සිංහල නවකතාකරුවාට වස්තු විෂය වූ කුල සංකල්පය  

433

විවිධ විචාරක මත අනුව නවකතාව වනාහි නවතාව ම ආත්ම කොටගත් සාහිත්‍යාංගයකි. මානව ජීවිත විවරණයෙහි ලා තත්ත්පරවන මෙම සාහිත්‍යාංගය පිළිබඳව විවිධ වූ නිර්වචන විවිධාකාර වූ විචාරකයන් විසින් ඉදිරිපත් කරනු ලැබුව ද ඒවා සියල්ල පූර්ණ නිර්වචන සේ පිළිගත නොහැකි වන්නේ මනුෂ්‍ය ජීවිතය මෙන්ම මෙම සාහිත්‍ය ශානරය ද අතිශය සංකීර්ණතාවක් උරුම කොටගෙන ඇති බැවිනි. රටින් රටට, කාලයෙන් කාලයට, ලේඛකයාගෙන් ලේඛකයාට තම අභිමතාර්ථය අනුව එය විවිධ ස්වරූප ගනී. හෙන්රි ජේම්ස්ට අනුව නව ප්‍රබන්ධ මන්දිරයෙහි එක් කවුළුවක් නොව, කවුළු දශලක්ෂයක් ඇත්තේය. එහි ඇති කවුළු සංඛ්‍යාව අනන්තාපරිමාණ වේ. විවිධ දර්ශනයන්ගේ අවශ්‍යතාව අනුව, පුද්ගල අභිප්‍රායේ බලවේග ප්‍රාකාරව ඉදිරියට මුණගැසෙන සෑම කවුළුවක්ම විවෘත කරනු ලැබ හෝ විවෘත කරනු ලබමින් පවතී. (නවකතා නිර්මාණය හා අවබෝධය) එම අර්ථකථනයෙන් පමණක් වුව ද නවකතාව නමැති සාහිත්‍යාංගයේ අනන්‍යතාව හඳුනාගත හැකි ය.

අර්නස්ට් ඒ. බේකර් නම් විචාරකයා ‘ඉංග්‍රීසි නවකතාවෙහි ඉතිහාසය. (The history of the English Novel) නම් ග්‍රන්ථයෙහි දී නවකතාව යනු මානව ජීවිතය විවරණය කෙරෙන කල්පිත, ගද්‍යමය ආඛ්‍යානයක් ලෙසින් හැඳින්වීය. හෙන්රි ජේම්ස්ට අනුව (The future of the Novel) නවකතාව වනාහි ජීවිතය පිළිබඳව පෞද්ගලික වූ ද පැහැදිලි වූ ද ප්‍රතිස්ථිතියකි. මෙවැනි නිර්වචනවලින් ගම්‍යමාන වන්නේ මානව ජීවිත විවරණයෙහිලා භාරධුර කර්තව්‍යයක් නවකතාව මගින් ඉටු කෙරෙන බව ය.

1905 වර්ෂය සිංහල නවකතා ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් වූවා සේ ම 1944 වර්ෂය ද සිංහල නවකතාව සම්බන්ධයෙන් ප්‍රමුඛ වර්ෂයකි. එනම් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ගම්පෙරළිය නම් වූ නවකතාව රචනා කරනු ලැබීම ය. ධනවාදයෙහි ආගමනයත් සමග සාම්ප්‍රදායික වැඩවසම් යුගය නියෝජනය කරනු ලබන දකුණු ප්‍රදේශයෙහි ප්‍රභූ පවුලක් කේන්ද්‍රකොට ගනිමින් මෙම නවකතාව රචිත අතර එය ප්‍රථම යථාර්ථවාදී නවකතාව ලෙසින්

හැඳින් වේ. එහි ඇතුළත් වෘත්තාන්තය දකුණු ප්‍රදේශයට එම පවුල් ඒකකයට පමණක් සීමා වූවක් නොව ලෝකයේ කොතැනක වුව ද සිදු විය හැකි සාර්වත්‍රික අගයකින් යුක්ත සිදුවීම් සමුදායක් වීම පාර්ශ්වයෙන් විශේෂත්වයක් උසුලයි. 1944 වර්ෂය මෙන් ම 1956 වර්ෂය ද සිංහල නවකතාව සම්බන්ධයෙන් විශේෂිත වර්ෂයකි. එනම් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ම ‘විරාගය. නම් වූ නවකතාව ලියනු ලැබීම ය. යුරෝපයෙහි බිහි වූ ‘අභිනවවාදය (Modernism) යන රීතීන් මෙමගින් ලාංකේය නවකතාවට එක් වූ අතර සොළොස් වසරක් පමණ යන තෙක් ම මෙම රීතියට සමානතා දක්වන රීතියක් ඔස්සේ නිර්මාණකරණයෙහි නිමග්න වීමට කතුවරුන් ප්‍රයත්න දරා ඇති බව මළගිය ඇත්තෝ (1059), හෙවනැල්ල (1960), පරාජිතයෝ (1960), අප්‍රසන්න කතාවක් (1962), වල්මත් වී හසරක් නොදුටිමි (1962, ගන්දබ්බ අපදානය (1964), මළවුන්ගේ අවුරුදු දා (1965) යනාදි නිර්මාණවලින් සනාථ වේ. මෙම නවකතාවල කැපී පෙනෙන විශේෂත්වය වන්නේ පුද්ගල චරිත කේන්ද්‍රකොට ගෙන තිබීම ය. එක් අතෙකින් විමසා බලනවිට මෙම ප්‍රවණතාව සිංහල නවකතා ඉතිහාසයෙහි එක්තරා හැරවුම් ලක්ෂයක් ලෙසින් හැඳින්විය හැකි ය. එනම් එතෙක් සමාජ විශ්ලේෂණය සඳහා යොමුව තිබූ නවකතාව පුද්ගල කේන්ද්‍රීය ප්‍රපංචයක් බවට පත් වීම ය. තවත් අතකින් දැවැන්ත කර්තව්‍යයක් යම් ලඝු මට්ටමකට පරිවර්තනය වීම ය. එහෙත් 70 දශකය සිංහල නවකතාව සම්බන්ධයෙන් විශේෂ වන්නේ සමාජ ප්‍රශ්න ගැඹුරින් සාකච්ඡාවන සමාජීය සම්භාවිතාවකින් යුක්ත කෘති කිහිපයක් ම මෙම යුගයේ දී ලියැවෙන බැවිනි. 1977 වසර විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වා දීමත් සමග පෙර නොවූ විරූ සමාජීය වෙනස්කම් රාශියක් සමග දේශපාලනික විපර්යාසයක් ද සිදු වූ අතර එවැනි සංසිද්ධීන් නවකතාකරුවන්ට වටිනා අමුද්‍රව්‍ය වූ බව නිසැක ය. ඒනිසා හරවත් සමාජ සංවාදයක් කරා සිංහල නවකතාව මෙහෙයවීමට මංපෙත් උදා වූ බවත්, එය සිංහල නවකතාව සම්බන්ධයෙන් සුබවාදී ප්‍රවණතාවක් බවත් දැක්විය හැකි ය.

එක් එක් කාල පරිච්ඡේදවල දී විවිධ ප්‍රවණතාවන්ගෙන් යුක්ත ධාරාවන් සිංහල නවකතාවට එක් වුව ද නවකතාකරුවාගේ විෂයපථය වන්නේ මානව හා සමාජ විශ්ලේෂණය සංකීර්ණ ලෙස සිදු කිරීම ය. සමාජයේ විවිධ සංස්ථාවන් හා ඒ හා සම්බන්ධිත මානව ක්‍රියාකාරකම්ල සියුම් මානව ගැටල. ජීවන මහෝඝයෙහි අනේක විධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ අපේක්ෂාභංගත්වයට පත් ගැහැන. පිරිමි හා ජීවන අරගලය, තාරුණ්‍ය හා සම්බන්ධිත ගැටල. විශ්වවිද්‍යාල සබැඳුණු ප්‍රශ්න, තරුණ නැඟිටීම හා අරගල, දේශපාලනික තතු යනාදී සුවිශේෂ වූ වපසරියක් බොහෝ නවකතාකරුවන්ට වස්තු විෂය වී ඇති බව නො රහසකි. එකී මානව ජීවිත විවරණ කර්තව්‍යයත් සමග සහසම්බන්ධතාවක් පවත්වන තවත් එක් වැදගත් ප්‍රපංචයක් ලෙස සිංහල ජනතාව අතර වත්මනෙහි පවා ශේෂව පවතින කුල සංකල්පය දැක්විය හැකි ය. එය ශ්‍රී ලාංකේය ජනතාවට පමණක් නොව, දකුණු ආසියානු කලාපයට ම වැදගත් වූ ප්‍රපංචයක් ලෙසින් දැක්විය හැකි ය. එම කුල සංකල්පය වස්තු විෂයකොට ගනිමින් සිංහල නවකතාකරුවන් විසින් මානව ජීවිතවල කවරාකාරයේ බලපෑමක් ඇතිව තිබේ දැයි සාකච්ඡා කිරීමට ප්‍රෝත්සාහී වී ඇත.

රැල්ෆ් පීරිස් විසින් ලියන ලද සිංහල සමාජ සංවිධානය නම් වූ කෘතියෙහි දක්වා ඇති පරිදි කුලය දකුණු ආසියානු සමාජයට වැදගත් වූ ප්‍රපංචයකි. මෙය ස්තරායන සාධකයක් ලෙස ද වැදගත් වේ. සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි ප්‍රධානත ම සංකල්පයක් වශයෙන් සමාජ හා මානව විද්‍යාඥයන්ගේ අවධානය කුලය වෙත යොමු වී ඇති ආකාරය ඒ පිළිබඳ ගොඩනැඟී ඇති අධ්‍යයනයන්ගෙන් පැහැදිලි වේ. මිනිස් වර්ගයා අතර කුලය යන ප්‍රපංචය පහළ වූයේ කෙසේ ද යන්න පිළිබඳව නිශ්චිත සටහනක් නොමැත. නීති නිඝණ්ඩුවල ජනවංශය වැනි පුරාතන ලේඛනවල සඳහන් වන අන්දමට කුල ක්‍රමයේ විභවය සිදු වූයේ අපේ මී මුත්තන්ගේ ප්‍රාග්තම දුෂ්ටත්වය නිසා ය. (1830)

කුලය යන සංකල්පයේ මිනුම් දඬු ගණනාවක් නියෝජනය වනබව ඇතැම් මානව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. දයා අමරසේකරයන් විසින් රචිත ශ්‍රී ලංකා සමාජය නම් ග්‍රන්ථයෙහි එම කරුණු දක්වා ඇත. එනම්,

  1. කුලය වනාහි අන්තර්ජන්‍ය දෙයකි.
  2. විවිධ කුලයන්ට අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.
  3. කුලය දූරාවලියක් දක්වන තත්ත්ව සමූහයකි.
  4. විවිධ සංදර්ශකයන්හි විශේෂයෙන් ම ආහාරය, ලිංගික කටයුත. චාරිත්‍ර යනාදිය ඇසුරින් උසස් කුලයක තැනැත්තකු පහත් කුලයක සාමාජිකයකු ස්පර්ශ කිරීමෙන් දූෂණය වීමක් සිදු වෙතැයි

පිළිගැනේ.

  1. කුලය සාම්ප්‍රදායික රැකියාවක් ආශ්‍රිත වූ දෙයකි.
  2. කුල පද්ධතිය සමස්තයක් වශයෙන් ගත්විට අභිමානය කේන්ද්‍රීය කරගත් පද්ධතියක් වශයෙනි.

කුලය යන වචනය සඳහා විශ්වකෝෂ හා ශබ්දකෝෂ වෙතින් ද අර්ථ උකහා ගතහැකි ය. සුමංගල ශබ්දකෝෂය ඒ සඳහා දී ඇති අර්ථය වන්නේ වංශය, ගෝත්‍රය යන්න යි. එසේ ම සංස්කෘත සිංහල ශබ්දකෝෂය කුල යන වචනයට අර්ථ කිහිපයක් ම ඉදිරිපත් කොට තිබේ. පවුල, ගෙදර, වංශය, පරපුර, පවුලක් වසන තැන, අසුන, වාසස්ථානය, උසස් පවුල, උසස් පරපුර, පට්ටිය, රැළ, සමූහය, ගොඩ, රංචුව යනාදි වශයෙනි. ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයෙහි ‘Caste’ යන වචනය සඳහා වර්ණය, කුලය, ගෝත්‍රය, වර්ගය, පක්ෂය යන අර්ථ සපයා ඇත. කාලිංග ටියුඩර් සිල්වා විසින් රචිත ‘කුලය පන්තිය හා වෙනස් වන ලංකා සමාජය. යන කෘතියෙහි

  1. කුල ක්‍රමය සමාජ සංවිධාන ක්‍රමයක් ලෙස
  2. කුල ක්‍රමය බල ව්‍යුහයක් ලෙස දක්වා ඇත.

භාරතයේ හෙවත් ඉන්දියාවෙහි ඉතා තදබල ලෙසින් කුල භේදය ව්‍යාප්තව පැවැති බව බුද්ධ කාලීන භාරතීය සමාජය අනුව හඳුනාගත හැකි ය. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යනාදි වශයෙන් සිව්වනක් කුල එකල ව්‍යාප්තව තිබූ බව සඳහන් වේ. මහා බ්‍රහ්මයාගේ මුවින් බ්‍රාහ්මණයන් උපන් බවත්, දෙබාහුවෙන් ක්ෂත්‍රියන් උපන් බවත්, දෙකලවයෙන් වෛශ්‍යයන් උපන් බවත්, දෙපතුලෙන් ශුද්‍රයන් උපන් බවත් පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් ය. ඒ අනුව උත්පත්තිය හා සබැඳුණු කුල ක්‍රමයක් එකල ඉන්දියාවේ වූ බව පැහැදිලි ය. එහෙත් සම්බුද්ධ වචනය අනුව පුද්ගලයකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ ඔහුගේ උපතින් නොව, කරන ක්‍රියාව අනුව බව වසල සූත්‍රයේ දී දක්වා ඇත.

න ජච්ඡා වසලෝ හෝති –
න ජච්ඡා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති –
කම්මනා හෝති බ්‍රාහ්මණෝ

  • (වසල සූත්‍රය)

එහෙත් භාරතයෙහි හෝ වේවා ලංකාවෙහි හෝ වේවා කුලය යන සංකල්පය දෙස අවධානය යොමු කිරීමේ දී පසක් වන්නේ එය මානව පීඩන උපකරණයක් සේ භාවිත වනබව ය. කුලවතුන් විසින් කුලහීන ජනයා මානසික වශයෙන් ඉතා පහත් තත්ත්වයකට ඇද දමන්නට එය සමත් ව ඇති බව ය. ඉන්දීය සමාජයෙහි කුල භේදයක ලක්ෂණ දක්නට ලැබුණ ද ලාංකේය සමාජයෙහි දක්නට ලැබෙන්නේ කුල ක්‍රමයක් පිළිබඳ ලක්ෂණ ය. වෘත්තිය මත කුලය පදනම් වන අතර උත්පත්තියෙන් ම වෘත්තිය පරම්පරාගතව උරුම ආකාරයක් දැකගත හැකි ය. මහනුවර යුගයෙහි කුල ධුරාවලියක් පිළිබඳ සඳහන් වන අතර එම කුල ධුරාවලියෙහි කුල විස්සක් නාමිකව අන්තර්ගත කර ඇත.

ගොවි කුලය – වී වගා කරන්නන්
බඩහැල කුලය – කුඹල්කරුවන්
රදා කුලය – රෙදි අපුල්ලන්නන්
හකුරු කුලය – හකුරු සාදන්නන් වශයෙනි.

ගොවි කුලය වරප්‍රසාදිත කුලය වූ අතර පහත් යැයි සම්මත කුල නියෝජනය කළ අයට කුලවතුන්ගේ නිවෙස්වල ඉදිරිපසින් ඇතුළු වීමට හෝ සම අසුන් ගැනීමට හෝ එක්ව හිඳ ආහාර අනුභව කිරීමට හෝ අවස්ථාවක් උදා නොවුණි. අතීතයේ දී කුල වශයෙන් වෙන් කළ ගම්මාන පවා පැවැති බව වත්මනෙහි ද පවතින රදාවාන, හාලි ඇළ, කරාපිටිය, කුඹල්ගම ආදි ග්‍රාම නාමයන්ගෙන් සනාථ වේ. එහෙත් දේශීය කුල ක්‍රමය පිළිබඳව දැඩි අවධානයක් යොමු නොකළ පෘතුගීසීන්, ලන්දේසීන් මෙන් ම ඉංග්‍රීසීන්ගේ ක්‍රියාකාරකම් හේතු කොටගෙන කුල ක්‍රමය මත පදනම්ව තිබූ සමාජ සංවිධානයන් බිඳ වැටුණු ආකාරය ඉතිහාසය මගින් හඳුනා ගතහැකි ය.

කුලේ කළ විකලේ
කුලේ කම් නැත මෙකලේ
බලේ දැක මුදලේ
කුලේ රිංගා ගියයි අකුළේ

යන ප්‍රකට ජන කවිය මගින් ප්‍රත්‍යක්ෂ වන්නේ ද කුලය අභිභවා ධනය ඉස්මත්තට පැමිණීම ය. කුලය, ධනය සහ බලය යන සාධක කරා ක්‍රමක්‍රමයෙන් විතැන් වීම කුමාරි ජයවර්ධන විසින් රචිත No bodies to somebodie කෘතිය මගින් ද අවධාරණය කොට ඇති ‘යටත්විජිත යුගයේ දී අරක්කු හා රේන්ද ව්‍යාපාරය ප්‍රමුඛ කොටගෙන දේශීය ධනේශ්වර පැලැන්තියක් බිහි වීම, දකුණු ප්‍රදේශයේ ප්‍රභූ කුලයක් ලෙසින් සැලකෙන කරාව කුලයේ ධනවතුන්ට මුදල්, මුහන්දිරම් තනතුරු ප්‍රදානය කිරීම, ඔවුන් විසූ නිවෙස් ‘වලව්. ලෙස හැඳින්වීම යනාදි සමාජ විපර්යාසයන් යුරෝපීයයන්ගේ ආගමනයත් සමග සිදු වූ අතර මෙම නව වලව් පැලැන්තිය උඩරැටියන් විසින් හඳුන්වන ලද්දේ ‘රේන්ද වලව්. ලෙස අවඥාසහතගතව ය. ඒ බව කපිල කුමාර කාලිංග විසින් රචිත ‘කන්දේ වීදිය. (2012) නවකතාවෙන් හඳුනාගත හැකි ය.

උඩරැටියන් අතර වූ කුලභේදය පිළිබඳව කිසියම් සංකථනයක් එම නවකතාවෙන් හඳුනා ගතහැකි ය. පාරම්පරික සිංහල වෙද මහතකු වූ සූර්ය දිවාකර මුතුමිණ මුහන්දිරම්ගේ ෆ්‍රැන්සිස් කොරනේරියස් ද සිල්වා වෙද මහතාගේ හා සිසිලියානාගේ එක ම පුතු වන ලොයිඩ් ද සිල්වා නුවර ප්‍රදේශයේ දී මුහුණ දෙන සිදුවීම් මගින් විද්‍යමාන වන්නේ කුලය හා සහසම්බන්ධිත සිදුවීම් ය. ලොයිඩ් ද සිල්වා නීතීඥ වෘත්තියට ඇතුළත් වන පළමු දිනයේ දී වුව ද ඔහුට හිඳ ගැනීමට පවා ආසනයක් නො ලැබෙන්නේ ඔහු පහතරැටියකු වූ බැවිනි. එහෙත් කතුවරයා එවැනි සාධකවලට ප්‍රමුඛත්වය නොදී හුදෙක් මනුෂ්‍යත්වය හා සමානාත්මතාව ඉස්මත්තට ගෙන එමින් කටයුතු කළ ලොයිඩ්ගේ චරිතය ප්‍රධාන වශයෙන් ඉස්මතු කර ඇති බව දැක්විය යුතු ය. එසේ ම ලාංගනී ප්‍රනාන්දු අබේදීර විසින් රචිත ‘කුණ්ඩාවාඩය. (1998) නවකතාවෙහි ද වංසය, වරිගය මහත් සේ තැකූ ගඟේ මූදේ කපලා දැම්මත් තම දියණිවරුන් බාල ‘කරාවට. නො දෙනවා යැයි උදම් ඇනූ යොහැන්නස් පීරිස් නොතාරිස් රාලහාමි නියෝජනය කරනුයේ ද ‘කරාව’ කුලය යි.

පුද්ගල සන්තානය සහ සමාජ ව්‍යුහය පිළිබඳව මෙලෙස කතුවරයාගේ අවධානය යොමු කිරීමෙන් පසක් වන්නේ සාහිත්‍ය හා සමාජය අතර පවත්නා අද්විතීය සබඳතාව යි. එසේ ම සාහිත්‍යය සමාජයෙන් වියෝ නොවී සමාජයේ කැඩපතක් වන අයුරු ය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත ‘සෙංකොට්ටං. (2012) නවකතාවෙහි කේන්ද්‍රීය කතා පුවත හා බද්ධව සිටින චරිත නියෝජනය කරනුයේ ‘රදා. හෙවත් රජක කුලය යි. එහි එන ප්‍රධාන චරිත වන වීරප්පුලි හේනයාල මල්මා රිදී, හීන් රිදී, පොඩිනාල නම්බු හේනයාල බබා හේනයා යනාදි චරිත මුහුණ දෙන බොහෝ සිදුවීම් කුලය කේන්ද්‍රීය සිදුවීම් ය. වීරප්පුලි හේනයාගේ මුනුපුරා වූ දල පොඩිනාගේ පුත්‍රයා වූ ද බබා හේනයා අධ්‍යාපනය ලැබීමට යෑමේ දී ලබන්නා වූ කටුක අත්දැකීම් හි ගාමක බලවේගය වන්නේ ද එහි එන වෙනත් බොහෝ සිදුවීම් හි බලවේගය වන්නේ ද ඔවුන් පහත් ජන්මයක උත්පත්තිය ලැබීම සහ කුලවත් යැයි සම්මත සමාජයෙහි මිනිස්වගට තරම් නොවන්නා වූ ක්‍රියාකාරකම් ය. එසේ ම රජක කුලය සමග සහසම්බන්ධිත වෙනත් නවකතා වශයෙන් ඇරැව්වල නන්දිමිත්‍රගේ මම ඔබ සිඹිමි (1976), කේ. ජයතිලකයන් විසින් රචිත රාජපක්ෂ වලව්ව (1980), විමල් උදය හපුගොඩ ආරච්චි විසින් රචිත ‘යකඩ සිල්පර. (2017) වැනි නවකතා දැක්විය හැකි ය. මෙම බොහෝ නවකතා මගින් විද්‍යමාන වන්නේ ‘කුලය. යන සංකල්පය මානව පීඩක උපකරණයක් ලෙසින් භාවිත වී ඇති බව ය.

කුල ආන්තීකරණයට ලක් වූ තවත් ජන කොටසක් ගැන කියවෙන මොහාන් රාජ් මඩවලගේ ‘ලොවීනා. (2013) නවකතාව මගින් විවරණය කෙරෙනුයේ රොඩී හෙවත් ගාඩි කුලය පිළිබඳව ය. ගාඩි කුලය හා සම්බන්ධිත වූ ඓතිහාසික මූලාශ්‍රය පරිශීලනය කරමින් මායා

යථාර්ථවාදය මිශ්‍රිත වූ රීතියක් භාවිත කරමින් රචකයා සාර්ථක ප්‍රයත්නයක් දරා ඇති බව දැක්විය හැකි ය. මෙහි කතා නායිකාව වන්නී පුණ්ණා හෙවත් පුන්නී ය. නවකතාව ආරම්භ වන්නේ පුණ්ණා නම් වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අන්තඃපුර ලලනාව කඩුගන්නාව උඩුගල්පිටියේ පුන්නී නම් රොඩී කාන්තාව බවට පත් වූ අනුවේදනීය කතා පුවත සිය මිනිපිරිය වූ පිංචීට පවසන අයුරෙන් ය. පුන්නී අවුරුදු 109ක් ජීවත් වූ අතර ඇයගේ මරණය එක් අතෙකින් සිය දිවි නසා ගැනීමකි. නවකතාවෙහි මුල සිට අග දක්වා ම විකාශනය වන ප්‍රබලතම චරිතය වූ කලී පුන්නී ය. එම චරිතය විශේෂ වන්නේ එය අකම්පික චරිතයක් වන බැවිනි. ජීවන මහෝඝයෙහි අනපේක්ෂිත සිදුවීම් සමුදායකට ගැහැනියක වශයෙන් ඇය අකම්පිතව, නොසැලී, අයෝමය ගැහැනියක සේ මුහුණ දෙන ආකාරය විස්මය ගෙන දෙන්නකි.

ඒ ඒ කාලවකවානුවල දී විවිධ දඬුවම් ලබාදෙනු පිණිස රජවරු අදාළ වැරදිකාර පාර්ශ්ව කුලයෙන් නෙරපා රොඩී රැහැනට පැන්නූ බවට ඓතිහාසික සාක්ෂි ඇත. විශේෂයෙන් ම රාජද්‍රෝහීන්, වංචාකාරයන් මෙම දණ්ඩනය ලැබූ බව සඳහන් ය. රොඩී රැහැනට පිටමං කළ බොහෝ දෙනා මරණය තෝරා ගත් බව පහළොස් වන සියවසේ සිංහල සමාජය පිළිබඳ තොරතුරු ලියූ රොබට් නොක්ස් සඳහන් කර තිබේ. නොක්ස් ඔහුගේ A Historical Relation of the Island Ceylon :1681) නම් කෘතියෙහි මෙම තොරතුරු සඳහන් කර ඇත.

ලාංකේය කුල ධුරාවලිය දෙස අවධානය යොමු කිරීමේ දී කුල පීඩනය මත ආන්තීකරණයෙහි උච්චත ම තලයෙහි සිටිනුයේ රොඩී හෙවත් හුලවාලි ජන කොටස් ය. රොඩී කුලය පිළිබඳව විවිධ පර්යේෂණ කළ විද්වතුන් දක්වා ඇත්තේ ද ඔවුන් ඉතා පහත්, අශුද්ධ කොටසක් වශයෙන් සමාජගත වී ඇති බව ය. ඉන්දීය ජන සමාජයෙහි ශුද්‍රයන්ට හිමි ව තිබූ ස්ථානය ලාංකේය සමාජ ස්තරයෙහි රොඩීන්ට හිමි ව තිබූ බව ලොවීනා මගින් ද සනාථ වේ. ඔවුන්ගේ පාද ස්පර්ශයෙන් හෝ කුමන අයුරකින් ස්පර්ශයක් සිදු වුවහොත් එය ඉතා අශුද්ධ සේ සලකා අතහැර දැමීම එකල සිරිත විය. ඒනිසා පුන්නීගේ පාද ස්පර්ශයෙන් අපවිත්‍ර වූ වෙල්යාය සහ පිපාසයට වතුර බිවූ ළිඳ යනාදි සියල්ල අතහැර දැමීමට පෙළඹෙන ආකාරය ලොවීනා මගින් හඳුනා ගතහැකි ය. එසේ ම පුන්නීගේ පුතු වූ සසිරා කුලවතකුට තම අප්‍රසාදය ප්‍රකාශ කිරීම සඳහා වී අහුරකින් කුලවතාගේ මුහුණට දමා ගැසීම හේතුවෙන් ඔහු ඉතා උග්‍රතර වධ බන්ධනයන්ට ලක් වෙයි. ඔහුට දඬුවම් දීම සඳහා කුලවත්තු අතවත් නො තබති. ඒ සඳහා ගෙන්වනු ලබන්නේ රොඩී ජනතාව ම ය. සසිරාට දඬුවම් ලබාදීමට යොදා ගනු ලබන්නේ උඩුගල්පිටියේ කුප්පායමේ රොඩීන් සහ කොස්තොටේ කුප්පායමේ රොඩීන් ය. කෙසේ නමුත් මෙම නවකතාවෙහි බොහෝ අවස්ථා මගින් කුලය බලාධිකාරයක් සේ ක්‍රියාත්මකවන අයුරු හඳුනා ගතහැකි ය. මොහාන් රාජ් විසින් රචිත සිය ප්‍රථම ‘මාගම් සෝලිය. හා ‘ආදරණීය වික්ටෝරියා. කෘතීන්ට වඩා සාර්ථක වූ කෘතියක් ලෙසින් මෙය හඳුන්වා දිය හැකි ය. මඩවලගේ මායා යථාර්ථවාදී රීතියෙහි යම් යම් මාත්‍රාවන් වෙනස් වූවා නම් මෙය සමාජ විද්‍යාත්මක අගයකින් යුත් විශිෂ්ට නවකතාවක් වනු නො අනුමාන ය.

ලියනගේ අමරකීර්ති විසින් (2013) වසරේ දී රචිත කුරුලු හදවත නම් වූ නවකතාවෙහි එන ප්‍රධාන චරිතය වූ දිනසිරි නියෝජනය කරනුයේ වළං කර්මාන්තය හා සම්බන්ධ වූ කුඹල් කුලය හෙවත් බඩහැල කුලය යි. ඇතැම් පෙදෙස්වල මේ කුලය ‘පණ්ඩිත කුලය. ලෙස හැඳින් වේ. දිනසිරි උපන් ගම වූ වළංගංගොඩ, කුරුලුගංගොඩ බවට පත් කරන්නට ඔහු දැඩි පරිශ්‍රමයක යෙදුණ ද අවසන ඔහුගේ සියලු අභිප්‍රායන් ව්‍යර්ථ වන්නේ ඔහුට අකල් මරණයක් හිමි වීමෙනි. විශ්වවිද්‍යාල පරිශ්‍රයෙහි දී පවා කුලය යන ප්‍රපංචය ඉස්මත්තට පැමිණීම දිනසිරි විවාහ වීමට අපේක්ෂිත භාග්‍යා ඉලංගකෝන් නම් යුවතියට ‘සකපෝරුව. යැයි අන්වර්ථ නාමයක් පට බැඳීමෙන් අනාවරණය වේ. මෙවන් අවස්ථා මගින් ලාංකේය සමාජ පරිස්ථිතියෙහි කුලය හා සම්බන්ධිත ජන විඥානය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි හඳුනා ගතහැකි ය.

කෙසේ නමුදු කුල ක්‍රමය අභියස අවිහිංසක විප්ලවයක් මෙහෙය වූ දිනසිරි අවසානයේ දී ලිබරල් ධනවාදී සමාජ රටාව හමුවේත් ජනප්‍රිය සංස්කෘතිය හමුවේත් අන්ත පරාජයක් අත්පත් කරගන්නා බව ඔහු ගේ අකල් මරණයෙන් සනාථ වේ. තවත් අතකින් විමසා බලනවිට බඩහැල කුලය නියෝජනය කළ දිනසිරිට ගොවි කුල රන්දිමා හෝ උඩරට භාග්‍යා ඉලංගකෝන් හෝ හිමි නොවීමෙන් කුලය යන සමාජ ප්‍රපංචය කිසියම් බලාධිකාරයක් ප්‍රකාශ කරන බවක් ද සිතිය හැකි ය. සෙංකොට්ටං, ලොවීනා, සක්කාරං, මම ඔබ සිඹිමි, රාජපක්ෂ වලව්ව යන නවකතාවන්ගෙන් කුල පීඩනය යන සාධකය තේමාත්මකව ඉස්මත්තට පැමිණිය ද කුරුලු හදවතෙහි අමරකීර්ති තේමාත්මක මානයන් කිහිපයක් ස්පර්ශ කොට ඇත. රාජපක්ෂ වලව්ව ද තත් යුගය පිළිබඳව ගැඹුරු සාහිත්‍ය සංකථනයක් කළ හැකි සාර්ථක නවකතාවකි. සෙංකොට්ටංහි බබා හේනයාට මෙන් රාජපක්ෂ වලව්වෙහි කථකයාවන කමලසිරිට අධ්‍යාපනය ලැබීම සඳහා හීන කුලය බාධාවක් නොවේ. ඔහුට හිනිමඟෙහි ඉහළට ම යෑමට අවස්ථාව උදා කර දෙනු ලබනුයේ නිදහස් අධ්‍යාපනය යි. එහි බල මහිමයෙන් රාජ්‍ය සේවයෙහි හිනි පෙත්තට ම යෑමට ඔහුට අවස්ථාව උදා වන අතර අතීතයේ දී රාජපක්ෂ වලව්වේ උදවිය නොතැකූ කමලසිරිට මහමුදලි රාජපක්ෂගේ ශයනාගාරයට ගොස් නිදිසුව ලැබීමට පවා හැකි වන්නේ ඔහු ලැබූ ඉහළ රාජ්‍ය නිලතලය හේතුවෙනි. ඒනිසා කුල සංකල්පය ඉතා සංකීර්ණ තලයක තබා සාකච්ඡාවට බඳුන් කළ හැකි තත්ත්වයක පවතින බව දැක්විය හැකි ය. තතු කෙසේ වුව ද ශ්‍රී ලාංකේය සමාජ පරිස්ථිතියෙහි අවශේෂ ව හෝ පවතින කුල සංකල්පය සිංහල නවකතාකරුවා අතර අගනා වස්තු බීජ සපයන අංගයක් බවට පත්ව ඇති අයුරුත්, බොහෝ විට එය බලාධිකාරයක් වශයෙන් ද මානව පීඩක උපකරණයක් වශයෙන් ද බහුතර වශයෙන් භාවිත වී ඇති බවත් හඳුනා ගතහැකි ය.

වැඩවසම් යුගයේ දී පන්සල් හා දේවාල ආශ්‍රිතව බෙර වැයූ, නර්තනයන් ඉදිරිපත් කළ පිරිස අයත් වූයේ ‘බෙරවා. නම් කුලයට ය. මෙම කුලය නියෝජනය කරනු ලබන කථානායකයකු කේන්ද්‍ර කොටගත් නවකතාවක් ලෙස චම්මින්ද වෙලගෙදර විසින් රචිත ‘සක්කාරං. (2010) නවකතාව දැක්විය හැකි ය. මෙහි එන ප්‍රධාන චරිත වශයෙන් සුබේ ගුරුන්නාන්සේ, ඔහුගේ බිරිඳ රතී, දියණිය ජයනි යන චරිත දැක්විය හැකි ය. චම්මින්ද තම කෘතිය සඳහා ප්‍රස්තුත කොටගෙන ඇත්තේ 19 වන සියවස් අග භාගයේ මහනුවර දිස්ත්‍රික්කයේ විසූ පාරම්පරික නර්තන ශිල්පියකුගේ කුටුම්භය ආශ්‍රිත කතාන්තරයකි. පාරම්පරික උරුමය උපන් කරුමයක් බවට පත් කරගත් කුලය යන සාධකය අභිභවා මතු දැක්වෙන කරුණු ද නවකතාවෙහි පෘෂ්ඨිය වියමන මගින් මතු කරගත හැකි ය.

● වරප්‍රසාදිත පන්තිය, වරප්‍රසාද අහිමි පන්තිය වෙත බලපවත්වනු ලබන බල ආධිපත්‍යයේ ස්වභාවය

● නිර්ප්‍රභූ පාන්තික ස්ත්‍රීත්වය කෙරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය

● සාම්ප්‍රදායික ගැමි දිවිය විපර්යාසයට ලක්වීම

● මිෂනාරී අධ්‍යාපන ක්‍රමයෙහි ව්‍යාප්තිය යනාදී කරුණු දැක්විය හැකි ය.

මෙම කෘතියේ වැඩවසම් යුගයෙහි එක් පාර්ශ්වයක් විවරණය කිරීමට කතුවරයා ප්‍රෝත්සාහී වෙද්දී එම සමාජ ස්තරයේ සැඟවී පවත්නා කුල හීනයන්ගේ දුක්ඛ දෝමනස්සයන් ද විවිධ පැතිකඩයන්ගෙන් විවර වී ඇති බව විශද වේ. ඒනිසා සිංහල නවකතාකරුවා අත කුල සංකල්පය විවරණය වීමේ දී ශ්‍රී ලාංකේය සමාජ ව්‍යුහය වෙත ද ප්‍රබල ආලෝක ධහරාවක් විහිදී ඇති බව ද දැක්විය හැකි ය.

ආචාර්ය චම්පා එස්. ද සිල්වා
භාෂා අධ්‍යයනාංශය,
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

සිංහල නවකතාකරුවාට වස්තු විෂය වූ කුල සංකල්පය  
advertistmentadvertistment
advertistmentadvertistment