සැත්කමෙන් පසු දරුවාට සිහිය ආවේ නැත්තේ දොස්තරලාගේ වරදින් – ඥාතීහු චෝදනා කරති

820

අඟුරුවාතොට කඳුළු කතාව

හතර ශ්‍රේණියේ දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවි සිහිය නොලබාම මියයාම ගැන රෝහලේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බව සඳහන් කරමින් ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට , හල්තොට, පෙතිගමුව අංක 264/ ඒ ලිපිනයේ පදිංචිව සිටි හොරණ අශෝක විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රම ආරච්චි දරුවාය.

මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුගේ දෙමව්පියන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී පෞද්ගලිකව මුදල් ගෙවා හමුවී වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වැනිදා ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි. පසුදින (18) දහවල් 01.30 ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර, එම ශල්‍යකර්ම අවසන් වුවද දරුවාට පියවි සිහිය ලැබී නැත.

අනතුරුව දෙමව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් විසින් එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණ මාරු කර ඇත. සිව් දිනකට පසු එනම් 22 වැනිදා සවස 4.30 ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ පිටපත් දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවී ඇති බැවින් බොරැල්ල පොලිසිය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

මියගිය දරුවාගේ පියාගේ සහෝදරයා වන ඉන්ද්‍රජිත් වික්‍රම ආරච්චි මහතා හැඬූ කඳුළින් මෙසේ පැවසීය. මගේ මල්ලිගේ දරුවා තමයි නැති වෙලා තියෙන්නේ. එයා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වය කරන්න හිටියේ.

ඉස්කෝලේ නිවාඩු හින්දයි මේ සර්ජරිය කරන්න එක්ක ගෙන ගිහිල්ලා තියෙන්නේ ප්‍රයිවට් දොස්තර කෙනෙක් චැනල් කරලා.

එයා කියලා තියෙනවා විනාඩි පහක සුළු දෙයක් කියලා. සිහි නැති කරලා කරන්න තියෙන දෙයක් කියලා තියෙන්නේ. සිහි නැති කරලා තමයි ළමයාව සර්ජරි එකට අරන් තියෙන්නේ. පස්සෙ දරුවට සිහිය ඇවිල්ලා නැහැ.

නිර්වින්දනය කරන දොස්තරලගේ හැමෝමගේ අතේ වරද. ළමයා ගැන නොසලකා හැරියා.

ඊට පස්සේ ළමයව තියාගෙන බිල් හදනකම් පරක්කු කරලා. ළමයව යවනකොට ළමයා උපරිම අසාධ්‍ය තත්ත්වයෙන් ඉඳලා තියෙන්නේ. රිජ්වේ ආර්යා ළමා රෝහලට ගේනකොට ළමයා දවස් හතරක් විතර මැෂින් එකේ ඉඳලා.

ඊට පස්සේ 22 වෙනිදා 4.30 ට විතර නැති වුණා. අපි ඉල්ලනවා මේ ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරන්න කියලා.

මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය 23 වැනිදා කොළඹ ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

ගල්පාත චන්දන පෙරේරා


advertistmentadvertistment