සිංහලය විකෘති කිරීම පාලනය කිරීම තවත් පමා නොකළ යුතුයි

290

අදට (02) යෙදී තිබෙන සිංහල භාෂා දිනය නිමිත්තෙනි

සිංහල භාෂා දිනය යෙදී ඇත්තේ සෑම වසරකම මාර්තු 02 වන දිනයටය. සිංහල භාෂා පේ‍්‍රමීන්ට තම හද බස පිළිබඳව අභිමානයෙන් සිහිපත් කිරීමට මෙන්ම පොදුවේ සිංහලය ගැන උනන්දුවන එයින් කටයුතු කරන පොදු ජනයාට සිංහලය ගැන විශේෂයෙන් සලකා බැලීමටද එබඳු භාෂා දිනයක් ඉවහල් වනු ඇත. එහෙත් මාර්තු 02 වනදාට සිංහල භාෂා දිනය නමින් විශේෂ දිනයක් තිබෙන වගක් වත් නොදන්නා අයද සිටිති. දන්නා අයට වුවත් එය එතරම් සැමරිය යුතු දිනයක් නොවීමටද බැරි නැත. එහෙත් භාෂාවක් යනු රටක ජාතියක සංස්කෘතික අනන්‍යතාව තහවුරු කරනු ලබන ප‍්‍රමුඛ ලක්‍ෂණයක් බව අපගේ පිළිගැනීමය. එසේම බසට ආදරය කරන බස සුපෝෂණය කරන ස්වල්ප දෙනෙක් හෝ අදත් අප අතර සිටිති.

සිංහල භාෂා දිනය මාර්තු 2 වන දින වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ මෙරටේ විසූ අග‍්‍රගණයේ ප`ඩිවරයෙක්, විද්වතෙක් කීර්තිමත් සාහිත්‍යධරයෙක් අසාමාන්‍ය කවියෙක් මෙන්ම අදීන පුවත්පත් කලාවේදියෙක් ද ලෙස බුහුමනට, ප‍්‍රසාදයට පාත‍්‍ර වූ විද්වත් කුමාරතුංග මුනිදාසයන්ටද උපහාරයක් වශයෙනි. මෙලක පහළ වූ විරල ගණයේ විද්වතකු වූ ඔහු සිය ජීවිතයම භාෂා, ශාස්ත‍්‍ර නිර්මාණ ක‍්‍රියාකාරකම් සඳහා කැප කර 1944 මාර්තු 02 වැනිදා දැයෙන් සමුගත්තේය. අපට දෙස බස රැස යනුවෙන් තවත් තෙරුවනක් ඇති බවද කීවෝ කුමාරතුංගයෝය. එනිසාම එවන් දුර්ලභ ගණනයේ ශ‍්‍රී ලාංකික පුත‍්‍රයකු වූ කුමරතු`ගුවන් නමින් ඒ භාෂා දිනය නම් කිරීමද අර්ථවත්ය.කු වූ කුමරතුගුවන් නමින් ඒ භාෂා දිනය නම් කිරීමද අර්ථවත්ය.

කුමාරතුංගයන් ඉතා නිවැරදිව දැක්වු පරිදිම දෙස, බස, රැස යනු ජාතියක නිදහස හා සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ ගාම්භීර ලක්‍ෂණ වේ. පුරාණ ඉන්දියාවේ ප`ඩිවරුන් විසින් පුරුෂ ශ්‍රේෂ්ඨයා නිර්වචනය කරන ලද්දේ ඔහු සතු භාෂා අලංකාර යෝග්‍යතාවද සැලකිල්ලට ගනිමින්ය.

‘වාශ්‍ය වමෝ භාවය’ විශිෂ්ටයකුගේ ගුණය බව පිළිගැනුණි. මෝඩයකුට වුවද අලංකාර වස්ත‍්‍රාභරණවලින් බැබළීමට හැකිය. එහෙත් ඒ බැබළීම ඔහු කථා කරන තෙක් පමණි. යනුවෙන්ද සුභාෂිතයක් ඇත. මේ නිසා බසට දක්වන ගෞරවය මෙන්ම සුබස් වහර සුරැකීමම ප‍්‍රබුද්ධ මනසක් සහිත කිසිදු වැසියෙකුට නොතකා හැරිය නොහැකිය. සැබැවින්ම සංවර්ධිත රටක් යනු සුභාවිත සාලංකාර බසක් භාවිත වන සමාජයකි, රටකි. එනිසා බස රැකීමට බස වැඞීමට ඒ සඳහා දිරිදීමට පාලකයෝද බැඳී සිටිති. එහෙත් එය කෙතෙක් දුරට ඉටුවී තිබේද ඉටු වන්නේද? යන්න වෙනම විමසා බැලිය යුතුය.

සිංහලය විකෘති කිරීම පාලනය කිරීම තවත් පමා නොකළ යුතුයි

ලංකාවේ සිංහල බස සුරැකීම සඳහා සංස්කෘතික පොලීසියක් හෝ භාෂා බලකායක් හෝ අවශ්‍ය නැත. එහෙත් අපගේ සංස්කෘතික මෙන්ම අධ්‍යාපන ආයතන මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. පාසලේ සිට විශ්වවිද්‍යාලය තෙක් වූ කාලසීමාව මෙයට ඉතා උචිත අවකාශයකි. එහෙත් අවාසනාවකට මෙන් අද ශීඝ‍්‍රයෙන් දියවී යමින් තිබෙන එක් විෂය ක්‍ෂේත‍්‍රයක් නම් භාෂාව හා සාහිත්‍යයයි. හැත්තෑව දසකය තෙක් පමණ මෙරටේ විශ්වවිද්‍යාලය දක්වා ජනප‍්‍රියම විෂය වූයේ භාෂා සාහිත්‍යයයි. අද ඒ භාෂා සාහිත්‍ය පවා එල්ලා තිබෙන්නේ ජන සන්නිවේදනය සමගය. එහෙත් සන්නිවේදනයේ ප‍්‍රමුඛ ශක්තිය භාෂාව බව ඒ ක්‍ෂේත‍්‍රවල සිටින කී දෙනෙක් දනිත් ද?

මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් මා සමග කළ එක් අවධාරණයක් මෙසේය.

අද මෙරටේ තිබෙන විiුත් මාධ්‍ය සියල්ලකින්ම සිංහල භාෂාවට සිදු කරන හානිය ඉතා බරපතළය, උක්ත ආඛ්‍යාත සබඳතාව නොදත් භාෂා විකටයන්ගෙන් සැදුම් ලත් ඒ බොහෝ මාධ්‍යවල බහුලව දිස්වන්නේ ‘‘ඇමැතිවරුන් යයි’’ මිනිසුන් කියයි. වර්ගයේ සදොස් යෙදුම්ය. මෙහි බරපතළම විනාශය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට ලැබෙන වැරදි අවබෝධයයි. මුද්‍රිත මාධ්‍යවලද භාෂා භාවිතයේ දොස් දැකිය හැකිය. එහෙත් නාලිකාවල තරගයට මෙන් කරන මේ අපරාධය ඊට වඩා විපාක දෙන්නකි. එසේම ඉංග‍්‍රීසියෙන් ලියන හා එයින් විකාශය වන භාෂාව සමස්තයක් ලෙස නිවැරදි බවද කිව යුතුය.

මහාචාර්ය දිසානායකයන්ගේ මේ දෝෂාරෝපනය සහේතුකය. රූපවාහිනී තිරවල දුවන අකුරු වැකි මෙන්ම ඔවුන්ගේ භාෂා යෙදුම්ද අශුද්ධය. සමහර අවස්ථාවල සිංහල උච්චාරණයද වැරදිය. හුස්මක් නොගෙන වේගයෙන් කියවීමට හුරු වූ නිවේදන ක‍්‍රමයද සිංහලයට නොගැළපෙන දුබල කමකි. වරක් චන්ද්‍රරත්න මානවසිංහයන් ප‍්‍රකාශ කළේ ඒ වර්ගයේ නිවේදකයන් සුදුසු හේන්වල අලි එළවීමට බවය.

මෙයින් දසක හතරකට පමණ පෙර නිවැරදි සිංහල සඳහා පාසැල් සිසුන්ට කීවේ එදා පැවති පුවත්පත් කතුවැකි කියවන ලෙසය. අද එසේ කියනු ඇතැයි සිතිය නොහැක. ඉංගිරිසියෙන් සකස් වෙන වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීම් සිංහලට නැගීමේදීත් සිංහලය නැසෙන බව තවත් සමහරු දක්වති. එහෙත් අද සිංහලෙන් වෙළෙඳ පාඨයක් නිර්මාණය කළ හැකි ස්වල්ප දෙනෙක් හෝ සිටිති යනු මගේ අදහසය.

පසුගිය දිනක එක්තරා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විසින් ලියන ලද ‘‘අපද උගතුන්වේ’’ යන වැකිය සදොස් බව පුවත්පතක දැක්විණි. මේ සරසවි ඇදුරා ඒ වරද පිළි ගැනීමට නිහතමානී වී නොමැත. ඔහුගේ පිළිතුර වූයේ තමන් භාෂා පොලිස්කාරයන් මායිම් නොකරන බවය. මේ කෂඩ දේශපාලන පිළිතුර විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකුට වටින්නේද යන්න ප‍්‍රශ්නයකි.

කුමක් වුවත් මේ වර්ගයේ මුග්ධ පිළිතුරු දෙන අමන සරසවි ඇදුරන්ට එදා කුමාරතුංග සූරීන් විසින් දෙන ලද පිළිතුරක්ද අපට සිහිවේ. එය සිදුවූයේ හතළිහ දසකයේදීය.

එදා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුව සිටි රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් සරසවි සිසුන් පිරිසක් සෝක ප‍්‍රකාශයක් මුද්‍රණය කළහ. එහි එක් කවියක වියරණ දොසක් විය.

වන්නම් කියන්නට තිබුණේ එකම කටයි

දැන් ඒ කටත් මරුවගෙ යටි පතුල යටයි

තුන් සිංහලේ ඇස්වල අද කඳුළු නටයි

මින්පසු අපේ සාහිතයට කපුටො කොටයි

මෙහි ‘කපුටො කොටයි’ යන්න සදොස් බව කී කුමාරතුංගයෝ ඒ කවි පෙළම දැඩිව විවේචනයට ලක් කළහ. පේරාදෙණි උපකුලපතිව සිටි අයිවර් ජෙනිංස්ට විවෘත ලිපියක් ලියා සුබස ස`ගරාවේද පළ කළහ. (1941 අප‍්‍රියෙල් 2 වනදා සුබස) මේ එම ලිපියෙන් ගත් උද්ධෘතයකි.

ඉංගිරිසියෝ නොකැහුවැමැ ඔවුන් දෙසට, රැසට, බසට ඇලෙති. බර තනතුරකට යම් කිසි ලෙසකින් ඇදී ගන්නා හෙළයන්ගෙන් වැඩිමැ දෙන එබන්දනැයි කියන්නට බැරිවීම මට දුකෙකි. ඉහළ තැනකට නැගැ තමන්ගේම උදවියට සිය අනුහසත් බලයත් පානා ලෙසෙක් පෑදේනම් ඔහු සිය දෙස විකුණන්නට සිය රැස පාවා දෙන්නට සිය බස කෙලෙසන්නට වුවත් සැරැසෙන්නෝයැ.

සරසවි සිසුන්ට මෙසේ සිංහල බස කෙලෙසීමට ඉඩ නොදිය යුතු බව කුමරතු`ගුවන්ගේ අයැදුම විය. අද වැරදි කරන සරසවි ඇදුරන්ටත් බස මරණ හුඹස් චක‍්‍රවර්තීන්ටත් එබඳු දොසක් කව්රු නගත් ද? එහෙත් සිංහල බස මෙසේ තමන්ගේ මට්ටමට කපාගෙන සැබෑ විද්වතුන්ට සරදම් කරන කෙනෙක් වුවත් ඉංග‍්‍රීසි බසට එබඳු බලහත්කාරකම් නොකරන බවද අපි දනිමු.

කෙසේ හෝ සිංහල භාෂා දිනය වෙනුවෙන් සැණකෙළි පැවැත්වීමට හෝ වෙනත් විසූක සංදර්ශන සිදු කිරීමට අවශ්‍ය නැත. එහෙත් සිංහල භාෂාව භාවිතා වන සිංහල බහුතරයක් ජීවත්වන රටේ සිංහලය සුරක්ෂා කිරීමට අවධානය යොමු කිරීම පාලන අධිකාරියෙහිද වගකීමකි. මේ සිංහල අපගෙ රටයි කීම ජාතික සමගියට බාධාවකැයි කියන අය වුවද මේ සිංහල අපගෙ බසයි යනුවෙන් කීමේ දොසක් නොදකිති. මක්නිසාද යත් සිංහල තිබෙන්නේ එකම දේශය වූ ලංකාවේම පමණක් හෙයිනි. එහෙත් ඒ රමණීය සිංහල හඩු බසක් කළ අය සිටින්නෝද මේ රටෙහිමය. එබඳු වැරදි සිංහල යෙදුම් අප‍්‍රමාණව රජයේ නිවේදනවලද දැක ගත හැකිය. ඔබගේ පවුලේ අයවලූන් යන ගර්හිත යෙදුම දැන් සම්මතයක් වැන්න. එසේම සිංහල බස සුරැකීමට සම්මත සිංහලයක් හෝ එබඳු විවාදාත්මක සැලසුම් අවශ්‍යද නැත.

එසේම සිංහලය යනු පොදු සම්මතයක් පිළිවෙළක් එක`ගතාවක් සහිත ජීව භාෂාවක් බවද කිව යුතුය. භාෂාවක භාවිතය පිළිබඳ පර්යේෂණ කරන ප‍්‍රාමාණිකයෝ එය ඉඳුරා දකිති. රටේ සිංහල නිවැරදි කිරීමට පෙර රජයේ ආයතනවල හා විශේෂයෙන් රාජ්‍ය විiුත් හා මුද්‍රිත මාධ්‍යවල සිංහල භාෂා භාවිතය සකසා ගැනීම සුදුසුය. අනෙක් රූපවාහිනී නාලිකා සමග තරගයට සිංහල විකෘති කිරීම පාලනය කිරීමද අද අවශ්‍යම දෙයකි. අර ඉහත සඳහන් කළ සරසවි ඇදුරාගේ වර්ගයේ කෙනෙක් අපෙන් මෙසේ අසන්නට බැරි නැත.

අප ලියන දේ කියන දේ අනිත් අයට තේරෙනවා නං ආයෙ සිංහල බස අහවල් කෙංගෙඩියකටද? මේ ඩිජිටල් යුගයේ අප ලියන්නේ සිංගිරිසියෙන් බවද වටහා ගනිව්.

එහෙත් එහෙම ගියොත් සිංහලයට කපුටන් කොටන දවස වැඩි ඈතක නොවන බවද ලියා තැබිය යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment