අපි ලෝකය ඉදිරියේ නව ශ්‍රී ලංකාවක් ගොඩනගනවා
නුවර පෙරහැර අපි නතරකරනවා කිව්ව තිස්සට අනිවාර්යයෙන් නඩු දානවා
ඇමතිලාට ‘බයිං ඇන්ඩ් සෙලිං’ ආර්ථිකයක් ඕන කොමිස් ගහන්නයි
මාලිමාවේ ජයග්‍රහණයට බිය වූවන් පහත් නින්දිත මඩ, අවලාද නඟන්න පටන් අරන් – ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ
මෙතෙක් කල් මේ රට තුළ බිහිවී තිබෙන්නේ සියලු දේ බදා ගන්නා ආණ්ඩු. ඉතිහාසයේ පළමු වතාවට ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අත්හරින ආණ්ඩුවක් බිහිවේවි යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ පෙරේදා (11 දා) පැවති මහනුවර ජන රැලිය අමතමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මම හිතන්නේ හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡාවට ගත යුතු නෑ. නමුත් මේ පාලක කණ්ඩායම්වල ප්රයත්නය වී තිබෙන්නේ නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්රශ්නය ඇදගෙන එන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදු දහම හෝ ක්‍රිස්තියානි දහම හෝ ඉස්ලාම් දහම හෝ හින්දු දහම හෝ මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කරගැනීම සඳහා හෝ අනෙකාට විවේචන එල්ල කිරීම සඳහා හෝ අපි කතාබහට ලක් කරන්නේ නැහැ.
ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ ඒවා දේශපාලන වේදිකාවට නොගෙන ඉන්න ප්රමාණයටයි. දේශපාලනය හා පටළවා නොගන්නා ප්රමාණයටයි. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ දේශපාලන වේදිකාවේ එය සටන් පාඨයක් ලෙස අලෙවි නොකරන තාක්කල්. නමුත් අද බෞද්ධාගමටත් සෙසු ආගම්වලටත් කරන්න පුළුවන් නිගරුව තමයි දේශපාලන වේදිකාවල නැවත පටන් අරන් තිබෙන මේ දහම පිළිබඳ කථිකාව. අපි භාවිතයෙනුත්, අධ්‍යයනයෙනුත් ආගම් පිළිබඳව අපේ ස්ථාවරයන් අපි ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා.
අද දේශපාලන පොරපිටිය වේගයෙන් තීව්ර වෙමින් තිබෙනවා. දිනපතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිර වෙමින් තිබෙනවා. ඊට ප්රතිපක්ෂව පාලක කණ්ඩායම් අපිට විරුද්ධව අවලාද, අසත්‍ය තොරතුරු හා විකෘති කරන ලද තොරතුරු වපුරමින් ඉන්නවා. ඉන් කියැවෙන්නේ සජිත්ගේ කඳවුර, රනිල්ගේ කඳවුර විශාල ලෙස කලබලයට පත්වී ඇති බවයි. වියවුලට පත්වී තිබෙනවා. ඔවුන්ගේ එකම මෙවලම බවට පත්වී තිබෙන්නේ අසත්‍ය තොරතුරු නැවත නැවත කියන එකයි. දැන් නැවත බුදු දහම පිළිබඳව කතාවක් ඇදලා අරගෙන අවලාද නඟමින් ඉන්නවා. අපි ඉතා පැහැදිලිවම බුදු දහම මේ දක්වා ඉෂ්ට කරන ලද කාර්යභාරය පිළිබඳවත්, අපේ ශිෂ්ටාචාරය ගොඩනැඟීමේදී එය මූලික පදනම දැමූ බවත් ඉතා නිරවුල්ව හා පැහැදිලිව විශ්වාසය කරන ව්‍යාපාරයක්. නමුත් අද මොකද අපේ විරුද්ධ පාර්ශ්ව කරන්නේ. හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායමක් එකතු කරගෙන අපිට විරුද්ධව අසත්‍ය තොරතුරු සහ අවලාද පතුරු වන්නට පටන්ගෙන තිබෙනවා.
තිස්ස අත්තනායක කිව්වා අපි නුවර පෙරහැර නතර කරනවා කියලා. මතක තබා ගන්න තිස්ස අත්තනායක 2015දී කූට ලේඛන හදලා, මාස හත අටක් හිරේ ලැග්ග කෙනෙක්. අනිවාර්යයෙන් අපි දානවා නඩු. ඔයා අධිකරණයේදී හමුවෙන්න ඕනෑ. ඒ වගේ දේවල් දේශපාලන වේදිකාවට ගේන එක වැරැදියි. ඒ වගේම චරිත හේරත් කුරුණෑගලදී කිව්වා අපි ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. මොකක්ද මේ කරමින් ඉන්නේ. කිසිදු දේශපාලන විවේචනයක් තර්කානුකූලව ගේන්න නොහැකි වූ විට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට තිබෙන එකම දේ තමයි අවලාද, අසත්‍ය තොරතුරු පතුරුවාලීම.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන්නම් අනෙකාට රිදවන්නේ නැතිව, ජයග්‍රහණය සමරන්නෙ කොහොමද කියලා. ඔබට කුඩා හෝ ප්‍රමාණයකින් බියක් සැකක් ඇතිවී තිබෙනවා නම්, අපි සහතිකයක් දෙනවා. ඔබට ජාතික ජන බලවේගයේ ජයග්රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, අපිට ඡන්ද නොදුන් අයට පවා නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. ජනතාවට දීපු බෙහෙත්වලින් හොරා කාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හිරකරුවන්ට වෙඩි තබන්න උත්සාහ දරපු රත්වත්තෙලා වගේ අය මේකෙ ඉන්නවා. මිරිස් කුඩු ගෙනාපු අය ඉන්නවා. පිහි ගෙනාපු අය ඉන්නවා. පාර්ලිමේන්තුවේ මැද, පුටුවලින් සටන් කරලා ගහගත්ත අය ඉන්නවා. මහින්දානන්දලා වගේ වංචනිකයන්, දූෂිතයන් ඉන්නවා. රෝහිතලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ප්‍රසන්නලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ඒ නිසා මේ රට ගොඩනඟන්න, මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕනෑ. ආදර්ශමත් දේශපාලන භාවිතයක් අපේ රටේ ජනතාවට අවශ්‍යයි. දැනට තිබෙනවා වගේ කැත, පිළිකුල් සහගත දේශපාලනය මේ රටෙන් තුරන් කර දැමීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා.
ආර්ථිකය පියවරෙන් පියවර වර්ධනය කරන්න ඕනෑ. සෑම දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙන්න ඕනෑ. හැමදෙනාම නීතිය ඉදිරියේ සමාන වන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා. ඒ වගේම අපිට අහිමි වී තිබෙන ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා අපි ගොඩනඟා ගන්න ඕනෑ. අපිට අවස්ථා ගණනාවකදීම චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණගැසීමේ අවස්ථා ලැබුණා. අපි ඔවුන් සමග, අපේ විදෙස් ප්‍රතිපත්තිය ගැන, විදෙස් සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව, ක්‍රියාත්මක කරන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ලෝකයේ හුදෙකලා වුණු රාජ්‍යයක් ලෙස අපිට ඉදිරියට යන්න බැහැ.
පැවති හැම ආණ්ඩුවකටම වඩා ලෝකයේ පිළිගැනීමට ලක්වෙන, කීර්තිමත් ආණ්ඩුවක් අපි මේ රට තුළ ගොඩනඟනවා. නව ශ්‍රී ලංකාවක් අපි ලෝකය ඉදිරියේ ගොඩනගනවා. අපේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම්වලට අවශ්‍ය රෙදි ගෙන්වන්නේත් විදෙස්වලින්. ඒකෙනුත් කොමිස් ගහනවා. ඉතින් රටක් බාල්දු නොවී තියේවිද?
පොල්තෙල් ගෙන්වන්නේත් පිටරටින්. කොළඹ වරායේ පොල්තෙල් ගබඩාකරන ටැංකි පවා හදලා තිබෙනවා. මේ රටේ බීසීසී වගේ සමාගම් පොල්තෙල් නිෂ්පාදනය කරලා පිටරටත් පැටෙව්වා. එදා පොල්තෙල් පිටරට යවන්න පාවිච්චි කරපු ටැංකිවල අද පිටරටින් පොල්තෙල් ගෙනැත් ගබඩා කරනවා. පොල්තෙල් ගේන තරමට මේ රටේ ජාවාරම්කාර දේශපාලුවන්ට ලාබයි. බද්ද පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා පොල්තෙල්වලිනුත් කොමිස් ගහනවා.
අපේ රටේ සමහර තරුණ ව්‍යාපාරිකයෝ අපේ රටට අවශ්‍ය සමහර බෙහෙත් වර්ග, සෞඛ්‍ය මෙවලම් නිෂ්පාදනය කරනවා. ඒවා අප්‍රිකානු රටවලටත් දැනට යවනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගන්නවා බාල බෙහෙත් රටට ගෙන්වන්න. ඇයි ඇමතිලාට ලාබයි. කෙහෙළිය රඹුක්වැල්ල හිරේ යන්නේ ලාභය නිසා. ලාභ වැඩිවෙලා.
ලෝකයේ දියුණු වුණු හැම රටක්ම එහෙම වුණේ හදන දේවල් ගැන කල්පනා කරලා. අපේ රටේ පාලකයෝ ඒකේ අනෙක් පැත්ත. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ රටේ මහා කර්මාන්ත පුනර්ජීවනයක්, මනා අධ්‍යාපන පිබිදීමක්, මහා ගොවිබිම් අස්වැද්දීමක්, නිෂ්පාදන ආර්ථිකයේ දේශපාලන සංස්කෘතියේ, සමාජයේ නව පිබිදීමක්, නවෝදයක් ඇති කරනවා. අන්න ඒ විදිහට තමයි ජාතික ජන බලවේගයේ පාලනයක් මේ රට ගොඩනගන්නේ.
ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ –
අපේ රටේ ජනතාව විඳින වේදනාව, දුක පිළිබඳව කිසිදු කැක්කුමක් නැති නාලිකා කිහිපයක් තිබෙනවා. ඒවායෙන් නිතර ප්‍රචාරය වන්නේ ජාතික ජන බලවේගය ඉලක්ක කරගත් මඩ, අවලාද සහ අසත්‍ය තොරතුරුයි. නමුත් අපි ඒ ගොල්ලන්ට කියනවා ඒ මඩ, අවලාද සහ ඒ ගොල්ලන්ගේ උප්පරවැට්ටිවලට මේ රටේ ජනතාව තවදුරටත් අහුවෙන්න තරම් අඳබාල නැහැ කියලා.
සමන්ති වීරසේකර සහ සිරිල් විමලසුරේන්ද්‍ර