සිංහල කතෝලික නාට්‍ය සම්ප්‍රදායයන් බිහි කිරීමට නාඩගම් සම්ප්‍රදාය යොදාගත නොහැකිද? – මහාචාර්ය සුනිල් ආරියරත්න

171

18 – 19 වන ශතවර්ෂවලදී මෙරට කතෝලික පියවරුන් ලංකාවේ යාපනය හා මඩකලපු ප්‍රදේශවල ජනප්‍රියව පැවති “නෙරුක්කුත්තු” නාට්‍ය ක්‍රම අනුව කතෝලික කතා පුවත් දමිළ බසින් රඟදක්වනු ලැබීය. මුල්ම සිංහල නාඩගම් ඉදිරිපත් කිරීමේ දී මේ “නෙරුක්කුත්තු” නාට්‍ය ක්‍රමය බෙහෙවින් අනුකරණය කරනු ලැබීය.

“නෙරුක්කුත්තු” නාට්‍යය ක්‍රමය දකුණු භාරතයේ වීථි නාටක ගණයට අයත් වූවක්. මෙය ද්‍රවිඩයන්ගේ මාර්ගයෙන් ලංකාවේ ද්‍රවිඩ පළාත්වලටත් පැතිර යන්නට ඇත. ‘නෙරුක්කුත්තු’ නාට්‍ය ක්‍රමය සිංහල ගම්බද නාට්‍ය ක්‍රමවලටත් සමාන බවක් ඇත.

නාඩගම් ශෛලිය හා ඉදිරිපත් කිරීම අතින් නෙරුක්කුත්තු නාට්‍යය වලට සමානය. පළමු කොට පොතේ ගුරුන්නාන්සේ පැමිණ නාට්‍යය හඳුන්වනු ලැබේ. ඊට පසු සෑම නළුවකුම කරළියට ඒමට පෙර ඔහු හඳුන්වාදීමට “ඉන්නිස” නමැති කවියක් ද කියයි. මේ අතර ජවනිකා අතරත් ඔහු වරින් වර පැමිණ කතාවේ රඟ නොපාන තැන් පහදා දෙනු ඇත. සියලුම සංවාද ගීයෙන් හෝ තාලයෙන් කළ ගද්‍යයෙන් යුක්තයි. සංගීතය ද්‍රවිඩ ශාස්ත්‍රීය සංගීතයේ ආභාෂය ලද්දකි. ප්‍රේක්‍ෂකයන් වටකුරුවට වාඩි වී නාට්‍යය නැරඹීම, නළුවන් පැමිණීමටත් පෙර කතානායකයා කවි සින්දු කියා ඔවුන් හඳුන්වාදීම, පොතේ ගුරුගේ හා අනෙකුත් නළුවන්ගේ ගීතවලට අත්වැල් ඇල්ලීම වැනි කෝළම්, සොකරි හා තොවිල් මඩු වැනි ගම්බද නාට්‍යය ක්‍රමවලට පොදු අංග ද නාඩගම්වලට තිබුණි. කලක් යෑමේදී ගැමි සංවාද, ඇඳුම් පැළඳුම්, නාට්‍යය ක්‍රම දේශීය උච්චාරණය සහ ගායනය නිසා නාඩගම් එහෙමපිටින්ම සිංහල මුහුණුවරක් ගනු ලැබීය.

මුල්ම නාඩගම වූ ග්‍රේබි්‍රයෙල් ප්‍රනාන්දුගේ “රජතුන්කට්ටුව” නාඩගමෙන් පසුව සිංහල නාඩගම් වඩාත් ජනප්‍රිය කළා යැයි කියනු ලබන පිලිප්පු සිඤ්ඤෝ “ශාන්ත ජෝශප්”, “හෙලේනා” හා “ශාන්ත නිකුලස්” වැනි කතෝලික නාඩගම් කිහිපයක්ම ඉදිරිපත් කර ඇත. ක්‍රිස්තියන් පෙරේරාගේ “බැලසන්න” නාඩගම, වී. පීරිස්ගේ “ඉයුසින් නාඩගම” හා චාල්ස් ද ආබෲගේ “සෙලෙස්තිනා නාඩගම” තවත් ජනප්‍රිය වූ නාඩගම් සමහරකි.

මෙයාකාරයෙන් පැරණිතම නාඩගම් කතෝලික ඒවා වීමත්, මුල්ම නාඩගම් රචකයන් කතෝලිකයන් වීමත් නිසා සිංහල නාඩගම් බිහිකිරීමට මුල් වුණේ කතෝලිකයන් බවට පැහැදිලි වේ.

මේ අනුව ද්‍රවිඩ නෙරුක්කුත්තු නාට්‍යයේ හා සිංහල ගම්බද නාට්‍ය අංගවල සංකලනයක් වන සිංහල නාඩගම කතෝලිකයන්ගේ සිංහල කලාවට හා සංස්කෘතියට ලැබුණු විශිෂ්ටතම දායාදයකි.

19 වන ශත වර්ෂය අග භාගයේ දී උතුරු ඉන්දියානු නාට්‍ය ලංකාවේ පැතිර යාමත් සමගම සිංහල නාඩගම් යටපත් විය. නාඩගම් දින කිහිපයක් තිස්සේ රඟ දැක්වූ අතර උතුරු ඉන්දියානු නාට්‍ය පැය හතරකට හෝ දෙකකට සීමාවීම, විදුලි ආලෝකය ලැබූ රඟහල් හා ඒකාකාර රාග තාල වෙනුවට විවිධ සංගීත අංග මේ නාට්‍යවල තිබීම මෙයට හේතු විය. ඒත් දැන් නැවතත් සමහර නූතන නාට්‍ය නිෂ්පාදකවරු තම නිෂ්පාදකයන් සඳහා නාඩගම් සම්ප්‍රදාය අනුගමනය කරති. මුලින්ම නාඩගම් සම්ප්‍රදාය නවීන යුගයට ගැළපෙන අයුරින් සකස්කොට ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායක් ඉදිරිපත් කළේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ය.

සත්‍ය වශයෙන්ම මෙතුමා කලාත්මක ගුණයෙන් අග තැන්පත් කන්කලු සංගීතයෙන් පිරුණු කවදටත් නවතාවයකින් රසවිදිය හැකි “මනමේ”, “සිංහබාහු” වැනි උසස්ම නිර්මාණයන් ඉදිරිපත් කළේ නාඩගම් සම්ප්‍රදාය උපයෝගී කොට ගනිමිනි.

මේ අතර නාඩගම් සම්ප්‍රදාය අනුගමනය කරමින් නූතන ලෝකයට බලපාන ප්‍රශ්න පිළිබඳව නාට්‍ය ඉදිරිපත් කළ නොහැකි යැයි ඇතැමෙක් ප්‍රකාශ කළත් හෙන්රි ජයසේන, චන්ද්‍රසේන දිසානායක, සයිමන් නවගත්තේගම වැනි නිෂ්පාදකවරුන් ශෛලිගත නාට්‍යය සම්ප්‍රදාය අනුගමනය කර නූතන ගැටලු කෙරෙහි තම නිෂ්පාදනයන් යොමු කොට තිබෙන බව පැවසිය යුතුය.

කෙසේ වෙතත් නාඩගම් සම්ප්‍රදාය අනුව ශෛලිගත නාට්‍ය ක්‍රමයෙන් ඉදිරිපත් කළ හැකි කතා පුවත් බොහොමයක් කතෝලික සාහිත්‍යයේ තිබේ. මේ කතාවලින් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන්නේ තමන් දන්නා කතාවෙහි රසය නොව ඒවා ඉදිරිපත් කරන ආකාරයෙන් ලැබෙන රසාස්වාදයයි. මේ නිසා අපට දේශීය සිංහල කතෝලික නාට්‍යය සම්ප්‍රදායයන් බිහි කිරීමට දැනුදු නාඩගම් සම්ප්‍රදාය උපයෝගී කොටගත හැකිය.

(සංවාද සටහනකිනි)

සංලාපය

ඇනට් මාරි ජසින්තා

advertistmentadvertistment
advertistmentadvertistment