශාස්ත්‍ර ගවේෂණයෙහි ලා පැනෙන ඥානාර්ථයත් සැමට ඉහළින් විශේෂ වන්නේ එබැවිනි. එකී සාහිත්‍යය, සම්මානයෙන් පිදුම් ලබන්නේ ද නො එසේ ව නිරායාසයෙන් ම සම්මානිත වන්නේ ද ඒ නිසාවෙනි.
කෙසේ නමුදු බසෙහි, රසෙහි, සහිතෙහි ගුණ තවදුරටත් හඳුනමින්, විමසමින් දිහ හැරෙන අද්‍යතන ලාංකේය සමාජය තුළ විවිධ අංශ සහ සන්නාම යටතේ නිර්මාණාත්මක සාහිත්‍ය නිරන්තරයෙන් ඇගැයුමට පාත්‍ර වෙනු දක්නට ලැබීම වටනා ප්රවණතාවකි. එලෙස මෙරට නිර්මාණාත්මක සාහිත්‍ය අගයනු වස් විශ්වවිද්‍යාලයකින් ඇගැයුම් සම්මාන පිරිනැමෙන මුල්ම සහ එකම අවස්ථාව වසයෙන් “විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය” හඳුන්වා දිය හැකි ය. මනා පරිචයන්ගෙන් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීණ ලේඛකයන්ගේ මෙන් ම ආධුනික නිර්මාණකරුවන් ගේ ද ලේඛනකරණයෙහි ප්‍රතිභා සම්පන්න ඥාන වෘද්ධතාවන් විද්‍යෝදය සම්මාන ප්රදානය හරහා සමාජගත කිරීම එම කාර්යයේ ප්‍රධාන අපේක්ෂාව යි.
යථෝක්ත සත් කාර්යය පෙරදැරි කරගත් 2024 විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට තව ඇත්තේ දින අටකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව විසින් පසළොස්වෙනි වරටත් පවත්වන්නට යෙදෙන මෙම උළෙලේ දී, ගෙවුණු වසරේ එනම් 2023 වසරේදී ප්‍රකාශයට පත්වුණු නවකතා, කෙටිකතා, ශාස්ත්‍රීය සංග්‍රහ, තීරු ලිපි හා විශේෂාංග ලිපි සංග්‍රහ, පද්‍ය සංග්‍රහ මෙන් ම ගේය කාව්‍ය සංග්‍රහ යන සාහිත්‍ය දිශානති අතරින් තෝරා පත්කරගත් ප්රශස්ත ම කෘති සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත ය.
මෙම සම්මාන උළෙල ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන අදියර තුනක් යටතේ ය. 2024 වර්ෂාරම්භයේ දී ඉහත තේමාවලට අදාළ ව පීඨය වෙත ලැබුණු විවිධ කෘති 350කට අධික ප්‍රමාණයක්, අධ්‍යයනාංශ ගණනාවක ආචාර්යවරුන් විසින් අගයන ලදුව දෙ වැනි අදියරයට කෘති 70ක් පමණ තෝරා පත්කර ගැනිණි. කෙමෙන් තෙවැනි අදියරය ළඟාවෙමින් පවතින අතර විවිධ අංශවලින් ඇගැයීමට ලක්ව නිර්දේශ වූ අවසාන කෘති ප්‍රකාශයට පත්කිරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී. ඇගැයුම් ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය එළිදැක්වෙන්නේ එළැඹෙන සාහිත්‍ය මාසයේ එනම් සැප්තැම්බර් මාසයේ තුන් වැනි දා යි. එදින සවස 3.00ට විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ සුමංගල සභාසදය; ශාස්ත්රකාමී, සාහිත්‍යකාමී ඔබ සැමට මුළුමනින්ම විවෘත බව ද සඳහන් කළ යුතු ය.
ඥානනීය සමාජ අවකාශය යාවත්කාලීන කරමින් ශාස්ත්‍ර ප්‍රසාරණය කිරීමත් වින්දනීය අවකාශය පුළුල් කරමින් රසඥතා ප්‍රවර්ධනය කිරීමත් යන යුගයක අවශ්‍යතාවන්ට මහඟු පිටුබලයක් ලෙසින් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය හැඳින්විය හැකි අතර සමාජීය මානුෂ ගුණාංග සුපෝෂණයෙහි ලා සාහිත්‍යකරණයේ සැබෑ මෙහෙවර උක්ත සත් කාර්යයෙන් තවදුරටත් ශක්තිමත් වනු නොඅනුමාන ය.
ගයන්ත දුෂාන් කරුණාතිලක
සහකාර කථිකාචාර්ය,
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය,
මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.