සැබැවින්ම අප නිදහස්ද?

108

මේ ගෙවෙනා අවධිය තුන් කාලයටම අයත් ඓතිහාසික ගමන් මග තුළ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක් බවට පත් වන්නේ එක් වැදගත් සිදුවීමක් නිසාය. එනම් ඩොමීනියන් තත්ත්වයෙන් හෝ මෙරට බි්‍රතාන්‍ය යටත්විජිතවාදයෙන් මිදී ගෙවෙනා 75 වන වසරේ ඉතා තීරණාත්මකම දින වන නිසාය. නිදහස් වූ එකී සිද්ධියට අදට වසර 75 කි. නමුත් අද අපට එය දිස් වන්නේ මෙන්ම දකින්නට සිදු ව ඇත්තේම ලැබූ නිදහසේ ක්‍රියාදාමයක් ලෙස නොව මහා බි්‍රතාන්‍යයෙන් නොහොත් එදා ලාංකීය මධ්‍යම පන්තිය අර්ථකථනය කළ ලෙස කිවහොත් “සුදු මහතැන්ලා” මෙරට හැරගිය දිනය ලෙසයි. එදා පටන් හරිම ආකාරයෙන් නම්, චින්තනයෙන් අප යටත්විජිත මානසිකත්වයෙන් මිදීම කළ යුතුම දෙයක්ව තිබිණි. එය එදා පටන් දේශයේ පාලන අවකාශයේ සිටි පාලන නායකත්වයට මෙන්ම ඔවුන් මතින් ලොව දකින ජනතාවටද භාරවූ මහත් වගකීමකි. ඉන් මූලිකවම, සුද්දා ආපසු ගියද ඔවුන් හිතන්නට හුරු කළ මානසිකත්වය (Mentality) අප වැනි රටවල ජනතාවගේ ඔළුවෙන් බැහැර වූයේ නැත.

වත්මන් මොහොත දක්වාම ඇති බොහෝ අර්බුදවලට බලපෑ ජනතා පැතිකඩෙහි ඛේදවාචකයද එයයි. එනම් අපට “ලාංකික” නම් වූ ජාතිකත්වය අහිමිවීමය. එය “ජපන්නු” මෙන් නොව අප බලහත්කාරයෙන්ම එක් රටක සියල්ලෝ ලෙස එකම ගමනක් යෑමට අකැමැත්තෙන් අත්හැර දැමූවකි. මේ නිසාම දේශපාලකයාද එවැනි ගමනකට පූර්වාදර්ශයක් නොදීය. වර්ෂ 1977 වන තෙක් වූ පාලකයන් ඒ සඳහා උත්සාහයක් හෝ දැරූවද, ඉන් පසුව වූ නව ලිබරල්වාදී මත නම් ඔඩොක්කුවේ හුරතල් වූ පාලකයන්ට එය අමතකම විය. සරලවම ගතහොත් එදා සිටම ගොඩනැගිය යුතුවම තිබූ ජාතික චින්තනයක (National Thinking) අවශ්‍යතාව අප අහිමි කරගන්නා ලදී. වසර 443 ක් මුළුල්ලේ විවිධ පරදේශිකයන්ගේ පහස ලත් ජාතියකට එය පහසු නොවන්නක් බව අප දනිමු. එහෙත් අප කතා කළ යුත්තේ එවැන්නක් සඳහා වූ උත්සාහය පිළිබඳවය. එයද අසාර්ථකය. කුමන අන්දමින් බැලුවත් සැබෑ ලෙසම අප නිදහස් නැත. සුද්දා ගියා පමණි. තවමත් දෙපයින් සිට ගැනීමට වාරු සොයමින් සිටී. එය දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී සෑම පැතිකඩකින් ම විමසා බැලිය හැක.

මුල් කොටම දේශපාලනය වෙත අවධානය යොමු කළහොත් අප අදත් භුක්ති විඳිනු ලබන්නේ වෙස්මිනිස්ටර් ආකෘතියයි. එහි වරදක් නැත. නමුත් යම් අවස්ථාවක අපේ භූ දේශපාලනයට වග නොකියන ඉසව් නැතුවාම නොවේ. අප බහුවාර්ගික දූපත් භූ දේශපාලනයට ගැළපෙන ආකෘතියක් අප නිර්මාණය කළ යුතුය. ඉන්දියාව වැනි වෙනත් රටවල බලපෑම මත බලෙන් මෙන් පැටවූ 13 වැනි සංශෝධනය වැනි උගුල් නිසා පළාත් සභා වැනි ප්‍රතිසංස්කරණ අපට තවමත් පිළිල වී ඇත. ආර්ථික මොඩලය අතින් බැලූවත් අද ලුණු පොල්කට්ටේ සිට යැපෙන මානසිකත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම මෙය සිදුවූයේ 77 දී වූ නව ලිබරල් ආර්ථික ක්‍රමයත් සමගය. දේශීය වශයෙන් රටට ආදායම දුන් ජාතික කර්මාන්ත බිංදුවටම වැටුණු අතර ඇතැම් ඒවා පෞද්ගලීකරණය (Privatization) කරනු ලැබීය. මෙහි ප්‍රතිඵලය වූයේ නොසිතූ මොහොතක කෙමින් කෙමින් නිෂ්පාදන ආර්ථිකය බිදවැටී සේවා ආර්ථිකයක් වෙත යොමු වීමය.

එයද අද අසාර්ථක වී ඇත. අද මුදල් සංචිත අතින් ඍණ මට්ටමකට පත්ව ඇත්තේම, මෙකී දේශීය ව්‍යාපාර මූල්‍ය පදනම අහිමි වීම නිසාය. දේශීය ව්‍යාපාර බලගන්වා නැවතත් නිෂ්පාදන ආර්ථිකයක් කරා යෑම ඇරෙන්නට වෙනත් කිසිදු විකල්පයක් මෙයට නැත. එලෙසම වර්තමාන ආර්ථික අවපාතයන්ට බොහෝ විට බලපානු ලැබුවේ ආරක්ෂණය (Surveillance) වැනි සංකල්ප කරා යොමු වීමට ලංකාව, 1993 දක්වා ප්‍රමාද වීමය. සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර වලද එය එසේමය. වියදම් ප්‍රමාණ බොහෝ ලෙස ඉතිරි කරගත හැකි ප්‍රබල දේශීය වෛද්‍ය ශාස්ත්‍රයක් පවතින විටත්, බටහිර නිසා තම ජාතික දැනුම යටකරගෙන සිටින්නා වූ රටක් අද ලොව තවත් නැත. කොවිඩ් රෝගය තුළද අසාර්ථක එන්නත්කරණයක් වෙනුවට සාර්ථක ප්‍රතිශක්තිකරණ ඖෂධ මෙරට හෙළ වෙදකම් තුනේම ඇත. එහෙත් පුදුමාකාර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ බටහිර වෛද්‍ය කටයුතුවලට වෙන් කරනු ලබන මුදලින් 1/10 ක් වත් දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තු වලට වෙන් නොවේ.

ජාතික විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේදී පවා දන්ත වෛද්‍යවරයෙකුටත් වඩා පහළ ඉසව්වකට දේශීය වෛද්‍ය විද්‍යාව තල්ලු කිරීම මහත් අභාග්‍යයකි. මේවා මහත් ප්‍රශ්න නොව එක පෑන් ඉරකින් වෙනස් කළ හැකි ඒවාය. අධ්‍යාපනය මෙහි අගාධයකම ඇති ඉසව්ව කිවහොත් නිවැරදිය. එයට ප්‍රධානතම හෙජොමොනිගත කාරණය වී ඇත්තේ භාෂාවය. වෙනත් කිසිදු රටක නැති ආකාරයට ජාතික චින්තන භාෂාව පහළටම දමා සන්ධාන භාෂාව (Linked Language) ලෙස ඉංග්‍රීසි ප්‍රමුඛ වී ඇත. සිංහලෙන් සිතන කුඩා දරුවන්ට පවා 03 ශ්‍රේණියේ සිට සුද්දාගේ භාෂාවෙන් දැනුවත්භාවය දීමට පිඹුරුපත් සහ අණපනත් සකසා අවසන්ය. මේ හරහා කොටළු භාෂාවක් මතින් බටහිර හිතලු දැනුමක් පුනර්වාචනය කරමින් ඇත. තම ජාතික භාෂාවෙන් නීතිවේදී උපාධිය නිමකරන්නෙකුට පවා නීති අවසන් විභාගය (Attorniest Final) ඉංග්‍රීසී භාෂාවෙන් කිරීමට සිදුව ඇත. එහෙත් සැබෑම කාරණය නම් චීනයේ නැන්ජිංග් විශ්වවිද්‍යාලයට ආචාර්ය උපාධිය සඳහා ලාංකිකයෙකු ලියාපදිංචි වුවද, ඔහු එය හැදෑරිය යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් නොව චීන භාෂාවෙන් වීමයි. ඒ අනුව කොයි අතින් බැලුවත් අප ඉන්නේම නිදහස් නොවන දහසක් බැමි සහිත මාවතක බව පැහැදිලිය. සැබෑම නිදහස සෙවීමට නම් ඒවා වහ වහා ඉවත් කළ යුතුය.

මේ සියල්ලෙහි අර්ථය ලෝක සිතියම තුළ අප හුදෙකලා වැලි වැටියක් විය යුතු බව නොවේ. වර්ෂ 1970 න් මෙපිටට ප්‍රාග්ධනය ගෝලීයකරණය (Globalization Of Capital) වූ ලෝකයක කිසිවිටෙකත් හුදෙකලාව පැවතිය නොහැක. එහෙත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ලෙස අපට අප තුළින්ම ස්වෛරී ලෙස ශක්තිමත් විය හැක. ඒ සඳහා අප ආසියානුකරයේම උදාහරණ ඕනෑ තරම් ඇත. පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය පුරාම සංසරණය වූ වැකියක් වූයේ, “ලෝකෙට බම්බු ගහගන්න කියලා, ආතල් එකේ ජීවිතේ විඳින මිනිස්සු” යන්නයි. එය බොහෝ විට බුකිවාසීන් ආදේශනය කළේම ආදරය වෙනුවෙන් වුවද ලෝක පශ්චාත් යටත්විජිතකරණ ක්‍රියාදාමය තුළ සැලකීමේදී ඉහත කරුණ සඳහා වන උදාහරණ රටවල් සඳහා නියම ලෙසම ආදේශ කළ හැකිය. මන්ද ලෝක දේශපාලනය තුළ සැබෑම නිදහසේ උරුමකරුවන් ඔවුන් වන බැවිනි. එදා ජේ. ආර් ගේ ගාථා පාඨයකින් ඇරඹුම ශක්තිමත් කරගත් ජපානය වර්ෂ 1947 දී ආර්ථික වර්ධන වේගයෙන් අපට වඩා ලබා සිටියේ 0.2% කි. අද ආසියාවේ වැඩිම බහුජාතික සමාගම් ජාලය හිමි ආසියාවේ එකම සංවර්ධිත රාජ්‍ය ද ඔවුන් වේ.

එදා වර්ෂ 1960 දශකයේදී අප රාජ්‍ය නායකයන් පවා “කොරියාව” ලෙස එක් දේශයක් හැඳින්වූයේම එහි නොදියුණු බව නිසාවෙනි. නිසි ලෙස ජනගහනයට ගැළපෙන නිවාස පහසුකම් හෝ නොතිබූ නිසාම අප රටේද එවැනි ප්‍රදේශ වලට එකී නාම විශේෂණය යොදන ලදී. පසුගිය සියවස් දෙක පුරාවට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඔවුන් ඇතිකළ පුළුල් වෙනස නිසාම අද එම කොරියාව වන “දකුණු කොරියාව” ලොව 14 වැනි හොඳම ආර්ථිකය හිමි රට ලෙස සැලකේ. වර්ෂ 1950 දශකයේ දී කලාපීය වශයෙන් ඇති වූ වරායක අවශ්‍යතාව තෘප්ත කරමින් එම වරාය නිසාම ලොව විශිෂ්ටයෙකු වූ සිංගප්පූරුව අද ආසියාවේ ප්‍රධානතම තාක්ෂණික බුබුළ (Technological Bubble) ලෙස හැඳින්වේ. අවසානයක් ලෙස එදා වර්ෂ 1993 සමයේ ලංකාවටත් පහළින් සිටි සාම්ප්‍රදායික දේශයක් වූ වියට්නාමය ඔවුන්ගේ කෘෂි දැනුමේ පෘථුලත්වය නිසාම අද නැගෙනහිර ආසියාවේ විශාලතම වී අපනයනකරුවාය.

ඒ අනුව බලන කල සියල්ලෝම විවිධ පාර්ශ්වයන් මතින් සුද්දා ඉතිරි කර ගිය දෙයට එහා ගොස් මනා නිදහසක් ගොඩනගාගෙන ඇත. එහෙත් අප තවමත් එතැනමය. මෙවැනි ආදර්ශවත් අපටත් එවැන්නක් කරා යෑමට හොඳින්ම ප්‍රමාණවත්ය. අවශ්‍ය වන ස්වාභාවික සම්පත් වලින්, විශේෂිත මානව බුද්ධියෙන් ඔවුන්ටත් වඩා අප අනූන වී ඇත. අවශ්‍ය උත්සාහය පමණක් වන අතර ඒ සඳහා ජාතික චින්තනය හැරෙන්නට වෙනත් කිසිදු විකල්පයක් නොමැත.

ඒ වෙනුවෙන් ජනතාව සහ පාලකයන් එක සේ කැපවිය යුතුය. ඇතැම් අවස්ථා වල සමහර දේ වෙනස් කිරීමට එක් පෑන් පහරක් පවා ප්‍රමාණවත්ය. කෙසේ හෝ මෙය කළ යුතුය. සුද්දා හැර ගිය දිනය පමණක්ම නොව එය සැබෑම නිදහසක් වන්නේ එදිනටය.

සහන් ඇලෙක්සැන්ඩර්
කොළඹ විශ්වවිද්‍යාලය
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment