සිංහල සාහිත්‍යයේ යුග කතාව – අනුරාධපුර යුගය

135

පණ්ඩිත පළන්නොරුවේ විමලධම්ම නාහිමි එදා ලියන ලද්දකි

පණ්ඩුකාභය රජතුමාගෙන් ඇරැඹෙන අනුරාධපුර යුගය අවසන් වන්නේ සතර වැනි සේන රජතුමාගෙනි. ශත වර්ෂ 13ක් පමණ වන දීර්ඝ කාලයක් එයට ඇතුළත්ය. ඒ කාලය තුළ පැවැති සිංහල සාහිත්‍යය පිළිබඳව විමසීමක් කළහොත් එය දික් ලිපියක් වීම නොවැළැක්විය හැක්කකි. මේ ලිපියෙන් කැරෙනුයේ ලුහුඬින් තොරතුරු දැක්වීමයි.

බුද්ධ ධර්මය මෙරටට ගෙනඊමෙන් පෙර අනුරාධපුරය රාජධානිය වශයෙන් පැවැති අවුරුදු 150ක් පමණ වූ කාලය තුළ සිංහල සාහිත්‍යය කෙසේ පැවැතියේ දැයි දැක්වීමට සාක්ෂියක් සොයාගත නොහැකිය. ලේඛන කලාව භාවිතා නොවූ එහෙයිනි. පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර නගරය නිර්මාණය කළ විදියෙන් පෙනෙන්නේ ලිවීමක් නොතිබුණ ද උසස් සාහිත්‍යයක් පරිශීලනය කළ සිංහලයන් විසූ බවයි. පණ්ඩුල වැනි ත්‍රිවේදයෙහි පරතෙර ගිය බමුණු ගුරුවරු ඔවුන්ගේ ආචාර්ය වූහ. උගත්කම ශ්‍රවණයෙන් ලැබුණේය. සාහිත්‍ය වාචෝද්ගත විය. එහෙත් ඒ අවධියෙහි ලියූ වාක්‍ය කණ්ඩයක්වත් දකින්නට නැත.

හෙළ අටුවාව

සිංහල සාහිත්‍යයට ඇතුළත් කළ හැකි පොතක නමක් අසන්නට ලැබෙන්නේ බුද්ධ ධර්මය ගෙන ඊමෙන් පසුවය. ඒ පොත නම් හෙළ අටුවාව ය. මිහිඳු මහරහතන් වහන්සේ අටුවා සහිත ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙහි ගෙන ආ බව ද, ඒ අටුවා ඒ කාලයේදී සිංහල ජනතාවගේ ප්‍රයෝජනය පිණිස සිංහල භාෂාවට පෙරළුෑ බව ද අටුවාවෙහිම ලියන ලද්දේ හෙළ අටුවාව පාලියට නොපෙරළන ලද්දේ නම් නැතහොත් අභාවයට නොගියේ නම් ඉතා පැරණි සාහිත්‍ය ග්‍රන්ථයක අයිතිකරු ලෙස සිංහල ජාතියත් ගණිනු ලබයි. හෙළ අටුවාව නොමතති වුවද එයින් ශේෂ වූ වාක්‍ය කිහිපයක් එකල ගද්‍ය පද්‍ය රචනා කළ සිංහල භාෂාවේ තත්ත්වය විදහා දක්වයි.

ක්‍රිස්තු පූර්ව 3 වැනි, 2 වැනි ශත වර්ෂවලට අයත් වෙස්සගිරි ගුහා ලිපිවලින් ඒ බව පැහැදිලි වේ.

මේ ශිලා ලිපිවලින් හෙළ අටුවා සාහිත්‍ය ලියූ භාෂාව අනුක්‍රමයෙන් වෙනස් වන අයුරු පෙනෙයි.

ගල්ගුහා ලිපිවලට අනතුරුව ලැබෙන්නේ ගල් පර්වතයේ කොටන ලද ලිපි ය. බොහෝ සෙයින් වැව් අසල දක්නට ලැබෙන මේ ලිපිවල ඒ වැව කැණවීමේ ප්‍රවෘත්තියත්, එය විහාරයක් සන්තක කොට දුන් බවත් සඳහන් වේ. ගල්ලෙන්වල කෙටූ ලිපිවලට වඩා මේ ලිපිවල සාහිත්‍යයට අයත් අගය උසස් වේ.

පුත්තලමේ සිට සැතපුම් 16ක් ගිනිකොන දිගින් පිහිටි කෝණිගල නමැති පර්වතයෙහි කොටා තිබෙන ලිපිය මේ වර්ගයට අයත් වේ. එයින් කොටසක් මෙසේයි. “පරුමක අබය පුත පරුමක තිශහ වපි අවගිරික තිශ පවතහි අගත අනගත චතුදිශ ශගශ දිනෙ. දෙවනපි මහරජ ගාමිණී අබයෙ නියතෙ අවනගරකට (තවි) රිකිය නගර කච පරුමකඅබය පුතපරුමක තිශ නියත පිතෙ රජහ අගත අනගජ චතුදිශ ශුගශ” නමින් අබයෙ යන නමින් මෙහි දැක්වෙන්නේ ක්‍රි.ව. යට 43දී රජු පැමිණි වළගම් අබා රජතුමායි. ත්‍රිපිටකය පළමුවැනි වරට ග්‍රන්ථාරූඪ කරන ලද්දේ මේ කාලයෙහිය. හෙළ අටුවාව ද මේ කාලයේම ග්‍රන්ථාරූඪ කරන ලද්දේ යැයි සිතිය හැකිය. එහෙයින් එකල සිංහල සාහිත්‍යයේ ස්වරූප දැනගැනීමට ඉහත සඳහන් කළ ශිලා ලිපි ඛණ්ඩය උපකාර වන්නේය. මෙසේ තුන්වැනි ශත වර්ෂය තෙක් සිංහල සාහිත්‍යයේ පරිනාමය දැක්වීමට උපකාර වන්නේ ගුහා, පර්වත, ස්තම්භ ශිලා ලේඛනයි. මේ ලේඛනවල රස භාව දෙකෙන් නිරන්තර වූ කාව්‍ය රසාස්වාදනයට හැම පසකින්ම තුඩුදෙන වාක්‍ය විරල වුවත් එකල ව්‍යවහාරයෙහි පැවැති වාක් සම්ප්‍රදායයෙන් ද ව්‍යාකරණ ලක්ෂණයෙන් ද අනූන වූ වාක්‍ය සම්ප්‍රයෝගය දක්නා ලැබෙන හෙයින්, ඒවා සාහිත්‍ය ලේඛන ලෙස පිළිගැනීමේ දෝෂයක් නැත.

සීගිරි පද්‍ය

දම්පියා අටුවා ගැටපදයෙහි පහත දැක්වෙන ශොධි වාක්‍ය ඛණ්ඩ හෙළ අටුවා පාඨ ලෙස හැඳින්වේ.

  1. ‘අප්පමාදහි පණ්ඩිතාහ ජෙනෙ (අප්‍රමාදයෙහි දක්ෂ ජනයා)
  2. යන්ත හක්කරක ලනක සිප (කැටපොල්ලෙහි ගල්කැට තබා විදින ශිල්පය)

මේ පාඨවලින් පෙනෙන්නේ සාහිත්‍ය භාෂාව මාගධි ප්‍රාකෘතයෙන් බිඳුණු ශබ්දයෙන් පෝෂිත බවය.

හෙළ අටුවාව හැරුණු විට අනුරාධපුර යුගයෙහි පැරණි සාහිත්‍යය වශයෙන් දැක්විය හැක්කේ ශිලා ලේඛන ය. ක්‍රිස්තු පූර්ව තුන්වැනි ශත වර්ෂය වනවිට ලේඛන කලාව සිංහලයන් අතර පැතිරී තුබුණේය. මගධයෙහි ව්‍යවහාරයට පැමිණි ‘බ්‍රහ්මි’ යයි දැන් හැඳින්වෙන අකුරු මෙහි පැමිණියේ එදා රහතුන් සමගමය. බ්‍රාහ්මී අක්ෂරයෙන් ගුහාවල ලියවන ලද ශිලා ලේඛන ඉතාම පැරණිය. ඒ ලිපිවල සඳහන් පාඨ බොහෝ සෙයින් එකිනෙකට සමානය. එක් එක් ගුහාව සෙනසුන් කොට දුන් තැනැත්තාගේ නම ද ඇතැම් තැන පරපුර හා තනතුර ද මුලින්ම දැක්වේ.

ක්‍රිස්තු වර්ෂයෙන් සිවුවැනි ශත වර්ෂයේ පටන් නවවැනි ශත වර්ෂය දක්වා ලියැවුණු ශිලා ලේඛන ද ස්වල්පයෙකි. ඒ කාලයෙහි සිංහල සාහිත්‍යයේ තත්ත්වය සොයා ගැනීමට උපකාර වන්නේ අතරින් පතර ලැබෙන ශිලා ලේඛනත්, ඇතැම් සීගිරි පද්‍යත් පමණෙකි. සිංහලයන් අතර උසස් සාහිත්‍යයක් තුබූ බවට පැරණි සීගිරි පද්‍යයෝ සාක්කි කියති.

ක්‍රිස්තු වර්ෂයෙන් 10 වැනි ශත වර්ෂය අනුරාධපුර යුගයේ අවසාන භාගයයි. ඒ කාලයෙහි රචනා කරන ලද ග්‍රන්ථ කීපයක් අදත් විද්‍යමානය. පස්වැනි කාශ්‍යප මහරජාණන් විසින් රචනා කරන ලද දම්පියා අටුවා ගැටපදය ඉන් එකකි. සි බ වළඳ හා සිඛ වළඳ විනිසද, සියබස් ලකර ද මේ කාලයටම අයත්ය. මේ ග්‍රන්ථකරණයෙන් පසු සිංහල සාහිත්‍යයේ නැඟීම පටන් ගත්තේය. එහෙයින් අනුරාධපුර යුගයේ අවසාන භාගය සිංහල සාහිත්‍යයේ ආරම්භය ලෙස සැලකිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment