සැපෙන් සුවෙන් ඉන්න වැඩි වැඩියෙන් කුසල් වඩන්න

39

‘පේත’ යන වචනය පාලි භාෂාවට අයත් වූවකි. එයින් කියැවෙන්නේ නොපෙනෙන, මියගිය, චුත වූ ආදී අර්ථයි. මිනිස් දිවියක් ලබා මියගිය බොහෝ දෙනාට අප පිං අනුමෝදන් කරනුයේ ඔවුන්ගේ සසර ගමන සුවපත් කර ගැනීම උදෙසාය. ඇතැම් පේ‍්‍රත ආත්ම ලබාගත් තැනැත්තන්ට එකී පිං ලබාගැනීමට හා නොගැනීමට ද සිදුවන අයුරු පේත වත්‍ථු පාලිය තුළින් මනාව පෙන්වා දෙනු ලබති.

පේත වත්‍ථු පාලියෙහි උබ්බරී වග්ගයට අයත් ‘නන්දා’ පේ‍්‍රත වත්‍ථුව අපහට බොහෝ පාඩම් කියාදෙන අපූරු කතා පුවතකි. දිනක් නන්දසේන නම් උපාසකයා කිසි දිනෙක නොදුටු බෙහෙවින් බිය උපදවන සුළු පේ‍්‍රතියක් දුටුවේය. ඇයගේ ස්වභාවය නම් කළු වූ දුර්වර්ණ සිරුරකින් හා බියකරු පෙනුම ඇති කළු දත්වලින් හා විවර වූ දෑස් ඇති මෙකී පේ‍්‍රතිය දුටු උපාසකයා නුඹ කවරෙක්දැයි විමසනු ලබයි. එහිදී ඇය පිළිතුරු දෙනු ලබන්නේ නන්දසේන, මා පෙර ඔබගේ බිරිඳ වූ නන්දාය. නොයෙක් පව්කොට මෙලොවින් චුතව පේ‍්‍රතියක්ව ඉපිද මෙලෙස බොහෝ දුක් වේදනා විඳින බව නන්දසේන උපාසකයාට ප‍්‍රකාශ කරනු ලැබුවාය. එවිට උපාසක තෙමේ විමසනු ලබන්නේ නුඹ කුමන අකුසලයක් සිදුකරන ලද්දේ ද? යන්නයි. මා පෙර තිදොරින්ම බොහෝ පව් කළෙමි. ඉතා දරුණුව පරුෂ වචන කීම, බොරුකීම ආදිය නිරතුරුවම සිදුකළ අතර එහි විපාක මෙලෙස වින්දනය කරන බව ප‍්‍රකාශ කළාය. මෙකී තොරතුරු ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව උපාසකයා තම උතුරු සළුව ලබාදී මෙය ගෙන හැඳගන්නා ලෙස ඉල්ලීමක් කරයි. එම අවස්ථාවේදී පේ‍්‍රතිය පවසන්නේ උතුරු සළුව හෝ මොනයම් භෞතික සම්පතක් මා හට ලබාදුන්නද එය අතින් අතට හිමිකර ගැනීමට තරම් හැකියාවක් නොමැති බවය.

මෙම සංවාදයෙන් අනතුරුව පේ‍්‍රතිය නන්දසේන උපාසක තෙමේට මෙසේ පවසා ඉල්ලීමක් ද සිදුකරනු ලබයි. උපාසකය, ඔබ විසින්ම සිල්වත් සුපේශලකාමී භික්‍ෂූන්ට ආහාර පානවලින් සංග‍්‍රහ කොට දන් පුදා පින මා හට අනුමෝදන් කරන ලෙස ආයාචනා කර සිටියේය. මැනවයි උපාසකයාද එලෙසම කොට භෝජන හා වස්ත‍්‍ර පුදා පේ‍්‍රතිය සිහිපත් කොට පිං අනුමෝදන් කරනු ලැබීය. මෙම පිං අනුමෝදන් වූ ඇය දුක් සහගත පේ‍්‍රත ආත්මයෙන් මිදී සියලූ සැප සම්පත්වලින් සපිරි දිව්‍ය ආත්මයක් ලබා මනහර ශරීරයකින් හා විසිතුරු කසී සළු දරමින් අලංකාර ආභරණයෙන් යුතුව නන්දසේන උපාසකයා සමීපයට එළැඹියේය. එවිට තම හඳුන්වා දීමෙන් පසු දෙව්දුවගෙන් උපාසක තෙමේ විමසනු ලබනුයේ මෙබඳු සැප සම්පත් එකවර ලැබුණේ කෙසේද? යන්නයි. එවිට මහත් ආනුභාව ඇති දිව්‍යාංගනාව පෙර ආත්ම භාවයන් සිහිකොට තමා සිදුකළ අකුසල් හා ඒ නිසාම දුක්වේදනා විඳි අයුරු පවසා නන්දසේන උපාසකයා විසින් සිදුකළ පිංකම හා එහි පිං අනුමෝදනාව නිසා තමා මෙලෙස සැප විඳින බව පවසා සිටියේය. ඒ නිසාම නන්දසේන උපාසකයා ප‍්‍රධාන දරුවන් සහිත ඥාති සියලූ දෙනාට ආශීර්වාද කොට තවදුරටත් ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල මූලයන්ගෙන් තොරව වඩ වඩාත් පින් දහම් සිදුකිරීම දෙලොව සැපතට හේතු වන බව උපාසකයාට මැනවින් කරුණු පැහැදිලි කොට ප‍්‍රශංසා කරනු ලැබීය. ‘නන්දා’ පේත වත්‍ථුව තුළින් මිනිසත් බව ලද අප හැමදෙනාටම ලබදෙන අපූරු පාඩම නම් නිතර නිතර දන්දීම හා අකුසල් මුල් දුරුකොට ගනිමින් ඒ ඔස්සේ කුසල් වර්ධනය කරගැනීම අතිශය වැදගත් බව ඉතා කදිමට පෙන්වාදෙන දහම් කරුණකි.

 ශාස්ත‍්‍රපති කනංකේ විජිත නන්ද හිමි

advertistmentadvertistment