සාහිත්‍ය මූලාශ‍්‍රවලින් හෙළිවන ශ‍්‍රී ලංකාවේ පුරාණ කාසි හා මුදල් භාවිතය පිළිබඳ විමර්ශනයක්

1846

මානව ශිෂ්ටාචාරයේ ක‍්‍රමික දියුණුවත් සමග මුදල් භාවිතය ඇරඹිණි. මුල් යුගයේ දඩයම් සංස්කෘතියක් පැවති මානව ශිෂ්ටාචාරයට මුදලේ අවශ්‍යතාවයක් නොවීය. නමුත් නියොලිතික සමයේ මානව ශිෂ්ටාචාරයේ ඇති වූ ප‍්‍රගමනයත් සමග මුදල් භාවිතයේ අවශ්‍යතාවය ඇති විය. ඒ අනුව ප‍්‍රථමයෙන්ම මානවයා හුවමාරු ක‍්‍රමය (Bater System) ආරම්භ කළහ. කාලයාගේ ඇවෑමෙන් මේ ක‍්‍රමයේ ඇති වූ යම් යම් දුෂ්තරතා නිසා මේ ක‍්‍රමය දුරස්ථ විය. ඉන් පසු මානවයා කාසි පරිහරණය සඳහා පෙළඹිණි. භාරතයේ මෙන්ම ලංකාවේ ද මුලින්ම භාවිත වූයේ හසු එබූ කාසිය. (Punch- Marked Coins)hs. එය ක‍්‍රි.පූ. තුන්වන සියවසේ සිට ශ‍්‍රී ලංකාවේ භාවිතය ආරම්භ වන්නට ඇති බව එච්. ඇම්. සිරිසෝම වැනි විද්වතුන්ගේ අදහසයි. එතැන් පටන් ශ‍්‍රී ලංකාව තුළ විවිධ කාසි සහ මුදල් ප‍්‍රභේද භාවිත විය. ඒ ආකාරයට භාවිත වූ කාසි සහ මුදල් පිළිබඳව බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍රවල සඳහන් වේ. මෙම ලිපියේ දී ඒ පිළිබඳව විමර්ශනාත්මකව සාකච්ඡා කෙරේ.

සාහිත්‍ය මූලාශ‍්‍රවලින් හෙළිවන විවිධ කාසි ප‍්‍රභේද පිළිබඳව අධ්‍යයනය කිරීම

මේ අනුව ප‍්‍රථමයෙන්ම සාහිත්‍ය මූලාශ‍්‍රවල අන්තර්ගත කහාපණ පිළිබඳව අධ්‍යයනය කිරීම සිදු වේ. ශ‍්‍රී ලංකාවේ හමුවන පැරණිම කාසි විශේෂය වන්නේ කහාපණ කාසි විශේෂයයි. මෙය පුරාණ, ධරණ, කර්ෂාපණ ආදී නම්වලින් හැඳින්වේ. කර්ෂාපණ ලෙස හැඳින්වූ මෙම කාසි විශේෂය මෙරට සමාජය තුළ කශපන, කහවන, කහවනු ආදී නම්වලින් හඳුන්වනු ලැබීය. කාසි ප‍්‍රභේදය සහිතව නිශ්චිතව කාසි භාවිතය පිළිබඳව මහාවංශයෙන් තොරතුරු ලැබෙන්නේ එළාර රාජ්‍ය සමයේ දී ය. එළාර රජුගේ රථය වැදීමෙන් මිහින්තලේ චේතිය පබ්බත විහාරයයට හානි සිදු වූ බවත් එහි පාඩුව පියවීම සඳහා රජු කහවනු 15,000 ක් පිරිනැමූ බව මහාවංශයේ 21 වන පරිච්ෙඡ්දයේ දැක්වේ.

හෙතෙම එහි හුණු පසළොස්සක් පමණ ගල් (පියවි කොට) තමන්ම පසළොස් දහසක් කහවණු දුන්නේය. (මහාවංශය සිංහල, 2010 – 90)

මෙලෙස කහවනු පිළිබඳ වංශකථාවල කරුණු වාර්තා කිරීම ආරම්භ වන අතර එය දොළොස්වන සියවස දක්වාම සාහිත්‍ය මූලාශ‍්‍රවල දැකිය හැකිය. දුටුගැමුණු රජුගේ කථා ප‍්‍රවෘත්තියේ දී බහුල වශයෙන් රන් කහවනුු පිළිබඳ දැකිය හැකිය. මහාවංශයට අමතරව ථූපවංසයේ ද මහා ථූපය පිළිබඳ විස්තර කථනයන්වල දී කහවනු භාවිතය පිළිබඳ කරුණු අන්තර්ගත වේ. දුටුගැමුණු රජු ලෝවාමහාපායේ වැඩ ආරම්භ කිරීමේ දී සතර දොරටුවෙහි රන් කහවනු අට ලක්ෂයක් බැගින් තැන්පත් කර තැබූ බව මහාවංසයේ සඳහන් වේ. ජනතාවගේ ශ‍්‍රමයට නිසි මුදලක් ලබා දීමට මෙසේ කළ බව දැක්වේ. මහාවංසයේ 27 වන පරිච්ෙඡ්දයේ 21 ගාථාවේ විස්තර වන මෙම කාරණය මහාවංශ ටීකාවේ ගැඹුරින් විස්තර කරයි.

සාහිත්‍ය මූලාශ‍්‍රවලින් හෙළිවන ශ‍්‍රී ලංකාවේ පුරාණ කාසි හා මුදල් භාවිතය පිළිබඳ විමර්ශනයක්

කම්මාරම්භනකාලෙව චතුද්වාරම්හි චාගවා අට්ඨට්ඨසතසහස්සාහි හිරඤ්ඤානි ඨපාපිය, (මහාවංශ ටීකාව, අමරවංශ හිමි සහ දිසානායක, 1994 – 400). තවද දුටුගැමුණු රජු සහ භල්ලූක සෙනෙවියා අතර ඇති වූ යුද්ධයේ දී ඵුස්සදේව යෝධයා විසින් භල්ලූක සෙනෙවියා මරා දමනු ලැබීය. ඉන් සතුටට පත් වූ රජු ඵුස්සදේව යෝධයා භල්ලූකට විදි හීය වැසෙන සේ කහවණු ප‍්‍රධානය කළ බව මහාවංස ටීකාවේ මෙසේ දැක්වේ.

කහාපණෙහි කණ්ඩං තං ආසිත්තෙහුපරූපරි – ඡාදාපෙත්වාන දාපෙසි ඵුස්සදෙවස්ස තං ඛණෙ, (මහාවංශ ටීකාව, අමරවංශ හිමි සහ දිසානායක, 1994 – 388).

ලක්දිව කහාපන කාසි විදේශයන්හි භාවිත වූ අවස්ථාවක් සිංහල මහාවංශයේ 77වන පරිච්ෙඡ්දයේ අන්තර්ගත වේ. ලංකාපුර සෙනෙවියා, මහා පරාක‍්‍රමබාහු රජුගේ අනුදැනුම යටතේ පාණ්ඩ්‍ය දේශයේ මධුරාපුරය ආක‍්‍රමණය කළ අවස්ථාවේ ඔහු පරාක‍්‍රමබාහු රජුගේ කහාපණ කාසි මධුරාපුරයේ ව්‍යාප්ත කළ බව එහි දැක්වේ. (මහාවංශය සිංහල, 2010 – 385) මින් ලංකාපුර සෙනෙවියා අපේක්ෂා කළේ පරාක‍්‍රමබාහු රජුගේ දේශපාලන බලය පාණ්ඩ්‍ය වැසියන්ට ඒත්තු ගැන්වීමටයි. මන්ද කාසි සහ මුදල් යනු ඉතා වේගයෙන් ජනතාව අතරට යන මාධ්‍යයකි. එබැවින් දේශපාලන බලය ජනතාව අතරට ගෙන යෑමට එය කදිම උපක‍්‍රමයකි.

පැරණි සිංහල බණ කථා අන්තර්ගත සීහළවත්ථුප්පකරණයේ කහවණු භාවිතය පිළිබඳ විවිධ තැන්වල කරුණු දැක්වේ. ඒ අතරින් දුගී ගොවියාගේ කථා වස්තුවේ දී කහවණු අටක භාවිතයක් පිළිබඳ මෙසේ දැක්වේ.

මෙසේ ජීවත් වන හෙතෙම දුර්භික්ෂ කාලයේ දී ජීවත් විය නොහැකිව තමාගේ දුවණිය උකසට තබා කහවණු අටක් ගත්තේය. එසේ කහවණු අට ලබාගෙන විසිකිරියක් පමණ වූ භූමි භාගයක් ගෙනත්‍ව., (සීහළවත්ථුප්පකරණය, 1958 – 106).

පැරණි සාහිත්‍ය මූලාශ‍්‍රවල කහාපණ වර්ග කිහිපයක් පිළිබඳ සඳහන් වේ. පොළොන්නරු යුගයේ දී සාරිපුත්ත හිමියන් ලියූ සාරාර්ථදීපනී ග‍්‍රන්ථයේ නීල කහාපණ නම් කහාපණ විශේෂයක් පිළිබඳ කරුණු දැක්වේ. තවද උත්තර විනිශ්චය ටීකාවේ ද නීල කහාපණ පිළිබඳ සඳහන් වේ. විහි කහාපණ නම් විශේෂයක් පිළිබඳව සමන්තපාසාදිකාවේ ද්විතීය පාරාජිකාවේ උපනිධි කථාවේ දැක්වේ. එහි (දසවීසග්ඝනක කප්පියභාණ්ඩ, යනුවෙන් සඳහන් වන්නේ එම කාසි ප‍්‍රභේදය යි. (කුලතුංග, 2015 – 15)

මීළ`ගට පැරණි සාහිත්‍ය මූලාශ‍්‍රවල එන මසුරන් නමැති කාසි විශේෂය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කෙරේ. සාහිත්‍ය මූලාශ‍්‍ර පරිශීලනයේ දී පෙනී යන්නේ කහාපණ සහ මසුරන් කාසි ප‍්‍රභේද දෙක අතර කිට්ටු සාම්‍යයක් පවතින බවයි. මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා සඳහන් කරන පරිදි ලංකාවේ මධ්‍යතන යුගයේ කහාපණ හැඳින්වීම සඳහා මෙම මසුරන් නම් වචනය යොදා ගෙන ඇත.

නමුත් මහාවංශය අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ මුල්ම යුගයේ ද මෙම මසුරන් නම් මුදල් ප‍්‍රභේදය මෙරට භාවිත වී ඇති බවයි. මහාවංශයේ 10වන පරිච්ෙඡ්දයේ පණ්ඩුකාභය කුමරු ශීල්ප ලබා ගැනීමට පණ්ඩුල බ‍්‍රාහ්මණයා වෙත යැවූ අවස්ථාවේ මසු දහසක් පිළිබඳ සඳහන් වේ.

(කුමරහුගේ ආරක්ෂාව ද විධාන කළාය. ආයුක්තක තෙමේ මෑණියන් කී සියල්ලම ඔහුට දන්වා දාසයෙකුත් මසු දහසකුත් දී පණ්ඩුල බ‍්‍රාහ්මණයා වෙත යැවූ සේක., (මහාවංශය සිංහල, 2010 – 42).

මහා ථූපයේ ඉදිකිරීම පිළිබඳව විස්තර කරන ථූපවංසයේ මසුරන් භාවිතය පිළිබඳ දැක්වේ. මහා ථූපයේ ආකෘතිය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයාට රජු මසුරන් 12000ක් දුන් බව දැක්වේ.

(එබස් ඇසූ ගැමුණු රජ්ජුරුවෝ විශේෂයෙන් සතුටුව යහපතැයි ගිවිස ඕහට දොළොස් දහසක් මසුරන් දී..,)

පොළොන්නරු යුගයේ දී නිශ්ශංකමල්ල රජු මාඩරන් නම් කාසි විශේෂයක් නිකුත් කළ බව මූලාශ‍්‍රවල දැක්වේ. ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය දෙවන භාගය ග‍්‍රන්ථය සඳහා ලිපියක් සපයන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන්නේ මූලාශ‍්‍රවල සඳහන් මස්ස සහ මෙම මාඩරන් කාසි අතර සාම්‍යයක් පවතින බවයිග (පරණවිතාන, 1972 – 504-534) මේ ආකාරයට මසුරන් නම් කාසි ප‍්‍රභේදය ගැන විවිධ සාහිත්‍ය මූලාශ‍්‍රවල කරුණු අන්තර්ගත වේ. මෙහිදී මෙම එක් එක් කාසි ප‍්‍රභේද පිළිබඳ මෙම සාහිත්‍ය මූලාශ‍්‍රවලින් ලැබෙන කරුණු අතිශය වැදගත් වේ. මන්ද මෙරට මූලාශ‍්‍රවල කාසි සහ මුදල් භාවිතය පිළිබඳ වෙනම කරුණු සඳහන් නොවන බැවිනි.

කුරුණෑගල යුගයේ රාජ්‍ය කළ හතරවෙනි පරාක‍්‍රමබාහු රජු තඹ හෝ ලෝහ කාසි නිකුත් කළ බව ජාතක කථා පොතේ සඳහන් වෙයි. නමුත් ඒ පිළිබඳ අදහස් දක්වන නාණක විද්‍යාඥයෝ එම අදහස පිළිගැනීමට මැළිකමක් දක්වති. එමෙන්ම ඉංග‍්‍රීසි පාලන සමයේ භාවිත වූ මුදල් පිළිබඳ ආචාර්ය නන්දදේව විජේසේකරයන් සංස්කරණය කළ මහාවංශයේ නූතන යුගය සහිත කොටසේ මෙසේ දැක්වේ. මෙහිදී පවුම් නම් කාසි විශේෂය ගැන තොරතුරු අන්තර්ගත වේ. විලියම් හෙන්රි ග‍්‍රැගරි ආණ්ඩුකාරතුමාගේ කාල පරිච්ෙඡ්දයේ දී මෙම සංවර්ධන කටයුත්ත සිදු වී ඇත.

(මීට ශතවර්ෂ පසළොසකට පමණ ප‍්‍රථම ධාතුසේන නරේන්ද්‍රයාණන් විසින් කරවන ලද කලා වැව සහ යෝධ ඇළ මේ උතුමාණන් වහන්සේ විසින් පවුන් 40000ක් පමණ වියදම් කොට ප‍්‍රකෘතිමත් කරවන ලද්දේය., (මහාවංශය සිංහල, 2010 – 614), මේ ආකාරයට ශ‍්‍රී ලංකාවේ පැරණි කාසි හා මුදල් ප‍්‍රභේද පිළිබඳ කරුණු අධ්‍යයනය කළ හැකිය.

සාහිත්‍ය මූලාශ‍්‍රවලින් නිරූපණය වන විවිධ කාසි නිෂ්පාදන තාක්ෂණය සහ විධි ක‍්‍රම

මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කළ හැකි වැදගත්ම ග‍්‍රන්ථය වන්නේ සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති වෛජයන්ත තන්ත‍්‍රය නම් ග‍්‍රන්ථයයි. මෙහි එක් එක් කාසි ප‍්‍රභේද නිෂ්පාදනය කරන ආකාරය ඒවාට සංකේත යෙදිය යුතු ආකාරය වට පාඨ ලිවිය යුතු ආකාරය පිළිබඳව ආදී වශයෙන් තාක්ෂණික උපදෙස් ලබා දී ඇත.

(කාර්ෂාපණ ෂට්භෙදං ශුද්ධකාංචන මිෂ්‍යතෙ – කනකාර්ධං රජතාර්ධං තාම්රාර්ධං, (සවැදැරුම් කහවණු, හුදු රත්තරන් හෝ කැමති වනු ලැබෙයි රත් රන් භාගයක් රිදී භාගයක් හෝ ගත යුතුය තඹ අර්ධයක් හා රිදී අර්ධයක් හෝ වෙයි.)

තවද කාසිවල සංකේත මුද්‍රා සහ වටපාඨ දැක්විය යුතු ආකාරය වෛජයන්ත තන්ත‍්‍රයේ මෙසේ දැක්වේ.

පංචලා ණමුඛායම් හස්ත්‍යාපන විධීයතෙ – නාමාක්ෂරං කෘතං ඥෙයම් හස්තිරූපං ච ලාංඡුනම්, මෙහිදී නාමාක්ෂර සඳහන් කළ යුතු ආකාරයත් හස්ති රූපය සටහන් කළ යුතු ආකාරයත් දක්වයි. තවද මෙම ග‍්‍රන්ථයේ ඉතා වැදගත් ශ්ලෝකයක් සඳහන් වේ. මෙහි සඳහන් වන කාරණා දැනට ලැබී ඇති කාසි ඇසුරින් විමර්ශනය කළ හැකිය.

වාමසප්තාක්ෂරන්නාමං රූපාංගංච න ඝට්‍යතෙ අභින්නාක්ෂරං කෘත්වා අංගච්ෙඡ්දං න කුර්වතෙ, (කුලතුංග, 2015 – 21).

මෙහි සඳහන් වන්නේ කාසියේ වම් පැත්තේ රජුගේ හෝ කාසිය නිකුත් කරන්නාගේ නම අක්ෂර හතකින් යුක්තව ලිවිය යුතු බවයි. එමෙන්ම ඒ ඒ ප‍්‍රදේශයට ආවේණික වූ අක්ෂර ඒ සඳහා භාවිත කළ යුතු බව දක්වා ඇත. මේ කරුණ පොළොන්නරු යුගයෙන් ලැබෙන කාසිවලින් තහවුරු කරගත හැකිය. පොළොන්නරු යුගයේ කාසිවල පාලකයාගේ නාමය දැක්වීමේ දී (ශ‍්‍රී) යන කොටස මුලට එකතු වන අතර අක්ෂර හතකින් රජුගේ නාමය දක්වා ඇත. නිදසුන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. ශ‍්‍රී පරාක‍්‍රමබාහු, ශ‍්‍රී කලිගලකේජ, ශ‍්‍රී රාජලීලාවතී, ශ‍්‍රී චොඩග`ගදෙව ආදී නිදසුන්වලින් මේ බව සනාථ කළ හැකි ය. ඒ අනුව පැරණි කාසිවල ආකෘතිය කෙසේ විය යුතුද යන්නත් එහි තාක්ෂණික අංශය කෙසේ විය යුතුද? යන්නත් මෙම ග‍්‍රන්ථයෙන් බොහෝ තොරතුරු ගත හැකිය.

ඊට අමතරව සමන්ත පාසාදිකාව වැනි ග‍්‍රන්ථවල ද කාසි නිෂ්පාදනයට යොදා ගත් අමුද්‍රව්‍ය සහ තාක්ෂණ විධි පිළිබඳ කරුණු දැක්වේ. එම ග‍්‍රන්ථවලට අනුව රන්, රිදී, තඹ වැනි ලෝහවලින් කාසි නිෂ්පාදනය කර ඇත.

මේ ආකාරයට ශ‍්‍රී ලංකාවේ කාසි හා මුදල් භාවිතය පිළිබඳ බොහෝ තොරතුරු සාහිත්‍ය මූලාශ‍්‍ර ඇසුරින් ලබා ගත හැකි බව පෙනී යයි. මෙරට කාසි සහ මුදල් භාවිතය ඉතා විධිමත් අයුරින් පැවති බව මෙම සාහිත්‍ය මූලාශ‍්‍රවලින් පෙනී යයි. කාසි සහ මුදල් භාවිතය පිළිබඳ මූලාශ‍්‍රවල වෙසෙසින් කරුණු දැක්වීමක් සිදු නොකළ ද දැනට ලැබී ඇති මූලාශ‍්‍රවලින් බොහෝ තොරතුරු විමර්ශනය කළ හැකි බව මෙහිදී සනාථ කළ හැකිය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ සහ ලිපි නාමාවලිය

අමරවංශ හිමි, අකුරටියේ සහ දිසානායක, හේමචන්ද්‍ර (1994). (සංස්) මහාවංස ටීකාව, කැළණිය, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය.

ඒකනායක, ඇකිරියග, (2006) ශ‍්‍රී ලංකාවේ පැරණි කාසි. කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

කල්දේරා, ලීලානන්ද (2014). ලංකාවේ මිල මුදල්. කොළඹ – ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව.

කුලතුංග, ටී. ජී. (2015) ශ‍්‍රී ලංකාවේ කාසි හා මුදල් ව්‍යවහාරය. කොළඹ – මධ්‍යම සංස්කෘතික අරමුදල.

ඤාණවිමල හිමි, කිරිඇල්ලේ (1971) (සංස්) සද්ධර්මරත්නාවලිය. කොළඹ – ඇම්. ඞී. ගුණසේන සහ සමාගම.

නිකොලස් සී.ඩබ්ලිව්. (2014) ආර්ථික තත්ත්වය 1. අමරදාස ලියනගමගේ, රණවීර ගුණවර්ධන (සංස්). අනුරාධපුර යුගය 432-483 පිටුව, කොළඹ – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

නොක්ස්, රොබට් (2016) එදා හෙළදිව සිංහල පරිවර්තනය – ඬේවිඞ් කරුණාරත්න කොළඹ – ඇම්. ඞී. ගුණසේන සහ සමාගම.

පරණවිතාන, සෙනරත් (1964) (මෑත යුගයේ සභ්‍යත්වයථ අර්ථ, දේශපාලන, සමාජ තත්ත්වය., නිකලස් ආටිගල (සංස්). ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමුවන කාණ්ඩය පළමුවන භාගය 339-361 පිටුව, කැළණිය – විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය.

පරණවිතාන, සෙනරත් (1972) (පොළොන්නරු යුගයේ සභ්‍යත්වය, දේශපාලන, අර්ථ හා සමාජ තත්ත්ව., නිකලස් ආටිගල (සංස්). ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමුවන කාණ්ඩය දෙවන භාගය 504-534 පිටුව, කැළණිය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය.

බාලසූරිය, ඉනෝකා (2005) (ආරම්භයේ සිට ක‍්‍රි. ව. 11වන සියවස දක්වා ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මූලාශ‍්‍රවලින් හඳුනාගත් මුදල් හා සම්බන්ධ තොරතුරු, ඩබ්. එච්. විජයපාල, අනුර මනතුංග (සංස්) පුරාතන ශාස්ත‍්‍රීය ලිපි සංග‍්‍රහය 139-149 පිටුව, කොළඹ – මධ්‍යම සංස්කෘතික අරමුදල.

බාලසූරිය, ඉනෝකා (2011) (ශ‍්‍රී ලංකාවේ වාර්තා වී ඇති ස්වස්තික කාසිය පිළිබඳ නාණක විද්‍යාත්මක අධ්‍යයනයක්., සෙනරත් දිසානායක (සංස්) පුන්කලස 1 වෙළුම ජාතික පුරාවිද්‍යා සමුළුවේ පර්යේෂණ පත‍්‍රිකා 17-24 පිටුව, කොළඹ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

වත්තෙවැවේ චන්දිම හිමි (2015) (සංස්) සිතුවම් සහිත පන්සිය පනස් ජාතක කථා පොත් වහන්සේ. කොළඹ – ඇම්. ඞී. ගුණසේන සහ සමාගම.

විමලජෝති හිමි, කිරම (2010) (සංස්) මහාවංශය සිංහල. දෙහිවල – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සිරිසෝම, ඇම්. එච්. සහ අමරසිංහ, ගීතා – (වර්ෂය සඳහන් නොවේ) ශ‍්‍රී ලංකාවේ පුරාණ කාසි-1 කොළඹ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
Codrington H.W. (1924) Ceylon Coins and Currency. Colombo: National Museum of Sri Lanka.

ආර්. ඞී. ධනුෂ්ක පුෂ්ප කුමාර,
පුරාවිද්‍යා විශේෂ :සිව්වන වසර,
පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment