සැප්තැම්බර් ප‍්‍රහාරය ඉතිහාසය කණපිට හැරීම

136

අද සැප්තැම්බර් 13 වැනි සඳුදා දිනයයි. එහෙත් අප මීට වසර 20 ක් හා දින දෙකකට පෙර අතීතයට යායුතුය. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා යනු අඟහරුවාදා දිනයකි. එවක 18 හැවිරිදි වියේ පසුවූ ජොනතන් ඊගන් මේ දිනය තම ජීවිතය වෙනස්කරනු ඇතැයි කිසිවිටක ප‍්‍රාර්ථනා කළේ නැත. නමුත් නොසිතූ නොපැතූ අත්දැකීම් වලට මුහුණදීමට සිදුවීම සකල මනුෂ්‍ය ප‍්‍රජාවටම පොදුය. ජොනතන්ගේ පියා සේවය කළේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දකුණු කුලූණේ 103 වැනි තට්ටුවේ පිහිටි කාර්යාලයකය. එදින ජොනතන්ගේ නැන්දාත් පියා හමුවීම සඳහා එම කාර්යාලයට ගොස් සිටි අතරතුර යුනයිටඞ් එයාලයින් 175 යානය මේ දැවැන්ත ගොඩනැඟිල්ල සිදුරු කර තිබිණි. වර්තමානයේ 38 හැවිරිදි එක්දරු පියෙක් වන ජොනතන් පවසන්නේ මේ සිද්ධිය තමාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්කළ බවයි. එසේම එය කිසිදිනක අමතක කළ නොහැකි බවත් ඔහු කියයි. අල්කයිඩා ප‍්‍රහාරයෙන් ඔහුගේ පියා මයිකල් මියයන විට 51 හැවිරිදි වියේ පසුවිය.

සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු දිග කුලූනේ පළමු යානය ගැටුනේ උදෑසන 8.40 ටය. දෙවැනි යානය දකුණු දිග කුලූනේ ගැටුනේ උදෑසන 9.03 ටය. උදෑසන 9.37 ට තවත් යානයක් පෙන්ටගනයේ බටහිර මුහුණත විනාශ කර තිබිණි. පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානයේ සිටි මගීන් අල්කයිඩා ත‍්‍රස්තයන් සමඟ සටන් වැදිණි. එය ප‍්‍රතිඵලයක් ලෙස එම යානය පෙන්සිල්වේනියා ප‍්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටිණි. මෙම යානය වොෂින්ටනයේ කැපිටල් ගොඩනැඟිල්ලේ ගැටීමට සැලැස්වීම ත‍්‍රස්ත කණ්ඩායමේ අරමුණු විය. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් මියගිය පිරිස අතර රටවල් 77 කට අයත් පුරවැසියෝ වූහ. අනතුරට පත්වූවන් බේරාගැනීමට කටයුතු කළ ගිනි භටයන් ඇතුළු සහන සේවකයන් 441 දෙනකුද මෙහිදී මරණයට පත්විය.

එක්සත් ජනපදයේ නැගෙනහිර අහසේ පියාසර කෙරෙමින් තිබූ යානා හතර පැහැර ගැනීමට අල්කයිඩා සාමාජිකයන් 19 දෙනකු කි‍්‍රයාත්මකවී තිබිණි. ඔවුහු කණ්ඩායම් හතරකට බෙදී කටයුතු කළහ. ඒ පස්දෙනකුගෙන් යුත් කණ්ඩායම් තුනක් හා සිව්දෙනකුගෙ යුත් කණ්ඩායමක් ලෙසිනි.

සැප්තැම්බර් ප‍්‍රහාරය ඉතිහාසය කණපිට හැරීම

පෙන්සිල්වේනියාවේ කඩා වැටුණු යානය පැහැරගෙන තිබුණේ හතර දෙනාගේ කණ්ඩායම විසිනි. ගුවන් නියමුවකු ලෙස පුහුණුවූ පුද්ගලයකු සෑම කණ්ඩායමකම විය. මේ ප‍්‍රහාරකයන් 15 දෙනෙක් සෞදි ජාතිකයන් විය. දෙදෙනකු එක්සත් අරාබි එමීරයේ වැසියන් වූ අතර ඉතිරි දෙදෙනා ලෙබනන් හා ඊජිප්තු ජාතිකයන් විය. සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාව පුරා වසර 20 ක් යුද වැදුණු ඇෆ්ගනිස්ථානයේ කිසිම පුරවැසියෙක් මේ ප‍්‍රහාරකයන් අතර නොවීය. එසේම ඉරාකයේ එකදු වැසියකු හෝ මේ ප‍්‍රහාරයට සම්බන්ධවී සිටියේ නැත.

සැබවින්ම සැප්තැම්බර් ප‍්‍රහාරය සැලසුම් කළේ ඛලිඞ් ෂෙයික් මොහොමඞ්ය. අල්කයිඩාවේ නායකයා බින්ලාඩන් වූවත් ගුවන් යානා විශාල ගොඩනැඟිලි මත වද්දා සිදුකළ හැකි මහා විනාශය පිළිබඳ අදහස ලබාදුන්නේ ඛලිඞ් විසිනි. ඔවුන් ග්වන්තනොමෝ කඳවුරේ ර`දවා ඇති අතර මොහුට එරෙහිව තවම නඩු පවරා නැත. මොහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පවසන්නේ ඛලිඞ්ට එරෙහිව නඩුව පවරා තීන්දුවක් දීමට තවත් අවුරුදු 20 ක් පමණ ගතවනු ඇති බවයි. කුවේට්හි උපත ලැබූ මොහු අධ්‍යාපනය ලබා ඇත්තේ ඇමෙරිකාවේය. 80 දශකයේදී මොහු මුජහිදීන්වරු සමඟ එක්වී රුසියාවට එරෙහිව සටන්වැදී ඇත. කාලයක් තිස්සේ එෆ්. බී. අයි. ආයතනය මොහු ගැන විමසිල්ලෙන් සිටියද සැප්තැම්බර් ප‍්‍රහාරයට පෙර මේ අල්ඛයිඩා නායකයා අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නැත. එසේ හැකිවූවා නම් ඉතිහාසය ලියැවෙන්නේ වෙනස් ලෙසකින්ය.

සැප්තැම්බර් ප‍්‍රහාරය සිදුවී මාසයක් ගතවන විට හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ගේ අණපරිදි ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළේ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ අරමුණිනි. නමුත් ඔසාමාගේ පා සටහනක් හෝ ඇෆ්ගන් දේශයෙන් සොයා ගැනීමට හැකිවූයේ නැත. ඔසාමා හමුවූයේ පාකිස්ථානයේ ඇබෝටාබාද් නගරයෙනි. ඒ සැප්තැම්බර් ප‍්‍රහාරයට වසර 10 කට පසු 2011 මැයි මාසයේදීය. ඔසාමා ඝාතන මෙහෙයුම ගැන එම විශේෂ මෙහෙයුමට සහභාගිවූ මැට් බිස්සොනොට් විසින් No Easy Day මැයෙන් කෘතියක් ලියා පළකළ අතර එය 2012 වැඩියෙන්ම අලෙවි වූ කෘතියකි. නමුත් මේ කෘතිය සඳහා නිසි අවසර ගෙන නැති බව පෙන්ටගනය චෝදනා කළ අතර කතුවරයාට එරෙහිව නඩු පැවරිණි. අවසානයේ පොතේ ආදායම හා අයිතිය පෙන්ටගනයට පැවරීමට මේ සිල් භටයාට සිදුවිය. ‘‘මාර්ක් ඕවන්’’ නම් ආරූඪ නමකින් ඔහු මේ පොතේ රචකයා ලෙස පෙනී සිටියේය.

සැප්තැම්බර් ප‍්‍රහාරයට වසර විස්සක් සම්පූර්ණ වීමට සති තුනකට පමණ පෙර යළිත් කාබුල් බලය තලේබාන්වරුන් අතට පත්විය. පසුගිය අගෝස්තු 15 වැනිදා පස්වරුවේ තලේබාන් සාමාජික පිරිසක් කාබුල් ජනපති මන්දිරයේ අසුන්ලාගෙන සිය බරැුති තුවක්කු ජනපති මන්දිරයේ ඉතා හොඳින් ඔපදමා ඇති මේස මත තබාගෙන දීප්තිමත් දෑසින් යුතුව කැමරා දෙස නෙත් යොමාගෙන සිටින විට ධවල මන්දිරය සලිත විය. 1975 දී සයිගොන් පරාජයටත් වඩා ලැජ්ජාවක් කාබුල්නුවරදී ඇමෙරිකාවට අත්විදින්නට සිදුවිය. එසේ නම් ඇමෙරිකානු ජනපතිවරුන් 04 දෙනකු යටතේ කි‍්‍රයාත්මක කළ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ප‍්‍රතිලාභය කවරක්ද? පුරා වසර විස්සක් තිස්සේ ඇෆ්ගන් යුද්දයට වැය කළ ඩොලර් ටි‍්‍රලියන 02 කින් ලැබුණු ලාභය කවරක්ද? දැන් 2001 දී පලවා හරින ලද තලේබාන් කණ්ඩායමට වඩා බලවත් ශක්තිමත් පිරිසක් බිහිව තිබේ. මොවුන් සියල්ලෝම ඇමෙරිකානු ආයුධ වලින් සන්නද්ධව සිටිති. ඩොලර් බිලියන සියයක් පමණ වැයකර නිර්මාණය කරන ලද ඇෆ්ගන් හමුදාව තලේබාන්වරු කාබුල් නුවරට පැමිණෙන විට එකදු වෙඩිල්ලක් හෝ තැබුවේ නැත. සියල්ලෝ තම ආයුධ පමණක් නොව නිල ඇදුම්ද ගලවා දමා පැනගොස් තිබිණි. වසර විස්සකට පසු ඉතිහාසය කණපිට හැරී ඇත. අද ඇමෙරිකාව විසින්ම තලේබාන් සංවිධානයට ජාත්‍යන්තර පිළිගැනීම ලබාදී ඇත. පසුගිය අගෝස්තු 31 වැනිදා ඇමෙරිකාව සම්පූර්ණයෙන් කාබුල් නුවරින් ඉවත්ව යනවිට හමීඞ් කාර්සායි ගුවන්තොටුපළ පුරාම අතහැර දැමූ ඇමෙරිකානු ගුවන්යානා රැුසක් විය. කාබුල් නුවර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම කෙසේ වෙතත් ඇමෙරිකාවට පිටුපස නොබලාම පැන දුවන්නට සිදුවූයේ තවදුරටත් රැුඳී සිටියා නම් තමන්ගේ කලිසමද අහිමිවන නිසාය. ඇෆ්ගනිස්ථානය යනු අධිරාජ්‍යයන්ගේ සොහොන් බිම බවට ප‍්‍රකට කියමනක් තිබේ. මෙය අතීතයේදී ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් අත්දුටු අතර මෑත කාලයේදී රුසියාවත් ඇමෙරිකාවත් ඉතා හොඳින් අවබෝධකර ගත්තේය.

2011 වසරේ ඇෆ්ගන් යුද්ධය දරුණුවට පැවැති සමයේ ඇමෙරිකානු සෙබළු ලක්‍ෂයක් බැග්රූම් සිට කන්දහාරය දක්වා ඇති කඳවුරුවලට ස්ථානගත කර තිබිණි. පුරා වසර විස්සක කාලය පුරාම ඇෆ්ගනිස්ථාන යුද්ධයට සම්බන්ධවූ ඇමෙරිකානු ආරක්‍ෂක නිලධාරීන් ප‍්‍රමාණය ලක්‍ෂ 8 කි. 2003 සිට 2007 දක්වා ඉරාකයේ මෙහෙයුම් සඳහා යොදා තිබුණු ඇමෙරිකානු භටයන් ප‍්‍රමාණය ලක්‍ෂ දෙකකට ආසන්නය. ඇමෙරිකාව 2003 මාර්තුවේ ඉරාකය ආක‍්‍රමණය කළේද ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ තවත් පියවරක් ලෙසිනි. නමුත් සදාම් හුසේන් විසින් නිපදවණු ලැබුවායි කියනා ජන ඝාතක අවි සොයා ගැනීමට හැකිවූයේ නැත. ඉරාක වැසියන් ලක්‍ෂ හයකට ආසන්න ප‍්‍රමාණයක් ඇමෙරිකානු ආක‍්‍රමණය නිසා මරණයට පත්විය. අදත් ඉරාකය ස්ථාවරද? අල්කයිඩාවටත් වඩා දරුණු අයිසිස් සංවිධානය බිහිවූයේද මේ ආක‍්‍රමණයේ දීර්ඝකාලීන පියවරක් ලෙසිනි. තලේබාන්වරු මෙන්ම අයිසිස් සංවිධානයට ද නොමසුරුව ඇමෙරිකානු ආයුධ පරිත්‍යාග වශයෙන් ලැබිණි. සිරියාවේ ජනපති අසාද්ට එරෙහිව සටන් කළ වහාබ් කල්ලිවලට විශේෂයෙන් සෞදි අරාබියේ උදව් ලැබුණු පිරිසට ඇමෙරිකාවේ නොමසුරු සහාය හිමිවිය. අවසානයේ අල් නුෂ්රා හරහා අයිසිස් බිහිවිය. අල්කයිඩාව පැත්තකට විසිවී

ගියේය. අවසානයේ සිරියාවේ අසාද්ගේ හමුදාවට නොව අයිසිස්වරුන්ට එරෙහිව ගුවන් ප‍්‍රහාර දියත් කරන්නට අණදීමට එවක ජනපති බැරක් ඔබාමාට සිදුවිය.

ඇමෙරිකානු දේශපාලන විචාරක ඩොමිනික් ටියාර්නි සුප‍්‍රකට ටයිම් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇෆ්ගන් පරාජය ගැන මෙලෙස කරුණු දක්වා තිබිණි. ඇත්තටම ඇෆ්ගනිස්ථානයේදී පරාජයක් අත්වූණා. සෙබළු 2500 කට ආසන්න පිරිසක් මියගියා. විසිදාහක් තුවාල වුණා. ඩොලර් ටි‍්‍රලියන ගණනක් වැය කළා. අවසානයේ මොකක්ද වෙලා තියෙන්නේ. යළිත් තලේබාන්වරු බලයට ඇවිල්ලා. මෙය ඉතිහාසයේ ලියැවෙන්නේ ඇමෙරිකානු පරාජයක් ලෙසින්. ඇත්තටම 2001 ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කරන කොට ඒ රටේ නිවැරදි තොරතුරු තියෙන සිතියම් පවා තිබ්බේ නැහැ. හිටපු ආරක්‍ෂක ලේකම් ඩොනල්ඞ් රස්ෆෙල්ඞ් කියන්නේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය කාලේ භාවිත කරපු සිතියම් තමයි හමුබුණේ කියලා. ඉරාකය ආක‍්‍රමණය කරන කොට එහි ඇති ප‍්‍රාදේශීය වෙනස්කම් ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ. 2006 දී මට පුදුම හිතෙන දෙයක් දැනගන්න ලැබුණා.
බැග්ඩෑඞ් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දහස් ගණනක් සේවය කළාට අරාබි භාෂාව කතා කරන්න පුළුවන් අය හිටියේ හය දෙනයි. මේ වගේ දේවල් නිසා මොකද වෙන්නේ. ඉතාම අයහපත් ප‍්‍රතිඵල තමයි අත්දකින්න වෙන්නේ. තලේබාන්වරු කාබුල් අල්ලාගන්නේ ලේ හලන්නේ නැතිව. ඇමෙරිකාවට ඇෆ්ගනිස්ථානයේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න බැරිවුණා. ඇත්තටම 2002 වසරේදී තලේබාන් සංවිධානය පරාජය වුණාට පස්සේ දේශපාලන සාකච්ඡුාවකට ඇමෙරිකානු රජයට ආරාධනාවක් කළා. නමුත් බුෂ් ජනපතිතුමා එය ප‍්‍රතික්‍ෂේප කළා. ඒ කාලේම විස`දුමකට පැමිණෙන්න තිබුණා නම් මෙහෙම විනාශයක් හා වියදමක් වෙනනේ නැහැ. එයින් ඇෆ්ගන් ජනයාටත් යහපතක් අත්වෙන්න තිබුණා.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment