කංචිපානි ඩෑන්ගේ ඝාතනය ගැන හඬපටයකුත් නිකුත් කරලා

ඝාතනයට මූලික හේතුව වැල්ලම්පිටියේදී සිදුවූ ගැටුම

මුලින් මරන්න ප්ලෑන් කළේ පොලිසියට ඇවිත් යද්දී

ඩෑන් ප්‍රියසාද් ගැන මා මුල්වරට අසන්නේ මීට වසර 10කට පමණ උඩදීය. ඒ “දිවයින” මුල්ලේරියාව ප්‍රාදේශීය මාධ්‍යවේ දී යූ.කේ. අබේරත්න සමග ඔහු දිවයින ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටියදීය. එදා යූ.කේ. ඩෑන් ගැන මාර වර්ණනාවක් කළේය. එදා සිටම ඩෑන් ප්‍රියසාද් සමග ඔහු පසුපස යමින් ඔහුගේ අනුසාසකයා ලෙස කටයුතු කළේ යූ.කේ. අබේරත්නය.

යූ.කේ. අබේරත්න දිවයිනේ බොහෝදෙනා හැඳින්වූයේ කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන්ය. ඒ ඔහු දිගු කෙස් කලඹක් වවාගෙන සිටි නිසාය. සිංහල අන්තවාදය උත්සන්න වන ආකාරයට අදහස් ප්‍රකාශ කළ ඩෑන් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින මහා දැවැන්තයකු ලෙස එදා මාධ්‍ය ආක්‍රමණය කළේය.

මුස්ලිම් අන්තවාදයට එරෙහිව පැවැති බොහෝ උද්ඝෝෂණ පෙළපාලි විරෝධතාවන්වල පෙරමුණේ සිටියේ ඩෑන් ප්‍රියසාද්ය. පාලනයකින් තොරව අදහස් ප්‍රකාශ කිරීම නිසාම ඇතැම් මාධ්‍ය ඩෑන් ප්‍රියසාද්ගෙන් ‘වොයිස් කට්’ ලබා ගන්නට උත්සාහ කළහ. ඒ නිසාම ඩෑන් වැඩි දවසක් යන්නට මත්තෙන් රටේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වන්නට පටන් ගත්තේය.

රාජපක්ෂ පවුල නැවත බලයට ගෙන ඒමේ සටනට උරදී සිටි ඩෑන් ප්‍රියසාද් ඒ වෙනුවෙන් නොකළ දෙයක් නැත.

කාලයක් ගත වෙද්දී යූ.කේ. අබේරත්න එහෙමත් නැත්නම් කොණ්ඩයා දිවයින කාර්යාලයට එන එක නතර කළේය. ඔහු පූර්ණකාලීනව ඩෑන් පසුපස යමින් ජන අරගලවලට උද්ඝෝෂණවලට සහභාගි වුණේය.

කාලයක් ඈත්ව සිටි යූ.කේ. අබේරත්න නැවත දිවයින කාර්යාලයට එන්නට පටන් ගත්තේ මීට වසර දෙකකට පමණ උඩදීය. ඒ වනවිට කොණ්ඩය කොටට කපා ඉතාම පිළිවෙළට ඇඳ පැලඳ වෙනම ස්වරූපයකින් සිටි යූ.කේ. අබේරත්න දිවයිනේ අයට එකවරම හඳුනාගන්නටවත් බැරි ලෙස වෙනස් වී සිටියේය.

එදින මා යූ.කේ. ගෙන් විමසුවේ දැන් ඩෑන් පස්සේ යන එක නතර කරල ද යනුවෙන්ය. යූ.කේ. ගත් කටටම කීවේ “ආපෝ ඌත් එක්ක මම දැන් නැහැ” යනුවෙන්ය. ඌ දෙන ගේම්වලට අපිත් අහක ඉඳලා මාට්ටු වෙනවා. ඌත් එක්ක ඉඳලා මට නිකං මැරුම් කන්න බැහැ.

යූ.කේ. අබේරත්න එදා ඩෑන් ගැන කතා කළේ දැඩි අප්‍රසාදයෙන් යුතුවය. මීට මාසයකට පමණ උඩදී යූ.කේ. අබේරත්න අවසන් ගමන් ගියේය. ඒ ස්වභාවික මරණයක් විදිහටය. හදිසි හෘදයාබාධයකින් යූ.කේ. අවසන් ගමන් ගියේය.

එහෙත් යූ.කේ. කියා කිවූ පරිද්දෙන්ම ඔහුගේ ස්වභාවික මරණයෙන් මසක් ගතවන්නට පෙර ඩෑන් ප්‍රියසාද් ඝාතනය වුණේය. යූ.කේ. කල්තියාම ඩෑන්ගෙන් ඈත් වුණේ ඔහු පිළිබඳ බොහෝ දේ දැන සිටි නිසා විය යුතුය. ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් එහෙමත් නැත්නම් ඩෑන් ප්‍රියසාද් උපන්නේ මීතොටමුල්ලේය. පාසල් අධ්‍යාපනයෙන් පසුව දේවාලයක කට්ටඩියකු ලෙස කටයුතු කළ ඩෑන් ප්‍රියසාද් පසු කලෙක ඒ සියල්ල අතහැර තම අනාගත අභිවෘද්ධිය සඳහා වෙනම මගක් සොයා යන්නට පටන් ගත්තේය.

2015 වර්ෂයෙන් පසුව රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබුණේ ජාතිවාදයයි. කෙටිකලකින් ජනප්‍රියවීමට තිබෙන හොඳම මාතෘකාව එය බව තේරුම් ගෙන සිටි ඩෑන් ප්‍රියසාද් සිංහල ආගම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තේය.

“සිංහලේ නමින් සංවිධානයක්”

සිංහලේ හදපු ඩෑන්ගේ ලේ හැලේ

සිංහලේ සංවිධාන නමින් සංවිධානයක් නිර්මාණය කළ ඩෑන් එහි මුල්ම සභාපතිවරයා ලෙසද පත් වුණේය. එතැන් පිටන් රටපුරා පැවති ජාතිවාදී අරගල, උද්ඝෝෂණ, පෙළපාලිවල පෙරමුණ ගත් ඩෑන් යමක් තනන්නට පටන් ගත්තේය.

මේ කාලසීමාවේදී ඇතැම්හු ඩෑන් ප්‍රියසාද් සිය අභිමතාර්ථයන් ඉටුකර ගැනීම සඳහා පාවිච්චි කළෝය. ඇතම් අවස්ථාවලදී ඩෑන් තම අරමුණු ඉටුකර ගැනීම සඳහා විවිධ පුද්ගලයන් පාවිච්චි කළේය. ඩෑන්ගේ පෙනෙන පැත්තට වඩා නොපෙනෙන පැත්ත අතිවිශාල විය. ඩෑන් ගැන, ඔහුගේ සියලු පෞද්ගලික තොරතුරු ගැන යූ.කේ. අබේරත්න හොඳින් දැන සිටියේය. අවසන් කාලයේ යූ.කේ. ඩෑන්ගෙන් ඈත් වුණේ ඒ නිසාය.

2015-2019 යහපාලන රාජ්‍ය පාලන සමයේ ඩෑන් ප්‍රියසාද් ජාතිවාදය රටපුරා වපුරුවමින් රාජපක්ෂ රජයක් නැවත බලයට ගෙන එන්නට දැඩි උත්සාහයක නිරත වුණේය. ඒ අතරම ඔහු විවිධ පාර්ශ්වයන් ඇසුරු කරමින් අනීතික ආකාරයේ නොයෙකුත් ආදායම් මාර්ග ද සකස් කරගෙන සිටියේ තම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්ය.

2019 වර්ෂයේදී ඩෑන් ප්‍රියසාද් මුල්වරට පොලිස් අත්අඩංගුවට පත්වුණේය. ඒ මීතොටමුල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකුගේ නිවසට ගොස් ඔහුට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාව මතය. මහනුවර දිගන ප්‍රදේශයේ සිදු වූ ජාතිවාදී කලබලවලදී ඩෑන් ප්‍රියසාද් නැවත පොලිස් අත්අඩංගුවට පත් වුණේය.

ජාතිවාදී අරගල නිර්මාණය කර ඒ හරහා සිංහල ඡන්ද කැඩීමේ ව්‍යාපාරයකට සම්බන්ධ වූ බවට ද ඩෑන්ට චෝදනා එල්ල වී තිබුණේය. මුදල් කොන්ත්‍රාත් මත මේ වැඩ ක්‍රියාත්මක වන අයුරු දැක්වෙන ඩෑන් ප්‍රියසාද්ගේ හඬපට පවා පසුගිය කාලයේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වුණේය. මුදලට තම ආත්මය පාවා දුන් ආකාරයත් ඒ සියලු හඬපටවලින් රටම දැනගත්තේය.

ඒ හඬපටවලින් ඩෑන්ගේ නිරුවත හෙළි වන්නේ මුදලට තමන්ට පක්ෂ පාට භේදයක් නොමැති බවයි. මුදල් වෙනුවෙන් ඕනෑ දහදුරා වැඩක් කිරීමට තමත් පෙලඹෙන බව ඔහු රටට පෙන්නුවේය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඩෑන් ප්‍රියසාද්ගේ ගමන තව තවත් වේගවත් වන්නට පටන් ගත්තේය. පුද්ගලයන්ට අපහාස කිරීම, විවිධ පාර්ශ්ව සමග ආරවුල් ඇති කරගැනීම, මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් දැඩි ලෙස විවේචනය කිරීම ඇතුළු ආන්දෝලනාත්මක ක්‍රියාවන්වල මොහු දිගින් දිගටම නිරතවන්නට පටන් ගත්තේය. ඒ වෙනකොට ලැබී තිබූ දේශපාලන හයිය නිසාය.

එහෙත් ඒ හරහා ඩෑන් ප්‍රියසාද් තමන්ට හිතවත් මිනිසුන්ට වඩා වෛර කරන මිනිසුන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම වැඩිකර ගන්නට සමත් වුණේය. ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව රටේ ගොඩනැගී තිබූ ජනඅරගලයේදී ඩෑන් ප්‍රියසාද්ට විශාල වැඩ කොටසක් භාරවී තිබුණේය.

ගෝල්ෆේස් අරගල භූමියට කඩාවැදී අරගලකරවැන්ට නින්දිත ප්‍රහාරයක් එල්ල කිරීමේ සංවිධානාත්මක කණ්ඩායමේ ප්‍රධානියකු ලෙස ඩෑන් ප්‍රියසාද් කටයුතු කළේය.

ඩෑන් අරගලකරුවන්ට පහරදෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජජාල වෙබ් අඩවි ඔස්සේ එකල ප්‍රචාරය විය. එම සිද්ධියේදී තමන්ටද දැඩි ලෙස තුවාල සිදුවූ බවට ඒත්තු ගැන්වීමට ඩෑන් උත්සාහ කර තිබුණේය. ඔහුගේ එක් ඇසක ප්ලාස්ටරයක් දමාගෙන කළ රංගනය පසුව නිරුවත් වුණේය.

වැල්ලම්පිටිය, මීතොටමුල්ල, අංගොඩ, මුල්ලේරියාව, කොටිකාවත්ත, කොලොන්නාව යන කුඩුකාරයන්ගේ ප්‍රධාන පෙළේ රාජධානි බව නොරහසකි. කාලයක් තිස්සේ මේ සමාජ වටපිටාව සමග ජීවත් වූ ඩෑන් ප්‍රියසාද් විවිධ පුද්ගලයන් ඇසුරු කළේය. ඔවුන් සමග සබඳතා පවත්වාගෙන ගියේය. මේ පිළිබඳව නොයෙකුත් කතා මේ ප්‍රදේශවලට අලුත් දෙයක් නොවීය.

ඩෑන්ගේ සහෝදරයා ඝාතනය වේ

කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද්ගේ බාල සොහොයුරු වූ තිළිණ ප්‍රසාද් 2022 වර්ෂයේ ජූලි මස 25 වැනිදා ඉතාම සාහසික අන්දමින් කපා කොටා ඝාතනය කර තිබුණේය. ඒ
ඔරුගොඩවත්ත ගුවන්පාලම යටදීය. මේ ඝාතනයට හේතු වුණේ කුඩු ආරවුලක් බව පොලිසිය හෙළිකර ගත්තේය. කුඩු ජාවාරම් නිසා සිය සොහොයුරා ඝාතනයවීම හරහා ඩෑන් ප්‍රියසාද් වෙතද විවිධ චෝදනා එල්ලවන්නට වුණේය.

ඩෑන්ගේ සොහොයුරා ඝාතනය කර තිබුණේ වැල්ලම්පිටියේම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පිය පුතු දෙපළක් ඇතුළු කල්ලියක් විසින්ය. ඩෑන්ගේ සොහොයුරාව මරා දැමීමේ චෝදනා මත මේ පිය පුතු දෙපළ ඇතුළු පිරිසක් වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේය.

සිය සොහොයුරා ඝාතනය කළ මුන්ට පාඩමක් ඉගැන්වීමට ඩෑන් දැඩි උත්සාහයක නිරත වුණේය. මේ හේතුව නිසා ඔවුන් ඩෑන් සමග දැඩි වෛරයකින් පසුවූහ.

ඒ වනවිට ඩෑන් ප්‍රියසාද් ඇතැම් පාතාල ප්‍රබලයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් දැඩි විවේචනයට ලක්කරමින් තවත් ජාවාරම්කාරයන් පිරිසක් ඇසුරු කරමින් සිටියේය. කෝපි කඩේ අප්පුගේ පුත්‍රයා චමිල සහ බටුවත්තේ චාමර නමැති මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාලයක් ගජමිතුරන් ලෙස සිටියහ. ඔවුන් එකට ජාවාරම්වලද නිතර වූහ.

ඩෑන් ප්‍රියසාද්, චමිල සහ බටුවත්තේ චාමර සමීපව ඇසුරු කළේය. එහෙත් පසු කලෙක බටුවත්තේ චාමර සහ චමිල විරසක වුණේය. ඔවුන් අවසානයේ බද්ධ වෛරක්කාරයන් බවට පත්වූහ. ඒ අවස්ථාවේ චමිලගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඔහුට සහායවීමට ඩෑන් ප්‍රියසාද් ඉදිරිපත් වුණේය.

බටුවත්තේ චාමර, දෙමගොඩ චමින්දගේ පුත්‍රයා වන විලීෂ සමග ඩුබායි රාජ්‍යයේ සිටින්නේ එකටය. චාමර තොග පිටින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැටවීමේ ජාවාරමේ ප්‍රධානියෙකි. මේ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබාදෙන බව කියමින් බටුවත්තේ චාමර ඩෑන් ප්‍රියසාද් සමග වෛර බැන්දේය. කුඩු දිලිනි සහ බටුවත්තේ චාමර අතර අනියම් පෙමක් නිර්මාණය වී තිබුණේය. ඒ වනවිට කුඩු දිලිනි සහ බටුවත්තේ චාමර සිටියේ ඩුබායි රාජ්‍යයේය. කුඩු දිලිනි වහා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන්වන ලෙසට බලකරමින් ඩෑන් ප්‍රියසාද් අපරාධ පරීක්ෂණ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවා සිදුකළේය.

තම අනියම් බිරිඳට එරෙහිව ඩෑන් ගෙනයන මේ සටන ගැන බටුවත්තේ චාමර පසු වුණේ දැඩි වෛරයකින් යුතුවය. ඔහු අවස්ථා කීපයකදීම ඩෑන් ප්‍රියසාද්ට දුරකථනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කරමින් කියා සිටියේ කුඩු දිලිනි තම බිරිඳ බවත් ඇයට කිසිවිටෙකත් එරෙහිව කටයුතු නොකරන ලෙසත්ය. කංචිපානි ඉම්රාන් සමග එක්වී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමට කටයුතු කරන බව කියමින් ද බටුවත්තේ චාමර ඔහුට තර්ජනය කළේය. ඒ වනවිට බටුවත්තේ චාමර කංචිපානි ඉම්රාන් සමග ඉතාම සමීපව කටයුතු කරමින් සිටියේය.

ඩෑන්ගේ ආරක්ෂාවට පොලිසිය

සිංහලේ හදපු ඩෑන්ගේ ලේ හැලේ

අවස්ථා කීපයකදීම ඩෑන් ප්‍රියසාද්ගේ නිවසට පාතාල කුලී ඝාතකයන් පැමිණ තිබූ අතර ඔහු අනූනවයෙන් දිවි ගලවාගෙන තිබුණේය. ඩෑන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ඔහුගේ නිවසට පොලිස් ජංගම මුර පොතක්ද දැමීමට කටයුතු කළේය. තම ජාවාරම් පිළිබඳ ඔත්තු සපයන අප්පුගේ පුත්‍රයා වන චමිල සමග ඩෑන් ප්‍රියසාද් එක්ව කටයුතු කිරීම ගැනද බටුවත්තේ චාමර සිටියේ දැඩි කෝපයෙන් යුතුවය.

මේ අතර මෙරට දරුණුම ගණයේ පාතාල මැරයන් ලෙස හැඳින්වෙන කංචිපානි ඉම්රාන්, රොටුඹේ අමිල, ලොකු පැටී, පොඩි පැටී, කුඩු සලිඳු, කුඩු දිලිනි ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේ දැඩි විවේචනයට ලක් කරන්නට ඩෑන් ප්‍රියසාද් ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී කටයුතු කළේය.

පොලිස් මූලස්ථානය ඉදිරිපිටට විශාල පිරිසක් සමග පැමිණි ඩෑන් ප්‍රියසාද් මේ පාතාල මැරයන් ඉතාම නින්දිත ලෙස ප්‍රහාරයට ලක් කෙරිණි. මෙහිදී ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ඩෑන් මේ ආකාරයට සිය අදහස් ප්‍රකාශ කළේය.

පිටරටවල්වල හැංගිලා ඉඳලා මේ රටට කුඩු එවන කංචිපානි, රොටුඹේ අමිල, ලොකු පැටී, පොඩි පැටී, කුඩු සලිඳු, කුඩු දිලිනි ලංකාවට ගේන්න ඕනේ. මේ වෙනකොට අපට පේනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මහජන ආරක්ෂක ඇමැතිවරයාත් නියම පිළිවෙතක් අනුගමනය කරනවා. මහජන ආරක්ෂක ඇමැති මාධ්‍ය ඉදිරියේ ලොකු කතා කිව්වට කංචිපානි ඉන්න තැන මං දන්නවා මං කියන්ද කියලා.

අපිට ඒක වැඩක් නැහැ. කංචිපානි ඉන්න තැන දන්නවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය දැනුවත් කරන්න. මූ ඉන්න තැන මෙතන කියලා. හැබැයි ඇමැති ඒක නොකර මාධ්‍යයට ඇවිත් කියනවා කංචිපානි ඉන්න තැන දන්නවා කියන්නේ නැහැ කියලා.

අපිට හිතෙනවා ඔබතුමාගේ ගේ ඇතුළේ ඉන්නවද කංචිපානි කියලා. කොන්ද පණ තියෙන මහජන ආරක්ෂක ඇමැති කෙනෙක් නම් මේ පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ගෙන්වන්න. කංචිපානි කියන්නේ ලොකු චන්ඩියෙක් ද ඔබතුමා ඌට බය ද මේක කළේ. නැත්නම් මං ජිනීවා යනවා. කංචිපානි කියන්නේ කොහෙවත් යන කොළ කැඳ කාරයෙක්. ඔයාට බැරිනම් මට දෙන්න මම මුන්ව ගෙන්නලා පෙන්වන්නම්. කංචිපානිටයි කුඩු දිලිනිටයි එක නීතියක්. කංචිපානිගේ කැඳ ඔයාලා බොනව ද විකුණනව ද මම දන්නේ නැහැ. කංචිපානි වගේ හොටු චණ්ඩින්ට අපි බය නැහැ ඔයාලා බය වුණාට. මුං චණ්ඩි නම් ලංකාවට වෙලා ඉන්න ඕනේ. රටවල්වලට පැනලා හැංගිලා ඉන්න කැඳයා චණ්ඩිකම් කරන්න ඕනේ නම් ලංකාවේ ඉඳන් කරපං අන්න එහෙමයි චණ්ඩි. මේ හොටු කැඳයාට බයයි පොලිසිය. මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න මරණ දඬුවම ගේන්න ඕනේ” ඩෑන් ප්‍රියසාද් පොලිස් මූලස්ථානය ඉදිරිපිට කංචිපානි ඉම්රාන් ඇතුළු පාතාල මැරයන් දැඩිලෙස විවේචනයට ලක් කළේ මේ ආකාරයටය. එවකට මහජන ආරක්ෂක ඇමැති ලෙස සිටියේ ටිරාන් අලස්ය. ඇමැතිවරයාද ඩෑන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

ඒ වනවිට කොලොන්නාව ඇතුළු ප්‍රදේශ ගණනාවක මහජනතාව අතර යම්කිසි ජනප්‍රියත්වයක් ගොඩනගාගෙන සිටි ඩෑන් ප්‍රියසාද් තම ඉදිරි ගමන අලුත් මාවතකට යොමු කරගන්නට කල්පනා කළේය.

දේශපාලනය හරහා තම ඉදිරි ගමන් මාර්ගය යායුතු බව සිතූ ඩෑන් ප්‍රියසාද් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළේය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් පොහොට්ටු පක්ෂයෙන්ය. කොලොන්නාව නගර සභාවට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ ඩෑන් ප්‍රියසාද් පොහොට්ටු පක්ෂයේ නායක නාමල් රාජපක්ෂ සමග ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වුණේය.

පසුගිය අප්‍රේල් 01 වැනිදා ඩෑන් ප්‍රියසාද් තවත් වීරකමක් කළේය. විරුද්ධ දේශපාලකයන් සතුටු කිරීම සඳහා සිදුකළ මේ මෝඩ ක්‍රියාව බොහෝ දෙනෙක් අනුමත කළේ නැත. අප්‍රේල් 01 වැනිදා විශාල කේක් ගෙඩියක් වැල්ලම්පිටියට ගෙනැවිත් එය උපන්දින කේක් ගෙඩියක් ලෙස සරසා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය අද සමරණ බව කියමින් මෝඩයාගේ දිනය ලෙස හැඳින්වෙන එදින මෙම ක්‍රියාව කිරීමට මොහු පෙළඹුණේය.

මේ පහත් ක්‍රියාව බොහෝ අය අනුමත කළේ නැත. උපන්දින කේක් කැපුවද එහි රැස්ව සිටි වැඩිදෙනෙක් අනුභව කළේ නැත. මේ අතර අලුත් අවුරුද්ද පැවැති පසුගියදා ඩෑන් තවත් ආරවුලක පැටලුණේය. වැල්ලම්පිටියේ ත්‍රිරෝද රථ රියැදුරකු වූ දූලාන් නමැත්තා සමග ආරවුලක් ඇතිකර ගත් ඩෑන් ඔහුට පහරදී ත්‍රිරෝද රථයටද හානි කළේය.

නිවීයෑමට ආසන්න පහන විශාල ආලෝකයක් ඇති කරයි යන කියමන සැබෑකරමින් ඩෑන් සිය පිටියේ අවසන් කාලය ගෙවා දැමුවේ අනවශ්‍ය වේගයකින් යුතුවය. මිතුරන්ට වඩා සතුරන් ඇතිකර ගත් මොහු සිය අභිමතාර්ථයන් කරා යන්නට උත්සාහ කළේය.

එහෙත් ඔහු සිතා සිටියාට වඩා සමාජය සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඩෑන් ප්‍රියසාද් කළ කී දේ අනුමත කළ පිරිසට වඩා එය ප්‍රතික්ෂේප කළ, පිළිකුල් කළ පිරිස වැඩිය. මාරයා තමන් පසුපස බොහොම වේගයෙන් පන්නාගෙන එන බව ඩෑන් ප්‍රියසාද් දැන සිටියේ නැත.

අවසන් භෝජන සංග්‍රහයට සහභාගිවීම

සිංහලේ හදපු ඩෑන්ගේ ලේ හැලේ

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඩෑන්ට සාද රැසකට ආරාධනා තිබුණේය. පසුගිය 22 වැනිදා රාත්‍රියේද එවැනිම වූ ආරාධනයක් ඔහුට ලැබුණේය. ඒ සිය නැන්දණියගේ, එහෙමත් නැත්නම් බිරිඳගේ මවගේ නිවසින්ය. දවසේ දේශපාලන ප්‍රචාරක වැඩකටයුතු නිමකළ ඩෑන් ප්‍රියසාද් සිය බිරිඳ සහ ආදරණීය දරු තිදෙනා සමග වැල්ලම්පිටිය සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ හයවැනි මහලේ පිහිටි නිවස වෙත ආවේය. ඒ වනවිට රාත්‍රී 8.00ට ආසන්න වී තිබිණි.

සාදයට වැඩිදෙනෙක් පැමිණ සිටියේ නැත. පවුලේ ළඟම ඥාතීන් කීපදෙනෙක් මෙන්ම ඩෑන්ගේ මිතුරන් තිදෙනෙක් ඒ අතර වූහ. නිවැසියන් සමග සතුටු සාමීචියේ යෙදුණු ඩෑන් සිය මිතුරන් සමග නිවස ඉදිරිපිට කොරිඩෝවේ හරිබරි ගැසී ඉඳගත්තේ මධුවිත තොල ගෑමේ අරමුණෙන් යුතුවය.

කාලය කෙමින් ගෙවීයන්නට විය. ඩෑන් සිය දේශපාලන ගමන ගැන මිතුරන් සමග කතා කළේය. හිටි හැටියේම ඒ අතර සිටි එකෙකු හදිසි අවශ්‍යතාවක් යැයි කියමින් එතැනින් නැගිට ගියේය. රාත්‍රී 9.00 පසුවනවාත් සමගම මහල් නිවාසයේ පහළ මාලයේ සිට ඉහළට දිව ආ පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙක් ඩෑන් ඇතුළු පිරිස ඉදිරියේ නතර වූවෝය. එකෙකු මුහුණු ආවරණය වන හිස් වැසුමක් පැලඳ සිටි අතර අනෙකා මුව ආවරණයක් දමාගෙන සිටියේය.

ආගන්තුකයන් දෙස ඩෑන් බලනවාත් සමගම ඔවුන් ක්‍රියාත්මක වුණේය. මුහුණු ආවරණ හිස්වැසුම පැලඳ සිටි පාතාල කුලී ඝාතකයා අත තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය සැණෙන් ක්‍රියාත්මක වුණේය. මුළු ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයම දෙදරුම් කමින් පිටවූ උණ්ඩ ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර විනිවිද ගියේය. එකක් දෙකක් නොව ජීව උණ්ඩ 4ක්ම ඩෑන්ගේ සිරුර පසාරු කරගෙන ගොස් තිබුණේය.

තත්පර ගණනක දී සිය ඉලක්කය සපුරාගත් කුලී ඝාතකයන් දෙදෙනා නිරුපද්‍රිතව මහල් නිවාසයේ පඩිපෙළ දිගේ බැස අඳුරේම නොපෙනී ගියේය. වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි ඩෑන් වහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළේය. ඒ රාත්‍රී 9.20ට පමණය. ඒ වනවිටත් ඩෑන් සිටියේ ජීවතුන් අතරය. රෝහල් කාර්යමණ්ඩලය වහා ක්‍රියාත්මක වී ඩෑන් ප්‍රියසාද් හදිසි ශල්‍යකර්මයකට භාජනය කළේ කෙසේ හෝ ඩෑන්ගේ ජීවිතය බේරාගැනීමේ අරමුණෙන් යුතුවය.

ඩෑන් ශල්‍යකර්මයට භාජනය කර සිටියදී ජාතික රෝහල ලබාදී තිබූ වැරදි තොරතුරක් නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතාද දැඩි අපහසුතාවකට පත් වුණේය.

ඩෑන් ප්‍රියසාද් රෝහල් ගතකළ පසු ඔහු මියගිය බවට ලැබුණු තොරතුර මාධ්‍ය ප්‍රකාශකවරයා රටටම කීවේය. එහෙත් ඊට ටික වේලාවකට පසු රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ ඩෑන් තවමත් ජීවතුන් අතර සිටින බවය. මනතුංග මහතා එය වහ වහා නිවැරදි කළේය. එදින රාත්‍රී 11.30ට පමණ වෛiවරුන් ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ කරමින් ඩෑන් ප්‍රියසාද් අවසන් ගමන් ගියේය. රෝහල් ආරංචි මාර්ග නැවතත් පොලිසිය දැනුවත් කළේ ඩෑන් මියගිය බවය. ඒ අනුව බුද්ධික මනතුංග මහතා නැවතත් නිවේදනයක් නිකුත් කරමින් ඩෑන් මියගිය බව සනාථ කළේය.

ඩෑන් ප්‍රියසාද්ගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කළේය. මේ ඝාතනය දේශපාලන අවශ්‍යතාවකට සිදු වූයේද එසේත් නැත්නම් පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වූයේ ද යන්න සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක් ගෙන්වා තිබිණි.

අන්තවාදීන් දැඩිලෙස විවේචනය කිරීම නිසා එවැනි පාර්ශ්වයකින් ඩෑන් මරා දැමුවේද යන්න පොලිසියේ අවධානය යොමුවී තිබුණේය. මේ අතර ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක්වී පැය කීපයකට පසුව විදෙස්ගතව සැඟවී සිටින කංචිපානි ඉම්රාන් නමැති පාතාල නායකයා එක්තරා වෙබ් අඩවියක් හරහා සිය හඬ අවදි කළේය. ඒ වනවිට කංචිපානි ඩෑන් කෙරෙහි පසු වූයේ දැඩි වෛරයකින් යුතුවය.

“ඔය ඩෑන් කියන එකා ගැන කතා කරලා වැඩක් නැහැ. ඌ මහා කාලකණ්ණියෙක්. මූ රජයටත් බරක් ගෙදරටත් බරක්. බල්ලෝ මැරුවට අපෙන් අහන්න එපා. බල්ලෝ තියන්න හොඳ නැහැ. වේලාසනින් ඇරලා දාන්න ඕනේ.

මූ මෙච්චර කල් මොනවද කළේ කියන්නකෝ. ආණ්ඩුව අරන් තාම මාස 06ක් නැහැ. ජනාධිපතිට අපහාස කරනවා. ජනාධිපති පුටුවේ මං වගේ කෙනෙක් හිටිය නම් මූව ගෙන්නලා කරන්නේ. ඉන්න ජනාධිපති හොඳ නිසා වැඩිය දඟලනවා. මේ ජනාධිපති හිටියයි කියලා මට වැඩක් නැහැ. පරණ ජනාධිපති වැඩකුත් නැහැ. මං හම්බ කළොත් මං කයි. පොලිසියේ එකෙකුයි මාධ්‍යයේ එකෙකුයි තවත් දෙන්නෙකුයි එකතුවෙලා උද්ඝෝෂණ කරලා පෝස්ටර් ගැස්සුවා. දැන් උන්ට කියන්න ඌගේ දරුවෝ තුන්දෙනාට කන්න දෙන්න කියලා. පුළුවන් නම් ඇක්ෂන් එකක් ගන්න කියන්න. මූ ගැන ආයේ අහන්න එපා.

මූ හොඳ මිනිහෙක් නෙවෙයි. කට්ටඩියෙක්. එක එකාගේ කුඩු, අයිස් විකුණලා උන්ගේ සල්ලි අරන් අපිට විරුද්ධව පෝස්ටර් ගහනවා. මූගේ මල්ලිත් මැරුවේ මොකද පන්සලේ දායකයෙක් වෙලා ඉඳල ද ඌ කළෙත් කුඩු විකුණන එක. කංචිපානි ඉම්රාන් වෙබ් අඩවියක් ඔස්සේ මේ බව කියා සිටියේය. මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ අපේක්ෂකයකු මේ ආකාරයට සාහසික අන්දමින් ඝාතනය කිරීම රජයට මෙන්ම පොලිසියටද බරපතළ චෝදනා එල්ලවන්නට විය. විවිධ පාර්ශ්වයන් විසින් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතළ ගැටලු මතුවෙමින් තිබෙන බව මාධ්‍යයත් කියන්නට පටන් ගත්හ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ කළහ. කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ දෙහිදෙණිය මහතා අපරාධ විසඳීමේ දක්ෂ නිලධාරියෙකු විය.

ඩෑන් ප්‍රියසාද්ට ඒ වනවිට තර්ජන එල්ල වී තිබූ පාර්ශ්වයන් පිළිබඳව කඩිනමින් තොරතුරු ලබාගැනීමට විමර්ශන නිලධාරීන්ට මංගල දෙහිදෙණිය මහතා උපදෙස් දුන්නේය. එමෙන්ම සීසීටීවී දර්ශන මෙන්ම දුරකථන විශ්ලේෂණ වාර්තා වහාම ලබාගැනීමට ද උපෙදස් ලැබිණි.

ඩෑන් ප්‍රියසාද්ගේ ආසන්නතම ගැටුමවී තිබුණේ පසුගිය 20 වැනිදා ත්‍රිරෝද රථ හිමිකරුවකු සමග වැල්ලම්පිටියේදී ඇති වූ ගැටුම්කාරී සිද්ධිය බව පොලිසිය සොයා ගත්තේය. ඒ අනුව වැල්ලම්පිටියේ දුලාන් නමැත්තා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්න වුණේය. දුලාන් නමැත්තා ඩෑන්ගේ බාල සොහොයුරා ඝාතනය කළ පිය පුතු දෙපළගේ සමීප ඥාතීයකු ද විය. ඩෑන් ප්‍රියසාද් ඝාතනය පිටුපස දුලාන් සහ පිය පුතු දෙපළගේ කිසියම් සම්බන්ධයක් තිබෙන බවට විමර්ශන නිලධාරීන් ඒ වනවිට සැකපහළ කරගෙන සිටියහ. පොලිසිය වැල්ලම්පිටියේ පිහිටි පිය පුතු දෙපළ පදිංචි නිවස වහා වට කළේය. එහෙත් ඒ වනවිටත් ඔවුන් නිවස අතහැර ගොස් සිටියහ. එයින් පොලිසියේ සැකය තවත් තහවුරු වන්නට පටන් ගත්තේය.

“වරදක් කරලා නැත්නම් සැඟවෙන්න අවශ්‍යතාවක් නැහැනේ. අනිවාර්යයෙන්ම මේ දෙන්නත් මේ මිනීමැරුම පිටුපස ඉන්න පුළුවන්. එ ්නිසා වහාම මේ දෙන්නට ගුවන් තහනමක් ගන්න. විමර්ශන කණ්ඩායම්වලට උපදෙස් ලබාදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඉදිරි විමර්ශන කළයුතු ආකාරය පිළිබඳව පැහැදිලි කළේය.

ඒ අනුව පිය පුතු දෙපළට ගුවන් තහනමක් ලබාගැනීමට පොලිසිය කටයුතු කළේය. ඒ වනවිට දුලාන් බොහෝ දේ වමාරමින් සිටියේය.

තවදුරටත් සත්‍ය යටපත් කරගෙන සිටිය නොහැකි බව තේරුම් ගෙන සිටි දුලාන් සියල්ල හෙළි කරන්න පටන් ගත්තේය. ධනුෂ්කට ටෙලිෆෝන් කරලා ඩෑන්ගෙන් අපට හරි කරදරයි මිනිහා අපෙන් ගේම ඉල්ලනවා. මොනවා හරි කරන්න වෙයි.

“දුලාන් මෙන්ම කවිබන්ධු ද ධනුෂ්කට කීවේය. ධනුෂ්ක ඒ මොහොතේම කංචිපානි ඉම්රාන්ව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය.

මටත් ඕකා එක්ක ඇරියස් එකක් තියෙනවා. උඹලා වැඩේ ලෑස්ති කරපන්. මං මිනිස්සු දෙන්නෙක් දෙන්නම්. උඹ අදම ගිහින් වැල්ලම්පිටිය පොලිසියේ පැමිණිල්ලක් දාපන්. හැබැයි උඹ යන්න එපා පැමිණිල්ල දාන්න. වෙන එකෙක් යවපං. පැමිණිල්ල විභාග කරන්න එනදාට පොලිසිය ළඟදීම මං ඌට ගහලා දාන්නම්”කංචිපානි ඉම්රාන් දුලාන්ට කීවේය. දුලාන් මෙන්ම කවිබන්ධු ද කංචිපානි ඉම්රාන්ගේ හැටි හොඳින් දැන සිටියේය. ඔහු යමක් පොරොන්දු වූවොත් එය අනිවාර්යයෙන්ම ඉටුකරන බව සියල්ලෝම දැනසිටියහ.

කංජිපානි උපදෙස් දුන් අන්දමට දුලාන් සිය මිතුරකු ලවා වැල්ලම්පිටිය පොලිසියේ පැමිණිල්ලක් දැම්මේය. එය විභාග කිරීමට පාර්ශ්ව දෙකටම 22වැනිදා උදෑසන පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේය.

ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණ පිටව යද්දී ඔහු මරා දැමීමට කංජිපානි ඉම්රාන් සිය ගෝලයකු පොලිසිය අසලට එවා තිබුණේය.

එහෙත් එදින ඩෑන් පොලිසියට ආවේ නැත. ඒ නිසාම කංජිපානි ප්‍රමුඛ පිරිසගේ බලාපොරොත්තු බොඳවී යන්නට විය. එදිනම රාත්‍රියේ ඩෑන් සිය නැන්දණියගේ නිවසේ සාදයකට සහභාගි වන බව දුලාන් දැනගත්තේය. ඒ ඩෑන්ගේම ඥාතියකුගේ මාර්ගයෙන්ය. දුලාන් වහාම ඒ බව කංජිපානි ඉම්රාන්ට දැනුම් දුන්නේය.

ඩෑන්ට ගහන්න තනි එකෙක් ඇරලා හරියන්නේ නැහැ. මං වැඩේට දෙන්නෙක් ලෑස්ති කරන්නම්. රෑට මේ වැඩේ ඉවරයක් කරලා දාමු.

කංජිපානි ඉම්රාන් දුලාන්ට මෙන්ම කවිබන්ධුට පොරොන්දු වුණේය. කියූ පරිද්දෙන්ම කංජිපානි එදින රාත්‍රියේ කුලී ඝාතකයන් දෙදෙනෙක් ඩෑන් මරාදැමීම සඳහා එවා තිබුණේය.

20 වැනිදා වැල්ලම්පිටිය නගරයේදී ඇති වූ සුළු සිද්ධිය මහා විනාශයකින් කෙළවරවන්නට වැඩි කාලයක් ගතවී තිබුණේ නැත. කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද් අද ජීවතුන් අතර නැත. අහිංසක දරුවන් තිදෙනකුට ආදරණීය පියකු අහිමිවී ඇත. බිරිඳට සෙනෙහෙබර සැමියකු අහිමි වී ඇත්තේය. ඩෑන්ගේ දරුවන් ඔහුගේ නිසල දේහය අසල හඬා වැටෙන අයුරු හදකම්පා කරවන සුළුය.

පාතාල මැරයන්ට මේ ආකාරයට නිදැල්ලේ හැසිරීමට ඉඩදිය යුතු ද? නිරායුද මිනිසකු ඝාතනය කළාට පසු ඒ ඝාතනය කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගත්තාට ඵලක් නැත. ඒ මන්ද යත් මියගිය වටිනා පුද්ගලයාට නැවත ජීවිතය ලබාදිය නොහැකිවීමය.

සිදුවිය යුත්තේ මේ ඝාතන නතර කිරීමය. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමය.

එසේ නොවන්නට හෙට දිනයේ තවත් මේ ආකාරයට මිනිසුන් ඝාතනය වනු ඇත. ඔවුන්ගේ දරුවන්ට පියවරු අහිමිවනු ඇත. බිරිඳට සැමියාගේ රැකවරණය නොලැබෙනු ඇත.

මුළු රටම චිකාගෝවක් බවට පත්වෙමින් තිබෙයි. විදෙස්ගතව සිටින මේ පාතාල මැරයන්ට ඕනෑ ඕනෑ ආකාරයට මේ රටේ මිනිසුන් අල්ලේ නැටවීමට ඉඩදිය නොහැක.

රට තුළ ඉතාම අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීමට මේ කුඩ්ඩන්, පාතාලයන් කටයුතු කරමින් සිටියි. මේ මැරයන්ගේ ඉලක්ක ගතවන ඕනෑම පුද්ගලයකු පහසුවෙන් ඝාතනය කිරීමට ඔවුන් කටයුතු කරති. එය මොනතරම් බරපතළ තත්ත්වයක්ද?

උත්තරීතර අධිකරණය තුළ පවා තමන්ට රිසි සේ තම ඉලක්කය සපුරා ගන්නට තරම් මේ පාතාලයන් ශක්තිමත් වී හමාරය. පාතාල මැරයන්ගේ උණ්ඩයට උණ්ඩයෙන් උත්තර ලබාදෙන තාක්කල් මොවුන් නිහඩ කරවිය නොහැක.

වර්තමාන රජය නීතියේ රාමුව තුළ සිට කටයුතු කරන බව මේ පාතාල මැරයන් දන්නා නිසා ඔවුන් රිසි සේ තම අරමුණුකරා යමින් සිටිති.

පාතාලයේ ඉලක්කයන් බවට පත්ව සිටින පුද්ගලයන්ට ආරක්ෂා වී සිටින ලෙස පොලිසිය දැනුම් දෙයි. එය මොනතරම් විහිළු සහගත කතාවක්ද? මහජන බදු මුදලින් වැටුප් ලබන පොලිසිය මහජනතාවගේ ආරක්ෂාව ලබාදෙන එකම ආයතනය වන්නේය. එය ඔවුන්ගේ ප්‍රධාන වගකීමය. එසේ නොකර මහජනතාවට තම ආරක්ෂාව තමන් සලසාගත යුතු බව කීම මොනතරම් අඥාන ක්‍රියාවක්ද?

චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදී මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා සිය නිවස ඉදිරිපටදීම පොට්ට නවුෆර් ඇතුළු පාතාල මැරයන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ නවුෆර්ට එරෙහිව ලබාදීමට තිබූ නඩු තීන්දුවක් නිසාය.

අඹේපිටිය මහතා ඝාතනයෙන් පසු පාතාල කල්ලිවලට එරෙහිව රටේම දෑස් විවර වුණේය.

පොලිසිය පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කළහ. එවකට පොලිස්පතිවරයා ලෙස සිටියේ චන්ද්‍රා ප්‍රනාන්දු මහතාය. වසර දෙකක් පමණ ගතවෙද්දී පාතාල මැරයන් තුන්සීයකට ආසන්න පිරිසක් පරලොව ගියහ.

දිවි බේරාගත් පාතාල මැරයන් බොහෝ දෙනෙක් රට හැර ගියහ. එතැන් සිට වසර ගණනක් යනතුරු මෙරට පාතාලය හිසි එසවූයේ නැත. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලසීමාවේ ද මේ ආකාරයටම පාතාල මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක විය.

මේ පාතාල මැරයන් යහතින් සිටින තාක්කල් නීතිගරුක මිනිසුන්ට සැකයෙන් බියෙන් තොරව නිදහසේ ජීවත්වීමට ඉඩ ලැබෙන්නේ නැත.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment