සැනසීමට මග

674

ලෝකාර්ථචර්යාවේ හි යෙදුණු බුදුන්වහන්සේ විසිදහසක් පමණ ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමාමහ නිවන් සුව ලබා දෙනු වස් රජගහනුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩමකරවීමට ගමනාරම්භය සිදු කළේ අද වැනි මැදින් පුන් පොහෝ දිනයක ය. ඒ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් අභිනිෂ්ක‍්‍රමණය කිරීමෙන් සත් අවුරුද්දකට පසුවය. අභිමානවත් ශාක්‍යයන්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන්වහන්සේ යමා මහ පෙළහර පෑවේ එම ගමනේදී ය. දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ උතුම් දායාදය ලබා දුන්නේ ද මැදින් පෝය දිනකදී ය. රජ කිරුළ හැර දමාගොස් පැවිද්ද ලැබූ සිද්ධාර්ථ කුමරුන්ගෙන් පසුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව, ඉන්පසුව කිරුළු දැරීම සඳහා උරුමය ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කනස්සල්ලට පත්වීම නිසා දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනයේදී ය.

 යශෝධරාවන්ගේ සිත තුළ පැවැති වියෝ දුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේ ද මෙදිනම ය. බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා කිඹුල්වත් පුරයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මේ පොහොය දිනයේ තමන්ගේ සිත නිතර විමසුමට ලක් කළ යුතු ය. සිත අපිරිසුදු වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි බලවත් වන තරමට ය. සිත ගැන සිහියෙන් එම අකුසල සිතිවිලි මර්දනය කිරීමට උත්සාහ ගත යුතු ව ඇත. ඒ ලෝභ සිත එක් රැුස් කිරීමට ද, ද්වේෂ සහගත සිත වෛරයෙන්, කෝපයෙන්, දවමින් එම පුද්ගලයා කුපිත කිරීමට ද, මෝහයෙන් බැඳුණු සිත අපිරිසිදු ක‍්‍රියාවන්හි ම පැටලවීමට ද තමන් යොමු කරවන හෙයිනි. ජීවිතය වාසනාවන්ත වන්නේත්, අවාසනාවන්ත වන්නේත් තම තමන් කළ පින් පව් අනුව ය. පින් සිදුවන්නේ යහපත් ක‍්‍රියාවන්ගෙන් ය. පව් සිදු වන්නේ අයහපත් ක‍්‍රියාවන්ගෙන් ය.

 චක්ඛුපාල රහතන් වහන්සේගේ ඇස් අන්ධ වූයේ පෙර අත්බවයක අපිරිසුදු සිතින් කළ ක‍්‍රියාවක් විපාක දීම නිසා ය. ඒ ඇස් වෙදකු ව සිටියදී තමන් රැුවටීමට ලක් කළ කාන්තාවකගේ දෙනෙත් අඳ වීම සඳහා විෂ යෙදූ බෙහෙතක් දුන් නිසා ය. අපිරිසුදු සිතින් ඒ කළ ක‍්‍රියාවේ විපා දුක රහත් බව ලැබුණ ද උන්වහන්සේ පසුපස ලූහුබැඳ ආවේ ය. යහපතෙහි සහ අයහපතෙහි වෙනස මෙ පරිදි ය. ගැලවෙන්නට නොහැකි ය. එහෙත් දුක් විපාක විඳිමින් අවාසනාව යැයි පසුතැවෙනවාට වඩා පිරිසිදු සිතිවිලි උපදවා යහපත් දෑ කීමෙන්, කිරීමෙන් තමන් වෙත වාසනාව උදා කර ගන්නට ඕනෑම කෙනකුට පුළුවන. යහපත් රටක් ගොඩ නැගෙන්නේ යහපත් මිනිසෙක් බිහිවූ විටය. තම පහසුව අගනේ ය. තමා මෙන් අනෙකාගේ පහසුවට ද හැකිතාක් සහාය විය යුතු ය. කවර පරිසරයක ජීවත් වුව ද පරිසරයට උපකාරයක් කරනු මිස විනාශයක් නො කළ යුත්තේ අප ද පරිසරයේ ම කොටස්කරුවන් වන හෙයිනි. උන්වහන්සේ දෙසූ මේ උපදේශය සැමට වැදගත් ය. පරිසරය යහපත් වූ විට මානසික සහනය ඇතිවේ. අද බොහෝ අවුල් වියවුල් ඇති වන්නේ මානසික සහනය දුරුවී ඇති නිසාය. ධර්ම මාර්ගය සියලූ අසහනයන් දුරු කිරීම පිණිස ය.

 එසේ හෙයින් මේ ව්‍යාකූල යුගයේදීත් අපට විසඳුම් සහ නිවීම, සහනය සැබැවින්ම ඇත්තේ බුදුන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගය තුළය. ජීවිතයේ අතොරක් නැති දුක් කම්කටොළුවලින් හොඳටම හෙම්බත් වී අසහනය රජ කරන මේ කාලයේ අප අත්විඳින ප‍්‍රශ්න, ගැටලූවලට ප‍්‍රායෝගික විසඳුම් අත්‍යවශ්‍ය නමුත්, ජීවිතය එන්න එන්නම දුකට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එසේ නම් දහම් මාවත හැරෙන්නට අපට විකල්පයක් නැති බව මේ උතුම් පොහෝ දිනයේදී අප පසක් කරගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment