සිංහල ගීතයේ සැක්සෆෝනය ස්ටැන්ලි පිරිස්

399

රූපවාහිනි සේවාවන් හෝ යන්ත‍්‍ර නොපැවති යුගයේ ගී රසවින්දනයේ යෙදුණු රසවතුන්හට තම ප‍්‍රියතම ගායන ශිල්පියා හෝ ශිල්පිනියගේ රුව දක්නට රිසි වේ නම්, ඔහු ගීත ගයනවා නරඹන්නට ප‍්‍රිය කළේ නම්, ප‍්‍රසංග වේදිකා – සැණකෙළි බිමකට පිවිසිය යුතුම වේ. ගමනාගමන අපහසුතා පැවති 70 දශකයේ ඊට අවස්ථාව උදාකරගැන්මද අසීරූ වූයේ ඇතැමුන් පෙරකී සිහිනය සැබෑ කරගන්නට පැය ගණනක් පා ගමනින් දුරු කතර ගෙවා යා යුතු නිසාය.

තම ඉලක්කය ජය ගැනීමෙන් පසුව, වේදිකා භූමියේදී ඔවුහු ගායකයා ද ඊට පසුබිමින් විවිධ සංගීත භාණ්ඩ වැයිමේ නිරත වූ වාදකයන් ද අපැහැදිලි ලෙස සිය දර්ශන පථයට හසුකර ගනිති. ගීතයක රසමිහිර මතු කරදෙන විවිධාකාර වු වාද්‍ය භාණ්ඩ තම ජිවිත කාලයේ මුල්වරට පියවි ඇසින් එහිදි ඇතැමුන් විසින් දැක ගනිති. එහෙත්, බහුතර රසිකයන් ඒවා මොනවාදැයි නොම හැඳින ගනිති. මක් නිසාද යත් ගීතයට හා ගායන ශිල්පියා ට මිස සෙස්සන් ඔවුන්ගේ අවධානයට බඳුන් වීම විරල වන හෙයිනි. මේ සියලූ තත්ත්වයන් හමුවේ, රූපවාහිනියේ ආගමනය හා සමගම ඒවයේ විසුරුවා හරින ලද විවිධ සංගීත ප‍්‍රසංගයන් නිසා, 80 දශකයෙන් මෙපිටදී ඔවුහු නිරතුරුවම වාදකයන් ගේ දසුන් ඇසගැටීම නිසා ඒවා පිළිබඳව උනන්දු වන්නටද අල්ප රසිකයන් සංඛ්‍යාවක් ඉන් නොනැවතී ඒවා පිළිබඳව වැඩිමනත් හදාරන්නට උත්සුක වෙති.

ගීතය රසවිඳීමෙන් තොරව නැරඹීම පමණක් සිදුකරන ඇතැමුන් ඒවා වයන වාද්‍ය ශීල්පීන්ගේ මුහුණු දැන හැඳින ඔවුන් කෙරෙහි ද අවධානය යොමු කරන්නට නැඹුරු වෙති. එදවස අතිශය ජනප‍්‍රසාදයට බඳුන් වූ ගීත අතිමහත් ගණනකට වාදනයෙන් සහය වූ ඔවුහු ෆෝර්චූන්ස් නම් විය. සිය නියමුවා ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා ගේ සංඥා මග පෙන්වීම් අනුව බොහෝ වරෙක නිහඬව ඉඳහිට හඬ අවදි කරමින් සමූහ ගායනයේ යෙදෙමින්ද ඔවුහු සිංහල පොප් ගීත කලාවේ ප‍්‍රගමණය පිණිස කැපී පෙනෙන දායකත්වය දැක්වීය. කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ මහවැලි නදී අසබඩ ඉදිවූ සාන්ත අන්තෝනි ශාස්ත‍්‍රාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකත්වය හෙබ වූ ස්ටැන්ලි එදා මෙදා තුර ලක්දිව පහළ වූ අග‍්‍රගණ්‍ය සැක්සෆෝන් වාදන ශිල්පියෙක් විය.

සිය සොයුරු මිල්ටන් පීරිස් වෙත ලීඞ් ගිටාරය යොමුකරවා, කඳුරට අවට යෞවනයන් අතළොස්සකගේ ආධාරයෙන් ඔහු තම සංගීත කණ්ඩායම ලියාපදිංචි කළේය. වෙළෙඳ තැටි සහ පසුව කැසට් පට ඔස්සේ බිහිවුණු ගීත අතිවිශාල සංඛ්‍යාවකට තනු නිර්මාණයෙන් දායක වීමෙන් නොනැවත ඒවායේ සංගීත අධ්‍යක්ෂණයේ නිරත ව එයිනුදු නොනැවතී ඒවා ගයද්දී ෆෝර්චූන්ස් කණ්ඩායමේ නාද සංකලනයෙන් සහය ලබාදුන්නේය.

සිංහල ගීතයේ සැක්සෆෝනය ස්ටැන්ලි පිරිස්

එකී විවිධ අවස්ථාවන්හිදී බාහිර ශිල්පීන් ලෙස දිවයිනේ ප‍්‍රමුඛතම සංගීත අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් වී ඔවුන් හා එක්ව විවිධ වාද්‍ය භාණ්ඩ වයා එකී ගී රසවත් කළහ. මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, ටී. එම්. ජයරත්න, ඉන්ද්‍රානි පෙරේරා, මරියසෙල් ගුණතිලක, සුජාතා අත්තනායක, වික්ටර් රත්නායක, ලතා වල්පොල ප‍්‍රමුඛව වෙනත් ගායක ගායිකාවන්ගේ නව ගී බිහිවෙද්දී එහි සංගීත සංයෝජනයන් සහ වාදන සහය පිරිනැමුණේ ද ෆෝර්චූන්ස් වෙතිනි.

මිල්ටන් මල්ලවාරච්චිගේ හද පතුලේ හසරැල්ල කඳුළැල්ල නැළවිල්ල (කේ.ඞී.කේ. ධර්මවර්ධන), අඳුරින් පිරි උමං තුළයි දවස ගෙවෙන්නේ වැනි ගීතයන්හි මුල් තැටිගත කිරීම් ශ‍්‍රවණය කරමින් මත්වන ශ‍්‍රාවකයන් මහින්ද බණ්ඩාර ඇතුඵ ෆෝර්චූන්ස් නාමය මතකයෙන් බොඳ නොකර ගත යුතුය.

තමා නිරතව සිටි කලාව පුළුල් ලෙස හදාරා පුරුදු පුහුණු වූ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා කලෙක ලංකා ගුවන් විදුලියේ සරල ගී ගායන ශිල්පි හඬ පරීක්ෂණයට පෙනීසිට එයින් සමත් වූ නමුදු ඔහු ගැයූ ඒකල ගීත එයින් හෝ ඉන් පරිබාහිරව ප‍්‍රචලිත වූ බවක් වාර්තා වූයේ නැත. එහෙත් ඔහු මහසාර නිර්මාණකරුවෙකු විය. කර්ණ රසායන තනු නිර්මාණ ගොන්නකින් ඔහු සිංහල ගීතයේ ස්වර්ණ යුගයේ ගී රස කලස සරසාවාලීය.

  • ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ – නන්දා පතිරණ – දර්ශන ලේබලය තැටි (කුලරත්න ආරියවංශ) * අද හවසට මා හමුවනු මැනවි රැුඟුම් බලන්නට – සුජාතා අත්තනායක වෙළඳ තැටි (කේ. ඞී. කේ. ධර්මවර්ධන * පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඬලේ – නන්දා මාලිනී (පෙරදා මහ රැු කැසට් පටය- සුනිල් ආරියරත්න) * සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ – සුජාතා අත්තනායක – කැසට් ගී – සමන් චන්ද්‍රනාත් වීරසිංහ) * හිතින් මා නොසැලී හිඳිද්දී – ටී එම්. ජයරත්න – තරංගා කැසටය – (පේ‍්‍රමකීර්ති ද අල්විස්) * සුරංගනා මල් ඇතිරූ මාවතේ – සුජාතා අත්තනායක – වෙළඳ තැටි (කේ. ඞී. කේ. ධර්මවර්ධන)
  • අරුණ නැගෙන වෙලේ – සුජාතා අත්තනායක – වික්ටර් රත්නායක – වෙළඳ තැටි – (සුනිල් ආරියරත්න) * මුවා උනා සඳක් සිනා සලා – ලතා වල්පොල – වික්ටර් රත්නායක – වෙළඳ කැසට් (කුලරත්න ආරියවංශ) * පේ‍්‍රම අසපුවේ මුණිවරයාණෙනි – නන්දා මාලිනි – වෙළඳ කැසට් (සුනිල් ආරියරත්න)
  • මේ වේදනා මේ චේතනා මුමුණා – නන්දා පතිරණ – ටී. එම්. ජයරත්න – දර්ශන තැටිය (කුලරත්න ආරියවංශ) * පුංචි පුංචි රංචු එක්වෙලා තරු රෑණ – නන්දා මාලිනී – කැසට් පට (කුලරත්න ආරියවංශ) * පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් – නන්දා මාලිනී – කැසට් (සුනිල් ආරියරත්න) * මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් – ප‍්‍රියා සූරියසේන – වෙළඳ තැටි – (ඩොනල්ඞ් අයිවන්) * මයුරී මගේ සුදු කෙල්ලේ කියාලා – ඉන්ද්‍රාණි පෙරේරා – වෙළඳ තැටි (වර්ණන් පෙරේරා)
  • සිතින් මා ඔබේ ආදරේ දිවා රැයේ – ඉන්ද්‍රානි පෙරේරා – වෙළඳ තැටි (උපාලි ධනවලවිතාන) * උදාලා හිරු කිරණ(කල්පනා) – වික්ටර් රත්නායක- තැටි ගී (කුලරත්න ආරියවංශ) * හදවත ඉල්ලා නොලැබුණු විටදී – ප‍්‍රියා සූරියසේන – කැසට් ගී (වර්ණන් පෙරේරා) * හද පතුලේ හසරැල්ල කඳුළැල්ල – මිල්ටන් මල්ලවාරච්චි – වෙළඳ තැටි – ෂාන්ස් (කේ. ඞී. කේ. ධර්මවර්ධන)
  • පේ‍්‍රමේ මායා හෝරාවේ – මිල්ටන් මල්ලවාරච්චි – වෙළඳ තැටි – ජෙම්ටෝන් (කේ.ඞී.කේ. ධර්මවර්ධන) * මලේ රුවට තරුණ බඹරු ඇදෙන්නේ – ටී. එම්. ජයරත්න – සුනිල් එදිරිසිංහ – කැසට් (කුලරත්න ආරියවංශ)
  • නිලම්බරේ කැලූම් පිරි සරා සඳ වගේ – රුක්මණි දේවි – ෆීලික්ස් ඇන්ටන් – වෙළඳ තැටි (ලීනස් මෙන්ඩිස් පියතුමා) * රතු ගුරු පාරේ හැන්දෑවේ – ලතා වල්පොල සමග ධම්මිකා වල්පොල – වෙළඳ තැටි (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

ඔහුගේ තනු සහ සංගීත සංයෝජනයෙන් අලංකෘත ව ශ‍්‍රාවක හද වශීකෘත කළ සුරස නිර්මාණපෙළ අතරින් අල්පයකි. එය මෙහි ලැයිස්තු ගත කරන්නට තරම් දිගු පුළුළැති බවින් වැඩිය.

සිංහල ගීත වංශ කථාවේ නව පරිච්ජේදයක ඇරඹුමෙහි පුරෝගාමි මෙහෙවරක යෙදෙමින් ඔහු නැවුම් අදහසක් ක‍්‍රියාවට නැංවීය. අතීත යුගයේ එනම් 30 දශකයේ ග‍්‍රැමෆෝන් ගී යුගයේ සිට ඔහු ගේ මෙහෙවර දියත් වූ 70 දශකය දක්වා එදාමෙදතුර ශ‍්‍රාවක හද එකපැහැර ගත් සිංහල ගීත තෝරාගත් සංඛ්‍යාවක් එක්කොට සිය සගයන් ගේ ද සහයෙන් ඒවයේ අනුවාදනයන් වයා තැටි ඔස්සේ ජනගත කිරීමයි. එදවස ජනප‍්‍රිය ජෙම්ටෝන් ලේබලය දැරූ ඒවා නිකුත් වූ සැණින් නව ගී පිපාසාවෙන් ආතුර වූ එදා ශ‍්‍රාවක ගීත ලෝලීන් වෙතින් ඊට ලද ප‍්‍රතිචාරය අදහාගනු බැරිවිය.

ලංකා ගුවන් විදුලි සේවය පවා සිය වාද්‍ය වෘන්දය විසින් වැයූ අනුවාදනයන් ඇතුළත් තැටි පසෙක ලා ස්ටැන්ලි පීරිස් – ෆෝර්චූන්ස් ගී අනුවාදන සමාධියෙන් මත් වී ගියේය. වෙළඳ අනුග‍්‍රහක ගීතමය විචිත‍්‍රාංගයන් අතර මතුවන විනාඩි දෙක තුනක සුඵ විරාමයේදී ගුවන් තරගවැල් අතරින් ඇදී ආවේ ස්ටැන්ලි ගේ අමයුරු සැක්සෆෝන් නාදයයි. දන්නෝ බුදුන්ගේ නූර්ති ගී යුගයේ සිට මුණි නන්දන සිරිපාද වඳිමු ග‍්‍රැමෆෝන් යුගය පසුකරගෙන විත් තරු පායන ආකාසේ රුක්මණි දේවි – බෙග් සිනමා ගී දක්වා එළැඹී එතැන් හි සිට ඕලූ නෙලූම් නෙරිය රඟාලා හෙළ සිනමා සිත්තර ගී ඔස්සේ ඔහු ගුවන් විදුලි ශ‍්‍රාවකයා ව ඒ අවධියේ දසත සිසාරා පැතිර ගිය වෙළෙඳ තැටි යුගය වෙත කැන්දා ගෙන ආවේ ජෝති ගේ දුරකථනයකින් මම ඔබ අමතමි වෙතය.

70 දශකයේ සිංහල සංගීත සැණකෙළි සමය වර්ණවත් කළ මිල්ටන් මල්ලවාරච්චි, වික්ටර් රත්නායක, ඉන්ද්‍රානි පෙරේරා ඇතුඵ ත‍්‍රී සිස්ටර්ස්, ෆීලික්ස් ඇන්ටන්, සුජාතා අත්තනායක ජෝති, එම්. එස්. ප‍්‍රනාන්දු, ප‍්‍රියා සූරියසේන සහ 80 දශකයේදී නන්දා මාලිනී, චන්ද්‍රලේඛා පෙරේරා ෂෙල්ටන් මුතුනමගේ, ටී. එම්. ජයරත්න ඈ මෙකී නොකී ගායන ශීල්පීන් ගණනාවකගේ මුල් වෙළඳ තැටි ඔස්සේ ශ‍්‍රාවක මන වසඟ කළ ගීත අරභයා වාදන මිහිර මුසු කළේ ෆෝචූන්ස් ය.

1950 වසරේ දී තැටි ගත වූ චිත‍්‍රා සෝමපාල – පී. එල්. ඒ. සෝමපාල ග‍්‍රැමෆෝන් ගී පොකුරේ ස්වර්ණ ජයන්ති සැමරුම යෙදුනු 1978 වසරේදී ඔවුහු යළිත් ඒවා නව රසවින්දනයකින් ප‍්‍රතිනිර්මාණය කරගනු පිණිස ෆෝර්චූන්ස් නාදසංකලනයේ රසමිහිර සොයා පැමිණියහ.

යමුනා යමුනා සෝබන ගංගා, දකුණු ලකේ අග නගරේ ගාලූ පුරේ සිරි, උඩරට කඳුකර සිරියා පරදන, උකුලේ කළේ හොවාලා, ලලිත කලා ඔපකරනා, ඉසුරුමුණි හි පැතලි ගලක… ඒ ගීත සමුච්ඡුයයි.

80 දශකයේ රූපවාහිනි දසුන් ආලින්දයේ මැවෙද්දී ලාංකීය ගීත ශ‍්‍රාවක දනන්ගෙන් අති බහුතරය මුල්වරට ස්ටැන්ලි පීරිස් ප‍්‍රමුඛ ෆෝර්චූන්ස් රූරටා ලාලිත්‍යය රසවින්දේය. එතැන් සිට සිංහල ගීත රසවතුන් ස්ටැන්ලි ඇතුළු පිරිස කවුරුන්දැයි මුහුණුවරින් පැහැදිලිව දැන හැඳින ගත්හ.

මහින්ද බණ්ඩාර – ලීඞ් ගිටාර්, රංජිත් පෙරේරා – ටෙනර් සැක්සෆෝන්, පේ‍්‍රමනාත් කොඩිතුවක්කු – තබ්ලා, මිල්ටන් පීරිස් – රිදම් ගිටාර්, පද්මසිරි රූපරත්න පැස්කුවෙල් – ලීඞ් ගිටාර්, කීර්ති පැස්කුවෙල් – ලීඞ් ගිටාර්.

අතිරේකව හේමපාල පෙරේරා – බටනලා, සරත් වික‍්‍රම – කී බෝඞ් – එකෝඩියන්ස්, නේසන් ත්‍යාගරාජා – ඩ‍්‍රම්ස්, සීනාර් සමත් – ඩ‍්‍රම්ස්, ශ‍්‍රී කාන්ත දසනායක – ඩ‍්‍රම්ස්, ක්ලෝඞ් ප‍්‍රනාන්දු – කී බෝඞ්, වයි. එම්. සුමනසිරි – සිතාර්, මැතිව් කෝල්ටන් – ඩබල් බේස්

70 සිට 80 දශකය දක්වා ෆෝර්චූන්ස් මෙහෙයුමේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

බටහිර පොප් සංගීත කණ්ඩායම් සංගීතය නම් වූ කුණාටුව ලෝ පුරා සංගීත ලෝලීන් කළඹා හමා යද්දී, ලක්බිමෙහි ද පොප් සංගීත කණ්ඩායම් පොකුරු මතුවෙද්දී, මිල්ටන් පීරිස් නම් වු සොඳුරු ගිටාර් වාදකයා විසින් ෆෝර්චූන්ස් කරළියට කැඳවා ගනු ලැබෙද්දී 1968 වසර ගතවෙමින් පැවතියේය. ඉන් දෙවසරක ඈවෑමෙන් ස්ටැන්ලි ද එහි සාමාජිකත්වය ලබා ගත් අතර ඉන් අනතුරුව පේ‍්‍රමනාත් කොඩිතුවක්කු, පද්මසිරි රූපරත්න සහ 1974 දී මහින්ද බණ්ඩාර ද අනතුරුව කීර්ති පැස්කුවෙල් ද එහි සෙවණ පතා ආහ.

සිය මුළු දිවියම එකහෙළා සංගීතය වෙනුවෙන් ඇපකැප කළ ස්ටැන්ලි පීරිස් රසවතාණන්ගේ සිරුර ඔහුට අකීකරු වූ අවස්ථාවන් නොවිරල වූයේ 90 දශකයේදීය. ඔහුගේ සැක්ස්ෆෝනයෙන් වැයුණු අමයුරු ගී වාද්‍ය මිහිර දෙදහස් දෙක වසරේ වප් මස දහතුන්වැනි දිනයේ දී යළි නොනැගෙන ලෙස ගොළු වී යද්දී මේ අපූරු සංගීතවේදියා දිවියේ එකුන්සැටවෙනිවිය පසුකරමින් සිටියේය.

පෙරදා මහ රෑ මා…

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඩලේ
මුහුණ හොවාගෙන ළසොවින් වැළපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඩලේ
උරහිස තැවරී වියැළුණු කඳුලින්
ඔබගේ සුනරැත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඩලේ
ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙනු මැන සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඩලේ
මුහුණ හොවාගෙන ළසොවින් වැළපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඩලේ
ගායනය: නන්දා මාලිනී
ගේය පද: සුනිල් ආරියරත්න

හිතින් මා නොසැලි ඉදිද්දි…

හිතින් මා නොසැලි ඉදිද්දි
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පිඩා
නොබිඳිනු මැනවී’

තනිව මා හඬනා වෙලාවේ
සැලී සැලී සීතේ
වැටුනු මහා වරුසා මතක්වී
නුඹ රැදි දෑසේ

හිතින් මා නොසැලි ඉදිද්දි
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පිඩා
නොබිඳිනු මැනවී

තවම මා නොදුටු සිනාකැන්
හමුනොවු යාමේ
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමි නිබඳේ

හිතින් මා නොසැලි ඉදිද්දි
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පිඩා
නොබිඳිනු මැනවී
ගායනය: ටී එම්. ජයරත්න
ගේය පද: පේ‍්‍රමකීර්ති ද අල්විස්

පසු සටහන –

සංගීතවේදී ස්ටැන්ලි පීරිස් යනු ප‍්‍රවීණයෙකි, ජගත් ගීත කලාවේ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. ඔහු අතිශය ජනප‍්‍රිය වූ සිංහල ගීතයන්හි ස්වර මාලාවන් සම්පූර්ණ ලෙස අනුකරණය කරමින් අනුවාදනයේ යෙදුනේ නැත. නන්දනීය අන්තර් වාද්‍ය ඛණ්ඩ සහ ස්වර ප‍්‍රයෝග යොදමින් ඒවා එක්තරා දුරකට නව්‍යතාවයට භාජනය කළේය. ඒ අන් කවර කරුණක් නිසා හෝ නොව ගී අනුවාදන රස ගඟුලේ කිමිද යන සංගීත ලෝලීන් හට උපරිම මිහිරක් අත්කරදෙනු පිණිසය.

(ස්තුති පූර්වක ප‍්‍රණාමය – ජ්‍යෙෂ්ඨ ෆෝචූන්ස් සාමාජික සංගීතඥ මහින්ද බණ්ඩාර මහතා)

ප‍්‍රභාත් රාජසූරිය

සිංහල ගීතයේ සැක්සෆෝනය ස්ටැන්ලි පිරිස්
advertistmentadvertistment
advertistmentadvertistment