සිංහල ගීතයේ කම්පනය

374

විශාරද ගුණදාස කපුගේ සමුගෙන වසර 19ක් පිරිම නිමිත්තෙනි
1945 අගෝස්තු 07 – 2003 අපේ‍්‍රල් 03 (අවුරුදු 57)

මිරිස්වත්ත, කොළඹින් බොහෝ ඈත, ගාලු දිස්ත‍්‍රික්කයේ, ගඟබඩ පත්තුවේ පිහිටි පිටිසර ගමකි. හරියටම මින් අඩ සියවසකට එපිට දී මිරිස්වත්ත ගම් වැස්සෝ සුද්දාගෙ වතු අධිරාජ්‍යයේ අණසකට යටත්ව වතුකම්කරු රැුකියාවලටත්, තමන්ගේ හෝ අනුන්ගේ ඉඩම් කට්ටියක කුඩා ගොවිතැනක් හෝ කිරි හරකුන් දෙතුන් දෙනෙකුගෙන් යුත් ගව පට්ටියක් පවත්වාගෙන යෑමටත් හුරු වී සිටියවුන් වූහ.

ගම සුද්දාගේ ආර්ථික බෝගවලට මැදිව පිහිටියේය. එක් පසෙක සරුවට වැවුණු රබර් කට්ටියකි. ඒ හැර ගම වටාම තිබුණේ පෙනෙන තෙක් මානය පුරා විහිදුන තේ යායයි. සම්ප‍්‍රදායික සිංහල ගැමියන් සේ ම වතුකර ලැයින් කාමරවල කම්කරු දෙමළ ජනයාද මෙහි ගත කළ ජීවිතය අහිංසකය; දුක්බර ය; සාමකාමී ය. ඇල්ලලමුල්ල කපුගේ ප‍්‍රැන්සිස් සහ දෝන සිරිබද්දන ඇලිස් නෝනා මිරිස්වත්ත ගමේ එක වහලක් යටට කූඩු වී වසර කිහිපයකි. වතු කම්කරුකම හා ගොවිතැන ඔවුන්ගේ ජීවිකාවයි. 1945 අවුරුද්දේ අගෝස්තු 07 වැනි දින මේ යුවලගේ කුඩා කැදැල්ලෙන් මතු වූ බිලිඳකු ගේ මංගල හැඬුම් හඬක් ගම පුරා පැතිර ගියේය.

පවුලට දෙවැන්නා සේ එකතු වූයේත් පුතෙක් ම ය. දහසක් අඩු ලුහුඬුකම් මැද වුවද මවුපියනට දරුවන් දෑස සේ විය. ඔවුනගේ තුරුලේ උණුසුමට අමතරව, වැඩෙන දරුවනට ස්වභාවික ගැමි පරිසරය ආශිර්වාදයක් ම විය.

වසර දෙකක් තුනක් ගෙවෙද්දී දරුවා කුඩා දඟයෙකි. බුහුටි පුත‍්‍රයෙකි. ගමේ කවුරුත් මේ බුහුටි පුත‍්‍රයාට කළු මහත්තයා යන ආදර නම කීහ. කල එළඹෙන කල, දරුවා සිප්සතර වෙත යොමු කිරීමේ අදිටන මාපියන් තුළ දැඩිව පැවැතිණ. තමන් නොලැබූ සිප් නැණ තම දරුවනට ලබා දීම ඔවුනගේ අභිප‍්‍රාය විය. ඒ අනුව ඒරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් කළු මහත්තයාගේ අධ්‍යාපනයට මුල පිරිණ. මා පිය පැතුම් ඉටු කරමින් ඔහු ඉගෙනුමේ සමතෙක් බව ප‍්‍රකට කරන්නේ ශිෂ්‍යත්වය ඉහළින් සමත්ව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමේ වරම් ලබමිනි.

කළුමහත්තයා අනෙකුත් විෂයන්ට අමතරව සංගීතය හැදෑරීම පටන්ගන්නේ එහිදීය. ඒ ඩබ්. චූලරත්න හා එන්. ඞී. පේ‍්‍රමසිරි මහත්වරුන් යටතේය. නමුත් ඔහුට සංගීතය මුලින්ම කියා දුන් පුද්ගලයා වූයේ එකල විදුහල්පතිවරයෙක් ද වුණු, කළු මහත්තයාගේ මාමා ද වුණු එස්. එඩ්මන් මහතා ය. ඔහු තිතට වැඩ කළ පුද්ගලයෙකි. එසේ නොකළොත් එහි විපාක මොනවා දැයි ටික කලකින් කළුමහත්තයාගේ පිට කොන්ද දැන ගත්තේය. ඉගෙනුමෙහි සමත් කළුමහත්තයා දඩබ්බර වැඩද නොකළා නොවේ. වරක් සිය පාසල් බස්රථය අවලංගු කිරීම නිසා පෑ විරෝධයට නායකත්වය දුන්නේ කළුමහත්තයා ය.

පාරට බැරල් දමා හරස් කර එතැන තිබූ ගල් රෝලක් වේදිකාව කරගෙන පෑ විරෝධය කෙළවර වූයේ එකල හිනිදුම ආසනයේ මන්ත‍්‍රීවරයා වූ නීතිඥ දිසානායක මහතා පැමිණ පාසල් බස් රථය නැවත ලබා දෙන බවට දුන් ලිඛිත පොරොන්දුවෙන් පසුව ය.

පොදු ප‍්‍රශ්න හමුවේ පෙනී සිටීම සහ හඬ නැගීමේ පුරුද්ද ඔහු ලබන්නට ඇත්තේ එලෙසිනි. නවසිය හැට දෙකේදී එස්. එස්. සී. සමත්ව එච්. එස්. සී.වලට ඉගෙන ගන්නා සමයේදී ගැහැනු ළමයකුට දුන් හසුන් පතක් අදාළ ළමයාට නොලැබී විදුහල්පතිතුමා අත පත්වී පන්ති තහනමකට ලක් විය. එය සිය මාමා ගේ කණ වැකීමෙන් අනතුරුව විය හැකි අනතුර වටහාගත් කළුමහත්තයා නතර වූයේ සිය නැන්දනිය ගේ නිවසට යෑමෙනි. අතේ සතයක් නොවූ කළුමහත්තයාගේ සාක්කුවට මාමාගේ සාක්කුවේ තිබූ රුපියල් 50ක් වැටුණේ අන් කළ හැකි දෙයක් නොමැති වූ බැවිනි. එය ඔහු ජීවිතයේ කළ එකම හොරකම විය.

නාගොඩ සිට එච්. එස්. සී. කර විශ්වවිද්‍යාලයට ගොස් උපාධියක් ලැබීම කළුමහත්තයාගේ පැලෑන විය. එහෙත් ඔහුට ඒ විදිහට එච්. එස්. සී. කරන්න ලැබුණේ මාස 6ක් පමණි. සංගීතයට සම්මාන සහිතව එස්. එස්. සී. සමත්ව සිටි කළුමහත්තයාව හේවුඩ් (රජයේ ලලිත කලායතනය) එකට යැවීමට එඩ්මන් මාමා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණි. කළුමහත්තයා සරසවි සිහිනයෙන් එසේ අවදි වුණි. අවශ්‍ය වියදම් තමන් දරනා බැවින් හේවුඩ් යෑමට මාමා කළ ඇවිටිලි දැඩි වූයේ 1963 දී හේවුඩ් ආයතනයට ගොස් සංගීතය හදාරන්නට කළුමහත්තයා හිත හදා ගත්තේය.

ඔහු එහිදී ගායනයත්, එස්රාජ් වාදනයත් ප‍්‍රගුණ කරන්නට විය. එච්. ඞී. එස්. පියසේකර, සදානන්ද පට්ටිආරච්චි, බී. එස්. විජේරත්න හා ශාන්ති ගීතදේව වැන්නවුන් ඔහුගේ ගුරුවරුන් වූහ. සරසවි සිහිනය බිඳී ගියද කළුමහත්තයාගේ සංගීතය දිගේ ඉහළට යෑමේ සිහිනය ක‍්‍රමයෙන් ඉටුවන්නට විය. කළුමහත්තයාගේ හැකියාවන් වටහා ගත් ශාන්ති ගීතදේව ඔහුට ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරීමට අවශ්‍ය මග පාදා දුන්නේය. මුදල් ඒ ගමනට තිබූ ලොකුම බාධකය විය. මෙවරත් පිහිටට ආවේ එතෙක් සෙවනැල්ලක් මෙන් සිටි මාමා ම ය.

1965 දී මාමාගේ නිවස සහ ඉඩම උගසට බැඳුනි. එම මුදලේ පිහිටෙන් කළුමහත්තයා සංගීතය හැදෑරීම සඳහා ඉන්දියාවට පියාඹන්නට යෙදුණි. ලක්නව් හි භාත්ඛණ්ඬේ සංගීත විශ්වවිද්‍යාලයේදී කළුමහත්තයාට උස්තාද් ලෙලේ, පණ්ඩිත් හරිශංකර් මිශ්රා, උස්තාද් මක්ෂූඩ් අලි, පණ්ඩිත් රතන්ජංකර් සහ සීතා ශිරන් සිං යන ගුරුවරුන්ගේ අත හිත ලැබුණි. මාස 6කට පසුව කළුමහත්තයා සංගීත ඩිප්ලෝමාධාරියකු විය. ඉන් තවත් තෙවසරක් ඉක්බිතිව, 1969 දී සංගීත විශාරද උපාධිය දිනාගැනීමට ඔහුට හැකි විය.

කළුමහත්තයා හෙවත් කපුගේ ගුණදාස එතැන් පටන් විශාරද ගුණදාස කපුගේ විය.

ඉන්දියාවේදී මුකේෂ් දැකගැනීම සඳහා ගිය ගමනක් කපුගේ ගේ සංගීත චාරිකාවේ දිශානතිය වෙනස් කිරීමට ප‍්‍රබල හේතුවක් වූවා යැයි සිතේ. ලක්නව්වල නාරී කලා කේන්ද්‍රයට මුකේෂ් පැමිණි විටෙක ඒ ආශාව ඉටුකර ගන්නට හැකි වුවත්, ටිකට් පතක් සඳහා අවශ්‍ය වූ රුපියල් 25ක් ඔහු අත නොවීය. එකල එහි සිටි ඔස්ටින් මුණසිංහ මිතුරා රුපියල් 25 ලබා දුන් බැවින් ඒ බාධකය දුරු විය. මුකේෂ් පරිවාරිග් චිත‍්‍රපටයේ ගීතයක් ගයන විට ශාලාවේ සිටියවුන්ගෙන් වැඩි පිරිසක් හඬන බව කපුගේට දැනුනි. සහෘදයා කෙරෙහි සංගීතයෙන් ඇති කළ හැකි බලපෑම කොතරම් දැයි කපුගේ පළමු වරට අත්දැක්කේ එලෙසිනි. අවසන මුකේෂ් හා කළ කතා බහ නිමා වූයේ බොම්බායේ පිහිටි සිය නිවසට එන ලෙස මුකේෂ්ගෙන් කපුගේට ලැබුණු ඇරියුමකිනි. එය දුම්රියේ දින එක හමාරක ගමනකි. එහෙත් ඒ අත්දැකීම් ගැන ඔහු කී කතා මෙහි ලියන්නට මේ අවස්ථාව නොවේ.

හැඟුම් දැනවෙන සේ නැගෙන විරහ ගී කපුගේ ගේ හදවතින්ම පැණ නගින්නකි. ඉන්දියාවේ සිටින කපුගේ දවා හලු කළ සිද්ධියක් ලංකාවේ සිටි මිතුරෙකුගෙන් ආරංචි විය. ඒ ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය දිනා සිටි යුවතිය එදින අනෙකකු හා විවාපත් වූ බවය. නැවතී සිටි එම්පයර් හෝටලය තුළ සිට වැඩියෙන් ගත් මධුවිත නොවන්නට ඔහු එදින අන් කුමන ප‍්‍රතිචාරයක් දක්වාවිද යන්න කාටවත් කිව නොහැකිය.

1969 දී කපුගේ ඉන්දියාවේ සිට ලංකාවට එන්නේ අලුත්ම රැකියා විරහිත තරුණයා බවට පත් වෙමිනි. එහෙත් නිතර තැපැල් කන්තෝරුවට ගොස් ගැසට්ටුව පෙරළා දැමූ රැකියා ඉල්ලුම් පතකට කැඳවීමක් ලැබීම භාග්‍යයක් විය. තනතුරු ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ ක‍්‍රියාකාරී සහකාර තනතුරයි. තිලක් ජයරත්න, විජයානන්ද ජයවීර සහ දයා තෙන්නකෝන් කපුගේ සමග එකම දින සේවයට බැඳුණු අනෙක් සගයන් විය.

1970 යනු කපුගේ ගේ රැකියාව ස්ථිර වූ වසරයි. ඔහු එකල හොඳ නමක් දිනා ගත් ශබ්ද පරිපාලකයෙකි. එහෙත් ගායකයකු නොවේ. එකල කපුගේ ගායනය ගැන සිතන්නටවත් නොපෙළඹෙන කුලෑටි තරුණයකුව සිටි අයෙක් විය. ඒ යුගයේ ගුවන් විදුලි අඹරේ පෑයූ තරු තුනක් විය. සනත්, වික්ටර් හා මිල්ටන් ත‍්‍රිත්වයයි.

දිනක් ඇරැව්වල නන්දිමිත‍්‍රගේ කෙටිකතාවක් ඇසුරින් කළ ගුවන් විදුලි නාට්‍යයක ගීතයක් සංගීතවත් කිරීමට කපුගේට අවස්ථාව ලැබුණි. එහි නිෂ්පාදකයා වූයේ සුගතපාල ද සිල්වා ය. වැඬේට හිත ගිය සුගතපාල ද සිල්වා සිය ‘තුරඟ සන්නිය’ වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණ කටයුතු කපුගේට පැවරීය. 1973 දී වේදිකාගත වුණු තුරඟ සන්නිය කපුගේ ගේ සංගීතය මුසු වූ පළමු වේදිකා නාට්‍යය විය. ගුණදාස කපුගේ නම් ගායකයා උපන්නේ ද 1973 දී ම ය. එකල ඔහු ගුවන් විදුලියේ අනුමත ගායකයකු නොවූ බැවින් විශේෂ අවසරයක් නැතිව ගායනා කළ නොහැකි විය. ඒ විශේෂ අවසරය ලබා දුන්නේ එකල සිංහල සේවා අධ්‍යක්ෂ වූ එච්. එම්. ගුණසේකර මහතා ය. මේ සඳහා පී. ඞී. ස්ටීවන් මහතා මහත් උනන්දුවෙන් කටයුතු සම්පාදනය කළේය.

ගීතයේ රචකයා වූයේ ප‍්‍රියානන්ද විජේසුන්දරයි. එහි තනුව කපුගේ ගේ ම ය. එය සංගීතවත් කළේ සනත් නන්දසිරි විසිනි. අද දවසේ පවා අති මහත් ජනප‍්‍රියතාවකට හිමිකම් කියන

දෑස නිලුපුල් තෙමා – කඳුළු මුතුලැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ –
හඬනු මල්මාලියේ

ගීතය අපට දායාද වූයේ එලෙසිනි.

කපුගේ ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු වූයේ ඊළඟ වසරේදීය.

1975 දී කපුගේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදක තනතුර දක්වා උසස් විය. මෙය ඔහුගේ සිතුවිලි ධාරාවේ දැඩි වෙනසක් ඇති වුණු කාලයක් විය. මාක්ස්වාදය කෙරෙහි ඔහුගේ අදහස්වල වැඩි නැඹුරුවක් ඇති විය. දුප්පත්කමින් හා සූරාකෑමෙන් පීඩිත විවිධ ජනකොටස්වල දුක් ගිනි ගැන බෙහෙවින් සංවේදී සිතක් ඔහුට විය. එබැවින් ඔහු නියෝජනය කරන්නට වූයේ ධනවාදී දේශපාලනයේ විරුද්ධ පාර්ශ්වයයි.

1977 දී බලයට ආ නව එක්සත් ජාතික පක්ෂ රජය කපුගේ ගේ ගීත ගුවන් විදුලියේ තහනම් කළේ එබැවිනි. එය ඔහුට කළ කෙනිත්තිල්ලක් පමණි. ඒ වසරේම සෝවියට් රුසියාවේ පැවැති ජාත්‍යන්තර ගායනා තරගයට කපුගේට ලැබුණු ඇරියුම ඉහළින් ආ නියෝගයකින් කපා හැරුණි.

1978 ජූලි 05 වන දිනය ඔහුට අමතක නොවන එකකි. නැත. නැත. එය ඔහුගේ රැකියාව අහිමි කළ දිනය නොවේ. එය යෙදෙන්නේ පසුවටය. මෙය වෙනත් වැදගත් දිනයකි.

වසර හතරකටත් එපිට 1974 දී ඒ වසරේ මාතර පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සම්මේලනයට ගායක ගායිකාවන්, නැටුම් ශිල්පීන් ඈ පිරිසක් එකම බසයේ ගමන කරමින් සිටියදී මුණ ගැසී පෙම් පිරූ පේ‍්‍රමා, පේ‍්‍රමා කපු ගේ ලෙසින් සිය ආදරණීය බිරිඳ බවට පත් කරගත්තේ 1978 ජූලි 05 වන දිනදීය.

එදා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණය දක්වා දික් වුණු විවාදය ඉක්බිති වසර හතර පුරාම පැවතියද විවාදය කෙළවර වූයේ විවාහයකිනි.

1978 ඒ මාසයේදීම කියුබාවේ හවානා නුවර ජාත්‍යන්තර තරුණ සමුළුවක් පැවැත්විණි. ආරාධනා ලැබූවන් අතර කපුගේ ද විය. විනයගරුක කපුගේ ආයතන අවසරය පැතීය. අවසරය ලබා දීමට තරම් බලධාරීන් යුක්තිගරුක නොවීය. ගමන නොයා නැවතීමට තරම් කපුගේ දීන නොවීය. 1978 ජුලි මස 22 දා කපුගේ සිටියේ කියුබාවේ හවානා නුවරය. එන ගමනේ පිළිගැනීම් උණුසුම් විය. සේවය අතහැර ගියා සේ සලකන ලිපිය ගුවන්තොටටම ගෙනැවිත් භාර දෙන ලදි.

වැඩ නැති කාලයේ සංගීතවත් කළ ‘සඳා’ චිත‍්‍රපටය 1979 දී තිරගත විය. එය ඔහුගේ පළමු චිත‍්‍රපට සංගීත නිර්මාණයයි.

1979 දී යළිත් ඔහුට රැුකියාව ලැබුණි. එහෙත් ඒ වසරේදීම එවකට අගමැති රණසිංහ පේ‍්‍රමදාසට අපහාස කළා යැයි පොලිස් අත්අඩංගුවට ගැනුනි. චෝදනා නොමැති බැවින් නිදහස් කරනු! යන උසාවි නියෝගය ලැබෙන තෙක්, ඔහුට දින 5ක් බන්ධනාගාර ගතව සිටින්නට සිදු විය.

අත්අඩංගුවෙන් නිදහස් වුවද ගුවන් විදුලිය ඔහුට තහනම් විය. එවර රැකියාව නැතිව සිටි කාලය වසරකුත් මාස 10කි. චිත‍්‍රපට කිහිපයකම සංගීත නිර්මාණ කටයුතු සඳහා ඒ නිදහස ඔහුට උදව් විය.

1980 දී කපුගේ ගේ දිවියේ තවත් මංගල අවස්ථාවක් උදාවිය. එවර මනාලිය මාලනී බුලත්සිංහල යි. ඔවුන් දෙදෙනා එක්ව දම්පාටින් ළා සඳ නම් ගීත එකතුව නිකුත් කළේ ඒ වසරේදී ය. මඟුල ඒක ය.

‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයට ඔහු කළ සංගීතය ඔහුගේ සංගීත දිවියේ මතු නොව, සිංහල නාට්‍ය සංගීතයේද සුවිශේෂ එකකි. එම නාට්‍යයේ රට වටා රජ ගමනට එම සංගීතය මහත් සේ බලපෑවේය. නිෂ්පාදකයින්ට නාට්‍යයක සංගීත පාර්ශ්වය ගැන යළි යළිත් සිතා බලන්නට එයින් බලකර සිටියේය.

දිනක් තාරාවෝ ඉගිලෙති නාට්‍යය නැරඹීමට එහි පේ‍්‍රක්ෂකාගාරයට පැමිණ සිටි එවකට ගුවන් විදුලියේ සභාපති වූ ඒමන් කාරියකරවන මහතා මේ නාට්‍යයේ සංගීතය සැපයූ ගුණදාස කපුගේට සිය ආයතනය තහනම් කර ඇති බව දැන ගත්තේය. වහාම ක‍්‍රියාත්මක වූ ඒ මහතා ඊළඟ සතියේ සිට කපුගේට යළි ගුවන් විදුලි සංස්ථා දොරටුව විවර කර දුන්නේය.

ගුවන් විදුලි දිවියේ කපුගේ වසන්තය ඇරඹෙන්නේ 1981 අගෝස්තු මස දිනකිනි. ඔහු රජරට සේවයේ වැඩ භාර ගැනීමෙන් පසුව ය. ඒ කාලය රජරට සේවය සහ කපුගේ වෙන්කොට කතා කළ නොහැකි තරමින් බැඳුණු කාලයක් විය. එහි සිටි ස්වර්ණ ශ‍්‍රී නාමය ද ඒ වසන්තයට මං හෙළි පෙහෙළි කළේය.

නව පදමාලා, නවරැල්ල ආදී සංගීත වැඩසටහන් අරඹමින් රජරට ගීත ප‍්‍රබෝධයක් ඇති කරන්නට යෙදුනි.

මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, පල්ලේගම හේමරතන හිමි වැනි රචකයින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, වික්ටර් ලියනගේ, ජානකී සුමිත‍්‍රා දිසානායක වැනි ගායක ගායිකාවන්ද ඒ ප‍්‍රබෝධය තුළින් මතුවුණු පුද්ගල නාම කිහිපයක් පමණි.

එවකට රජරට සේවයේ අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා ප‍්‍රවෘත්ති අංශයේ සිටි නිව්ටන් ගුණසේකර ද කපුගේ ගේ මේ වැඩපිළිවෙළට මහත් පිටිවහලක් වූහ.

එකල බොළඳ ගී රැල්ලකින් ක්ෂේත‍්‍රය වසා ගනිමින් තිබුණි. අමරදේව – මහගම සේකර ඇතුළු සුළු පිරිසක් ඊට එරෙහිව සටනක යෙදෙමින් සිටියහ. කපුගේ ද ඉන් පන්නරය ලැබූවෙකි. මුකේෂ් සංගීත සන්ධ්‍යාවේ මතකය ද ඔහු සිත නින්නාද විය. සිංහල ගීත කලාවේ හරවත් වෙනසක් කිරීමේ අභිලාෂය ඔහු තුළ දැඩිව කිඳා බැස ගියේය. ඔහු ඒ වෙනුවෙන් වෙහෙසී ඉන් ජයද ලබා ගත්තේය.

දිනක් කපුගේ මහත්තයා බලන්න මවක් රජරට සේවයට පැමිණියාය. කෙනෙක් ඇයව කපුගේ මහත්තයා ළඟට ඇරළුවේය. ඈ ඔහු දෙපා මුල වැඳ වැටුණු විට ඔහු අන්දමන්ද විය. අනේ මහත්තයෝ ගෙදර තිබුණ ලොකුම ප‍්‍රශ්නය සහෝදරයෝ දෙන්නා ඉඩමට ඇනකොටා ගත්තු එක. ඔබතුමාගේ ගීතය නිසා ඒ ප‍්‍රශ්නය විසඳුණා.

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුනා කැණිමඬලට අපෙ නිවසේ
එකපත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතක ද නුඹ රජ වූ අද දවසේ

ගීතය අප‍්‍රකටව තව කී දෙනෙක් ඒ අයුරින් සුවපත් කරන්නට ඇතිද?

1981 අවුරුද්දේ දී ඔහු ‘සීතල සඳ එළියේ’ නමින් කැසට් පටයක් එළි දැක්වීය. ඉන් දෙවසරකට පසු 1983 දී උන්මාද සිතුවම් කැසට් පටය රස විඳීමේ පින ගීත රසිකයින්ට උදා විය. දූෂිත රජයන් විසින් දෙන සම්මාන හඹා නොගිය කපුගේට හිමි වූ විවිධ ජනතා සම්මාන නිමක් නැත. ඒවා ගැන එබැවින් එකිනෙක කතා කිරීමේ ප‍්‍රයෝජනයක් නැත.

1984 මැයි මාසයේදී ඔහු ‘කාලයේ රාවය’ නමින් සංගීත ප‍්‍රසංගයක් ආරම්භ කර රට වටා ප‍්‍රදර්ශනය කළේය. එය ගීත ප‍්‍රසංග කලාවේ නව නැම්මක් විය. එය ‘කම්පන’ ප‍්‍රසංගය දක්වා දිනෙන් දින වර්ධනය විය. කෙසේ වෙතත්, සිය ගායනය වේදිකාව මතට පමණක් සිරකිරීමට කපුගේ කිසිදා උත්සාහ නොකළේය. විවිධ සිසු කම්කරු අරගලවලදී, ගොවි අරගලවලදී ඔහු ඔවුන්ට ශක්තියක් වෙමින් ගී ගැයූ වාර අපමණය.

මාවතේ ගීතයට කපුගේ ගේත්, ලංකා කැසට් වංශකතාවේත් ඉහළම තලයක තිබුණු කැසට් පටයකි. එය නිකුත් වූයේ 1986 දී ය.

1986 දී රටවල් 142ක කලාකරුවන් ගේ සහභාගිත්වයෙන් උතුරු කොරියාවේ පැවැති සංස්කෘතික සම්මේලනයක ශ‍්‍රී ලංකා නියෝජිතත්වය හිමි වූයේ කපුගේ ට ය.

1989 දී භීෂණය හේතුවෙන් මාසයක් වසා තිබූ රජරට සේවයට පණ දෙන්නට කපුගේට සිදු වූයේ හමුදා ආරක්ෂාව මධ්‍යයේය. එම කටයුත්ත ජීවිතයත් මරණයත් අතර දෝලනය වීමක් විය. එකල පැවැති භීෂණය හේතුවෙන් කොළඹ ගුවන්විදුලියට මාරුවක් ගැනීමට කපුගේට සිදු විය. රජරට සේවයෙන් කපුගේට වෙන්වන්නට වීම දරුවකු ගෙන් පියෙකු බලහත්කාරයෙන් වෙන් කළා හා සමාන සිද්ධියක් විය.

1990 ජනවාරි 29 වැනිදා යළිත් කපුගේ ගේ වැඩ තහනම් විය. එදායින් පසු කිසිදු දිනක රැකියාව පිණිස ඔහු ගුවන් විදුලියේ පස් පාගන්නට ගියේ නැත.

1990 අගෝස්තු 25 වැනිදා යනු ‘කම්පන’ ප‍්‍රසංග චාරිකාවේ ආරම්භක දිනයයි. එදින කොළඹ ලුම්බිණියට පොදි කකා රැුස් වුණු සහෘදයන් ඉදිරියේ වේදිකා ගතවුණු කම්පන ගී ප‍්‍රසංගය අනතුරුව රටේ සෑම අස්සක් මුල්ලකම නින්නාද වුණි.

‘පියසටහන්’ ඔහුගේ ඊළඟ කැසට් පටයයි. ඒ 1990 වසරේදී මය.

පියසටහන්වලින් ඉක්බිති කම්පන ප‍්‍රසංගයේදී ගැයුණු ගී රැගත් කම්පන කැසට් පටය නිකුත් විය. පසුව 1995 දී ‘මිරිවැඩි සඟලක්’ කැසට් පටය නිකුත් විය.

පසුව සිය ගීත සන්ෆ්ලවර්ස් සමග ගැයීමෙන් ඔහු යම් අප‍්‍රසාදයකට ද පත් වුණි. නමුත් ඒ හා සමගම කපුගේ ගීත අසන වෙනත් ශ‍්‍රාවක පිරිසක් ද බිහි වූ බව කිවමනාය.

ගුණදාස කපුගේ ගීත දහස් ගණනක් ගැයූවෙක් නොවේ. එහෙත් ඔහු අප මතකයේ සිටින්නේ ගීත දහස් ගණනක් ගැයුවෙක්ටත් වඩා උඩ තැනකය. ඔහු අනෙකුත් ගායක ගායිකාවන් වෙනුවෙන් කළ සංගීත කාර්යයන්ද විශිෂ්ට ගණයේ ඒවා ය. ගණනින් ස්වල්පයකි. අගයෙන් ඉතා ඉහළය.

මේ අතර ධර්මසිරි බණ්ඩාරනායක ගේ ‘භව දුක’ සහ ‘භව කර්ම’ චිත‍්‍රපට ද්වය සඳහා ඔහු කළ සංගීත නිර්මාණය අමතක කළ නොහැක. ධර්මසිරිගේ ජීවිතය බඳු එම චිත‍්‍රපට ද්වය තුළ ඔහුට අවැසි කම්පනය රඳවා ගත්තේ කපුගේ ය. සිරකඳවුර නාට්‍යයේ කපුගේ සංගීතය ද එවැනිම එකකි.

කපුගේ ගේ සංගීතමය කාර්යයන් පමණක් ද ඔහුව මිනිසුන්ගේ හදවතේ ජීවත් කරවූයේ,

මා සිතන්නේ අනෙකකි. ඔහුගේ නිර්මාණ සඳහා තෝරාගත් රචනා අරුත්බර ය. ඉන් මිනිසුන් ඥානනය කරනු ලබයි. හුදු රසය තුළ ගිල්වා තමන් ජීවත් වන විෂම ලෝකය අමතක වෙන්නට හරිනවා වෙනුවට ඔහු දෑස් විවර කර අවබෝධයෙන් ලොව දෙස බලන්න කැඳවනු ලබයි.

එමෙන්ම කපුගේ ගේ මානව දයා ගුණය ගැන ගෙතුණු කතා නොව ඇත්ත කතා එමටය.

කපුගේ කම්පන ප‍්‍රසංගයේ මංගල දැක්මේ අවසන් අදියරයේ මුදල් නැතිව සිටින බව ආරංචි වී ලැබුණු පරිත්‍යාගය මොහොතකින් පැමිණි 80 ජූලි වර්ජකයකුගේ බිරිඳ ගේ සැත්කමක් හෝ අසනීපයක් වෙනුවෙන් හෝ වැය කළේ අනෙක් අයට නිහඬවන්නට සන් කරමිනි. ඔහු ගිය පසු කීවේ ‘අපි කොහොම හරි ඒ සල්ලි හොයා ගමු. මේ මොහොතේ ඒ සල්ලි අවශ්‍ය එයාට’ යනුවෙනි.

මෙය අතිශයෝක්තියක් නොවන බව මම මගේම අත්දැකීමකින් දනිමි.

මා වෛද්‍ය පීඨයේ සිටියදී නිතර ඔහු නිවසට ගොඩවන්නේ නිවස ජයවර්ධනපුර රෝහලට සමීපව පිහිටා තිබූ බැවිනි. ඒ අවස්ථාවලදී මා ලියූ යම් යම් දේ දැක, යසනාත් මල්ලි, ඇත්තටම නම් මේවා අපි ගීත බවට පත් කළ යුතුයි. ඒත් දැන් ගීත ඇල්බම් නිෂ්පාදනය නොවෙන ගාණයි. එහෙම එකක් එනකං කොච්චර කල් ඉන්න වෙයිද?

මම උදව් කරන්නම්. උඹ පටන් ගනින්.

මම අමාරුවෙන් මුදල් ටිකක් සොයා ගීතයක් දෙකක් පටිගත කිරීමට සූදානම් වුණෙමි. ඔහු ගීත දෙකක් සංගීතවත් කර ගීත දෙකක් නොමිලයේ ගායනා කර දෙන බව කීවේය. එපමණක් නොව එච්. එම්. ජයවර්ධන, මාලනී බුලත්සිංහල යුවල ද ඊට දායක කර ගැනීම සඳහා ඔහුම කතා බහේ යෙදුනි.

ඒ අතරේ නවරත්න ගමගේ මා මිතුරා සමග ද තවත් ගීත තුනකට ලක ලැහැස්ති වුණි. දැන් ඔක්කොම ගීත හයකි. හිතුවාට වඩා වැඬේ විශාලය.

වැඬේ යන අතරේ, ‘මල්ලි, සල්ලි අවුලක් නැහැ නේද? මදි වෙනවා නම් කියපං. සල්ලි අවුලක් විය හැකිය යන බය මා සිත පැවතියද, මම නොපෙන්වුවෙමි. මේ අතරේ වැඩේ අවසන් වීමට හෝරාවකට එක හමාරකට මත්තෙන් කපුගේ අයියා හදිසියේම ත‍්‍රීවීලරයක නැගී යම් දිහාවකට යන්නට විය. මා පසුපසින් එළවන්නේ, උඹ ගිහින් එතැන වැඩ බලපං. මම ඉක්මනින් එනවා කියමින් ඔහු ගමනේ යෙදුනි. මද වේලාවකින් කපුගේ අයියා යළි පැමිණියේය.

එදින පටිගත කිරීමේ ශබ්දාගාර බිල සම්පූර්ණයෙන් ගෙවූ ඔහු ඊ ළඟ දිනයට අත්තිකාරමක් ද ගෙවා රිසිට් පත මා අත තැබීය. කලකට පසුව, යම් අවස්ථාවක ඒ මුදල ආපසු දෙන්නට සැදූ විට ඔහු මට කතා කළේ මෙහි සඳහන් කළ නොහැකි බාසාවෙනි. කිසි දිනක ඔහු එය භාර ගත්තේ නැත. එකිනෙකා විෂයයෙහි මේ වැනි දේ ඔහු කර ඇති වාර ගණන අපමණකි. එබැවින් ඔහු ගැන කියන එවන් සෑම කතාවක්ම විශ්වාස කටයුතුය. ප‍්‍රබන්ධයන් නොවන්නේය. මා දැක ඇති, සිය නිර්මාණ සහ පුද්ගලයා අතර අවම පරතරයක් තබා ගත් කලාකරුවා කපුගේ අයියා ය.

මීට අවුරුදු ගණනකට පෙර එක් අඳුරු අපේ‍්‍රල් මාසයක එතරම් ඉක්මනින් ගෙන නොයා යුතු මිනිසෙක් අපෙන් ඉවතට ගෙන ගියේය. එයින් වූ පාඩුව නොගිනිය හැකි තරම්ය. වැඩිම පාඩුව වූයේ අර්ථ පූර්ණ ගීතයට ය. කපුගේ ගේ ඇවෑමෙන්, අර්ථ පූර්ණ ගීතයට ලැබුණු ඉඩ ශීඝ‍්‍රයෙන් හැකිලී ගියේය. තිබෙන වචනවලට වඩා එම තනු ලල ලල බසින් ගැයුවේ නම් ඒත් හොඳ යැයි හිතෙන එම ගීත හතු පිපෙන්න්නා සේ බිහි විය. එහි සීමාවක් ද නොවීය.

කපුගේ හිටියා නම් සිංහල ගීතය මේ තරම් වේගයෙන් පිරිහෙන්නේ නැති බව සහතික ය.

යසනාත් ධම්මික බණ්ඩාර

සිංහල ගීතයේ කම්පනය
advertistmentadvertistment
advertistmentadvertistment