සිංහල බෞද්ධ  පදනම අහවරද…?

561

දැනට උද්ගතව ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධ ප්‍රධාන ආගමික ක්‍රියාකාරිකයකු වන ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ ප්‍රකාශයක කොටසක් පමණක් උපුටා දක්වමින් ‘දැන් සිංහල බෞද්ධ ඉවරයැ’ යි පිරිසක් උදම් අනනු සමාජ මාධ්‍ය ජාලාවල දක්නට ඇත. කෙනකුගේ ප්‍රකාශයක් විකෘති වන සේ උපුටා දැක්වීමේ වරදට අමතරව, මෙහිදී අප අවධානය යොමු විය යුතු වඩාත් වැදගත් කරුණ වනුයේ මෙබඳු විකෘති කිරීමක් මගින් සමාජගත කිරීමට උත්සාහ දරනු ලබන මතවාදය කවරක්ද යන්නයි. සෝභිත හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ ගෝඨාභය රජයට තව දුරටත් සිංහල බෞද්ධ ඡන්ද පදනම නැති බවයි. එහෙත් මෙම ප්‍රකාශකයන් එය යොදා ගන්නේ ‘සිංහල බෞද්ධ ජාතිකත්ව හා ආගමිකත්ව පදනම තව දුරටත් වලංගු නොවේ, සිංහල බෞද්ධ ජන කොටස විසින් ම එය බැහැර කොට ඇත’ වැනි අදහස් සමාජගත කිරීමටය. එමගින් ඔවුන් වක්‍රාකාරයෙන් කීමට උත්සාහ දරන්නේ අර්බුදය සඳහා සිංහල බෞද්ධ ජාතිකත්වය හා ආගමිකත්වය වගකිව යුතු බවයි. සිංහල බෞද්ධ ස්ථාවරය හෙවත් ගෝඨාභයගේ සිංහල බෞද්ධ ඡන්ද පදනමත්, ගෝඨාභය රජයේ අසාර්ථකත්වයත් අතර මෙම විවේචකයන් යෝජනා කරන ආකාර හේතු-ඵල සම්බන්ධතාවක් තිබේද යනු විමසීම වටී.

 අර්බුදය පැහැදිළි වශයෙන් ම ආර්ථික හා දේශපාලන කරුණක් විනා ජාතික හෝ ආගමික කරුණක් නොවේ. ජනාධිපතිවරයා රුවන්වැලි සෑ මළුවෙහි දිව්රුම් දීම හා හෙතෙම තම සිංහල බෞද්ධ ඡන්ද පදනම පිළිගැනීමත් ඔහුගේ රජයෙහි අසාර්ථකත්වයට හේතු වූ ආර්ථික හා දේශපාලන තීරණත් අතර සම්බන්ධයක් නැත. පොහාර ප්‍රශ්නය, මහා පරිමාණ බදු අඩු කිරීම, වංචා හා දූෂණ වැනි මේ කිසිවක් ආගමිකත්ව හෝ ජාතිකත්ව ප්‍රශ්න නොවේ. එහෙයින් උද්ගතව ඇති අර්බුදය ජාතිකත්වය හා ආගමිකත්වය, විශේෂයෙන් ම, සිංහල ජාතිකත්වය හා බෞද්ධ ආගමිකත්වය හා සම්බන්ධ කොට දැක්වීම, රටේ ඇතිවී තිබෙන ප්‍රබල ප්‍රශ්නයක් යොදා ගනිමින් වෙනත් අරමුණක් ඉටු කර ගැනීමට දරන උත්සාහයක් බව පැහැදිලිය. එහි වරද වනුයේ එමඟින් උද්ගතව ඇති ප්‍රශ්නයෙහි සැබෑ හේතු කෙරෙන් අදාළ නැති කරුණක් වෙත අවධානය යොමු කරවීම මඟින් අවසානයෙහි ප්‍රශ්නයට විසඳුමක් ලැබීම වෙනුවට එය තවදුරටත් වියවුල් බවට පත්වීමය.

 සිංහල බෞද්ධ ජාතිකත්වයට හා ආගමිකත්වයට විරුද්ධ සටනෙහි මූලික අවධාරණයක් වන්නේ නිරාගමිකත්වයයි. එනම් ආගම මුළුමනින් ම පුද්ගල හා සමාජ ජීවිතයෙන් බැහැර කිරීම හෝ ආගම එය හා බැඳුණු සමාජ කාර්යයෙන් ඉවත් කොට හුදු පෞද්ගලික කාර්යයක් බවට පත්කිරීමය.

 නිරාගමිකත්වය පිළිබඳ සංකල්පය මුලින් ම යුරෝපයෙහි ඇති වනුයේ ක්‍රමයෙන් නැඟී ආ ධනවාදී ආර්ථික ක්‍රමයෙහි අවශ්‍යතාවක් ලෙසය. එහි දාර්ශනික පදනම සපයනු ලැබුවේ පුද්ගලකේන්ද්‍රීය චින්තනය මඟිනි. නිදහස් පුද්ගලවාදය යනුවෙන් හැඳින්වෙන මෙම චින්තනයට අනුව පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සමාජයේ සාමූහික අගයට වඩා සෑම විටම වැඩි වන අතර, ඒ අනුව පුද්ගල අභිලාෂ ඉටු කර ගැනීමට මුල් තැන ලැබේ. ඒ සඳහා කවර හෝ බාධාවක් තිබිය නොහැකිය. ආගමේ හා ආගම හා බැඳුණු සංස්කෘතියේ ඉරණම, ඒ අනුව, තීරණය වන්නේ පුද්ගලවාදී, ධනවාදී ක්‍රියාකාරීත්වය තුළය. ගෝලීයකරණය වෙමින් පවත්නා වර්තමාන ලෝකයෙහි සමහර ආගම් ප්‍රබල වන්නේත්, තවත් සමහර ආගම් දුබල වන්නේත් මේ අනුවය.

 ශ්‍රී ලංකාව වැනි සම්ප්‍රදායික ආගමික සමාජවලට නිරාගමිකත්වය පැමිණෙනුයේ රජය හා ආගම අතර අතීතයේ සිට පැවත ඇති සම්බන්ධය බැහැර කිරීමේ උපාය මාර්ගයක් ලෙසය. අප වැනි රටක ආගමිකත්වය හා ජාතිකත්වය සමග බැඳී ඇති සංස්කෘතිය නිරාගමිකත්වය හේතුකොටගෙන අස්ථාවර වූ පසු එම සමාජය රික්තයක් තුළ පවතින්නේ නැත. හිදැස පුරවනු ඇත්තේ ගෝලීයකරණය වූ ලෝක සන්දර්භය තුළ බටහිර සංස්කෘතිය මඟිනි. එහි ආගමික මුල් පිහිටා ඇත්තේ යුදෙව් – ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදාය තුළය. ඒ අනුව අවසාන විග්‍රහයේදී නිරාගමිකත්වය යනු හුදෙක් සම්ප්‍රදායික ආගම හා සංස්කෘතිය බැහැර කිරීම පමණක් නොව, ඒ වෙනුවට බටහිර ආගමික සංස්කෘතික සම්ප්‍රදාය ආදේශ කිරීමක්ද වේ. දෙකෙන් කවරක් වඩා හොඳද නැතහොත් නරකද යනු වෙනම කරුණකි. මෙහිදී සිදුවන්නේ ආගමික සංස්කෘති දෙකක් අතරින් එකක් තෝරාගැනීමක් විනා එකක් ප්‍රතික්‍ෂේප කිරීම පමණක් නොවේ.

 විවිධ අභිලාෂ හා න්‍යායපත්‍ර සහිත විවිධ පිරිස් අරගලය තුළ සිටින බව පෙණුනද, එයට සහභාගි වීමට ලංකාවේ නන් දෙසින් පැමිණි බහුතර ජනතාව අවුරුදු දෙකකට පෙර ගෝඨාභය බලයට පත් කළ 69 ලක්‍ෂයට අයත්ය. සිංහල බෞද්ධ මෙම පිරිස ගෝඨාභය රජය ප්‍රතික්‍ෂේප කිරීම සිංහල බෞද්ධ ඉවර වීමක් ලෙස අර්ථකථනය කිරීම එම පුළුල් සංසිද්ධිය වැරදි ලෙස වටහා ගැනීමකි. අවසන්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ පවත්නා බහුවිධ ජාතිකත්වය හෝ ආගමිකත්වය හෝ නොව දේශපාලනඥයන් විසින් ඒවා තම බලලෝභි පටු අභිලාෂ ඉටුකර ගැනීම සඳහා යොදා ගැනීමට තිබූ ඉඩයි. මෙම පුළුල් මහජන සහභාගිත්වය මඟින් පෙන්වා දෙනු ලැබුවේ, බරපතළ ආර්ථික දුෂ්කරතාවලින් අත්විඳි පීඩනයට විරුද්ධ වීමට අමතරව, මෙම පිරිස දූෂණය, වංචාව, පවුල්වාදය, අනීතිකබව, අදූරදර්ශී බව වැනි පසුගිය කාලයෙහි දිගටම දක්නට ලැබුණු අමනෝඥ දෑ පිළිබඳව දැඩි කලකිරීමකින් ද සිටින බවයි. ඉන් තවදුරටත් පෙන්වා දෙනු ලැබුවේ ජාතිකත්වය හා ආගමිකත්වය ඉක්මවා යන සදාචාරාත්මක පදනමක් මෙම මහජනතාව සතුව ඇති බවයි. මේ පිරිස හුදු ජාතිවාදී හා ආගම්වාදී පිරිසක් පමණක් වී නම් ඔවුන් කවර තත්ත්වයක් යටතේ හෝ ගෝඨාභය රජය සමග රැඳෙනු ඇත. එහෙත් එය එසේ නොවීය. රජයට විරෝධය පෑ ජනතාව සමග එකට සිටිමින්, රජය නිවැරදි මාර්ගය අනුගමනය කළ යුතු බවට මුලින් ම ප්‍රබලව බල කළේ මහනායක හිමිවරුන් සිව්නම ඇතුළු මහා සංඝයා වීම මෙහිදී ඉතා වැදගත්ය. සංඝයා සමස්තයක් ලෙස ආගම්වාදී හෝ ජාතිවාදී නොවන බවට මෙය නිදසුනකි. සියලු ආගම්වලට අයත් ජනතාවට අමතරව හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාමික පූජක පිරිස් ද මෙහෙණින්වහන්සේලා හා කන්‍යා සොහොයුරියන් ද අරගලය හා දිගින් දිගට ම රැඳී සිටිනු පෙනිණි. තම ආගමික සීමාවලින් ඔබ්බෙහි පිහිටි පුළුල් සදාචාර චින්තනයක් මඟින් මෙම පිරිස මෙහෙයවනු ලැබූ බව පැහැදිලිය. සාමූහික ආගමික ක්‍රියාකාරීත්වය මඟින් ප්‍රදර්ශනය වූ මෙම අන්තර් ආගමික සදාචාර විඥානය ජාතික වශයෙන් අතිශයින් වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. කළ යුතුව ඇත්තේ එම සදාචාරාත්මක අවදිබව ජනතාව තුළ තව දුරටත් තහවුරු කිරීමත්, කවරෙක් හෝ ආගම, ජාතිය හෝ සංස්කෘතිය තම දේශපාලන හෝ ආර්ථික අරමුණු සඳහා යොදා ගන්නේ නම් එය පිළිකුළෙන් ප්‍රතික්‍ෂේප කිරීමට අවශ්‍ය ශක්තිය වර්ධනය කිරීමත්, දේශපාලන ගැති බවෙන් ජනතාව නිදහස් කර ගැනීමට ක්‍රියා කිරීමත්ය.

 එහෙයින් ගැටලුව වන්නේ සිංහල – බෞද්ධ හෝ, දෙමළ – හින්දු හෝ, සිංහල/ දෙමළ ක්‍රිස්තියානි හෝ, ඉස්ලාමික හෝ සංස්කෘති නොවේ. සංස්කෘතිය ජන ජීවිතයෙහි අවියෝජනීය අංගයක් වන අතර, කෙනකුගේ ආගමිකත්වය හා ජාතිකත්වය එහි ලක්‍ෂණ වේ. එම සමස්ත සංස්කෘතියෙන් තොර පුද්ගලයකු පිළිබඳව සිතීම පවා දුෂ්කරය. එබැවින් සිංහල බෞද්ධ ඉවර කිරීම හෝ අනිකුත් එබඳු සංස්කෘති ඉවර කිරීම හෝ පිළිතුර විය නොහැකිය. කළ යුතුව ඇත්තේ ජන සමාජයෙහි සියලු සංස්කෘති ආරක්‍ෂා කරන අතර ම, එම සියලු ජන කොටස් තුළ පුළුල් සදාචාරාත්මක විඥානයක් පෝෂණය කිරීමය.

 ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින් තම ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගනිමින් ක්‍රියාකිරීම සෑම විට ම අභියෝගයක් වන අතර, මේ මොහොතෙහි එය වඩාත් ප්‍රබල අභියෝගයක් වී ඇත්තේ රටෙහි පාලක පිරිස් තම අදූරදර්ශී දේශපාලන චර්යාව මගින් ගෝලීය බලවතුන් හට තම න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අතිශයින් උචිත පරිසරයක් රට තුළ නිර්මාණය කොට ඇති බැවිනි. වර්තමාන ගැටලුසහගත තත්ත්වයට වගකිවයුතු සියලු දෙනා විසින් ජාතියට කරන ලද විශාල ම අපරාධය වනුයේ එයයි. මෙහි බැරෑරුම් බව අප සැම විසින් නිවැරදිව තේරුම්ගත යුතුව ඇත.

 අවසාන වශයෙන් : රාජ්‍ය තන්ත්‍රය විසින් දිගු කලක් මුළුල්ලේ කරන ලද සියලු ආකාර දූෂණ, වංචා, සොරකම් හා අනීතිකභාවය ද ඇතුළු ක්‍රියාකාරකම්වලට විරුද්ධව ජනතාව සාමූහිකව එක්රැස් වීමෙන් පැහැදිලි වනුයේ අභියෝගවලට මුහුණ දිය හැකි ආකාර ප්‍රබල සදාචාර විඥානයක් කෙරෙහි ජන මනස විවර වී ඇති අයුරුයි. මේ තත්ත්වය තුළ අනාගත ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයෙහි කවර ජාතියකට හෝ ආගමකට හෝ අයත් සොරුන්ට, මිනීමරුවන්ට, වංචනිකයන්ට, මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවන්ට හෝ තම පෞද්ගලික ආර්ථික ලාභය සඳහා දේශපාලනයෙහි හෝ පරිපාලනයෙහි යෙදෙන කවරෙකුට හෝ ඉඩක් තිබිය නොහැකිය. එමෙන්ම දේශපාලකයන්හට දූෂණයෙහි යෙදීම සඳහා මඟපෙන්වන හා අනුබල දෙන දූෂිත නිලධාරී තන්ත්‍රයක් ද තිබිය නොහැකිය. එහෙයින් මේ මොහොතෙහි කළ යුතු වන්නේ අප ඉදිරියෙහි ඇති ගෝලීය අභියෝග පිළිබඳව අවබෝධයකින් යුතුව, ශ්‍රී ලංකා රාජ්‍යය නිවැරදි මඟෙහි ගමන් කිරීම සහතික කරනසුළු ප්‍රබුද්ධ ආරක්‍ෂක පිරිසක් ලෙස ක්‍රියා කරනු වස් සදාචාර ජන විඥානය පෝෂණය කිරීම වේ.

මහාචාර්ය අසංග තිලකරත්න
 බෞද්ධ අධ්‍යයන පිළිබඳ සේවාර්ජිත
 දම්රිවි පදනමේ සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment