සිංහල බෞද්ධ සාහිත්‍යයේ එන අධියථාර්ථවාදී සංකල්ප

392

18 වන සියවසේ විචාරවාදයක් වශයෙන් ප‍්‍රසිද්ධියට පත් වූ සංකල්පයකි. සමාන්‍ය ලෝක යථාර්ථය අතික‍්‍රමණය කිරීමට සමත්වූ අධියථාර්ථවාදය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට මනා ආලෝකයක් ලබාදෙයි. වර්තමාන සාහිත්‍ය ශානරයන්ද අධියථාර්ථවාදයේ බලපෑමට හසුවී ඇත. 18 වන සියවසේ විචාරවාදයක් වශයෙන් ප‍්‍රකට වුවද අධියථාර්ථවාදයේ පවතින බව සඳහන් ලක්ෂණ පැරණි ජන කතාන්දරවලද අන්තර්ගත වී තිබේ. එහෙත් එ්වා ලියූ පුද්ගලයෝ අධියථාර්ථවාදී ලක්ෂණ අනුදත්තෝ නොවූහ.

යථාර්ථවාදයේ මූලික අරමුණ තත්ත්වානුකූල ලෙසත් තර්කානුකූල ලෙසත් මිනිස් සමාජය නිරූපණය කිරීමයි. යම් දෙයක සැබෑ තත්ත්වය, පවතින හෝ පැවතිය හැකි තත්ත්ව, යථාර්ථය බැව් සමාන්‍ය පිළිගැනීමයි. එනම්, අපගේ පංච ඉන්ද්‍රීයන්ට ගෝචර වන දේ පමණක් සැබෑ තත්ත්වය ලෙස පිළිගැනීමයි. නැතහොත් දැනට අත්දැකීමෙන් පිළිගෙන ඇති දේ හා සිදුවිය හැකි තවත් එවැනි දේවල්ය. යාථාර්ථය යනු සත්‍යයක් සේ විශ්වාස කළ හැකි වාස්තවිකත්වයෙන් යුතු ප‍්‍රපංචයකි. යථාර්ථය පිළිබඳ පවතින අදහස් බොහෝ දුරට උභයාර්ථී බවද හඳුනාගන්නට ලැබෙයි. එනම්, යථාර්ථය වනාහි ස්ථාවර හෝ ස්ථීර දෙයක් නොවීමයි. මෙකී සචලන ස්වභාවය කරණ කොටගෙන නවතම වස්තූන් ඉස්මතු කරමින් පැරණි දෑ දර්ශන පථයෙන් බැහැර කිරීමේ ශක්තියක්ද යථාර්ථය සතුවිය යුතුය. අධියථාර්ථවාදයේ හෝ ෆැන්ටසියේ හෝ ඇති ලක්ෂණ අතර ආශ්චර්යවත් සිදුවීම්, සතුන් කතා කිරීම, සමාන්තර ලෝක, නිර්මාණාත්මකව පිවිසිය හැකි ලෝක, සංකේතාත්මක නිරූපණ ආදිය හඳුනාගත හැකිබව ්බබ ීඅසබෙැබ පවසයි.

එකළ බුද්ධ ධර්මය අලලා ලියවුණු ‘බුත්සරණ’ හුදී ජන හදවත්හි බුඳුන් වහන්සේ කෙරෙහි භක්තිය ඇති කිරීමට සමත් වන ආකාරයෙන් රචිතය. විද්‍යාචක‍්‍රවර්තී නම් පඬිවරයා විසින් රචනා කරන ලද බුත්සරණ පොළොන්නරු යුගයට අයත් වෙයි.

ආලවකයා නැවත මේ මහණු වතුරෙන් යමාපියම්වහි මහ වැස්සක් වැස්සවීය. සියදහස් වළාකුළු නඟාගෙන වැසි නැඟීය. එ් වැස්සෙහි මහා ධාරානියාව තල්කඳ පමණ ධාරා පොදවිය… මහත් වූ රග්ගල් ඒ අඟුරු වැස්සෙහි පුපුරුසා ඇතැයි යන පරිද්දෙන් මහත් අඟුරුවැස බුදුන් කරා බස්සී, මාරයා මැවූ මහ ගින්නට පවා ශ‍්‍රී පාදය දික් කළ විගසම එ් ශ‍්‍රී පාදය විළිගෙන මහ පියුමෙක් නැංඟ.

බුත්සරණෙහි දමන කතා අතර ප‍්‍රධාන තැනක් හිමිවන ආලවක දමනය කතාවෙන් උපුටා දැක්වූ උක්ත පාඨයෙන් සාමාන්‍ය ජීවිතයේ ඇස

නොගැටෙන යක්ෂයෙකු පිළිබඳව සඳහන් වෙයි. එලෙසම ස්වභාව දහමේ අපූර්ව දායාදයක් වන වැස්ස නමැති සංසිද්ධිය විස්වාස කළ නොහැකි පරිදි ඉදිරිපත් කරයි. වැහි පොදයක් තල් කඳක් තරම් විශාල වූ බව, අඟුරු වැසි, ශ‍්‍රී පාදය දික්කළ විගස එම වැසි මහා පියුමක් බවට පත්වීම යන කාරණා තත්‍ය ලෝකයේ සිදු වෙතැයි විස්වාස කිරීමට අපහසු දේවල්ය. එකී කරුණු සැලකිල්ලට ගෙන බැලීමේදී බුත්සරණ කෘතියේ ඇතැම් කතා වස්තු අධියථාර්ථවාදී ලක්ෂණවලින් පෝෂණය වී ඇති බව පැහැදිලි වේ.

මෙතෙක් සිංහලෙන් ලියූ උසස්ම ගද්‍යය ගුරුළුගෝමීගේ ‘අමාවතුර’ බව පැවසීමෙහි වරදක් නොමැත. බුඳුන්වහන්සේගේ පුරිසධම්මසාරථී ගුණය එයින් වර්ණනා කරයි. පොළොන්නරු යුගයෙහි විරචිත අමාවතුර ග‍්‍රන්ථයෙහිද අධියථාර්ථවාදී ලක්ෂණ පවතින්නේ දැයි විමසා බැලිය යුතුය. ”එකල්හි මහබඹ තුන් යොජුන් පමණ සේසත් මුදුනට වැඩියැ සුයාම නම් දෙව්රජ තුන්ගව් පමණ වල්විදුණා සැලීය. සන්තුසිත නම් දෙව් රජ මිණි වටාපත් සැලීය. සක් දෙව්රජ එක්සිය විසි රියන් විජයතුරා සක පිම්බ.’’

ස්වස්ථාන දමන නම් පරිච්ෙඡ්දයේ සඳහන් වන මහා බ‍්‍රහ්මයා, දෙවියන් ආදී ඇසට නොපෙනෙන බලවේග මෙහි අන්තර්ගත කොට ඇත. බුදුරජුන්ගේ උත්පත්ති අවස්ථාවේ සාමාන්‍ය මිනිස් ස්වභාවයෙන් උපත ලැබුවේ නම් තුන්ගව් වල්විදුනා, එක්සිය විසි රියන් සක්ගෙඩි ආදිය මඟින් පූජා පැවැත්වීම යන්න විශ්වාස කළ නොහැකි දෙයකි. එලෙසම, ”එක් දවසක් වප් මඟුලක් වියැ… එසදැ බෝසතාණන් පිරිවරා හුන් කිරි මව්හු රජුගේ ඉසුරු බලන්නට ජවනිකායෙන් පිටත් වූහ. බෝසතාණන් ඇතුළු වටනැ කිසි කෙනකුන් නොදැක හොත් තැනින් නැඟී පලක් අවුළුවා වැඩ හිඳැ අනාපන් භවා පළමු ධෑන් නිපද වූ කල්හි….’’

ස්වසන්තාන දමන නම් පරිච්ෙඡ්දයේම සඳහන් වප් මඟුල් දා සිදුවීමෙහිද අධිමානුෂීය බලවේගවල ක‍්‍රියාකාරීත්වය නම්, අධියථාර්ථවාදී ලක්ෂණය අන්තර්ගත වෙයි. අහසෙහි පලක් බැඳ බවුන් වැඞීම යන්න තත්‍ය ලෝකයේ සිදුවිය හැකි දෙයක්ද යන ප‍්‍රශ්නය පැන නඟියි.

‘පූජාවලී’ නම් ධර්ම ග‍්‍රන්ථය මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර හිමි විසින් රචනා කරන ලදී. නව ගුණ පාඨයට අයත් අරහන් යන්න මාතෘකා කොටගෙන ක‍්‍රි. ව. 1266-1275 අතර කාලයේ රචනා කර ඇත. සාම්භාව්‍ය සාහිත්‍යයට අයත් වන පූජාවලියෙහිද අධියථාර්ථවාදී ලක්ෂණ අන්තර්ගත වන්නේදැයි විමසා බැලිය හැකිය.

”ඒ ඇමැතියන් අතින් බසිමියි පොළව බලා සිරිපතුල්සුං දිගු කළ සේක. එකනෙහි පොළව පළා මහ පියුමෙක් නැඟී සිරිපතුල් පිළිගත. එ කෙණෙහි පියුම්ගබ රාජහංස ලීලායෙන් වැඩසිට පැදුම් දිසාව බැලූ සේක… නැඟු නැඟු පත්ලෙන් පියුම් නංව නංවා සත් පියවරක් උතුරු දිගට වැඩ සප්ත පාදාන්තයෙහි සිට….’’

බෝසත් උත්පත්ති අවස්ථාවේ සිදු වූ ආශ්චර්යාත්මක සිදුවීමක් මෙහිදී පූජාවලි කතුවරයා ඉදිරිපත් කරයි. මවු කුසින් බිහි වූ විගස සත් පියුම් මත පියවර තබමින් ගමන් කිරීම යනු මනුෂ්‍ය දරුවකුට කළ නොහැකි දෙයකි. පොළව මත පාද තබමින් ගමන් කිරීමේදී පොළව පලාගෙන නෙළුම් මල් මතුවීමද ආශ්චර්යාත්මකය. විද්‍යාත්මකව ගෙන හැර බැලූ විට මෙවැනි දෑ සිදුවිය හැකිද යන ප‍්‍රශ්නය මතුවෙයි. පූජාවලියේ නිග්‍රෝධාරාම පූජා කතා පරිච්ෙඡ්දයහිද අධියථාර්ථවාදී ලක්ෂණයන්ගෙන් සමන්විත සිද්ධි රාශියක් හඳුනාගන්නට ලැබෙයි.

ඉක්බිත්තෙන් ස්වාම් දරුවෝ මේ රුවන් සක්මන දැක උදය පර්වතයෙන් පැනනැඟී ළහිරු ම`ඩලක් සේ මුහුදු රළ මැඩ එමදා ? ගුවන් කුසට පැන නැඟී සොළෙස් කලාවෙන් සම්පූර්ණ චන්ද්‍රයාගේ ශෝභා තමන් වහන්සේගේ පාදමූලයට හයාගෙන යුගාන්ත වාතයෙහි පවන් වේගයෙන් අහස් කුසට පැන නැඟී ඝන රන් මෙරක් සේ සවනක් රසින් දිලිහි දිලිහී ආකාශයට පැන නැඟී.

බුද්ධ චරිතය අධිමානුෂීකරණයට ලක්කර ඇති බව පැහැදිලි වේ. සාමාන්‍ය මිනිසකුට කළ නොහැකි ලෙස, විශ්වාස කළ නොහැකි, අතිශෝක්තියකින් කරුණු ගෙනහැර දක්වා ඇත. චන්ද්‍රයාගේ ශෝභාව තමන් වහන්සේගේ පාද මූලයට ගැනීම, අහස් කුසට පැන නැඟීම ආදිය සැබෑ ලෝකයෙහි සිදුවිය නොහැකි දේවල් ලෙස අත්දැකීමෙන් පැහැදිලි කර ගත හැකිය. එලෙසම බුදුන් වහන්සේ තම නෑදෑයින් ඉදිරියේ ප‍්‍රාතිහාර්යය බලය පෙන්වන අවස්ථාවද යථාර්ථයෙන් ඔබ්බට ගොස් කරුණු ගෙන හැර දක්වා ඇති ආකාරය හඳුනාගත හැකිය.

එකළ බුදුහු තෙජොකසික සමාපත්තියට සමවැද දසදහසක් සක්වල දුමවා සියලඟින්ම ගිනිකඳ හරනට පටන්ගත් සේක. දසදහසක් සක්වලම සියලඟින් දියනඳ හරනට පටන්ගත් සේක. දකුණු උරම`ඩලෙන් නාඹ තල්කඳ සා ගිනිකදෙක් නැෙඟයි. වම් උරම`ඩලෙන් නාඹ තල් කඳ සා දියකඳෙක් බස්සී, ගිනිකඳ නැඟි තෙනින් ගිනිකඳෙක් බස්සී, දියකඳ නැඟි තැනින් දියකඳෙක් බස්සී….

මේ ආකාරයට අධිමානුෂීය ලක්ෂණ පූජාවලියෙහි අන්තර්ගත වී ඇත. සාමාන්‍ය ලෝකයේ මනුෂ්‍ය ජීවියකුට සිදුකළ නොහැකි සිදුවීම් අන්තර්ගත වී ඇත. දහතුන්වන සියවස එනම්, දඹදෙණි යුගයේදී රචිත සිංහල ගද්‍ය ග‍්‍රන්ථයක් ලෙස ‘සද්ධර්මරත්නාවලිය’ හඳුනාගත හැකිය. ධර්මසේන නම් යතිවරයාණ කෙනකු විසින් විරචිත මෙම ග‍්‍රන්ථයට මූලාශ‍්‍ර වී ඇත්තේ බුද්ධඝෝෂ අටුවාචාරීන්ගේ ධම්මපදට්ඨ කතාවයි. සද්ධර්මරත්නාවලියේ මුගලන් මහතෙරුන් වහන්සේගේ කතා වස්තුවෙහි අධියථාර්ථවාදී ලක්ෂණ ගැබ්ව පවතී.

මහතෙරුන් වහන්සේ උන් වට කළ නියාව දැන කෙසි සිදුරෙන් නික්මලා කැමති තැනකට වැඩි සේක. සොරුන් එ දවස තෙරුන් වහන්සේ නොදැක අනික් දවසෙකත් අවුත් ගල්ලෙන රැකගත්හ. මහතෙරුන් වහන්සේ දැනලා ආදි දවස් ගිය මඟ රැක ගත්තයි අනික් මඟය යන කෙනෙකුන් මෙන් කැණි ම`ඩල පලාගෙන අහසට නැඟි සේක.

මුගලන් තෙරුන් වහන්සේද මවකට දාව උපන් මනුෂ්‍ය ජීවියෙකි. නමුත් උන්වහන්සේගේ ක‍්‍රියාකාරීත්වය අධිමානුෂීය ලෙස කතුවරයා ඉදිරිපත් කරයි. සොරුන් වට කළ විට එය දැනගෙන පළමුවර ශරීරය සූක්ෂමතාවට ලක් කොටගෙන කුඩා සිදුරකින් නික්මීමත්, දෙවන වර වැඩසිටි ගල්ලෙන සිට කැණිම`ඩල පලාගෙන පිටත්වීමත් තත්‍ය ලෝකයේ සිදු නොවන සේ සැලකෙත ක‍්‍රියාවන්ය.

මෙවැනි අධිමානුෂික ක‍්‍රියාකාරීත්වයන් බුදුරජුන්, බ‍්‍රාහ්මයන්, භික්ෂූන්, ශක‍්‍රයා, දෙවියන්, අසුරයන් හා විවිධ චරිත පාදක කරගනිමින් සද්ධර්මරත්නාවලියේ සඳහන් වේ. එහි එන බාහිය දාරුචිය තෙරුන්ගේ කතා වස්තුව ඊට සාක්‍ෂි දරයි. ”බාහියෝද අහසේ සිට කතා කරන මහබඹුන් දැක… කුමක්ද දේවතාණනි, මේ ලොව රහත්තු ඇද්දැයි විචාළේය. දේවතාණෝ රහතන් ඇති නියාව කියන්නේ හෙම්බා බාහියෙනි, තොප මේ සිටි තැනට උතුරු දිග සැවැත් නම් නුවරෙක් ඇත…’’ මිනිසෙකු වූ දාරුචිය සමඟ මහා බ‍්‍රාහ්මයා කතාබහ කරයි. ඔහුට උපකාර කරයි. මෙවැනි බ‍්‍රහ්ම, දේව, සහ මිනිස් සමාගමයෙන් නිරූපණය ඇතුළත් වන්නේ යථාර්ථය අතික‍්‍රමණය කරමිනි.

මිනිස් රුවින් සිටින්නකු සත්ත්ව රුවකට වෙනස්වීම හෝ දෙවියකු වැනි අමනුෂ්‍ය බලවේගයක් මිනිස් රුවකට මාරු වීම අධියථාර්ථවාදය අනුදත් ක‍්‍රමවේදයකි. මෙවැනි සිදුවීම් රූප විපර්යාස ලෙස හඳුනාගත හැකිය. සද්ධර්මරත්නාවලියෙහි බහුභාණ්ඩික නම් තෙරුන් වහන්සේගේ වස්තුවෙහි අතීත කතාව ඉදිරිපත් කරන අවස්ථාව එයට යෝග්‍ය නිදර්ශනයකි. ”රකුසාත් බෝසතුත් බුදුන් බව දැක සසරට බටුවා සේ විලට නොබස්නා නියාව දැක වල කර්මාන්තය කරන මිනිසෙකු ලෙසින් අවුත්, පින්වත තෙපි ගමන් විඩාය. විලට බැස ගිමම් නිවා නොනැන්නෙන් හැයිද?’’ රකුසා වල කර්මාන්තයෙහි යෙදෙන මිනිසෙකු ලෙසට වෙස් මාරු කිරීම තත්‍ය ලෝකයේ ආශ්චර්යාත්මක, අත්භූත, විස්වාස කළ නොහැකි සිදුවීමකි. මේ ආකාරයට සද්ධර්මරත්නාවලියෙහි ඇතැම් කතා විමසා බලන කල්හි අධියථාර්ථවාදී ලක්ෂණ හඳුනාගන්නට ලැබෙයි.

සමස්ත කරුණු දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ යථාර්ථවාදය හා අධියථාර්ථවාදය යනු එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ සංකල්ප දෙකක් නොවන බවයි. අධියථාර්ථවාදය යනු යථාර්ථය වඩා පැහැදිලි කරනු වස් යොදාගැනෙන සංකල්පයක් බව පැහැදිලිය. ඒ නිසා අධියථාර්ථවාදය යනු යථාර්ථවාදයෙහිම දිගුවක් බව හඳුනාගත හැකිය. නූතන සාහිත්‍ය කරුවා අධියථාර්ථවාදය සංකල්පයක් වශයෙන් ඉගෙනගෙන නිර්මාණ රචනයේදී යොදා ගනී. සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණකරුවා සංකල්පයක් වශයෙන් ඉදිරිපත් කිරීමටත් පෙර සිටම තත්‍ය ලෝකයේ සිදුනොවන සිදුවීම් උපයෝගී කර ගනිමින් සමාජ යථාර්ථය, පුද්ගල මානසික ස්වභාවය, සමාජ වැසියා සිදුකරන නොහොබිනා ක‍්‍රියාකාරකම් පමණක් නොව ධර්ම උපදේශ ලබාදීම සඳහාත් උත්සහ ගෙන ඇති ආකාරය පැහැදිලි වේ. බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය ආදී කෘති රචනයේදී මෙබඳු චරිත, අවස්ථා යොදාගෙන ඇත්තේ යුගයේ අවශ්‍යතා ලෙස සලකා විය හැකි බව නිගමනය කළ හැකිය. අනුරාධපුර පොළොන්නරු යුගවලදී, විශේෂයෙන් පොළොන්නරු යුගයේදී හින්දු ආගමේ බලපෑම හේතුවෙන් බෞද්ධ ආගම උසස් කොට දැක්වීමටත් ඉන් පසු යුගවල ජනයා දනට, පිනට සහ යහපත් හැසිරීමක් වෙත යොමු කිරීමේ අභිලාසයෙන්ද යුක්තව මෙලෙස අධියථාර්ථවත් චරිත, සිද්ධි යොදාගන්නට ඇති බව වටහා ගත හැකිය.

ආශ්‍රේය ග‍්‍රන්ථ:

කුලසූරිය, ආනන්ද. සිංහල සාහිත්‍ය- 1. බොරලැස්ගමුව: විසිදුණු ප‍්‍රකාශකයෝ, 1999.

දිසානායක, විමල්. නව විචාර සංකල්ප. බොරලැස්ගමුව: විසිදුනු ප‍්‍රකාශකයෝ, 2004.

සුරවීර, එ්. වී. සාහිත්‍ය විචාර ප‍්‍රදීපිකා. කොළඹ:

ගොඩගේ සහ සහෝදරයෝ, 1991.

නිලූෂා සඳමාලී
තාවකාලික කථිකාචාර්ය
සිංහල අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment