කර්තෘ: මහාචාර්ය ජිනදාස දනන්සූරිය
එදිරිවීර සරච්චන්ද්‍ර, පුංචිබණ්ඩාර සන්නස්ගල, ආනන්ද කුලසූරිය, විමල් දිසානායක, ඒ. වී. සුරවීර, මිණිවන් පී. තිලකරත්න වැනි සරසවි ඇදුරෝ පෙර දවස ශාස්ත්‍රීය කෘති ජනයා අතට පත් කිරීමට ප්‍රෝත්සාහී වූහ. මෙ දවස සුනිල් ආරියරත්න, ජේ. බී. දිසානායක, සඳගෝමී කෝපරහේවා, ලියනගේ අමරකීර්ති වැනි මහාචාර්යවරු එකී සම්ප්‍රදානයෙහි නිමග්නව සිටිති. මහැදුරු ජිනදාස දනන්සූරිය එලෙස නිරන්තර කෘති බිහි කිරීමෙහි තත්ත්පර නොවූවත්, පුවත්පත් සඟරා ආදියට ලිපි සම්පාදනය නම් අත්හැර නොමැති උක්ත කෘතිය එලෙස වරින්වර සම්පාදිත ලිපිවලින් සන්නද්ධය.
“නවකතාව, කෙටිකතාව හා පුවත්පත් සඟරා” යන ලිපියෙහිදී නවකතාව හා කෙටිකථාවේ වර්ධනය උදෙසා පුවත්පත් හා සඟරාවලින් ලද දායකත්වය ඉතා ශාස්ත්‍රීය මට්ටමින් විමර්ශිතය. “සිංහල නවකතාව උපත ලැබීමෙන් පසුව සඟරාවල ඇතැම් නවකතා කොටස් වශයෙන් පළ වන්නට පටන් ගති. නිදසුනක් වශයෙන් 1949 වර්ෂයේ පෙබරවාරි 15 දින ඇරඹුණු “සිරිසර” සඟරාවේ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ “ලක්‍ෂමී” නවකතාව කොටස් වශයෙන් පළ වීම දැක්විය හැකිය.”
“කලා මාධ්‍යයක් වශයෙන් තහවුරු වීමෙන් පසුව සිංහල කෙටිකතාවේ ව්‍යාප්තිය සඳහා සඟරා බෙහෙවින් ඉවහල් විය. 1940 වර්ෂයේ අගෝස්තු මස පහළොස් වැනි දින ඇරඹුණු නුවණ සඟරාවේ කෙටිකතා ද ඇතුළත්ව තිබිණි.”
ජිනදාස දනන්සූරිය මහාචාර්යවරයා දෙදහස් පහළොව වසරේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය වෙනුවෙන් ප්‍රකාශිත “සාහිත්‍යය” සඟරාව උදෙසා විරචිත කේ. ජයතිලකයන්ගේ මුල් යුගයේ කෙටිකතා පිළිබඳ ලිපිය, එකී ලේඛකයාගේ නිර්මාණ පිළිබඳ ඇලුම් කරන්නෙකුට කිසියම් අන්තගාමී ස්වරූපයක් උසුලනැයි කෙනෙකුට සිතෙන්නට ඉඩහසර වැඩිය. නමුත් මේ විචාරකයා විචාරාක්‍ෂියෙහි නිරවද්‍යභාවය “පුනරුත්පත්තිය” කෙටිකතා සංග්‍රහයෙහි පැනෙන “ආස්වාදය” සමග “වජිරපබ්බත” කෘතියෙහි පැනෙන “බීරිහාම” කතාව සැසඳීමෙනුත් “වජිරපබ්බත” කතා සංග්‍රහයෙහි පැනෙන “කැලෑමල්” නම් නිර්මාණය හා “අතරණය” කෘතියෙහිදී හමුවන “මිනිසෙකු ගේ ඉරණම” කතාව සංසන්දනය කිරීමෙනුත් පසක් කොට ගත හැකිය.
දනන්සූරිය මහාචාර්යවරයා ලිපිය අවසානයේ කේ. ජයතිලකගේ මුල් යුගයේ කෙටිකතා නිර්මාණ පිළිබඳව මෙවන් නිගමනයක් ඉදිරිපත් කරයි.
“මේ ප්‍රවණතා අතර විකෘති මානසික ස්වභාවයන්ගෙන් හෙබි ස්ත්‍රී පුරුෂ චරිත කෙරෙහි කතුවරයා යොමු කර ඇති අවධානය කැපී පෙනේ. ඒ කෘතීන් කලාත්මක අතින් වැඩි දියුණු ලක්ෂණ පළ නොකරන අතර, කතුවරයා එකී කෙටි කතාවලට පාදක වන අත්දැකීම් ගැඹුරින් ග්‍රහණය කොට පරිකල්පනයට පාත්‍ර නොකිරීම ඒ සඳහා හේතු වී ඇති බව පෙනේ. ඔහු විසින් ජනවාර්ගික ගැටුම පාදක කොටගෙන රචිත කෙටිකතාවල ද මේ ඌනතාව පළ වේ.”
“සාහිත්‍ය නිර්මාණය හා යථාර්ථ ඥනය” කෘතියෙහි පැනෙන ලිපි අතරින් මෙරට ප්‍රවීණ කවියෙකු, කෙටිකතාකරුවකු මෙන් පුවත්පත් තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රකට දයාසේන ගුණසිංහයන්ගේ කාව්‍ය සංග්‍රහයන් ත්‍රිත්වයෙහි පැනෙන නිර්මාණ කිහිපයක් පිළිබඳව කර ඇති විචාරය ද අපගේ සිත් බඳනා ලද්දකි. මෙය කැලණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයන අංශයෙහි ප්‍රකාශනයක් වූ “සුලේඛා” සඟරාවේ “නූතන කාව්‍ය අංකය” වෙනුවෙන් චිරචිතය. දයාසේන ගුණසිංහයන්ගේ පළමු කාව්‍ය සංග්‍රහය අපගේ දිවි අත් පොතක් හා සමාන වූ බව ද මෙහිදී නොසඟවා හෙළි කළ යුතුය. එහි පැනෙන උත්තම නිර්මාණයක් වූ “දෑසේ නිල් පැහැය” රචනය පිළිබඳව මහාචාර්යවරයා මෙවන් විවරණයක් කර තිබේ.
“කවියා විසින් උපයුක්ත” නිල් පැහැය යන රූපකයෙන් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයෙහි අන්තර්ගත සජීවී සක්‍රීය උණුසුම් ජීව පදාර්ථය හැඟවේ. එය ප්‍රදීපයක් මෙන් දැල්වී දෙමහල්ලන්ගේ ජීවිත ඒකාලෝකවී මෙහිලා බාධක පනවන දරිද්‍රතාව මෙහි කවියා අතින් අවධාරණය වෙයි. මුඛ්‍යාර්ථය කුළු ගැන්වී මෙහිලා ඉමහත් කුසලතාවකින් යුතුව භාෂාව පරිහරණය කරයි.”
දයාසේන ගුණසිංහයන්ගේ කාව්‍ය සංග්‍රහයන් ත්‍රිත්වයෙන් උද්ධෘත රචනා කිහිපයක් විග්‍රහයට පාත්‍ර කරන විචාරකයා කවියා පිළිබඳ මෙවන් අවසන් විග්‍රහයක් ඉදිරිපත් කරයි.
“දයාසේන ගුණසිංහයන්ගේ මේ කාව්‍ය සංග්‍රහයන් ත්‍රිත්වයෙන් උද්ධෘත රචනා කිහිපයක් විග්‍රහයට පාත්‍ර කරන විචාරකයා කවියා පිළිබඳ මෙවන් අවසන් විග්‍රහයක් ඉදිරිපත් කරයි.
“දයාසේන ගුණසිංහයන්ගේ මේ කාව්‍ය නිර්මාණ සමස්තයක් වශයෙන් ගෙන සැලකිල්ලට භාජනය කිරීමේදී කවියා සියුම් මනසින් ජීවිතය විඳින්නෙකු බව පෙනී යයි. ඔහු කවියෙකුට උරුම විය යුතු සසල වන සුලු හදවතකින් හෙබි අයෙකි. සමාජ ජීවිතයෙහි ප්‍රචලිත අසම්පූර්ණත්වය මෙන්ම අවිධිමත්භාවය ද සමාජ අසාධාරණය හා රාජ්‍ය යන්ත්‍රයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන කෲර මනුෂ්‍ය ඝාතන ද ඔහුගේ වින්දනයට පාත්‍ර වෙයි.
දයාසේන ගුණසිංහයන්ගේ සියලු නිර්මාණයන්ට ඇලුම් කරන, එකී නිර්මාණ සමග දිවි ගෙවන අපට මෙය කෙතරම් නිවැරදි දැයි අමුතුවෙන් කිව යුතු නොවන්නකි. අපේ දිවියෙහි ප්‍රබල කවියා මෙන්ම පුවත්පත් කලාවේදියා ද ඔහුමය.
අපගේ නූතන සාහිත්‍ය පිළිබඳව පමණක් නොවේ. පැරණි සාහිත්‍ය කෘති විදෙස් නිර්මාණ ආදී බොහෝ දේ සාකච්ඡා කළ ලිපි රැසක් මෙහි අන්තර්ගතය. දඹදෙණි යුගයේ චිරචිත මයුරපාද හිමියන්ගේ “පූජාවලිය” කෘති පිළිබඳ දනන්සූරියගේ විචාරය බොහෝ කියවීම්වලට වෙනස් මඟක් ගනී. ඔහු එහි සාහිත්‍යමය අගය විමසීම පසෙක තබා කතු හිමියන් යුගයේ කාර්යභාරය ඉටු කිරීමට පෙළඹුණු ආකාරය විග්‍රහ කර තිබේ.
මාඝගෙන් බුදු සමයට එල්ල වූ රුදුරු ප්‍රහාරය, තත්කාලීන සමාජය කම්පනයට පත් කළ ආකාරය සම්බන්ධයෙන් “පූජාවලී” කතුවරයා වඩාත් සංවේදී වූ අයුරු දැකිය හැකිය.
“….. මාඝ ප්‍රචලිත කළ මිත්‍යාදෘෂ්ටියට එරෙහිව සම්‍යයක් දෘෂ්ටිය ස්ථාපිත කිරීම තමන් සතු යුග කර්තව්‍යයක් වශයෙන් බුද්ධ පුත්‍ර හිමියන් කල්පනා කළ ආකාරය පූජාවලියෙහි අන්තර්ගත ඇතැම් කතා වාස්තුන්ගෙන් හැඟවේ.”
මේ සියල්ල තහවුරුර කිරීමට අවශ්‍ය උපුටා දැක්වීම් රැසක් ද ඉදිරිපත් කිරීමට විචාරකයා සමත් වී තිබේ.
මෙලෙස ග්‍රන්ථ නාමයට අදාළ පරිදි බොහෝ සාහිත්‍ය විචාර මේ කෘතියට ඇතුළත් වුවත්, එයින් බැහැර වූ යහපත් දේ පිළිබඳ ලිපි ද මෙහි දක්නා ලැබේ. ලංකාවේ එක් කාලවකවානුවක පවත්වාගෙන ගිය ඇත් ගාල් ගැන කර ඇති විග්‍රහය ඉන් එකකි. මේ හැරුණු කොට වෙන්ත විචාරකයන්ගේ විචාරක්‍ෂියට හසු නොවූ ලිපි ගණනාවක් ද මෙහි සංගෘහිතය. “සිංහල සිනමා ඉතිහාසයේ සිරිසේන විමලවීර භූමිකාව” “ලංකා ගීතය හා එහි පසුබිම් කතාව” “ඒ බුදු මඟුලට ගැසූ උඩැක්කිය” ඒ අතුරින් ත්‍රිත්වයක් පමණකි.
උක්ත කරුණු සියල්ල සලකා බලන කල මහාචාර්ය ජිනදාස දනන්සූරියගේ “සාහිත්‍ය නිර්මාණය හා යථාර්ථ ඥනය” හරවත් යමක් පරිශීලනය කිරීමේ අභිලාෂයෙන් පෙළෙන පාඨකයාගේ අධ්‍යාශය මැනවින් සපුරාලන කෘතියක් වශයෙන් හැඳින්වීමට පසුබට නොවෙමු.
● සුනිල් ගුණවර්ධන