සා.පෙළ උපකාරක පන්ති 23 වැනිදා සිට තහනම්

144

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියලු උපකාරක පන්ති පැවැත්වීම මෙම මස 23 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව 23 වැනිදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම එම පන්ති මෙහෙයවීම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

චමින්ද සිල්වා


advertistmentadvertistment