සැත්කමට දුන් එන්නත ඇලජික් වී විදුහල්පතිනිය මියයයි

766

මේ එන්නත නිසා මීට පෙර ගැබිනි මවකුත් මැරිලා

හර්නියා රෝගයට ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි 59 හැවිරිදි විදුහල්පතිවරියක් ඊයේ (16 දා) අලුයම මිය ගොස් ඇත.

මියගිය ඒ. ජී. කරුණාවතී නමැති විදුහල්පතිනිය දෙදරු මවකි. ඇය මහනුවර මාඋස්සාව කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය ලෙස සේවය කරමින් සිට තිබේ.

මෙයට දෙමසකට පමණ ඉහත දී ඇය රෝහල්ගතව ඇත. සැත්කම පසුගිය අප්‍රේල් මස සිදු කළ අවස්ථාවේ ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ විදුහල්පතිනිය මියයන තෙක්ම එහි ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

විදුහල්පතිනිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී දරු ප්‍රසූතියක් සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මවකට ද විදුහල්පතිනිය වෙත ලබාදී තිබූ නිර්වින්දන එන්නත ලබා දීමෙන් සංකූලතා ඇති වූ අතර එම මව ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියාය.

අදාළ සිද්ධියෙන් පසු සංකූලතා ඇති කිරීමට හේතු වූ නිර්වින්දන එන්නත රෝගීන් සඳහා ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්හිටුවනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කරමිනි.

දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවට ලබාදුන් එන්නත ඊට දින කිහිපකට පෙර විදුහල්පතිනිය වෙත ලබාදී තිබෙන බවත් සංකූලතා හේතුවෙන් තරුණ මව මියගිය බවත් පැවසූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා විදුහල්පතිනිය මාස දෙකකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ යැයි ද ප්‍රකාශ කළේය.

මියගිය විදුහල්පතිනියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment