සිංහල සංවිධානවලට එරෙහිව ප්‍රබල කුමන්ත්‍රණයක්…

377

ජාතිකත්වය වෙනුවෙන් කතාකරන අය මර්දනය කිරීමේ සැලසුමක්

බොහෝ සංවිධාන දැනටමත් උදාසීන වෙලා

ජෙයරාජ් පලිහවඩන යස්මින් සුකාට රු.මිලියන 10ක් නඩු ගාස්තු ගෙවයි

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය මේ බිමෙන් අතුගා දමා දහතුන් වසරක් ගෙවී නිමා වන්නේ එළැඹෙන මැයි මස දහනව වැනිදාටය. එක් අතකට බලන කල එය දැන් මෙරට ඉතිහාසයේ කතාවකි. එහෙත් එවන් දීර්ඝ කාලයක් ගෙවී ගොස් අවසන්ව ඇතත් අදටත් එල්ටීටීඊය හෙවත් දෙමළ බෙදුම්වාදය යනු නිමා නොවුණකි.

එවැනි තත්ත්වයක් ඇති වන්නට බලපෑ කරුණු ති‍්‍රත්වයක් පෙන්වා දිය හැකිය. ඉන් පළමු වැන්න වන්නේ මෙරට දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නෙමියි කියමින් කි‍්‍රයාත්මක අතිශය ආත්මාර්ථකාමී වූ බෙදුම්වාදී දෙමළ දේශපාලනය ය.

දෙවැන්න ලෙස ප‍්‍රභාකරන් මිය ගියද අදටත් තම පැවැත්ම අරබයා සිහින ඊළමක් වෙනුවෙන් කොටි ත‍්‍රස්තවාදයට යළි පණ දෙන්නට වෙහෙසෙන විදේශගත කොටි ඩයස්පෝරාව පෙන්වා දිය හැකිය. එහි අති බහුතරය කි‍්‍රයාත්මකව සිටින්නේ තම තමන්ට විදේශයන්හි ලැබී ඇති රැකවරණය සුරක්‍ෂිත කරගනු පිණිසය.

ශී‍්‍ර ලංකාවේ එල්ටීටීඊය යන්න නාමික වශයෙන් හෝ පවත්නා තෙක් උතුරේ දෙමළ ජනතාවට කෙසේ වෙතත් එල්ටීටීඊ ත‍්‍රස්තවාදයේ නාමයෙන් රැකවරණ පතා විදේශගතව සිටින්නන්ට සැමදා රජ මඟුල්ය.

වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කර දහතුන් වසරක් ගෙවී ගොස් තිබියදීත් සිය ජාත්‍යන්තර භූ දේශපාලනික අරමුණු හමුවේ මේ බිම බෙදා වෙන්කර බෙදුම් ඉරි අඳින්නට වෙහෙසෙන ඇමරිකාව ප‍්‍රධාන ද්‍රෝහී විජාතික කඳවුර ‘එල්ටීටීඊ’ යන එම නිමා නොවුණු කතාවට හේතුවී තිබෙන අනෙක් කාරණය වී ඇත.

මෙහිදී ඇමරිකාව ප‍්‍රධාන ද්‍රෝහී විජාතික කඳවුර වෙනුවෙන් මේ බිමට එරෙහි විශාලතම කුමන්ත‍්‍රණය දියත් කරනුයේ එක්සත් ජාතීන් යැයි පවසමින් තලගොයා කබරගොයා න්‍යායෙන් ලෝකය ඉදිරියේ නිරුවත්ව කි‍්‍රයාත්මක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යැයි සඳහන් කළහොත් එය තිතටම නිවැරදිය.

මේ ගෙවෙමින් තිබෙන්නේ ද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ ගමේ භාෂාවෙන්ම කිවහොත් එකී හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන කාලයකි.

මීට දින කිහිපයකට පෙර ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරය සමඟ යළිත් ඊනියා වර්ග සංහාරයක් පිළිබඳ සඳහන් කරමින් කොටි හිතවාදී ඩයස්පෝරාව ජිනීවාහි යකා නටද්දී මානව හිමිකම් කොමසාරිස් මිෂලේ බැචලට් මහත්මිය ශී‍්‍ර ලංකාව දෙස බලා කොටි ඩයස්පෝරාවේ පදයට බෙරේ වැයීම ඇරඹීය.

මේ අන්දමට ගල් පැලෙන අසත්‍ය කතා පදනම් කරගෙන වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පරලොව යෑම හමුවේ එක්සත් ජාතීන්ගේ යැයි කියන මානව හිමිකම් කොමිසම තුළ සිටිමින් ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයාත්මක තුන්වන මානව හිමිකම් කොමසාරිස්වරිය වන්නේ මිෂලේ බැචලට්ය.

ශී‍්‍ර ලංකා හමුදා වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මරා දමමින් විජයග‍්‍රාහීව සමස්ත ශී‍්‍ර ලංකාවට සාමය දිනා දීමත් සමඟ ඇමරිකාව ප‍්‍රධාන විජාතික ද්‍රෝහීන්ගේ අරමුණු බිඳ වැටීම හමුවේ එදා එහි ආරම්භය ගනු ලැබුවේ නවනීදන් පිල්ලේ මහත්මිය විසිනි.

සිංහල සංවිධානවලට එරෙහිව ප්‍රබල කුමන්ත්‍රණයක්…

නවනීදන් පිල්ලේගෙන් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ එක පිල්ලේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේ කොමසාරිස් ධුරයට පත්වූ ෂෙයිඞ් අල් හුසේයින් ය. එයද එක්තරා අතකට ආශ්චර්යයකි.

තිස්වසරක් පුරා දෙකෝටියකට අධික ජනතාවකගේ දෝතට මරණය ගෙන දුන් පරාජය කළ නොහැකි යැයි ලෝකයම කී මහා ත‍්‍රස්තවාදියකු පරාජය කර අවසන් ගමන් යැවීම හමුවේ ශී‍්‍ර ලංකාව වැනි කුඩා රාජ්‍යයකට එරෙහිව එක්සත් ජාතීන්ගේ නාමයෙන් මෙතරම් කෙනහිලිකම් කිරීම ආශ්චර්යක්ම නොවන්නේද?

කෙසේ වෙතත් ගෙවී ගිය දහතුන් වසරක කාලය පුරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ මේ අන්දමට ශී‍්‍ර ලංකා විරෝධී කි‍්‍රයාදාමයක් සිදු වෙද්දී එයට එරෙහිව සකී‍්‍රයව නැගී සිටි පිරිසක්ද විය. ඔවුන් වූයේ විදේශගත දේශපේ‍්‍රමී ශී‍්‍ර ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානවල සාමාජිකයන්ය.

එහිදී ඔවුහු කොටි හිතවාදී ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරකම්වලට එරෙහි වූහ. එල්ටීටීඊයේ ම්ලේච්ඡුත්වය ලොවට දැකගත හැකිවන පරිදි ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ඡායාරූප ප‍්‍රදර්ශන පැවත්වූහ. රට වෙනුවෙන් සාධාරණය ඉල්ලා ජාත්‍යන්තරය ඉදිරියේ උද්ඝෝෂණවල නිරත විය.

එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරය කි‍්‍රයාත්මක මේ දිනවල ඒ කිසිවකුත් රට වෙනුවෙන් පෙනී සිටින්නට ජිනීවා නොගිය බව ආණ්ඩුව දන්නේද? හැටනව ලක්‍ෂයක වරම ගෙන උජාරුවෙන් රට කරවන්නට ගොස් මේ වන විට එලොව පොල් දැක සිටින වත්මන් ආණ්ඩුවට එවැනි දේ පිළිබඳ හැඟීම් දැනීම් තිබේදැයි විමසීමද එක් අතකින් බලන කල විහිළුවකි.

අද ආණ්ඩුව සිටින්නේ හොඳටම කරන්නට ගොස් අඤ්ඤකොරොස් වීය. නැළවිලි ගීයක් ඇසුනත් යකා වැහෙන තැනකය. සියල්ල දැන් හතර ගාතෙන් ඇද වැටී අවසන්ය.

ඇත්ත කතාව එසේ වුවද ඒ කිසිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම කොමිසමට හෝ එහි මහ කොමසාරිස් මිෂෙලේ බැචලට්ට අදාළම නැත. කුමන්ත‍්‍රණය අඛණ්ඩව කි‍්‍රයාත්මකය. කනගාටුවට කරුණ වන්නේ මෙවර එය එසේ කි‍්‍රයාත්මක වෙද්දී කිසිදු දේශපේ‍්‍රමී සංවිධානයක් ජිනීවාහි නොවීමය.

එයට කුමක් හේතු වූයේද? දොළොස් වසරක කාලයක් පුරා අඛණ්ඩව කි‍්‍රයාත්මක වූ එකී දේශපේ‍්‍රමී සකී‍්‍රය බව හිටිහැටියේ ඒ අන්දමට කඩා වැටුණේ කුමක් නිසාද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ශී‍්‍ර ලංකාවට එරෙහි වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙද්දී එයට එරෙහිව නැගී සිටින්නට බටහිර රටවල් රැසක දේශපේ‍්‍රමී ශී‍්‍ර ලාංකිකයෝ පසුගිය කාලයේ එහි ගියහ. ඒ අතර සිටි එක් ප‍්‍රධාන චරිතයක් වූයේ ලන්ඩනයේ සිටින වෘත්තියෙන් නීතිඥයකු වූ ජෙයරාජ් පලිහවඩන මහතාය.

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ දිනයේ සිටම ශී‍්‍ර ලංකා විරෝධී කුමන්ත‍්‍රණය දියත් වෙද්දී ශී‍්‍ර ලාංකිකයන් සමඟ අත්වැල් බැඳගත් ජෙයරාජ් පලිහවඩන මහතා රට වෙනුවෙන් බොහෝ දේ කළේය.

කොටි හිතවාදී ඩයස්පෝරාවට එරෙහිව සියලූ දෙනා සමඟ එක්ව සැලසුම් සහගතව නැගී සිටියේය. සෑම වසරකම මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට සති ගණනාවක් තිබියදී ජිනීවාහි සිටින විවිධ රටවල තානාපති නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වමින් සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමට ඔහු ප‍්‍රධාන කණ්ඩායම පියවර ගත්තේය.

මේ වැඩපිළිවෙළ එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවට මෙන්ම මානව හිමිකම් ඔස්තාර්ලා ලෙස පෙනී සිටිමින් අපාගත වන තරමේ වැඩ කරන විජාතික කුමන්ත‍්‍රණකරුවන්ට ද මහා හිසරදයක් බවට පත් වනතුරුම ජෙයරාජ් පලිහවඩන මහතා ඇතුළු පිරිස කි‍්‍රයාත්මක වූහ.

එකී සකී‍්‍රය බව හමුවේ දෙමළ ඩයස්පෝරාවට මෙන්ම විජාතික කුමන්ත‍්‍රණකරුවන්ට ද අවැසිව තිබුණේ කෙසේ හෝ දේශපේ‍්‍රමී සංවිධාන නිහඬ කිරීමටය. එසේ නොකළහොත් සියල්ල උඩුයටිකුරු වන බව ඔවුහු අවබෝධ කරගෙන සිටියහ.

මේ අතරේ පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට කාලය ළ`ගා වෙමින් තිබිණි. එහිදී ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවක් සාකච්ඡා වීමට නියමිතව තිබුණු අතර ඒ අනුව සාමාජික රටවල තානාපති නිලධාරීන් දැනුවත් කිරීම පිණිස ජෙයරාජ් පලිහවඩන මහතාගේ මූලිකත්වයෙන් ලන්ඩනයේ කි‍්‍රයාත්මක ‘ලන්ඩන් මුලපුරන්නන්’ හා කැනඩාවේ කි‍්‍රයාත්මක ‘ප‍්‍රතිපත්ති පර්යේෂණ සඳහා ඔන්ටාරියෝ’ යන දේශපේ‍්‍රමී සංවිධාන දෙක එක්ව වාර්තාවක් සකස් කරනු ලැබීය.

එමඟින් ශී‍්‍ර ලංකාවට එරෙහි කි‍්‍රයාත්මක විවිධ සංවිධාන පිළිබඳ පැහැදිලිව කරුණු පෙන්වා දී තිබිණි. ඒ අතර මේ බිමට එරෙහිව අතිශය වෛරී කි‍්‍රයාදාමයක යෙදී සිටින යස්මින් සුකා නමැත්තිය මූලිකව කටයුතු කරනු ලබන ‘ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය සඳහා වූ ව්‍යාපාරය’ නමැති සංවිධානය ද විය.

කැනඩාවේ වෙසෙන මහාචාර්යවරයකු වන නීල් හේවගේ මහතා විසින් මෙම වාර්තාව සකසා තිබුණු අතර ගිය වසරේ ජිනීවා සැසිවාරයට පෙර එම වාර්තාව විවිධ සාමාජික රටවල නියෝජිතයන්ට යොමු කරන අතරේ ජෙයරාජ් පලිහවඩන මහතා විසින් එය ඔහුගේ නමින් ඇති ‘ලන්ඩන් මුලපුරන්නන්’ නමින් වූ සංවිධානයේ වෙබ් අඩවියේද පළ කළේය.

එහිදී සිදුවූයේ කුමක්ද? වහාම කි‍්‍රයාත්මක වූ යස්මින් සූකා නමැත්තිය ශී‍්‍ර ලාංකිකයන් සකස් කළ එම විශේෂ වාර්තාව වෙබ් අඩවියක පළ කර සිය පෞද්ගලික දත්ත ආරක්‍ෂා කිරීමේ වගකීම පැහැර හැරියේ යැයි පවසමින් ලන්ඩන් මහාධිකරණය හමුවේ ජෙයරාජ් පලිහවඩන මහතාට එරෙහිව නඩු පැවරීය.

එකී නඩු පැවරීම සිදු කරනු ලැබුවේද ලන්ඩනයේ සිටින ඉහළම ජනාධිපති නීතිඥවරයා මාර්ගයෙනි. ඒ අනුව ජෙයරාජ් පලිහවඩන මහතාටද සිදුවූයේ ලන්ඩනයේ පිළිවෙත අනුව ජනාධිපති නීතිඥවරයකු මගින්ම අධිකරණයට කරුණු දැක්වීමටය.

පසුව සිය නීතිඥ මහතා මගින් ජෙයරාජ් පලිහවඩන මහතා යස්මින් සුකා එවන ලද එන්තරවාසියට පිළිතුරු ලබා දීමට කටයුතු කළ අතර එහිදී පිළිතුර දෝෂ සහිත යැයි කියමින් ලන්ඩනයේ නීතිය අනුව ඔහුට එරෙහිව තවත් නඩුවක් පැවරීමට යස්මින් සුකා කි‍්‍රයා කළේය.

එම නඩුවේදී අධිකරණය යස්මින් සුකා කළ කරුණු දැක්වීම පිළිගනු ලැබූ බැවින් නඩු ගාස්තු වශයෙන් යස්මින් සුකාට පවුම් 36000 ක මුදලක් ගෙවන ලෙස ජෙයරාජ් පලිහවඩන මහතාට නියෝග කළේය. එය ශී‍්‍ර ලංකා මුදලින් ගත් කල රුපියල් මිලියන දහයකටත් අධික වන්නකි.

අවසානයේ ලොව වටා සිටින දේශපේ‍්‍රමී ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ලද සහාය මත එකී පවුම් 36000 ක මුදලින් පවුම් තිස් දහසක් පමණ ජෙයරාජ් පලිහවඩන මහතා වෙනුවෙන් එකතු වූ අතර ඉතිරිය අතින් පියවා දැමීමට ඔහුට සිදු විය.

එහෙත් එය අවසානය නොවීය. යස්මින් සුකා ඔහුට එරෙහිව පැවරූ මුල් නඩුව තවමත් ලන්ඩන් මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් ඇත. යම් ලෙසකින් ජෙයරාජ් පලිහවඩන මහතා එම නඩුවෙනුත් පරාජයට පත් වුවහොත් ඔහුට යස්මින් සුකා වෙත ගෙවීමට සිදුවන මුදල පවුම් 50000 ද ඉක්මවා යනු ඇත.

එය ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් මිලියන පහළොවක තරම් විශාල එකකි. යම් ලෙසකින් එවැන්නක් සිදුවී පලිහවඩන මහතාට එය ගෙවාගත නොහැකි වුවහොත් ලන්ඩනයේ නීතිය අනුව ඔහුට තවදුරටත් එරට තුළ නීතිඥ වෘත්තියේ යෙදීමට නොහැකි වන්නේය. එසේම එරට නීතිය අනුව ඔහු දැනට පදිංචිව සිටින නිවස ද අහිමි වන්නේය. එවන් තත්ත්වයක් උදා වුවහොත් ජෙයරාජ් පලිහවඩන මහතාට සිදුවන්නේ රට වෙනුවෙන් පෙනී සිටින්නට යෑම හමුවේ වසර ගණනාවක් පුරා දුක් මහන්සියෙන් උපයාගත් සියල්ල අහිමිව නැවත මව්බිමට එන්නටය.

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහි වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙද්දී දේශපේ‍්‍රමීන් කිසිවකුත් සකී‍්‍රයව එහි නොසිටියේ ජෙයරාජ් පලිහවඩන මහතාට අත්වූ මේ ඉරණම හමුවේය. මේසා විශාල ගැටලූවකට මැදිවී සිටියදී ඔහුට ශී‍්‍ර ලංකා රජයෙන්ද පිහිටක් නොලැබුණේය.

රජයේ ප‍්‍රකාශය වූයේ එවන් කරුණකට නිල වශයෙන් මැදිහත් විය නොහැකියි යන්නය. මෙරට ව්‍යාපාරිකයන් මාර්ගයෙන් යමක් කිරීමට උත්සාහ ගන්නේ යැයි සඳහන් වුවද මෙතෙක් ඔහු වෙනුවෙන් සිදුව ඇති දෙයක්ද නැත. ඒ අනුව ශී‍්‍ර ලාංකික දේශපේ‍්‍රමීත්වය කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඉදිරියේ කඩා වැටෙනු හැර වෙන කුමක් සිදු වන්නද?

මේ කියන යස්මින් සුකා යනු වරක් ජාතික බුද්ධි ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන්ද මුග්ධ ප‍්‍රකාශයක් සිදු කළ චරිතයකි. එහිදී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා නම් ඇයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ලැබීය.

යස්මින් සුකා ඒ ආකාරයටම ලන්ඩනයේ ලියාපදිංචි ඇගේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය නමැති සංවිධානය හරහා මෙරට හමුදා ප‍්‍රධානීන් 57 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. එකී හමුදා ප‍්‍රධානීන් අතර වත්මන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ද වන්නාහ.

ඇගේ මේ කි‍්‍රයාදාමය අනුව අවශ්‍ය නම් යස්මින් සුකා මෙන්ම කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවටද දැනෙන ලෙස ඇයට එරෙහිව ලන්ඩනය තුළදී එරට නීතිය අනුව කි‍්‍රයමාර්ග ගැනීමට එම හමුදා නිලධාරීන්ට පැහැදිලි හැකියාවක් තිබෙන බව එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝ පවසති.

එය සිදු කිරීමට හොඳටෝම අවස්ථාව තිබෙන බව ඔවුහු සඳහන් කරන්නාහ. එසේ කරන්නේ නම් එය දේශපේ‍්‍රමී ශී‍්‍ර ලාංකිකයන්ට විශාල ශක්තිය වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙන්නාහ. එහෙත් තවමත් එවැන්නක් සිදු කෙරෙන බවක් පෙනෙන්නට නැත.

යුද හමුදාපතිවරයාට සහ ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව ඇය සිදු කර ඇති ප‍්‍රකාශ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ශීී‍්‍ර ලංකා රජයට වුවද නිල වශයෙන් යස්මින් සුකාට එරෙහි නෛතික කි‍්‍රයාමාර්ග ගැනීමේ හැකියාව ඇත. එහෙත් එසේ සිදු වන්නේද නැත. ඉතින් විජාතික කුමන්ත‍්‍රණ හමුවේ ශී‍්‍ර ලංකා දේශපේ‍්‍රමීත්වය අඩපණ වී යෑම හැර මේ තත්ත්වය තුළ අන් යමක් සිදු විය හැකිද?

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමත් සමඟ එක්තරා තරුණයෝ පිරිසක් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය හමුවේ මේ රටේ උතුරේ දෙමළ ජනතාවට සිදුව ඇති විනාශයේ තරම විදහා දැක්වෙන සත්‍ය මත පදනම් වූ කෙටි වීඩියෝ වාර්තා වැඩසටහන් කිහිපයක් සකස් කරනු ලැබූහ.

එහෙත් යූ ටියුබ් අන්තර්ජාල අඩවිය හරහා පිළිගැනීමක් ඇතිවන පරිදි එම වීඩියෝ දර්ශන පළ කරවීමට පවා දේශපේ‍්‍රමී සංවිධානයක් සොයා ගැනීමට ඔවුනට දුෂ්කර විය. සෑම තැනකින්ම ලැබුණ පිළිතුර වූයේ එවන් දේ කිරීමට ගොස් විදේශයන්හිදී නෛතික ගැටලූවලට මැදිවිය නොහැකි යැයි යන්නය. ඔවුන් එහිදී එකම උදාහරණය ලෙස පෙන්වා දුන්නේ අද ජෙයරාජ් පලිහවඩන මහතාට අත්ව ඇති ඉරණමය.

ඒ අනුව බලන කල මේ කියැවෙමින් තිබෙන්නේ විදේශගත ශී‍්‍ර ලාංකික දේශපේ‍්‍රමීන් සුරක්‍ෂිත කරනු පිණිස රජයේ පාර්ශ්වයෙන් වහා ප‍්‍රබල මැදිහත් වීමක් සිදුවිය යුතු බව නොවේද? එහෙත් රට වෙනුවෙන් පෙනී සිටින්නෙමුයි කියමින් බලයට පැමිණි වත්මන් රජයෙන් එවැනි සැලසුම්සහගත වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වේ දැයි සැකසහිතය.

මේ මොහොත වන විට ආණ්ඩුවේ සියල්ල කඩා වැටී තිබෙන ආකාරය දෙස බලන විට අපට එවැනි සැකයක් ඇතිවීම සාධාරණය. එහෙත් එවැන්නක් සිදු නොවුණහොත් ජය ගන්නේ මානව හිමිකම් මුවාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා මේ රටට එරෙහිව කි‍්‍රයාත්මකව ඇති ඇමරිකාව ප‍්‍රධාන විජාතික කඳවුරේ කුමන්ත‍්‍රණය.

විදේශගත දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදී වුවමනාවන් සහ දේශද්‍රෝහීන්ගේ අරමුණුය. එදාට අප උපන් මේ රටට අත්වන ඉරණම කුමක් විය හැකිද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment