සිංහල කියන්නේ ලෝකයේ ලස්සනම භාෂාවක්… කථනයේදී එය නිවැරැදිව භාවිතා කළ යුතුයි…. ප‍්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක

278

 ප‍්‍රශ්නය – මේ දිනවල ඔබ ගත කරන ජීවිතය ගැන යමක් සඳහන් කරමින් මේ කතාබහ ආරම්භ කරනව නම්.
 
 පිළිතුර – ගම්පහ කන්නිමහර පදිංචි මගේ පුතෙකුගේ සෙවන රැකවරණය යටතේ තමයි මම මේ දිනවල ජීවත් වෙන්නේ. කෙටි කලකට වුවත් කොළඹින් බැහැරව ගතකරන මේ ජීවිතයට මම බෙහෙවින් ප‍්‍රිය කරනව. මොකද කින්නිමහර කියන්නෙ මගේ මහත්තයගේ ගම. (ප‍්‍රවීණ ලේඛක කේ. ජයතිලක සූරීන්)  මහත්තය චරිත තුනක් නවකතාව ලියන්නේ මේ ගම පසුබිම් කරගෙන. ඉතින් මට අද වගේ මැවිල පේනව ඒ කාලේ අපි ගමට ආවට පස්සෙ ගත කරපු ජීවිතය. ඒ ගස් ගල් පවා මේ භූමියේ තවම තියෙනව. මට මතකයි ඒ දවස් වල අපි ගමට ආවට පස්සෙ අල්ලපු ගමේ හිටිය මහගමසේකර ඒ වගේම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මැන්දිස් රෝහණධීර, තිස්ස කාරියවසම්, ගුණසේන විතාන ආදි සාහිත්‍ය සම්බන්ධව ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෝ මහත්තයාගේ මහගෙදරට යනව එනව. එදා ඒ අය එකතු වෙලා කතා බහෙ නිරත වෙලා හිටපු ගල් තලාව තාමත් පේන්න තියෙනව. තාවකාලිකව හරි එහෙම තැනක කාලය ගත කිරීම ලොකු සැනසීමක්. මහත්තයාගේ මහ ගෙදර දැන් පුස්තකාලයක්. ජයතිලක පදනම විසින් ඒ කටයුතු කරගෙන යනව. දහස් ගාණක පිරිසක් ඒ හරහා දැනුමෙන් පෝෂණය වෙනව දකින්න ලැබීමත් ඒ වගේම සන්තෝෂයක්.
 
 ප‍්‍රශ්නය – වෘත්තිය ජීවිතයට ඔබේ ස්වාමි පුරුෂයා වූ කේ. ජයතිලක මහතාගෙන් ලැබුණු සහයෝගය මොන වගේද.
 
 පිළිතුර – වචනෙකින්වත් විරුද්ධ වුණේ නැහැ. එතුමාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. දරුවෝ හතර දෙනාගේ අධ්‍යාපනය ගැන මුළුමනින්ම ඔහු විසින් සොයා බැලූවා. ඒ වගේම අවශ්‍ය මැදිහත්වීම් සිද්ධ කළා. අපේ විවාහය සිද්ධ වුණේ 1953 මැයි මාසේ 24 වෙනිදා. ඊට කාලෙකට පස්සේ තමයි මම ගුවන් විදුලියත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ කොහොම වුණත් පුළුවන් සෑම සහයෝගයක්ම ඒ සඳහා එතුමන් ලබා දුන්න.
 
 ප‍්‍රශ්නය – ඔබ ගුවන් විදුලිය හා සම්බන්ධ වෙන්නේ මොන ආකාරයෙන්ද.
 
 පිළිතුර – ඒක වෙන්නේ මෙහෙමයි. මම ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. එතැනදි තමයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. ජී. පෙරේරා මහත්මයාව මට හඳුනාගන්න ලැබෙන්නේ. එතුමන්ගේ ගුරුහරුකම් මැද තමයි මම ගුවන් විදුලියට පය තිබ්බේ. ඒ කාලේ තිබුණා අධ්‍යාපන සේවය කියල වෙනම ගුවන්විදුලි සේවයක්. ඒකට නවකයන් බඳවා
 
 ගැනීමේ පරීක්ෂණයක් තියපු වෙලාවක මමත් ඒ සඳහා ඉදිරිපත් වෙනව. ඒ පරීක්ෂණයෙන් මම ඉහළින්ම සමත් වෙනව. ඒ බව මා දැනුත් සිහිපත් කරන්නේ බොහොම නිහතමානී සතුටකින්. පද්‍ය ගායනා සඳහා තමයි මාම මුලින්ම තෝර ගන්නේ. ඒ කාලේ හැටියට රුපියල් 8.00 ක ගෙවීමකුත් ඒ සඳහා ලබා දුන්න. ඔය අතරේ වෙනත් වෙනත් ගායනා තරග ඒ වගේම ළමා නාට්‍ය සඳහා ඉදිරිපත් වෙන්නත් මට අවස්ථාව ලැබුණ. ඒ කාලේ කොළඹ නගර සභාවේ ‘‘දිනමිණ කුසලානය” කියල සාහිත්‍යය උත්සවයක් පැවැත්වූව. එතැනදි කවි සහ ගැමි ගී යන අංශ දෙකෙන්ම මම ජයග‍්‍රහනය කළා. ඒ වගේම ඒ කාලේ තරුණ බෞද්ධ සමිතියෙන් සංවිධානය කළ ගායනා තරග ආදියෙන් රන් සහ රිදී පදක්කම් දිනා
 
 ගන්නත් මට පුළුවන්කම ලැබුණ.
 
 ප‍්‍රශ්නය – ඔබ වඩාත් ජනාදරයට පත් ‘‘හඳ මාමා” ගුවන්විදුලි ළමා වැඩසටහන පිළිබඳව අතීත මතකයන් මොන වගේද.
 
 පිළිතුර – රිජ්වේ තිලකරත්න, නෙවිල් ජයවීර, ලිවී විජේමාන්න වැනි මහත්වරු තමයි ඒ කාලේ ගුවන් විදුලියේ ඉහළ තනතුරු දැරුවෙ. ශ‍්‍රාවකයන් පිණිස සාරවත් හරවත් දේවල් දෙන්න තමයි ඒ අය නිතරම මහන්සි ගත්තේ. උත්සාහ කළේ. ඒ උත්සාහයේ ප‍්‍රතිඵලයක් විදිහට තමයි ‘‘හඳමාමා” ළමා වැඩසටහන ආරම්භ වුණේ. කේ. ඒ. ඩබ්. පෙරේරා මහත්තය එතකොට ගුවන්විදුලිය වැඩසටහන් සම්පාදක වරයෙක්. මාව එතුමන්ට හඳුන්වලා දුන්නට පස්සේ අපි මේ වැඩ සටහනේ ආකෘතිය ගැන කතා කළා. අපේ රටේ දරුවන් ඉලක්ක කරල ඉදිරිපත් කරන වැඩසටහනක් හින්ද එතනදී අපේ ඉතිහාසය, සංස්කෘතිය, සිරිත් විරිත්, ජන කතා, ආගම දහම ඔය ආදී කරුණු වලට මුල් තැනක් දුන්න. හද මාමා කියන නම යෝජනා කරන්නෙත් පෙරේරා මහත්තය. 1963 දෙසැම්බර් 14 වැනිදා තමයි පළමුවෙනි වැඩසටහන ඉදිරිපත් කළේ. එදා ඉඳලා මේ වෙනකම් ඒ වැඩසටහන ඇතුළේ හඳ නැන්දා විදිහට කටයුතු කරන්න මම වාසනාවන්ත වෙලා තිබෙනව.
 
 ප‍්‍රශ්නය – ගත වූ දශක හයකට ආසන්න අතීතය ආවර්ජනය කිරීමේදී ඔබ තෘප්තිමත්ද.
 
 පිළිතුර – ඇත්තටම ඒ සතුට තෘප්තිය විසින් තමයි මාව ජීවත් කරන්නෙ කියල කිව්වොත් මම හරි. ජාතික මෙහෙවරක් කළා වූ හැඟීමක් තමයි ඒ සම්බන්ධයෙන් මට තියෙන්නේ. මට මතකයි දැන් අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා හඳමාමා පනස් වෙනි සංවත්සරය පවත්වපු ආකාරය. මහින්ද රාජපක්ෂ මහතා සහ එම මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වපු ඒ උත්සවය වෙලාවේ විශාල පිරිසක් ඊට සහභාගි වුණා. රටේ නමගිය කලාකරුවෝ වෛද්‍යවරු නීතිඥවරු ඒ වගේම තවත් විවිධ වෘත්තීන් වල නිරත පුද්ගලයන් විශාල පිරිසක් එදා මට මුණ ගැසුණා. ඒ හැම කෙනෙක්ම වගේ ඒ අයගෙ ළමාකාලය ඇතුළේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා හිටපු අය. ඒ අය මගෙ ළඟට ඇවිත් කතාබහ කරද්දි ලොකු සතුටක් දැනුණා. ඒ හින්දම වෙන්න ඇති ගුවන්විදුලියෙන් විශ‍්‍රාම ගියා කියල ඒ මෙහෙවර මම නතර කළේ නෑ. අදත් මම ඒ කටයුත්තේ නිරත වෙලා ඉන්නව. මේ වසංගත තත්ත්වය හින්දා මාස දෙකකින් විතර ගුවන් විදුලියට
 
 ගියේ නැහැ. කොහොමින් හරි ඒ කටයුතු ඉදිරියටත් සිද්ධ වෙනව.
 
 ප‍්‍රශ්නය – ‘‘හඳ නැන්දා” ට අමතරව ඔබ විසින් දායකත්වය සැපයූ වෙනත් වැඩසටහන් මොනවාද.
 
 පිළිතුර – ‘‘හඳමාමා” වැඩසටහන ආරම්භ කරලා වසර දෙක තුනක් යද්දි සහන නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබෙනව. තවත් කාලයක් යද්දි ඒමන් කාරියකරවන මහත්තය විසින් ආරම්භ කළ රුහුණු සේවය මහනුවර සේවය ආදී ප‍්‍රාදේශීය ගුවන් විදුලිය සේවාවන්වල වැඩසටහන් පාලක විදිහටත් මම කටයුතු කරලා තියෙනව. ඊට අමතරව වැඩසටහන් නිෂ්පාදිකාවක් විදියට විශේෂාංග ගණනාවක් ඉරිපත් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ කාලය ඇතුළත ජාත්‍යන්තර සම්මාන දෙකක් පවා මට ලැබිලා තියෙනව. 1997 අවුරුද්දේ මම ගුවන්විදුලියෙන් විශ‍්‍රාම ගන්නේ ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් විදිහටයි.
 
 ප‍්‍රශ්නය – මේ වන විට විද්‍යුත් මාධ්‍ය විසින් භාෂාව පරිහරණය කරන ආකාරය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
 
 පිළිතුර – එදා සහ අද කියල භාෂා භාවිතයේ දී වෙනස්කම් තියෙන්න බෑ. ලේඛනය ඒ වගේම කථනය ගත්තොත් අපිට තිබෙන්නේ ලෝකයේ ලස්සනම භාෂා වලින් එකක්. ඒකට තමයි සිංහල භාෂාව කියන්නෙ. බලන්න කොච්චර ලස්සනද කියල අපේ භාෂාව. නමුත් වර්තමානය වෙද්දී ඇතැම් නිවේදක නිවේදිකාවන් ගත්තොත් ඒ අය වචන හසුරවද්දී දෙබස් උච්චාරණය කරද්දී බොහෝ අතපසුවීම් සිද්ධ වෙනව. ඒක තමයි මම වරදක් විදිහට දකින ප‍්‍රධානම දේ. යමක් ඉදිරිපත් කරද්දි ඒ දේ සංවරයක් විනයක් ඇතිව ඉතාමත් හොඳින් සහ සරලව ඉදිරිපත් කළ යුතුයි. ඒ තත්ත්වය අද දකින්න ලැබෙන්නේ තරමක් අඩුවෙන් කියලයි මට හිතෙන්නෙ. සාරවත් භාෂාවක් තිබිය දී ඒක හරියාකාරව පාවිච්චි නොකරන එක ගැන මට නම් තියෙන්නේ කනගාටුවක්.


 සාකච්ඡාකළේ
 රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment