සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයෙහි මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ දායකත්වය

832

කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සිංහල විශ්වකෝෂයේ ප‍්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ 72 වන ජන්ම දිනය මෙම මස 07 වන දිනට යෙදී ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයෙහි මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ දායකත්වය මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සාහිත්‍යයට කරන ලද විශිෂ්ට මෙහෙවර ගැන සිතන කල පීටර් කන්ස්ටයින් (Peter Cons tantinge) ගේ සැ`ගව සිටි චෙකව් (The Undiscovered Chekhov) කෘතියේ චෙකව්ගේ ප‍්‍රකාශයක් කන්ස්ටයින් උද්ධෘත කර ඇති සැටි සිහියට නැගෙයි.

”ලියන්න හැකි තරම් ලියන්න. ඔබේ ඇගිලි කැඩෙන තෙක් ලියන්න’’ යැයි ඇන්තන් චෙකව් 1886 වසරේදී මේරියා කිසෙල්යෝවාට දුන් උපදේශයකි. අවුරුදු හතළිස් හතරක දී ජීවිතය අතහැර යන විටත් චෙකව් ලියූ කෙටිකතා, නව කතා, නාට්‍ය හා ලිපි ලේඛන සම්හාරය ඔහු ඇගිලි කැඩෙන කම් ලියූ බවට සාක්‍ෂි ය. ඒ රුසියාවේ අප කවර කලෙකවත් නොදුටු චෙකව් ය. ඔහුගේ උපදේශය අකුරට ම පිළිපදින සිංහල මහාචාර්යවරයෙකු අපට කැලණිය විශ්වවිද්‍යාලයේදී හමුවූයේ ය. ඔහු 2016 වර්ෂයේ දී විශ්වවිද්‍යාල සේවයෙන් විශ‍්‍රාම යන විටත් ග‍්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා තිබුණි. අදත් ඔහු අඛණ්ඩව සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයෙහි රැඳී සිටියි.

සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයෙහි මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ දායකත්වය

සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයෙහි කෙටිකතාව, නව කතාව, කවිය, ගීතය, නාට්‍ය කලාව, පරිවර්තනය යන විවිධ අංශ ආවරණය කෙරෙන පොත්පත් හා ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් රචනා කරමින් සිටින මාහාචාර්ය කුමාරසිංහ විචාරය නිර්මාණාත්මක සාහිත්‍යයේ ප‍්‍රවර්ධනයට අත්‍යවශ්‍ය බැව් සලකන්නෙකි. කලක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න ආදී වියතුන් විසින් යම් පමණකින් හෝ සකී‍්‍රයව පවත්වාගෙන ආ සාහිත්‍ය විචාර කලාව විශ්වවිද්‍යාල පාඨමාලාවනට ද හඳුන්වා දීමට පුරෝගාමී වූයේ මහාචාර්ය කුමාරසිංහ ය. ඔහු කාලයක් තිස්සේ පෙර අපර දෙදිගම සාහිත්‍ය පොතපත කියවා විචාර කලාව භාවනාවක් සේ ප‍්‍රගුණ කරමින් මනා ශික්ෂණයකින් යුතුව අපක්ෂපාතව සාහිත්‍ය විචාරයට අවතීර්ණ වූවෙකි.

යථාර්ථවාදී ප‍්‍රතිනිර්මාණ තාක්ෂණයට අනුගතව කෙටිකතාකරණයේ නියැළී මාර්ටින් වික‍්‍රමසිංහගේ සිට නූතනවාදී පශ්චාද් නූතනවාදි ප‍්‍රබන්ධ වෙත අජිත් තිලකසේන දක්වා අති නවීන කෙටිකතාවේ වෙනස්වීම් හඳුනාගෙන සිටි ප‍්‍රවීණතම විචාරකයා මහාචාර්ය කුමාරසිංහ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මාර්ටින් වික‍්‍රමසිංහගේ සමස්ත කෙටිකතා අරභයා ඔහු 1991 දී රචනා කරන ලද ”සිංහල කෙටිකතාවේ කලාත්මක මුහුණුවර හා මාර්ටින් වික‍්‍රමසිංහ මාර්ටින් වික‍්‍රමසිංහගේ 1924 ගැහැනියක් කතා සංග‍්‍රහයෙහි සිට 1951 වහල් ලූ කතා සංග‍්‍රහය දක්වා කලාත්මක විකාසනය ද වික‍්‍රමසිංහගේ කෙටිකතාවන්හි වස්තු විෂය ක්‍ෂේත‍්‍රය ද අත්දැකීම්වලට පසුබිම් වූ සමාජය ද ජීවන දර්ශනය හා චරිත ගොඩනැංවීම ද වික‍්‍රමසිංහගේ නිර්මාණත්මක භාෂාව ද දෙස් විදෙස් මූලාශ‍්‍රවලින් ලද ආභාසය ද ප‍්‍රබලතා මෙන්ම ඔහුගේ දුබලතා සනීදර්ශනාත්මකව සාකච්ඡා කළ විචාර ග‍්‍රන්ථයෙකි. අදටත් වික‍්‍රමසිංහගේ කෙටිකතා රසවින්දනාත්මකව පඨනය කරන පාඨක ලෝකයාගේ අවධානය වික‍්‍රමසිංහ වෙත රඳවා තබන්නට මේ විචාර සංග‍්‍රහය ඉවහල් වෙයි. සිංහල කෙටිකතාවේ ආකෘතිය සහ අවශේෂ ශිල්පීය ක‍්‍රමෝපායන් අතින් වික‍්‍රමසිංහට වඩා ඉදිරි පියවරක් තැබූ ජී. බී. සේනානයකගේ සමස්ත කෙටිකතා සංග‍්‍රහ අධ්‍යයන කිරීමෙන් පසුව ”ජී. බී සේනානායකගේ කෙටිකතා ලෝකය’’ නමින් මහාචාර්ය කුමාරසිංහ රචනා කර ඇති ග‍්‍රන්ථය සේනානායකගේ කෙටිකතා පිළිබඳ පාඨක අවධානය තවදුරටත් රඳවා ගැනීමට තුඩු දෙන්නකි.

සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයෙහි මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ දායකත්වය

අද තරම් සිංහල කෙටිකතාව පිළිබඳ විචාරත්මක කතිකාවක් නොමැති 90 දශකයේ දී මහාචාර්ය කුමාරසිංහ බටහිර කෙටිකතා කියවා, විචාර ග‍්‍රන්ථ කියවා සිංහල පාඨක ලෝකයාට කෙටිකතා විචාර කලාව ප‍්‍රගුණ කර ගැනීමට අලූත් දැනුම සපයා දෙනුවස් 1992 කෙටිකතා විචාර මූලධර්ම හා සම්ප‍්‍රදාය නමින් අගනා ග‍්‍රන්ථයක් රචනා කළේය. එතෙක් පෙර අපර දිග කෙටිකතා කලාව පිළිබඳ වගවාසගම් නොදැන සිටි පාඨකයා මේ ග‍්‍රන්ථයෙන් ලැබුණ ඥාන සම්හාරය කිසිවෙකුට ලඝු කළ නොහැක.

කෙටිකතාව යනු කුමක්ද? (What is short s tory) පිළිබඳ හරිහමන් දැනුමක් නොමැතිව සිටි පාඨකයාට ලෝකයේ කෙටිකතාව කලා මාධ්‍යයක් ලෙස විකාසනය වීමෙන් වර්ධනය වූ 1842 නැතෑනියෙල් හොර්තෝන් විසින් රචනා කරන ලද දෙවරක් කී කතා (Twice told tales) ග‍්‍රන්ථය විවරණය කරමින් එඞ්ගා ඇලන් පෝ (Edgar Allan poe) කෙටිකතා හඳුනාගත් අවස්ථාවේ සිට ලෝක කෙටිකතා කලාවේ ගමන් ම`ග පිළිබඳ ගැඹුරු හැදැරීම් කර ඇති මහාචාර්ය කුමාරසිංහ එකල ලියවුණු කෙටිකතා ආශ‍්‍රයෙන් කෙටිකතා එඞ්ගාර් ඇලන් පෝ, සමර්සෙට් මෝට් ආදී විචාරකයන් හඳුනාගත් ආකාරය තුලනාත්මක පැහැදිලි කිරීමට උත්සාහ ගෙන ඇත.

මාර්ටින් වික‍්‍රමසිංහ වහල්ලූ කෙටිකතා සංග‍්‍රහයෙහි ප‍්‍රස්තාවනාවෙහි ලා කී කාරණා ද කේ. ජයතිලක පුනරුත්පත්තිය ප‍්‍රස්තාවනාවෙහි කී කරුණු ද කුමාරසිංහ මධ්‍යස්ථ නිරීක්ෂකයෙකු ලෙස විමසා බලයි. කෙටිකතාව ඒකීය ධාරණාවක් යන මතයට ප‍්‍රතිවිරුද්ධව ජි. බී. සේනානායක එකල ඉදිරිපත් කළ කරුණු ද මහාචාර්ය කුමාරසිංහ අපක්ෂපාතී නිරීක්ෂකයෙකු ලෙස විමසා බලයි. කෙටිකතාවක්, නවකතාවත් අතර සීමාව අදත් නිර්ණය කළ හැකිව ඇත්තේ මේ ධාරණා සංකල්පය මතය යන කාරණාව විවාදාත්මවක වූවකි. 1971 වර්ෂයේදී මහාචාර්ය විමල් දිසානායක ගිරිකුළ හා සඳමඬල කෘතියේ දී කෙටිකතාවත් නවකතාවත් අතර වෙනස ධාරණාව මත හඳුනාගත හැකි බැව් අවධාරණය කළේ මෙසේය.

”මට වැටහෙන පරිදි කෙටිකතාවත්, නවකතාවත් අතර වෙනස රඳාපවතින්නේ ධාරණාව පිළිබඳ ප‍්‍රශ්නය උඩ ය. කෙටිකතාව එක ප‍්‍රබල ධාරණාවක් ඉදිරිපත් කරයි. එහෙත් විස්තෘත අත්දැකීම් නිරූපණය කරන නවකතාවක් තුළින් ධාරණා රාශියක් ඉදිරිපත් කරනු ලැබේ.’’

මහාචාර්ය දිසානායකගේ මේ අදහස වටහා ගැනීමට අසමත් ඊනියා විචාරකයෙක් කෙටිකතාව දීර්ඝ කතා පුවත් හා සම්බන්ධ කළ යුතු බවට කුතර්ක ගොඩනගමින් සිටිති. ඔවුනට මහාචාර්ය කුලතිලක කුමාරසිංහයෝ නිර්භවයව ම පිළිතුරු මේ ග‍්‍රන්ථයෙන් ම දෙති.”

ඇතැම් පණ්ඩිතමාණින් මෙන්ම, ඔවුන් අනුකරණය කරන අන්තේවාසිකයෝ ද දැනට වසර කිහිපයක සිට, කෙටිකතා කලාවේ අනන්‍යතා ලක්ෂණ යවන ඒකීය ධාරණා සංකල්පය හෝ ඵලාප්තියේ ඒකතාව යන සංකල්පය හෝ අරභයා ද නර්මාලාප බෙණෙති. කෙටිකතා සන්දර්භය ගොඩනැගුණු දින සිටම ඒකීය ධාරණා සංකල්පය කෙටිකතාව නවකතාවෙන් වෙන්කොට හඳුනා ගන්නා මූලික ධර්මතාව වූයේ ය. විශේෂයෙන් මෙරට රචනා වී ඇති කෙටිකතාවලින් සියයට අනූනවයයි දශම පහක් ම ලියැවී ඇත්තේ ඒකීය ධාරණා සංකල්පය පාදක කරගෙන බව මෙරට කෙටිකතා අධ්‍යනයෙහි යෙදෙන සෑම විද්වතෙක් ම අනුමත කරනු ඇත. අතරින් පතර බහුවිධි ධාරණා මතු කරන කෙටිකතා අතළොස්සක් පමණ දැකිය හැකිය. සිංහල කෙටිකතාවේ සමාරම්භක අවධියේ දී රචනා වූ මුල්ම සිංහල කෙටිකතා සංග‍්‍රහය ලෙස සැලකෙන මාර්ටින් වික‍්‍රමසිංහගේ ගැහැනියක් හි ඇතුළත් කුවේණිහාමී බහු විධි ධාරණා මතු කරන කෙටිකතාවකි.
ඇතැම් විචාරකයෝ එය ලියෝ තෝල්ස්තෝයිගේ පුනරුත්ථානය (Resserection) නවකතාව සංක්ෂිප්ත කොට කථනය කිරීමක් ලෙස ද සලකති. එසේම ඩබ්ලියු. ඒ. සිල්වාගේ දෙයියන්ගේ රටේ කතා එකතුවේ ඇතුළත් එනමින් යුතු නිර්මාණය ද බහු විධි ධාරණා සංකල්පය ඉස්මතු කරමින් නිර්මාණය කරන ලද්දකැයි පැවසිය හැකිය. එහෙත් එය ද සංක්ෂිප්ත නවකතාවකි. ඊට පසු කාලයක දී ගුණදාස අමරසේකරගේ කථා පහක් හි ඇතුළත් දියොන්චිනාහාමි ගමනක අවසානය, ගල් පිළිමය හා බොල් පිළිමය කතා එකතුවෙහි ඇතුළත් ”වෛද්‍යවරයා සහ රෝගියා’’, ගල් පිළිමය සහ බොල් පිළිමය, ”මරණ මංචකයේ දුටු සිහිනය කථා සංග‍්‍රහයේ’’ එන පුතාගේ ශිෂ්‍යත්වය, පාළු වැල්ල, වේස්ගේ කථාව, කොමිෂන් වාර්තාව, විල්තෙර මරණයෙහි ඇතුළත් විල්තෙර මරණය මෙන්ම කියනු මැන දිවි අරුතෙහි ඇතුළත් මැයි දිනය, රෝහලේ ගින්න, යන කතා ඒකීය ධාරණා සංකල්පය ඉක්මවා ගිය නිර්මාණ ලෙස සැලකිය හැකිය. පසුකාලීන ලේඛකයන්ගේ කෙටිකතාවල ද බහු විධි ධාරණා සංකල්පයට අනුරූප ලෙස කෙටිකතා ලියවී ඇත. එබඳු නිර්මාණ විද්වතුන්ගේ හා කෙටිකතා විචාරකයන්ගේ ඇගයීමට ලක් වූයේ කාලානුරූපව කෙටිකතා ක්ෂේත‍්‍රයේ ඇති වූ ප‍්‍රවණතා ලෙසට ය. එය එකීය ධාරණා සංකල්පය බැහැර කිරීමට තුඩුදෙන ධර්මතාවක් ලෙස කිසිදු විද්වතෙක් සැලකුවේ නැත.

බහුවිධි ධාරණා මතු කරන කෙටිකතා ඉඳහිට ලියැවුණු තරමින් එ්කීය ධාරණා සංකල්පය කෙටි කතාවේ අනන්‍යතාව ලෙස බැහැර කළ හැකි ද? බැහැර කළ යුතු ද? කෙටි කතාව සාහිත්‍යාංගයක් ලෙස විශ්ව කෙටිකතා ක්ෂේත‍්‍රයෙහි අස්ථිත්වය රඳවාගෙන ඇත්තේ ඒකීය ධාරණා සංකල්පය නිසා ය. කෙටිකතාව ඒකීය ධාරණාවක් ඉස්මතු කරන කලා මාධ්‍යයකි. නවකතාව එබඳු ධාරණා රැුසක් මතු කළ හැකි කලා ශානරයකි. කෙටිකතාව නවකතාවෙන් වෙනස් වන්නෙ ධාරණාව නමැති සංකල්පය හේතුකොටගෙනය. අනාගතයේ දිනක කෙටිකතාවේ ඒකීය ධාරණ සංකල්පය බැහැර වී බහුවිධි ධාරණා මතුකරන සාහිත්‍ය ශානරයක් වුවහොත් කෙටිකතා මාධ්‍යය ක‍්‍රමානුකූලව දිය වී ගොස් නවකතාව පමණක් ප‍්‍රබන්ධ කතා ශානරයක් ලෙස රැඳී පැවතිය හැකි ය.’’

සැබෑ ශාස්ත‍්‍රවන්තයා වූ කලී හේතු සාධක දක්වමින් තමන්ගේ මතය තහවුරු කරන්නෙකි. එසේ නොමැතිව කටවාචාලකමට පුරසාරම් දොඩවන්නෙකු නොවේ. මහාචාර්ය විමල් දිසානායක මෙරට පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත් සැබෑම විද්වතෙකි. ඔහුගේ පොතක, පතක ලිපි ලේඛනයක කිසිවෙකුට පෞද්ගලිකව පහර දෙන ආක‍්‍රමණශීලී ප‍්‍රවාද නැත. එහෙත් අද අපේ රටේ ඉන්නා එකම සාහිත්‍ය විචාරකයා මම යැයි සිතාගෙන කටට එන හිතළු ඇද බාන විචාර විදුශකයෙක් පේරාදෙණියෙහි සිටිති. ඔවුහු බටහිර විචාර ක්ෂේත‍්‍රයෙහි සිටිති. ඔවුහු බටහිර විචාර ක්ෂේත‍්‍රයෙහි කාගෙත් කතා බහට ලක් වූ බැන්ඩර් මැතිව්ස් හාස්‍යයට නගති. ජෝසන් බර්ග් එසෙන්වීන් යැයි කියති. භාෂා ගණනාවක වෛශාරදත්වයට පත් කුමාරසිංහයෝ ඊට තාර්කික වූ පිළිතුරක් දෙති.

අද කෙටිකතා කලාව පිළිබඳ න්‍යායික රචනා ගොඩනගසන විචාරක විදුශකයන් කරලියට එන්නට මත්තෙන් මහාචාර්ය කුමාරසිංහ මුළු ජීවිත කාලයම ඒ වෙනුවෙන්ම කැප වී කෙටිකතාකරණයේ නියැළී සිටි අහිංසක ලේඛකයන්ගේ නිර්මාණ පිළිබඳ අපක්ෂපාති මධ්‍යස්ථ විචාරයක නියැළෙමින් නිර්මාණකරුවෝ දිරිමත් කළහ. ගුණදාස අමරසේකරගේ සමස්ත කෙටිකතා අධ්‍යයනය කරමින් ඔහු කර ඇති ”ගුණදාස අමරසේකර කෙටිකතා විමර්ශන’’ ග‍්‍රන්ථය එබන්දකි. එය අමරසේකරගේ සමස්ත කෙටිකතා දෙස නවමානයකින් බැලීමකි. කේ. ජයතිලකගේ සමස්ත කෙටිකතා ගෙන කර ඇති අධ්‍යයනය ද එවැන්නකි. සමාජය, යථාර්ථය හා කෙටි කතාවක් නම් වූ ඒ අධ්‍යයනය කේ. ජයතිලක පාඨක අවධානයට යොමු කිරීමකි.

යථාර්ථවාදී ප‍්‍රතිනිර්මාණ තාක්ෂණය ඉක්ම වූ නූතනවාදී ලක්ෂණ සහිත කෙටිකතා අප රට ශාස්ත‍්‍රාලිකයන්ගේ අවධානයට යොමු කළේ ද මහාචාර්ය කුමාරසිංහ ය. ඔහු 1986 ”සිංහල කෙටි කතාවේ වර්ධනීය අවස්ථාවක් ග‍්‍රන්ථයෙන්’’ අජිත් තිලකසේන මුල් කාලයේ දී රචනා කළ නූතනවාදී ලක්ෂණ සහිත කෙටිකතා පිළිබඳ පුළුල් සාකච්ඡුාවක් සිදුකර ඇත. ඒ ග‍්‍රන්ථය මහාචාර්ය කුමාරසිංහ මෑතක දී ”සිංහල කෙටිකතාව’’ යනුවෙන් ප‍්‍රතිමුද්‍රණයක් කර ඇත. ඒ අජිත් පසුකාලීනව ලියූ කෙටිකතා සංග‍්‍රහයන් ද විමර්ශනයට ලක් කරමිනි. සිංහල කෙටිකතා කලාව පාඨක ලෝකයාගෙන් ගිලිහී යෑමට ඉඩ නොදී මේ තාක් කාලයක් සිංහල කෙටිකතා කලාවේ ප‍්‍රවර්ධනයට මහාචාර්ය කුමාරසිංහගේ සේවාව මෙවැනි පත්තීරුවකට කිසිසේත්ම ලඝු කළ නොහැක. ඔහු දැනුමින් බුද්ධියෙන් මුහුකුරා ගිය නිහතමානි උගතෙකි. ශාස්ත‍්‍රවන්තයෙකි. ”සැබෑ බුද්ධිමතා මෙන්ම උගතා ද පැසුණු වී කරලක් මෙන් පහළට නැමී සිය කාර්යභාරයේ බරසාරභාවය සෙසු විද්වතුන්ට මෙන්ම විද්‍යාර්ථින්ට පෙන්වා දිය යුතුය’’ යන ආස්ථානයෙහි සිට සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයට අමිල සේවයක් කරන ඔහු අද විශ්ව කෝෂයේ ප‍්‍රධාන කර්තෘ ධූරයේ කාර්යය භාර්යයේ නියැළී සිටිය දීම දශක තුනක සිංහල කවිය පිළිබඳ රසවින්දනාත්මක ග‍්‍රන්ථයක් ලියමින් සිටී. මේ බුද්ධි යෝධයාණන්ට නව ඥාන ගවේෂණයට සුබ පතමින් අපි විචාරශීලී මනසින් අවදිව සිටිමු.

දර්ශනපති මහේෂ් කි‍්‍රශාන්ත

සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයෙහි මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ දායකත්වය
advertistmentadvertistment
advertistmentadvertistment