සැනසීම අද නොවේ හෙට

712

කොරෝනා වසංගතය හිතින් අතහැර දමා අපි මේ උත්සව සමය සමරන්නට බලා හිඳිමු. ලොකුවට නොවේ පොඩිවට හෝ නත්තල් උත්සව සමය හා වසර අවසානය මෙවර අපි සැමරිය යුතුව ඇති බව බොහෝ දෙනාගේ කතා බහෙන් තේරේ. එනිසාම මේ දිනවල කොළඹින් එපිට නිවාඩු නිකේතන සියල්ලක් පාහේ දැනටමත් බුක් වී අවසානය. එනිසාම ප‍්‍රසිද්ධ තැන් බොහෝමයක් ඔය කියන දවස්වලදී පැක් වන්නට ඉඩ තිබේ. කොරෝනා ආතතියෙන් මිදී බොහෝ දෙනා මේ නිදහස භුක්ති විඳින්නට සැරසෙන්නේ රටේ කොරෝනා අර්බුදයක් මෙන්ම ආර්ථික අවපාතයක් ඇති බව හා තමන්ද ඒ අවපාතයේ කොටසක් බව නොදැන නොවේ.

 එහෙත් මිනිසුන්ට නිදහස අවශ්‍යය. එක පැත්තකින් අර්බුද නිසා මිනිසුන්ගේ ආතතිය හොඳටම ඉහළ ගොස් ඇත. අනික් අතින් කෙළවරක් නැති ආර්ථික ප‍්‍රශ්නවලින් ජන ජීවිතය අඩාල වී ඇත. ගෑස් ගැන යළි කතා කරන්නට වුවමනා නැත. කලින් අපි කතා කළේ වැඩි වන ගෑස් මිල ගැනය. ඊට පසු ගෑස් හිඟය හා ගෑස් පෝලිම් ගැන කතා කළෙමු. අනතුරුව අපි කතා කළේ ගෑස් බෝම්බ ගැනය. ඊටත් පසුව ගෑස් මරණ ගැනත් අපි කතා කළෙමු. එනිසා ගෑස් ගැන දැන් ජනතා උනන්දුව අඩු වී ඇත. භූමිතෙල් පෝලිම්, ගිනි ගණන්වලට විකුණන භූමිතෙල් ළිප්වලින් අනතුරුව දර ළිපටම පල්ලම් බැසගත් අපි දැන් කතාකරන්නේ ඉහළ මිල ගණන්වලට විකුණන දර මිටි ගැනය.

 ළිපේ ප‍්‍රශ්නය ඒ ආකාරයට විසඳාගත් ජනතාව ඉන් පසු බලා හිඳින්නේ දර ළිපේ හෝ කුඩු ළිපේ (දහයියා හෝ ලී කුඩුවලින් තනාගන්නා ළිප) තියා තම්බාගෙන ළමයි ළපටින්ට දෙන්නේ මොනවාද කියාය. කිරි පිටි නැත. දිගු පෝලිම් ඇත. හාල් ගැන කතාකරනවාට වඩා ගෑස් ගැනම කතාකරන එක වඩා හොඳය. මොකද හාල් ප‍්‍රශ්නය විසඳන්නට හමුදාවෙන් පවා දැමුවත් ප‍්‍රශ්නය විසඳුවේ මෝල් කාරයන්මය. අද වෙළෙඳ පළේ මිල තීන්දු කරන්නේ හාල් මෝල් කාරයන් නොහොත් මෝල් හාල් කාරයන් විසිනි. පාරිභෝගික අධිකාරිය, එම ඇමැතිවරයා සහ වෙළෙඳ හා කෘෂිකර්ම ඇමැතිවරු හෙට්ටුවී හොඳටම මහන්සි වී දැන් හති අරිමින් සිටිති. ඒ නිසා වෙළෙඳ පළේ සහල් හිතූ හිතූ ගානට විකුණති. කොටින්ම රටින් ගෙනා නාඩු සහල් කිලෝවක් පවා විකිණෙන්නේ රුපියල් 120 කට එහා මිලකටය.

 පොල් මිලද එසේමය. රුපියල් 80 න් 90 න් 100 න් මෙහා පොල් ගෙඩියක් මිලදී ගන්නට නැත. බිත්තරයක් රුපියල් 27 පමණ දක්වා මිල ඉහළ ගොස් ඇත. කුකුල් මස් මිල රුපියල් 800 ඉක්මවා ඇත. වියළි මිරිස් කිලෝවක මිල මේ සතියේ පටන් රුපියල් 750 දක්වා වැඩිවී ඇති අතර ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 280-300 දක්වා ඉහළ ගොස් ඇත. ඉතින් පොල් සම්බෝලයක් හදාගෙන බත් ටිකක් කන්නට තරම්වත් දැන් මිනිසුන්ට විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ මින් පෙර කවරදාකවත් නොවිඳි දුෂ්කරතාවකි.

 එළවළු බතක් කෑම ගැන කතා කර පලක් නැත. ඒ තරමට එළවළු මිල ඉහළ ගොස් ඇත. කොටින්ම මේ තියන ගානට එළවළු ගෙනත් විකුණන්නට බැරි නිසා බොහෝ එළවළු කඩ වසා දමා ඇත. ගමේ ගොඬේ එළවළුවක්, අමුමිරිස් ටිකක් තියාගෙන හිටි සිල්ලර කඩවල එළවළු බක්කි හිස්වී ඇත. එදා කිලෝවට, ග‍්‍රෑම් 500 ට මිල කියපු කඩවල අද මිල කියන්නේ ග‍්‍රෑම් ගණනටය. අමු මිරිස් ග‍්‍රෑම් 100 රුපියල් 100 ට වඩා වැඩිය. වැටකොළු, පතෝලත් කිලෝව රුපියල් 500 ට එහා ගිය කල, බෝංචි, කැරට් ගැන තව කුමන කතාද.

 ඉතින් පොඩිවට හෝ උත්සව සමය සමරන්නේ කෙලෙසද…? උත්සව සමයත් සමග කළු කඩ මිලට බඩු විකිණීම දැන්ම පටන්ගෙන ඇත. හෙට- අනිද්දා වන විට මේ මිල ගණන් තව තව ඉහළ යනු ඇත. සූරාකෑම ඉතා කදිමට සිදුවනු ඇත. එහෙත් පුදුමය නම් මේ ගැන බලන්නට කිසිවකුත් මේ රටේ නැත. ආර්ථික අර්බුදය ඇත්තකි. එහෙත් සූරාකෑම තව දෙයකි. මේවා ගැන සොයා බලා කටයුතු කරන්නට ආයතනයක් හෝ කෙනකු නැති වීම රටේම අභාග්‍යයයි. කන්නට ඕනෑ විට කබරයාත් තලගොයා කරගන්නා වෙළෙඳ මාෆියාවක් ක‍්‍රියාත්මක වන මේ රටේ සාධාරණ වෙළෙඳාමක් සඳහා අඩිතාලමක් දමා දෙන්නට ගෝඨාභය රජයටත් බැරිනම් තවත් කරන්නට කෙනෙකු ඇත්දැයි ප‍්‍රශ්නයක් තිබේ. ඒ ඔහු හමුදා නිලධාරියකු ලෙස පන්නරය ලැබූ නායකයකු නිසාය. එනමුත් අපි සාධාරණ වෙළෙඳාමක්, සාධාරණ සමාජයක් ගැන නන් දොඩවමු.

 අපට පෙනෙන්නට ඇත්තේ ඒ සාධාරණත්වය හා සහනදායී මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අපේක්ෂාව අද නොවේ හෙට දක්වා කල් යන බවකි. ඊළඟ මැතිවරණය එනතුරා ජනතාවගේ ඒ අහිංසක අපේක්ෂාවන් කල් යන අතර, එතනින් තවත් වසර 5 කට බැගින් ඈතට, ඈතට ගමන් කරනු මිස මේ අපේක්ෂා කිසිදා සාක්ෂාත් වන්නේ නැත. ඊට හේතුව මේ රටේ පවතින අයහපත් ආර්ථික කළමනාකරණය බව අපගේ වැටහීමයි.

 මේ අතර රටේ උද්ගතව ඇති ඩොලර් හිඟය නිසා පෙනෙන තෙක් මානයේ සුගතියක් ජනතාවට අත්නොවන බව පැහැදිලි අතර රටට මීට වඩා දුෂ්කර කාලයක් උදාවනු ඇති බව ආර්ථික විශේෂඥයන් අනතුරු හඟවා ඇත. එසේ හෙයින් උත්සව මානසිකත්වය ඉවත දමා කරන කෙළියක් මේ දින ටිකේ කර තවදුරටත් දුෂ්කර ක‍්‍රියාවට ලක ලැහැස්ති වීම සඳහා දැන් සිටම රට සූදානම් විය යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment