සැබෑ අර්බුදය තවම පටන් ගත්තා විතරයි… ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට අපි කන්දිය යුතුයි

551

හිටපු අගමැති – පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ

හිටපු අගමැති – පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා බැංකුකරුවන් අමතා සිදු කළ කතාවේ උපුටනයකි.

අපේ මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු කණ්ඩායම IMF සංවිධානයත් එක්ක සාකච්ඡා කළා. “ශීඝ්‍රයෙන් මූල්‍ය ආධාර ලබාගැනීමේ වැඩසටහනේ” සහාය ඉල්ලුවා. නමුත් IMF සංවිධානය අපට කිව්වේ අපි ඒකට ඇතුළු වන්නේ නැහැ කියලා. එහෙනම් දැන් අපට තියෙන්නේ අලුතෙන් අපේ වැඩසටහන් ආරම්භ කරන්න. මගේ පුද්ගලික මතය වුණේ මුල් අවස්ථාවෙම EFF (Extended fund facility) ඉල්ලා සිටින්න ඔනේ කියන එක. කෙසේ නමුත් ඩොලර් ගැන විශාල ප්‍රශ්නයක් මේ වෙනකොට තියෙනවා, කොහෙන්ද ඩොලර් හොයන්නේ කියලා. මැයි මාසේ පළමුවන සතිය වනවිට ඉන්ධන සඳහා තියෙන ඉන්දියන් ඩොලර් ණය අවසන් වෙනවා. ඉන් පසුව ඉන්දියාවෙන් අපට තව ණය ලබාගන්න පුළුවන් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙටත් ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාවේ නීතිරීතිවලට අනුව ඔවුන් බලනවා බංකොලොත් වෙච්ච රටකට කොහොමද ණය දෙන්නේ කියලා. ඒක මට වඩා හොඳට බැංකුවේ ඉන්න අය දන්නවා ඇති.

දෙවනුව ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියනයක ණයක් මැයි මාසේ තුන්වන සතිය වනවිට අවසන් වී මැයි මාසේ හතර වන සතිය වනවිට මුදල් ඉවර වෙනවා. වෙනත් මුදල් අපට නැහැ. එතකොට අපි කොහොමද ඉන්ධන ලබාගන්නේ? කොහොමද අපි ආහාර ලබාගන්නේ? කොහොමද අපි බෙහෙත් ලබාගන්නේ? කොහොමද අපි පොහොර ලබාගන්නේ? යනුවෙන් විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. අපි බලමු කොහොමද මෙතැනින් ගොඩ එන්නේ කියලා. මොකද අපට කතා කළ තානාපති කාර්යාලවලින් කියලා තියෙනවා IMF ගිවිසුමෙන් පස්සේ ඔවුන්ට උදව් කරන්න පුළුවන් කියලා. නමුත් ඒකට ඔවුන් ඉන්ධන එකතු කළේ නැහැ. ඉන්ධන සඳහා අපට වෙනම ඩොලර් හොයා ගන්න වෙනවා. ඒකයි පළවැනි ප්‍රශ්නය. දෙවන ප්‍රශ්නය තමයි බැංකු මූල්‍ය සමාගම් අවධානම් තත්ත්වයේ තිබීම.

අද දීපු ණය ආපසු නොගැනීම නිසා තියෙන බොල් ණය හොයා ගන්න බැරි වෙලා තියෙනවා. ඒත් බොල් ණය ප්‍රමාණය බැලුවහොත් දැන් බැංකුවකට තියෙන මුදල් ප්‍රමාණයට වඩා බොල් ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ම අපේ බැංකුවලට විශාල ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. අනෙක් අතට තමන්ගේ බැංකුවෙන් මුදල් ණය දෙන්න, ණයවර ලිපි ආරම්භ කරන්න. අපි කොහොමද ණය දෙන්නේ කියලා දන්නේ නැහැ. සාමාන්‍ය ගනුදෙනු කරන්න බැරි තත්ත්වෙක තියෙන්නේ. තමන්ගෙන් විශාල මුදල් තැන්පත්කරුවන් මුදල් ඉල්ලුවොත් බැංකුව කඩාගෙන වැටෙනවා. පේන හැටියට රජයේ බැංකුත් පුද්ගලික බැංකුත් ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. අපි වහගෙන ඉන්නේ. අපි මේ ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම තව කාරණයක් තියෙනවා අපි ගන්න බැඳුම්කරවලට මුදල් ගෙවන්නේ නැහැ කියලා. අපේ බැඳුම්කර වැඩියෙන්ම තියෙන්නේ අපේ බැංකුවල. මේ දෙක එකට එක් වුණාම බැංකුව කඩා වැටෙනවා. ඒ තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒකයි මම යෝජනා කළේ (Safty net for Banks) බැංකු ආරක්‍ෂා කරන දැලක් දාන්න කියලා. බැංකු කඩා වැටුණ ම ආර්ථිකය කඩාගෙන වැටෙනවා. බැංකු නැතිව ආර්ථිකය ගෙනියන්න බැහැ. සම්පූර්ණ ආර්ථිකයම කඩා වැටෙනවා. බලන්න ස්ථිර තැන්පතු දිහා.

විශ්‍රාම ගිය අයගෙ ස්ථීර තැන්පතු (ෆික්ස් ඩිපෝසීට්) වටිනාකම දැන් 50% ට බැහැලා. අනෙක් පැත්තෙන් ගත්තොත් අර්ධසාධක අරමුදලත් ඒකේ තියෙන වටිනාකම 50% ක් වෙලා. අවුරුදු 23 එක්කෙනෙකුට මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අනාගතයේදී. නමුත් අවුරුදු 59යේ එක්කෙනෙක් මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද මේ හැම එකක්ම කඩා වැටුණොත්……? මේ තත්ත්වය නැති කරන්න ඕනේ. විශේෂයෙන් බැංකු කඩා වැටීමක් ඩොලර් නැති වීමත් මේ දෙක එකතු වුණොත් මං හිතන්නේ ශ්‍රීසියේ ඇති වුණු කඩා වැටීම වුණා වගේ පොඩි ළමයින්ගේ සෙල්ලමක් වගේ වෙයි. අපි එතැනට යන්න හොඳ නැහැ. බැංකු ගැන හිතන්න වෙනවා. සමහර බැංකු වැටෙන්න යනවා. සමහර බැංකු අලුතෙන් හදන්න ඕන. ඒකට අපට ආධාර උපකාර ලබාගන්න තියෙනවා. ඒක අවම කරන්න නම් අපි බැංකුවලට දැලක් දාන්න වෙනවා. වෙලා තියෙන්නේ ආණ්ඩුවට දැලක් තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක්. තව කාරණයක් තමයි මුදල් මුද්‍රණය කිරීම. එතකොට රුපියලේ වටිනාකම තවත් අඩු වෙනවා. එක පැත්තකින් ඩොලර් සංචිතය නැහැ. අනෙක මුදල් මුද්‍රණය කරනවා. අපි මේකෙන් කොහොමද ගොඩ එන්නේ. හැම අවස්ථාවකම අපිට ආර්ථික ප්‍රශ්නයක් තියෙද්දී ලෝකය හොඳට ක්‍රියා කරනවා. ලෝකයේ දියුණුවක් තියෙන කොට අපිට එකේ එල්ලිලා යන්න තිබුණා. මේ සැරේ එහෙම වෙන්න බැහැ. අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ඉන්ධන මිල ලෝකේ වැඩිවෙන්න යනවා. දැනට වැඩිවෙලා තියෙන්නේ එංගලන්තේ, ඇමෙරිකාවේ, මහා බි්‍රතාන්‍යයේ යුරෝපය හැම තැනම. එතොකොට අපේ ඉන්ධන මිල වැඩි වෙනවා, වැඩිවීම දරාගන්න අපිට ඩොලර් නැහැ. එදා ඩොලර් බිලියන 25ක් ගෙවන්න තිබූ තැනට අද ඩොලර් බිලියන 50ක් ගෙවන්න වෙනවා. දෙවනුව විශාල ආහාර හිඟයක් ඇති වෙනවා. එයට හේතුව ලෝකයේ තිරිඟුවලින් 30%ක් එන්නේ යුක්රේන් හා රුසියාවෙන්. ඒ වගේ තමයි පොහොර. මේ හැම එකම අඩු වුණාම හිඟයක් ඇති වෙනවා. ලංකාවේ විතරක් නොවෙයි. ලෝකයේ රටවල් ගණනාවක මේ ප්‍රශ්නය තියෙනවා. සාමාන්‍ය විදියට රසායනික පොහොර තිබුණා නම් අද ආහාර ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා යල කන්නෙටවත් අපට පොහොර ගේන්න පුළුවන් වෙයිද කියලා. ඊළඟ සති දෙකේ තුනේදී පොහොර යෙදෙව්වේ නැත්නම් යල කන්නෙත් ඉවරයි. මම අහන්නෙ බැංකුවලින් ගොවීන්ටයි මෝල්කරුවන්ටයි ණය දෙනවනේ. ඒවා කොහොමද අය කරගන්නේ? මේ ප්‍රශ්නවල අපි හිරවෙලා ඉන්නේ.

ලෝකයේ දළ දේශීය නිෂ්පාදනය (GDP) මේ අවුරුද්දේ 5% ට වැඩියි කියලා කිව්වෙ. නමුත් දැන් 4.4% ට අඩු කරලා. 3.5% දක්වා එනවා යුද්දේ නිසාත් කොවිඩ් නිසාත්. අනෙක් හේතු නිසාත්. එතකොට මේ අවුරුද්දෙත් 3.5% යි. එන අවුරුද්දෙත් 3.5% යි. එතකොට කෝ වේගවත් සංවර්ධන දියුණුවක්. මේ යන විදියට මෙතන්ටයි ළඟා වෙන්නේ. අපි කොහොමද මෙයින් ගොඩවෙන්නේ. මෙහෙම ගියොත් රට නැති වෙනවා. ආර්ථිකය නැති වෙනවා. මධ්‍යම පන්තිය නැති වෙනවා. වැඩ කරන ජනතාව දුප්පතුන් බවට පත්වෙනවා. දැන්ම ඔවුන් ණයවලට යටවෙලා. මේවට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා වැඩසටහනක් ඇති කරන්න ඕනේ. ඒකට වැඩසටහනක් තාම ඇති වෙලා නැහැ. රටේ බොහෝ දෙනෙකුට මේ තත්ත්වය තේරෙන්නේ නැහැ.

ඩොලර් හිඟයක් නෙමෙයි මේ හැමදේම එකට එකතුවෙලා තියෙන්නේ. ආර්ථිකය කැඩෙන තත්ත්වයකටයි අපි පත්වෙලා ඉන්නේ. දැන් එයින් ගොඩ එන්න ඕනේ. ගොඩ එන්න නම් මම පාර්ලිමේන්තුවේදී කිව්වා ආණ්ඩුවේ අස්ථාවර භාවයක් තියෙන්නේ. අලුත් ආණ්ඩු හදනවා. 113 තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න බැහැ. ආර්ථික ගමන යන්න අඩුම තරමින් 175-200 අතර සංඛ්‍යාවක් ඉන්න ඕනේ. අඩුම තරමින් 175 ක්. හේතුව මේක ඉතාම අමාරු ගමනක් නිසා තාම මේ දුෂ්කර ක්‍රියාවල අමාරු තැනට ඇවිත් නැහැ. තාම අමාරු ගමන ආරම්භ කරලත් නැහැ. කවුද මේ වගකීම භාර ගන්නේ. මෙහිදී කවුරුන් ආවත් අමාරු තීරණ ගන්න තියෙනවා. ජනප්‍රිය භාවයෙන් යන්න බැහැ. තිත්ත ඇත්ත කියලා යන්න තියෙන්නේ. තිත්ත ඇත්ත කියන එකේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි කිව්වා මේ රටට මූල්‍ය අර්බුදයක් එනවා ඩොලර් මිලියන 7 ඔනේ 20-21, 20-22 ට. 20-21 යන්න ඕනේ IMF කියලා. 20-21 තියෙන්නෙ ඩොලර් මිලියන තුනයි කියලා. මේක තමයි තිත්ත ඇත්ත. මේ ගැන කිව්ව නිසා අපි ඔකෝට ම ගෙදර යන්න සිද්ධ වුණා. මේක අපේ රටේ මිනිස්සු පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ. අපේ දේශපාලනය ඇත්ත කියන්න දැනගන්න ඕනේ. නැත්නම් අපිට මේකෙන් ගොඩ එන්න බැහැ. 2001 තිබුණු අර්බුදය 2003 ගොඩ ගත්තා. ඩොලර් මිලියන 5ක් හොයාගෙන තිබුණා.

2015 ඩොලර් මිලියන 5 ක ව්‍යාපෘති තිබුණා. මේකේ ප්‍රධානතම වෙනස්කම කළේ දේශපාලඥයෝ නෙමෙයි. මේක කරන්න තිබුණ බදු වැඩි කිරීමෙන්. සමාගම් බදු, ආදායම් බදු, වැට් බදු ආදියෙන්. ඒක ලංකාවේ පිළිගත්ත එකක්. ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනාධිපතිතුමාට කවුද මේ ආදායම් බදු සියල්ල අඩු කරනවා නම් රටේ ආර්ථිකය නැඟලා එනවා කියලා. කෝ… 2019-2020 අප්‍රේල් වෙන කොට රටේ ආර්ථිකය නැඟලා ආවේ නැහැනේ. ඒ වෙනුවට ආදායම අඩු කළ නිසා අපිට සිදු වුණා IMF කොන්දේසි කඩන්න. ඉන් පසුව එතැනට යන්න අපිට බැරි වුණා. මේකට වගකියන්න ඕනේ පුද්ගලික අංශය කියලා මම මේ වෙලාවේ බය නැතුව කියනවා. මෙතැන ඉඳලා තමයි අනෙක් ප්‍රශ්න පටන් ගන්නේ. IMF එකට නොගිය එක රටේ, ප්‍රශ්නයක් තියෙනවා කියලා. මහ බැංකුව එකඟ වුණේ නැහැ. භාණ්ඩාගාරය එකඟ වුණේ නැහැ. දැන් අපි පමාවෙලා හරි එතැනට ඇවිල්ලා තියෙන්නේ. අපිට අද 175ක් හොයා ගන්න ඕනේ. අනෙක් පැත්තෙන් අපිට විශාල දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. අද තරුණ තරුණියෝ එළියට බැහැලා ආණ්ඩුව අයින් කරන්න ඕන කියනවා. වෙනස් කරන්න ඕනේ කියනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ හරි තීරණයක් නැහැ. සමහරු කියනවා මෙහෙම ඉමු කියලා. සමහරු කියනවා ජනාධිපති යන්න ඕනේ කියලා. තවත් සමහරු කියනවා අගමැති යන්න ඕනේ කියලා. මේකෙත් විශාල අවුලක් තියෙනවා. ස්ථාවර භාවයක් නැහැ. ඒත් අපි ගන්න ඕනෑම පියවරක්, ආණ්ඩුව යනවද වෙනස් කරනවද? තියාගන්නවද කියන එක ජනතාව පිළිගන්නැත්තන් අපි ඉඳලා වැඩක් නැහැ. භූමියේ යථාර්ථය අපි හඳුනාගෙන අපි වැඩ කළේ නැත්නම් ඇත්ත වශයෙන්ම අපට මේ කාරණය විසඳන්න බැහැ. මොකද මේ තියෙන්නේ විශාල කැළඹීමක් වෙනසක් ඕනේ කියලා. ඇත්තෙන්ම විප්ලවකාරී වෙනසක් ඔවුන් ඉල්ලන්නේ. ඒකට අපි කන් දිය යුතුයි. ඒ නැතිව එහෙන් මෙහෙන් කට්ටිය මාරු කරාට මේක විසඳෙන්නේ නැහැ. මාලිගාව ඇතුළේ කුමන්ත්‍රණයක් කරාට මහ පාරේ තියෙන්නේ විප්ලවයක්. එතැන්නටයි අපි ඇවිත් තියෙන්නේ.

සකස් කළේ සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment