සිංහල සිනමාවට වසර 75යි… මුල්ම චිත්‍රපට ප්‍රදර්ශනය කඩවුණු පොරොන්දුව නොවේ…

293

1947 ජනවාරි 21 වැනිදා ‘කඩවුන පොරොන්දුව’ තිරගත කිරීමෙන් සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ලංකාවේ ආරම්භ කළ බව සත්‍ය කතා පුවතක්. නමුත් ඊට පෙර 1922 වර්ෂයේ දී විනාඩි 10ක කෙටි වාර්තා චිත‍්‍රපටයක් මෙහි ප‍්‍රදර්ශනය කර ඇති බව සිනමා ඉතිහාසය සෙවීමේදී සොයාගත හැකි විය.

ධර්මපාලතුමා සහ ප‍්‍රභූන් පිරිසක් කල්කටාවේ ධර්මරාජිත විහාරයට සර්වඥ ධාතු වැඩම වීමේ උළෙලක් ආශ‍්‍රිතව විනාඩි 10ක කෙටි චිත‍්‍රපටයක් මෙහි ප‍්‍රදර්ශනය කර ඇත. ඒ ප‍්‍රදර්ශනය කර ඇත්තේ මරදානේ පැලස් නමින් වූ සිනමා හලක ය.

  • නිහඬ චිත‍්‍රපටි යුගය

ඉන්පසු දඹදිව මහබෝධි සමාගමේ උත්සවයකට බෞද්ධ භික්‍ෂුන් වහන්සේ සහභාගි වීම අළලා තැනුණ ‘රීල්’ එකක කෙටි නිහඬ චිත‍්‍රපටයක් 1925 වර්ෂයේදී මරදාන ටවර් සිනමාහලේ දී ප‍්‍රදර්ශනය කර ඇත. එය හඳුන්වා ඇත්තේ ‘මහබෝධි උළෙල වාර්තා චිත‍්‍රපටය’ යනුවෙනි.

1925 වර්ෂයේදී තිරගත කළ ‘රාජකීය වික‍්‍රමය හෙවත් ශාන්තා’ පළමු වෘත්තාන්ත සිංහල නිහඬ චිත‍්‍රපටය ලෙස සැලකේ. මෙහි නිෂ්පාදකයා වූයේ ලංකාවේ ප‍්‍රකට චිත‍්‍රපට ශාලා හිමියකු මෙන්ම ප‍්‍රදර්ශකයකු වූ හා වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ. පී. ඒ. පී. නූර්බායි ය. වැල්ලවත්තේ ‘ටිවොලි’ පසු කලෙක ‘ප්ලාසා’ සිනමාහල අයිතිකරු ඔහු ය.

‘රාජකීය වික‍්‍රමය’ කථාව, කැමරාකරණය හා අධ්‍යක්‍ෂණය ඉන්දීය ජාතික ගුප්ත නම් වූ කෙනෙකි. එම්. සාර්ලිස් හා පී. එස්. ප‍්‍රනාන්දු චිත‍්‍ර අංශය භාරව වැඩ කර ඇත. එහි ප‍්‍රධාන නළුවා වූයේ එවකට ආනන්ද විදුහලේ ඉගෙනුම ලැබූ මෙනරික් විශ්වවිද්‍යාලයට තේරුණු එන්. එම්. පෙරේරා ය. පසු කලෙක ඔහු වාමාංශික දේශපාලනයේ ප‍්‍රබල නායකයකු වූ අමාවි එන්. එම්. පෙරේරා මහතා ය. සිනමාවට ප‍්‍රථමයෙන් ම එක් වූ දේශපාලකයා ඔහු ය. ඔහු රඟපෑවේ රාජ කුමාරයකුගේ චරිතයකි. එම අවධියේ විශාල මුදලක් වූ රුපියල් සියයක් සතියකට වරක් ඔහුට ගෙවා ඇත. රාජ කුමරියගේ චරිතය නිරූපණය කර ඇත්තේ ලංසි තරුණියක් වූ සිබිල් ෆිට් ය. ඇයට අසුන්පිට යෑමට නොහැකි නිසා ටවර් හෝල් නළුවකු වූ එරික් වීරසේකර යොදා ඇත.

කථාවේ දුෂ්ටයා ලෙස රඟපා ඇත්තේ ගේ‍්‍රෂන් පෙරේරා ය. එන්. පී. ඞී. ඇල්බට් සිල්වා, ඬේවිඞ් මනුවෙල්, රෙජිනෝල්ඞ් පෙරේරා, එරික් වීරසේකර, එන්. ආර්. ඩයස්, පර්සි යන ටවර් හෝල් නළුවන් ද රඟපා ඇත. ඔවුන්ට ගෙවා ඇත්තේ සතියකට එක් අයකුට ශත 25 බැගින් වනසේ ය.

ඉන්දියාවේ ජනප‍්‍රිය වූ ‘රෝයල් ඇඞ්වෙන්චර්’ චිත‍්‍රපටයේ කතාව අනුව රාජකීය වික‍්‍රමය ගොඩනඟා ඇත. චිත‍්‍රපටයට අවශ්‍ය රජ මාලිගාව බම්බලපිටියේ ශාන්ත ජෝශප් පටුමෙඟ් ඉදිකරන ලදි. කලින් පුහුණු කළ අතර සාර්ථක වීමෙන් පසු එම ගොඩනැඟිල්ල තුළදී කැමරාගත කිරීම් සිදුකර ඇත. පෙම් ජවනිකා කැමරා ගතකර ඇත්තේ කෝට්ටේ දියවන්නා ඔය අසබඩ දී ය.

අධ්‍යක්‍ෂ ගුප්ත අතින්ම කැමරාගත කිරීම් සිදුවිය. රජ මාලිගාව ගොඩනැඟිල්ල පිටුපස ඉදිවූ චිත‍්‍රාගාරයක චිත‍්‍රපටයේ ඉතිරි කොටස් අවසන් කරන ලදි. මෙයට අවශ්‍ය වූ චිත‍්‍ර එම්. සාර්ලිස් සහ පී. එස්. ප‍්‍රනාන්දු දෙදෙනා කරන ලදි. රසායනාගාර කටයුතු සඳහා ඉන්දියාවට ගෙන යන ලද අතර මුල් පිටපත බොම්බාය, මදුරාසිය හා තවත් ප‍්‍රධාන නගර කිහිපයක ප‍්‍රදර්ශනය කර ජනප‍්‍රිය විය. ඒ හේතුවෙන් සිංගප්පූරුව හා රැන්ගුන් නගරවල ද ප‍්‍රදර්ශනය කර ඇත.

ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීම උදෙසා නූර්බායි විශාල බලාපොරොත්තුවකින් කටයුතු කළත්, කුමක්දෝ අභිරහස් සිදුවීමකින් චිත‍්‍රපටය විනාශ වී ඇත. නූර්බායි ට චිත‍්‍රපට නිපදවීම එපා විය.

1933 මැයි 19 වැනිදා කොටහේන ’ගෙයිටි’ සිනමාහලේදී ‘පළිගැන්ම’ නමැති දෙවන නිහඬ සිංහල චිත‍්‍රපටය රීල්ස් දෙකකට සීමා වී ප‍්‍රදර්ශනය කර ඇත. ‘කළම්බු මූවි ක්ලබ්’ නිෂ්පාදනයක් විය. කතාව, දෙබස්, නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂණය ඩබ්ලිව්. දොන් එඞ්වඞ් ය. ඔහු එවකට ප‍්‍රසිද්ධව සිටියේ සංගීතඥයකු ලෙසිනි. එකල චිත‍්‍රපටය සඳහා රුපියල් දාහක් වැයකර ඇත.

1933 වෙසක් උත්සවය වෙනුවෙන් අතිරේක දර්ශනයක් ලෙසින් ‘ගෙයිටි’ සිනමාහලේ ප‍්‍රදර්ශනය කර ඇත. කොළඹ සැණකෙළිවල (කානිවල්) පූජනීය ස්ථානවල ඉංග‍්‍රීසි චිත‍්‍රපට සමග අතිරේක චිත‍්‍රපටයක් ලෙසින් ‘පළිගැනීම’ ප‍්‍රදර්ශනය කළත් වියදම් කළ මුදල්වත් උපයා ගැනීමට බැරි වූයෙන් දොන් එඞ්වඞ් ද චිත‍්‍රපට නිපදවීම අත් හැරියේ ය.

1946 වනතුරු සිංහල චිත‍්‍රපටයක් නිපදවීමට පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් තැත් කළ ද නොහැකි විය. එස්. එම්. නායගම් නමැති සූර ද්‍රවිඩ වෙළෙඳ ව්‍යාපාරිකයා 1945 දී මදුරාසියේ ‘චිත‍්‍රකලා මූවිටෝන්’ නමින් සිනමා සමාගමක් සහ තවත් චිත‍්‍රාගාරයක් ඉදිකර විය. රාජසිංහ රජුගේ කතාව චිත‍්‍රපටයට නැඟීමට සිතුන ද අධික වියදමක් දැරීමට සිදුවන බැවින් එම අදහස අත්හැර දැමූහ.

  • අශෝකමාලා තිරයට
සිංහල සිනමාවට වසර 75යි… මුල්ම චිත්‍රපට ප්‍රදර්ශනය කඩවුණු පොරොන්දුව නොවේ…

සරවනමුත්තු හා නායගම් යන දෙදෙනා රාජසිංහ කථාව අත්හැරිය ද සිංහල චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීම අත්හලේ නැත. ඞී. වී. සෙනෙවිරත්න, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, ජේ. ඞී. ඒ. පෙරේරා හා යූ. ඞී. පෙරේරා යන පිරිස සරවනමුත්තු සහ නායගම්ගේ මෙම අදහසට උදව් දුන්හ. නායගම්ගේ ඉලක්කය වූයේ ‘අසෝකමාලා’ කථාව චිත‍්‍රපටයට නැඟීමට ය.

සිලෝන් තියටර්ස් සමාගමේ බයිස්කෝප් ප‍්‍රදර්ශන කටයුතු භාර නිලධාරි එම්. තුරෙයිසිංහම් ටවර් හෝල් නිළි පිරිසක් රැගෙන මදුරාසියේ නැප්චූන් චිත‍්‍රාගාරයට ගියෝය. ඒ 1946 දී ය. ඔවුන්ගේ අරමුණ වූයේ ‘දිව්‍ය පේ‍්‍රමය’ චිත‍්‍රපටය නිපදවීමට ය. එකල ලංකාවේ ජනප‍්‍රිය වූ හින්දි චිත‍්‍රපටයයක් වන ‘ලයිලා මජ්නුන්’ චිත‍්‍රපටය. මන්දගාමීව කෙරුණු එය ප‍්‍රදර්ශනය වූයේ හතරවැනි චිත‍්‍රපටය ලෙසිනි. චිත‍්‍රකලා මුවිටෝන් සමාගම පුවත්පත්වල දැන්වීම් පළ කරමින් චිත‍්‍රපට කතා තරගයක් පැවැත් වීය. එයින් බලාපොරොත්තු ප‍්‍රතිඵල අත් නොවූයෙන් ශාන්ති කුමාර් සෙනෙවිරත්න ලියන ලද ‘අසෝකමාලා’ කථාව චිත‍්‍රපටය සඳහා තෝරා ගන්නා ලදී. මෙහිදී ශාන්ති කුමාර් අධ්‍යක්‍ෂ තනතුර ඉල්ලා සිටි අතර නායගම් ඊට අකමැති වීම නිසා ඇතිවුණු මතභේදය මත ශාන්තිකුමාර් සෙනෙවිරත්න තම කතා පිටපත රැගෙන පිටව ගියහ. ඒ නිකම් ම නොවේ. කවදා හෝ මම ම අධ්‍යක්‍ෂණය කරමින් අසෝකමාලා නිපදනවා යැයි කියමිනි. මෙවැනි කටයුතු සිදුවෙමින් පවතින කාලයේ මීගමුවේ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න පිහිටුවා ගෙන තිබූ ‘මිනර්වා’ නාට්‍ය කණ්ඩායම දිවයින පුරා යමින් ‘කඩවුන පොරොන්දුව’ නාට්‍යය ප‍්‍රදර්ශනය කිරීමේ කටයුතුවල නියැළෙමින් සිටිය හ. 800 වැනි වරටත් ‘කඩවුන පොරොන්දුව’ වේදිකාගත වෙද්දී ඔහු ද එය බලන්නට ගොස් ඇත. එස්. එම්. නායගම්, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සමග ‘කඩවුන පොරොන්දුව’ චිත‍්‍රපටය ගතකිරීමේ සාකච්ඡාවක් පැවැත්විණි.

‘කඩවුන පොරොන්දුව’ චිත‍්‍රපට ගතකිරීමෙන් තමන්ට පමණක් නොව, තම ශිල්පීන්ට ද අවැඩක් වන බැවින් ඔහු යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. නාට්‍යය නතර කරන කාලය තුළ තමන්ටත්, තම නාට්‍ය පිරිසටත් වැටුප් අවශ්‍ය බව ද චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වෙමින් පවතිද්දී ප‍්‍රථම වටයේ ප‍්‍රදර්ශනයෙන් ආදායමෙන් හතරෙන් කොටසක් අවශ්‍ය බව ද කීවේ ය. නායගම්ට අවශ්‍ය වූයේ ශාන්ති කුමාර්ට රිදවමින් කෙසේ හෝ චිත‍්‍රපටයක් නිපදවීමට ය. බී. ඒ. ඩබ්ලිව් ට අවශ්‍ය වූයේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන තමන් සහ තම පිරිස රැකගැනීමට ය. බී. ඒ. ඩබ්ලිව්ගේ යෝජනාවලට නායගම් එකඟ විය.

අනතුරුව බී. ඒ. ඩබ්ලිව්. සහ ඔහුගේ පිරිස ද සමගින් නායගම් ද මදුරාසියට ගියේ 1946 ජූලි මස අවසන් සතියේ දිනක ය. ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය සඳහා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඞී ජයමාන්න, රුක්මනී දේවි, ස්ටැන්ලි මල්ලවආරච්චි, පීටර් පීරිස්, හියුගෝ ප‍්‍රනාන්දු, බර්ට‍්‍රම් ප‍්‍රනාන්දු, මීරියම් ජයමාන්න (ළමා නිළිය), ඩබ්ලිව්. බාලසූරිය, ජේ. ඒ. බී. පෙරේරා, තිමෝතියස් පෙරේරා, ජෝ ජයමාන්න, විසිඩෝර් ෆොන්සේකා රඟපෑමට තෝරාගෙන තිබුණ ද හියුගෝ ප‍්‍රනාන්දු නොහොත් හියුගෝ මාස්ටර් ගියේ ගීත ප‍්‍රබන්ධය සඳහා ය. බාබර් චරිතය සඳහා ගිය එඞී යාපා කෙටි නිවාඩුවක් ගෙන ලංකාවට පැමිණ වේලාවට ඉන්දියාවට යෑමට නොහැකි වූයෙන් නාට්‍ය නිෂ්පාදනය, නළු නිළි පුහුණුව ගැන මනා දැනීමක් තිබූ හියුගෝ මාස්ටර් බාබර් චරිතය නිරූපණය කරමින් නළු නිළි කැළට එක්වීමේ අවස්ථාව ද උදා කර ගත්තේය.

සිනමාව ගැන අබමල් රේණුවක් තරම් දැනුමක් නොතිබුණ බී. ඒ. ඩබ්ලිව්. ඉන්දියාවට යනවිට නාට්‍යයක් රඟදැක්වීමට අවශ්‍ය තිර පමණක් නොව, ඒවා උඩ යට යවන උණ බම්බු පවා රැගෙන ගොස් ඇත. නාට්‍ය ප‍්‍රදර්ශනය කරන අවස්ථාවේදී කැමරාගත කරනු ඇතැයි බී. ඒ. ඩබ්ලිව්. සිතා එලෙස කටයුතු කර ඇත. ‘කඩවුන පොරොන්දුව’ නාට්‍යයේ දර්ශනයක් ඉන්දියානුවන්ට පෙන්වීමෙන් පසුව එය එසේ නොවන බව ඔවුහු තේරුම් ගත්තේයා.

  • කඩවුනු පොරොන්දුව

එස්. එම්. නායගම් මහතා මෙහි අර්ථපතියා නිෂ්පාදක වූ නමුත් ඔහු ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයකි. ඔහු සිංහලයන් සමග සුහදව කටයුතු කරන්නකු බවට පෙන්වා දීමට මෙන්ම තම ව්‍යාපාරය දියුණුකර ගැනීම උදෙසා ‘ස්වදේශීය’ යන නම මුලට යොදා කටයුතු කළේය. කඳානේ ස්වදේශීය කර්මාන්ත ශාලාව නමින් වූ ව්‍යාපාරය ඔහුගේ බව දැන සිටියේ ටික දෙනෙකි. මදුරෙයි පිහිටි ඔහුට අයත් ‘චිත‍්‍රකලා’ ස්ටුඩියෝවේදී ‘කඩවුන පොරොන්දුව’ කැමරාගත කෙරිණි. කවුරුත් නොකළ දෙයක් කරමින් පුරෝගාමියා වීමේ අභිලාෂයෙන් පෙළුණ නායගම් ශබ්ද පරිපාලකවරයකු ලෙස ඉන්දියාවේ ප‍්‍රකටව සිටි ජේ. සිංහ ‘කඩවුනු පොරොන්දුව’ අධ්‍යක්‍ෂණය කරමින් අධ්‍යක්‍ෂකවරු පිරිසට එකතු වූහ.

1947 ජනවාරි 21 වැනිදා ‘කඩවුනු පොරොන්දුව’ ප‍්‍රථම වරට කොළඹ කොටහේන ‘කිංග්ස්ලි’ සිනමා හලේදී ප‍්‍රදර්ශනය කෙරිණි. අධ්‍යක්‍ෂ තනතුර නිසා ‘අසෝකමාලා’ කැපී ගිය ද අධෛර්යයට පත් නොවූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ‘සිලෝන් තියටර්ස්’ සමාගමේ අධිපති සී. ඒ. ගාඩිනර් මහතා හමුවී සාකච්ඡා කළේය. ඉන්දියාවේ කලක් පදිංචිව සිටි ශාන්ති කුමාර් සිනමාව ගැන හදරා තිබිණි.

1946 සැප්තැම්බර් මාසයේදී ශාන්තිනී කුමාර් නළු නිළි පිරිසක්ද සමගින් ඉන්දියාවේ මදුරාසියේ කොයිම්බවෝර් චිත‍්‍රාගාරයට ගියේය. සිනමාවේ මුල් කාලයේදී ඉන්දියාවේ චිත‍්‍රපටියක් නිපදවන්නේ නම් ඉන්දියාවේ ශිල්පියකු අධ්‍යක්‍ෂණයට ගත යුතුය. එහෙත් ගාඩිනර් මහතාගේ නියෝගය අනුව ශාන්ති කුමාර්ට අධ්‍යක්‍ෂක තනතුර දීමට ද්‍රවිඩ ශිල්පීන්ට සිදුවුණා. ඒ අනුව සිංහල සිනමාවේ සිංහල අධ්‍යක්‍ෂ ලෙසින් සඳහන් වන්නේ ශාන්ති කුමාර්ය. බහුතරයක්ම සිංහල සිනමාවේ පියා ලෙස සඳහන් කරන්නේ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නය. ඔහු සිංහල සිනමාවේ පුරෝගාමියා වුවද අධ්‍යක්‍ෂවරයා වූයේ ජේ. සිංහ නොහෝත් ජෝතිසිං ය. ඒ ද්‍රවිඩ ජාතිකයෙකි.

1947 අපේ‍්‍රල් 5 වනදා කොළඹ රීගල් තියටර් සිනමාහලේදී අශෝකමාලා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළේය. ඒ මංගල දර්ශනය වශයෙනි. අපේ‍්‍රල් 9 වැනිදා සිට පිටස්තර සිනමාහල්වල ප‍්‍රදර්ශනය ආරම්භ කෙරිණි. ටී. ආර්. ගෝප සම අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළ නමුත්, සිංහල සිනමාවේ නළුවකුට කථාරචකයකුට, දෙවන චිත‍්‍රපටය මෙහෙයවීමට ලැබීම විශේෂ කීර්තියක් විදියට සලකනු ලැබේ. ශාන්තිකුමාර්, සෙනවිරත්න, එව්ලින් දිඹුලාගල, මයිකල් සන්නස් ලියනගේ, පීටර් සිරිවර්ධන, මයිකල් රුද්‍රිගූ, හර්බි සෙනෙවිරත්න, ශාන්ති මිරාජ් ඇතුළු ටවර්හෝල් නළු නිළි කිහිප දෙනෙක්ද අශෝකමාලාට දායක වූහ. සිංහල චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමගම නාට්‍ය කලාව ක‍්‍රම ක‍්‍රමයෙන් අවසානය කරා ළඟාවෙන බව තේරුම්ගත් ටවර්හෝල් ශිල්පියකු වූ සිරිසේන විමලවීර ද චිත‍්‍රපටයක් නිෂ්පාදනය කරන්නට මං සෙවීය. විමලවීර ටවර්හෝල් ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලක කුඩා කාමරයක් ගෙන මුද්‍රණාලයක් පටන් ගත්තේය. සිංහල චිත‍්‍රපට ලෙසින් ‘කඩවුණ පොරොන්දුව’’ ‘‘අශෝකමාලා’’ ‘‘කපටි ආරක්ෂකයා’’ ‘‘දිව්‍ය පේ‍්‍රමය’’, ‘‘වැරදුන කුරුමානම’’ යන චිත‍්‍රපට තිරයට පැමිණ ඇත්තේ ද්‍රවිඩ මුහුණුවරක් ගත් චිත‍්‍රපට බව පවසමින් සිංහල චිත‍්‍රපටයට සිංහල මුහුණුවරක්, ජාතික මුහුණුවරක් දිය යුතු බව පවසමින් රටේ උද්ඝෝෂණයක් ඇතිකිරීම ආරම්භ කළේය. විමලවීර තම මුද්‍රණාලයත් කුඩා මෝටර් රථයක් විකුණා චිත‍්‍රපට සමාගමක් පිහිටුවා ගත්තේය. ඔහුගේ නාට්‍යවල රඟපෑ සියලූම නළු නිළියන් සමඟ පාරට බැස මහජනතාව දැනුවත් කරමින්, චිත‍්‍රපට සමාගමක් ඇතිකිරීමට ආධාර ඉල්ලා සිටියේය. උගුර ලේ රහ වනතුරු කෑ ගසමින් රට පුරා ගිය අතර ජනතාව ඔහු වටා රොක් වූහ. රුපියල් හැටපන්දහසක් ඔහුට එකතුවිය. එයද රැගෙන විමලවීර ඉන්දියාවට ගියේය. එම මුදලින් චිත‍්‍රපටයක් නිපදවීමට හැකිදැයි සොයා බැලූවේය. අඩුම තරමින් ලක්ෂ දෙකක්වත් නොමැතිව චිත‍්‍රපටයක් නිපදවීමට නොහැකිවන බව දැනගත් විමලවීර පසුතැවිලි විය.

අධෛර්යට පත් නොවූ විමලවීර මදුරාසියේ ‘නැප්චූන්’ චිත‍්‍රාගාරයේ අයිතිකරුවන් සොයා ගොස් කාරණය කීවේය. එක වැඩමුරයකට රුපියල් 450ක් ගෙවන්නට හැකිනම් වැඬේ කළ හැකි යැයි ඔවුන් පැවසූහ. පෙරළා ලංකාවට පැමිණි විමලවීර ‘අම්මා’ නාට්‍ය චිත‍්‍රපට ගතකිරීමට තීරණය කරගෙන නළු නිළියන් සමඟ 1948 නොවැම්බර් 9 වැනිදා තලෙයිමන්නාරම දුම්රියෙන් මදුරාසිය බලා ගියේය. අම්මා නාට්‍යයේ රඟපැ සියලූම නළු නිළියන් නොමිලයේ රඟපෑමට කැමැත්ත ප‍්‍රකාශ කිරීම විමලවීර ලද ලොකුම ජයග‍්‍රහණයකි. ඞී. ආර්. නානායක්කාර, එඞී ජුනියර්, එන්. ආර්. ඩයස්, මාර්ෂල් පෙරේරා, එස්. එම්. ජෝතිපාල, පර්ල් වාසුදේවි, ටියුරින් නිශ්ශංක, ටියුරින් සිල්වා, ඇස්ලින් රණසිංහ යන නළු නිළි පිරිසට ඉන්දියාවේ හෝටල්වල නතරවීමට මුදල් නොමැතිකම ප‍්‍රශ්නයක් විය. ‘නැප්චූන්’ චිත‍්‍රාගාරයේ කළමනාකරු හමුවී විමලවීර කරුණු කීවේය.

චිත‍්‍රාගාරයට යාබදව ඇති සාලයේ නතරවීමට හැකි නම් එය දීමට හැකි බව කීවේය. විමලවීර තම නළු නිළියන් සමඟ එහි නතරවී චිත‍්‍රපටයේ වැඩ ආරම්භ කළේය. මේ කාලය තුළ ඔවුනට නිදා ගැනීමට කොට්ට මෙට්ට නොතිබිණි. සිමෙන්ති පොළොවේ පැදුරු කඩමාලූවල වැතිර සිටීමට සිදුවිය. ලංකාවෙන් ගෙනගිය කෝකියකු ආහාර පිසූ අතර නළු නිළියන් ඔහුට ආධාර කළහ. සිංහල අයට අයත් කිරිබත්ගොඩ ‘නව ජීවන සමාගම’ ‘අම්මා’ චිත‍්‍රපටය එළිදැක්වීය. ඒ ලංකාවේ හයවන චිත‍්‍රපටය වශයෙනි.

ඉතා කටුක, දුක්මුසු, එඩිතර කිහිප දෙනෙකුගේ වෑයමින් මුල් කාලය ඉදිරියට ගෙන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ශාන්තිකුමාර් සෙනෙවිරත්න, සිරිසේන විමලවීරයන්ගෙන් පසුව විවිධ අන්දමේ නිෂ්පාදකවරු බිහිවූහ.

  • කැලෑ හඳේ කතාව

ජේසිංහ, ශාන්ති කුමාර් සෙනවිරත්න, ටී. ආර්. ගෝසු, කේ. සුබ‍්‍රමානියම්, ඞී. එස්. බාවා, එන්. ටී. ජවේරි, සිරිසේන විමලවීර අත දෝලනය වෙමින් තිබූ අධ්‍යක්‍ෂ තනතුර 8 වන චිත‍්‍රපටය ලෙසින් බිහිවූ ‘හදිසි විනිශ්චය’’ අධ්‍යක්‍ෂණය කරමින් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්‍ෂ තනතුරට හිමිකම් පෑවේය. වේදිකාවේ ජෝශප් සෙනෙවිරත්න දුන් උපදෙස් අනුව එස්. නායගම් මහතා විසින් කඳානේ සුන්දර සවුන්ඞ් චිත‍්‍රාගාරය ඉදිකරමින් 10 වන චිත‍්‍රපටය ලෙසින් බණ්ඩා නගරයට පැමිණිම නිෂ්පාදනය කළේය.

ලංකාවේ නිපදවූ මුල්ම චිත‍්‍රපටය එය විය. ‘‘අශෝක මාලා’’ අධ්‍යක්‍ෂණය කර වසර 6කට පසුව ශාන්ති කුමාර් නිපදවූ ‘එදා ?’ එතෙක් තිරගතවූ චිත‍්‍රපටවලට වඩා වෙනසක් ගත් චිත‍්‍රපටයකි. ‘පේ‍්‍රම තරගය’, ‘පිටිසර කෙල්ල’, ‘කැලෑ හඳ’ තිරගතවූ අතර ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ පංකාදු කතාවක් ලෙසින් හැඳින්විය. එසේම සිංහල සහ, ඉංග‍්‍රීසි විභාගයට නියමිතව තිබූ කථාවක් සේම පළමුවරට සිනමාවට නවකතාවක් ලෙස එකතුවූයේ ‘ කැලෑහඳ’ බව ද විචාරකයෝ හඳුන්වා දුන්හ. එතෙක් මෙතෙක් කිසිදු සිනමා නිළියකට, නළුවෙක් නොකළ පරිතා්‍යාගයක් රුක්මණි දේවි කළේ ද ‘කැලෑ හඳ’ රඟපෑමෙන් රුක්මණිදේවිය ලබාගත් වැඩිම මුදලින් තම රියැදුරට මෝටර් රථයක් මිලට ගෙන දුන්නේය. 75 වසරට ලබන සිනමාවේ ඇය කළ පරිත්‍යාගය ඉතිහාස ගතවිය යුතුය. ‘සුජාතා’, ‘පුදුම ලේලී’, ‘වරද කාගේ ද ‘අයිරාංගනී’ චිත‍්‍රපටය එනවිට චිත‍්‍රපට 22ක් තිරගතවී තිබිණි.

ලංකාවේ ‘සරදියල්’ නමින් සිටි වීර තරුණයකු ලෙස හපන්කම්, සුද්දන්ට විරුද්ධව කැරළි ගැසූ අයුරු විදහා පාන සත්‍ය කතා පුවතක් සිනමාවට නැඟුවේ සිරිසේන විමලවීරය. ඉන්පසු ‘අහංකාර ස්ත‍්‍රී’, ‘රදළ පිළිරුව’, ‘සුරංගනී’, ‘අශෝකා’, ‘මතභේදය’, ‘සැඩසුළං’ ‘මාතලන්’, ‘පෙරකදෝරු බෑනා’ ‘පොඩිපුතා’, ‘දොස්තර’ ‘ඩිංගිරි මැණිකා’ ‘දෛව විපාකය’ දුප්පතාගෙ දුක’, ‘සුරතලී’, ‘රම්‍යලතා’, චිත‍්‍රපටවලට පසු සම්පූර්ණයෙන් සිනමාවේ විශාල පෙරළියක් කළේ ‘රේඛාව’ චිත‍්‍රපටයයි. චිත‍්‍රාගාරය තුළ දැවැන්ත පසුබිම් දර්ශන හදනවා වෙනුවට කැමරාව එළියට ගෙන එමින් සිනමාව උඩු යටිකුරු කළේය. වට්ටෝරු චිත‍්‍රපට තැනීම ටිකෙන් ටික වෙනස් වන්නට විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්් මහතා අනුගමනය කිරීමට අනෙකුත් නිෂ්පාදකවරුන්ද කටයුතු කරන්නට පෙලඹුණ බව පෙනෙන්නට විය.

1956 ශ‍්‍රී ලංකාවේ දේශපාලනික හා සංස්කෘතික පෙරළියක් ඇතිකළ වර්ෂයක් විය. පසුකලෙක මහ සිනමාකරුවා යැයි හැඳින්වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කැමරාවත් රැගෙන එළිමහනට පැමිණ චිත‍්‍රපටි ගතකිරීම ආරම්භ කරමින් සිනමාකරුවන් චිත‍්‍රාගාරවලට, නිවෙස්වලට සිරකර තිබූ ක‍්‍රමය වෙනස්කළේය. දකුණු ඉන්දියානු සිනමාවේ ක‍්‍රමය වෙනස් කරන ලද ‘රේඛාව’ බිහිවූයේ 1956 දීය. ශ‍්‍රී ලාංකික සිනමා තාක්ෂණික ශිල්පීන්ගේ පැහැදිලි වෙනසක්ද පෙන්වූ වර්ෂයක් ලෙස 1956 හැඳින්විය හැකිය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්‍ෂණයක් වූ ‘සංදේශය’ද පේ‍්‍රක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් විය. එල්. එස්. රාමචන්ද්‍රන් ද්‍රවිඩ අයකු වුවද ‘කුරුළු බැද්ද’ට, ඉන්දියානු ගතිය නොදී සිංහල චිත‍්‍රපටයක් යැයි කටපුරා කිව හැකි ලෙස අධ්‍යක්‍ෂණය කර තිබිණි.

සිංහල සිනමාවේ, සැබෑ වෙනසක් ඇති බව පෙන්වමින් මයික් ජේ. විල්සන් රන්මුතු දූව’ අධ්‍යක්‍ෂය කරමින් මුහුද යට දර්ශන ද පෙන්වූයේ වර්ණ චිත‍්‍රපටයක් ලෙසිනි. ‘සිකුරු තරුව’, ‘ගැටවරයෝ’, ‘චණ්ඩියා’ දක්වා සිනමාව පැමිණි ගමනේදී චණ්ඩියා තුළින් ප‍්‍රබල රංගන දායක්වයක් පෙන්වූ ගාමිණී ෆොන්සේකාගේ විශිෂ්ට රඟපෑම් සිනමා කලාවට ධනාත්මක ලක්ෂණ එක් කරන්නට සමත්විය.

ජී. ඞී. එල්. පෙරේරාගේ ‘සාමා’තිස්ස ලියනසූරියගේ ‘සාරවිට’ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘දෙළොවක් අතර’ ගාමිණී ෆොන්සේකාගේ ‘පරසතු මල්’ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රන්සළු’ ජී. ඞී. එල්. පෙරේරාගේ ‘දහසක් සිතුවිලි’ මුදලිනායක සෝමරත්නගේ ‘බිනරමලී’, සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කථාව’, ‘මිනිසා සහ කපුටා’ (කෙටි චිත‍්‍රපටය), ශේෂා පලිහක්කාරගේ ‘ලක්සෙට කොඩිය’, අමරනාත් ජයතිලකගේ ප‍්‍රියංගා, මහගම සේකරගේ ‘තුංමං හන්දිය’ ඞී. බී. නිහාල්සිංහගේ ‘වැලිකතර’, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘මාතර ආච්චී’, ධර්මසිරි ගමගේ ගේ ‘යසඉසුරු’ අමරනාත් ජයතිලකගේ ‘අරුණට පෙර’ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘සුද්දිලාගේ කථාව’ සිමිත‍්‍රා පීරිස්ගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘සිරි මැදුර’ එච්. ඞී. පේ‍්‍රමරත්නගේ ‘පාලම යට’ විජය ධර්මශ‍්‍රීගේ ‘ගුරු ගෙදර’ චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සුරබිදෙන’ ප‍්‍රසන්න විතානගේ ‘අනන්ත රාත‍්‍රිය’ අශෝක හඳගමගේ ‘ පුරසඳ කළුවර’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාකටින්’ ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’, ‘බඹරු ඇවිත්’ වසන්ත ඔබේසේකරගේ ‘පළ`ගැටියෝ’ විජය ධර්මසිරිටග් ‘දඬුමොනර’ තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’ යන අධ්‍යක්‍ෂවරු සමගින් ප‍්‍රසන්න ජයකොඩි, විමුක්ති ජයසුන්දර, ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සරෝජා’ යන චිත‍්‍රපට විචාරකයන් විසින් හඳුන්වා දෙන ලද අතර සිනමාවට 75 වසරක් තුළ ඔවුන්ගෙන් වූ සේවය අමතක නොකළ යුතුය.

  • චිත‍්‍රපටි සංස්ථාව ආරම්භ වේ

විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කරමින් සිනමාව රැකගැනීම උදෙසා පවතින රජය මගින් සිනමාව නඟාසිටුවීමට කටයුතුකළ කලාකරුවන්ගේ බලාපොරොත්තුව ඉටුකරමින් අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් ‘චිත‍්‍රපට සංස්ථාව’ ඇති කළේය.

චිත‍්‍රපට කර්මාන්තයේ උන්නතිය උදෙසා විවිධ ආයතන මගින් සිනමා සම්මාන උත්සව පවත්වන ලදී. එක්සත් ලංකා රසික හවුල පිහිටුවා එහි සභාපතිනිය වූ සිරිමතී රසාදරී ලංකාවේ පළමු සිනමා සම්මාන උළෙල පැවැත්වූ නිළිය වීම ඉතිහාසගතය. ඉන්පසුව ‘දීපශිකා’, ‘සරසවිය’ චිත‍්‍රපට විචාරක සම්මාන යනුවෙන් උළෙලවල් පැවැත්විණි. මෙමගින් විවිධ අංශවලට සම්මාන පිරිනැමීමේ හේතුවෙන් සිනමා කර්මාන්තයේ යෙදුණු සෑම දෙනෙක්ම සතුටට පත්වූහ.

වසර ගණනාවක් අත්හිටුවා තිබුණ ‘දීපශිකා’ සම්මාන උළෙල 1972 නැවතත් පටන් ගැනණිි. වසර 25ක් සිංහල සිනමාවට කළ සේවාව වෙනුවෙන් එඞී ජයමාන්නට ‘දීපරත්න’ ගෞරව සම්මානය පිරිනැමුණු අතර, රුක්මණි දේවියට ‘දීපරාණි’ ගෞරව නාමය පිරිනැමීමත් මෙහිදී සිදුවීම කැපී පෙනෙන්නක් විය. සම්මාන අතරට දේශපාලන සම්මාන වශයෙන් ‘ජනාධිපති සම්මාන’ පිරිනැමීම අප අමතක නොකළ යුතුය.

ගාමිණී ෆොන්සේකා ලංකා චිත‍්‍රාගාරයේ පාලක අධ්‍යක්‍ෂක ලෙසින් පත්වූයේත්, තිස්ස අබේසේකර රජයේ චිත‍්‍රපට අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වූයේත් 1972 වසරේදීය. සිරිසේන විමලවීර සතුව තිබූ කිරිබත්ගොඩ ‘නවජීවන චිත‍්‍රාගාරය’ ‘පිටිසර කෙල්ල’, ‘අම්මා’, ‘සීදේවි’, ‘සිරකරුවා’, ‘සරදියෙල්’, ‘පොඩිපුතා’, ‘එකමත්එක රටක ’ චිත‍්‍රපටත් සමඟ සිනමා සමාගමට රුපියල් අනූදහසකට වෙන්දේසි වූයේය. මෙම චිත‍්‍රාගාරය ‘රුපියල් 76125කට සිනමාස් සමාගමට උකස්කර තිබිණි.

ජේ. එම්. වින්සන්ට් ‘‘තෙවන’’ චිත‍්‍රපටයට නිර්මාණය කළ පෝස්ටරය කැනඩාවේ පැවැති ජාත්‍යන්තර චිත‍්‍රපට දැන්වීම් තරගයකදී ගෞරව තිළිණ සම්මානයක් ලබාගත්තේය.

චිත‍්‍රපට කර්මාන්තය බිඳ වැටුනා යැයි මොරදෙන ඇතැම් සිනමා ශිල්පීහු මධුවිත තොල ගාමින්, දුම්වැටිය දෑඟිලිවල පටලවා ගෙන අද රූපවාහිනියේ ප‍්‍රදර්ශනය කරන චිත‍්‍රපට නරඹති. 1979 දී ශ‍්‍රී ලංකාවට රූපවාහිනි මාධ්‍ය පිවිසියේය.

‘‘ස්වාධීන රූපවාහිනිය’’ ඔස්සේ විකාශනය කෙරුණු ප‍්‍රථම චිත‍්‍රපටය ‘‘මඩොල්දූව’’ චිත‍්‍රපටයයි. ඉන්පසු ඉවත් බවක් නොමැතිව සිංහල පමණක් නොව හින්දි, දෙමළ, ඉංග‍්‍රීසි යන චිත‍්‍රපටද විකාශනය කරන්නට පටන් ගැනිණ. තමන්ගේ මුදල, කාලය, මග රස්තියාදුව, සහ පවුලේ සැමට නිවස තුළදීම චිත‍්‍රපට නැරඹීමේ පහසුව ලැබීම නිසා චිත‍්‍රපට කර්මාන්තය සුනුවිසුනු විය. එයට වගකිව යුත්තේ අපේ කලාකරුවන්මය. ඊට විරෝධය පාමින් රජයට කාරණා කීමට හෝ විරෝධතා රැල්ලක් ඇති කරන්නට කලාකරුවන් උනන්දු නොවීම නිසා චිත‍්‍රපට කර්මාන්තය අගාධය කරා ගියේය. දිවයින පුරා වීඩියෝ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම නිසා සිනමා ශාලා වසා දැමීමට සිදුවිය. 1947 ජන. 21 සිංහල චිත‍්‍රපට කර්මාන්තයේ ප‍්‍රථම සිනමාහල වූ කොටහේන ‘‘කිංග්ස්ලි’’ සිනමා හලද වසා දැමුවේය. මෙතරම් කලාකාරයන් සිටින රටක මෙයට විරෝධය පාමින් නැගී සිටියේ මොන කලාකරුවාද? මේ ලියන අවස්ථාව වන විට රත්මලානේ ‘‘විජිත’’ සිනමා ශාලව පාවහන් වෙළෙද සැලකි.

ප‍්‍රථමයෙන්ම ‘‘වැඩිහිටියන්ට පමණයි’’ යන ලේබලය යටතේ ප‍්‍රදර්ශනය වූ චිත‍්‍රපටය වූයේ ‘‘සුභ සරණ සැප සිතේ’’ චිත‍්‍රපටයයි. එවකට ප‍්‍රසිද්ධ රැ`ගුම් පාලක මණ්ඩලය පස්වතාවක් චිත‍්‍රපටය නැරඹුවේය. සංස්කෘතික අමාත්‍ය ඞී. එස්. ගුණසේකර මහතා ප‍්‍රදර්ශනයට අවසර ලබාදුන්නේ එවකට මුදල් අමාත්‍යවරයා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

1965 තුන්වැනි නවදිල්ලි අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේදී ස්වර්ණ මයුර සම්මානය ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයට ලැබුණි. සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් ලද ප‍්‍රථම ජයග‍්‍රහණය ලෙස ඉතිහාසගත වන්නේය.

  • සරසවි චිත‍්‍රාගාරයට අලූත් ලොක්කෙක්

1965 ජනවාරි 7 වනදා එවකට රාජ්‍ය ඇමැතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා ‘‘දේශීය චිත‍්‍රපට කර්මාන්තයට ආධාර කිරීමට ඉදිරිපත් වීම සඳහා ලංකා තේ ප‍්‍රචාරක මණ්ඩලයේදී සිනමා ශිල්පීන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. චිත‍්‍රපට සංස්ථාවේ උපදේශක තනතුරට පත්කර සිටි ඞී. බී. නිහාල්සිංහ මහතා දළුගම ‘‘සරසවි’’ චිත‍්‍රාගාරයේ ප‍්‍රධාන විධායක නිලධාරි වශයෙන් පත්කළේය. ඒ මාස 8ක් ඇතුළත අංග සම්පූර්ණ චිත‍්‍රාගාරයක් ලෙස ප‍්‍රතිසංවර්ධනය කිරීමටය. ඒ සඳහා ලක්‍ෂ විස්සක මුදලක්ද ලබාදී ඇත.

වර්ණ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා වැඩියෙන් අනුබලදීමේ හේතුවෙන් 1980 දී කළු සුදු සහ වර්ණ චිත‍්‍රපට අර්බුදයක් හට ගැනිණ. වර්ණ රසායනාගාරය නවීකරණය කළ නමුත් එහි පිටපත් මුද්‍රණය ආරම්භ කරන ලද්දේ 1983 දීය. මෙහි ප‍්‍රථමයෙන්ම පිටපත් මුද්‍රණය කළ වර්ණ චිත‍්‍රපටය වූයේ ‘‘මුහුදු ලිහිණි’’ ය. වර්ණ චිත‍්‍රපට රැල්ලේ පළමු චිත‍්‍රපටය ලෙස ‘‘පරිත්‍යාගය’’ චිත‍්‍රපටය 1980 ජුනි 17 ප‍්‍රදර්ශනය කෙරිණි.

1980 අංක 45 දරණ ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා (සංශෝධන) පනතට අනුව චිත‍්‍රපට සංස්ථාවේ වෙනස් කිහිපයක් සිදුවූයේය. මුලින්ම සංස්ථාවේ නම වෙනස්විණි. එතෙක් චිත‍්‍රපට සංස්ථාව හඳුන්වන ලද්දේ රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාව යනුවෙනි. මේ පනතින් එය ‘‘ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාව’ ලෙස සංශෝධනය කෙරිණි.

සිරිසේන විමලවීරයන්ගේ ‘‘එකමත් එක රටක’’ චිත‍්‍රපටයට දයා කරුණාරත්න විසින් සකස් කරන ලද ‘‘අලියෙක් ’’ චිත‍්‍රපටයක් බලන්න සිනමා ශාලාවකට යන අයුරු’’ කාටුන් මගින් ප‍්‍රදර්ශනය කරන ලදී. ඉන්පසු සම්පූර්ණයෙන්ම කාටුන් චිත‍්‍රපටයක් ලෙසින් නිෂ්පාදනය වූයේ ශිවන්ත අර්ථසාද් විසින් නිර්මාණය කරන ලද ‘‘දුටුගැමුණු’‘ චිත‍්‍රපටයයි. ළමා වර්ෂය වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු ‘‘දුටුගැමුණු’’ තහනමට ලක්විය.

1979 දී ජනාධිපති සම්මාන උළෙලේදී එහි සභාපතිව සිටි ඇන්ටන් වික‍්‍රසිංහ මහතා විසින් ඊළඟ වසරේ ජනාධිපති සම්මාන උළෙලට ප‍්‍රථමයෙන් ‘‘ති‍්‍රමාන සිනමාහලක් ඉදිකරන බවට පොරොන්දුවක් දුන්නද එය පොරොන්දුවක් පමණක් විය. චිත‍්‍රපට නිෂ්පාදනයේදී ද්‍රවිඩ අයෙකු වූ එස්. එම්. නායගම් ඉදිරිපත් නොවන්නට ‘‘කඩවුන පොරොන්දුව’’ නිෂ්පාදනය නොවන්නට ඉඩ තිබිණි. ඔහුට ගෞරව දැක්වීම උදෙසා 1980 පැවැති දෙවන ජනාධිපති සම්මාන උළෙලේදී එස්. එම්. නායගම්ට අනුස්මරණ උපහාර තිළිණයක් පිරිනැමූ අතර නායගම්ගේ පුතා එය භාර ගන්නා ලදී.

ටයිටස් තොටවත්තගේ ‘‘හඳයා’’ චිත‍්‍රපටය ඉතාලියේ පැවැති ‘සෙලානෝ’ අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේදී ඉහළම සම්මානය දිනාගනු ලැබිණි.

වර්ණ චිත‍්‍රපට නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නට චිත‍්‍රපට සංස්ථාව කටයුතු කළ බව අප අමතක නොකළ යුතුය. ළමා චිත‍්‍රපට නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා උපදේශක මණ්ඩලයක් පිහිටුවූ අතර ‘පිංහාමි’ කථාව තෝරා ගත්තේ රචනා තරගයකිනි.

රුක්මණිදේවි අභාවප‍්‍රාප්ත වීමෙන් පසුව සංස්ථාව මගින් අනුස්මරණ අරමුදලක් විසින් ් පිහිටවනු ලැබූ අතර ඒ ගැන කිසිවක් ජනතාවට දැන ගන්නට නොලැබුණි. එවකට අමාත්‍යවරයෙක් ව සිටි ටිරොන් ප‍්‍රනාන්දු මහතා නිෂ්පාදනය කළ ‘‘පුරං අප්පු’’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය සඳහාම චිත‍්‍රපට සංස්ථාව පස්වන මණ්ඩලයක් පිහිටුවීමද පේ‍්‍රක්‍ෂක ජනතාවට අමතක නොවන්නකි.

  • ලෙස්ටර්ගේ අහසින් පොළොවට

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘‘අහසින් පොළොවට’’ චිත‍්‍රපටය සඳහා ඊජිප්තුවේ චිත‍්‍රපට, නාට්‍ය හා සංගීතය පිළිබඳ සංවිධානය විසින් පිරිනමනු ලැබූ අක්නේටන් තිළිණය හිමිවූයේය. චිත‍්‍රපට නිෂ්පාදක රොබින් තම්පෝ විසින් තම චිත‍්‍රපට යාපනයේ ප‍්‍රදර්ශනය කිරීමෙන් පසුව යාපනයේ දිසාපති වූ ලයනල් ප‍්‍රනාන්දු මහතා ‘‘යාපා පටුනේ චිත‍්‍රපට උළෙල’’ නමින් චිත‍්‍රපට උළෙලක් පවත්වන ලදී. ‘‘තුංමංහංදිය’’, ‘මඩොල්දූව’’, ‘‘දහකින් එකෙක්,’ ‘පොන්මනි’, ‘වාඩෙයි කාවාරු,’ ‘රොමියෝ ජුලියට්’‘ ඇන්ඞ් ද ඩාක්නස් ගේ‍්‍ර බැරියර් රිජ්, චිත‍්‍රපට ඇතුළත් විය. මෙයට සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි යන අංශ තුනම ඇතුළත් වූ අතර ද්‍රවිඩ ජනතාව ඉතා උනන්දුවෙන් සිංහල චිත‍්‍රපට නරඹා ඇත.

සමගි පෙරමුණ රජය තුළ චිත‍්‍රපට ආනයනය පූර්ණ ඒකාධිකාරය සංස්ථාව සතුවූ බැවින් ඇමෙරිකාවේ ‘‘මෝෂන් පික්චර් එක්ස්පෝට් ඇසෝසියේට්ස්’’ සමාගම චිත‍්‍රපට සංස්ථාවට චිත‍්‍රපට ලබා නොදුන්නේය.

අසූතුනේ ඇතිවූ ජාතිවාදී ගැටුම් චිත‍්‍රපට කර්මාන්තයට තදින් බලපෑවේය. මගේ මතකයේ හැටියට සිනමාශාලා 12ක් ගිනිබත් කෙරිණි. ජාත්‍යාලය ඇත්තෝ යැයි කියමින් මංකොල්ල කාරයෝ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්හ. මරදාන ‘‘ගාමිණී’’, වැල්ලවත්තේ ‘සෆයර්’ කොම්පඤ්ඤවීදියේ ‘රියෝ’, කිරුලපන ‘කල්පනා’ දෙහිවල ටි‍්‍රයෝ, මීගමුවේ රාජ්, මාතලේ ‘කැසිනෝ’ කඳපොල ‘‘රාධා’’ ති‍්‍රකුණාමලයේ ‘නිර්මල කාන්ති’’ බදුල්ලේ ‘ලිබර්ටි’, බණ්ඩාරවෙල ‘මොඩර්න්’’ සිනමාශාලාය.

ශ‍්‍රී ලංකා දෙමළ චිත‍්‍රපට නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම ඇද වැටින. කේ. වෙන්කට් නැමැති දෙමළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා සමග හිතවත්ව ඔහුගෙන් ආධාර ලබාගත්, සිංහල ජාතියටම කැත නාමයක් අරන්දෙමින් ඔහු පසුපස හඹාගොස් ඔහුට ගිනි තබා මරාදැමුුවේද 1983 දීය.

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ ‘‘ක‍්‍රිස්තු චරිතය’’ චිත‍්‍රපටය කැබිනට් මණ්ඩලය මගින් තහනම් කරන ලද්දේ 1983 දීය. අර්නස්ට් පෝරුතොට පියතුමා සහ තවත් පියතුමන්ලා කරුණු දැක්වීමෙන් පසු වාරණ නියෝග අත්හරින ලදී.

හැඳල ඉදිකර තිබූ ‘විජය’ චිත‍්‍රාගාරය ගිනි තබා විනාශ කළ අය අතර එයින් ජීවත්වූ ඇතැමුන්ද ඒ අපරාධකරුවන් අතර සිටි බව පසුව හෙළිදරව් විය. එය ගිනිතබා ඇති බව දැනගත් බැප්ටිස් ප‍්‍රනාන්දු, නීල් රූපසිංහ, සරත් රූපසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය, රොබින් ප‍්‍රනාන්දු පැමිණ චිත‍්‍රපට කිහිපයක් බේරාගැනීමට කටයුතු කළ අතර බැප්ටිස් ප‍්‍රනාන්දු ගින්න මැදින් ඇතුළට රිංගා චිත‍්‍රපට කෑන් කිහිපයක් එළියට විසිකරද්දී ඔහුගේ බිරිඳ සිතාරා ඒවා අහුලමින් රථය ඇතුළට විසි කරදමමින් කළ වීර කි‍්‍රයාවන්ද අප අමතක නොකළ යුතුය. යසපාලිත නානායක්කාර ද්‍රවිඩ සිනමා ශිල්පීන් කිහිපදෙනකු ආරක්‍ෂා කළාක් මෙන් ‘විජය’ චිත‍්‍රාගාරය තුළදී බැප්ටිස්ගේ රියට රිංගා සිටි ද්‍රවිඩ ශිල්පීන් තිදෙනකු බේරාගෙන පසු දිනෙක ඉන්දියාවට යැවූ අයුරුද සිද්ධිය ඇසින් දුටු මගේ මතකයෙන් ඈත් නොවේ.

හයිද්‍රාබාද් සිනමා උළෙල නියෝජනය කළ ප‍්‍රසන්න විතානගේ ‘පුරසඳ කළුවර’ චිත‍්‍රපටය ජාත්‍යන්තර සිනමාවට එටක්වූ විශිෂ්ට සිංහල චිත‍්‍රපටයක් ලෙසින් ලෝකයම පිළිගැනීමත් 75 වසරක් පිරෙන සිනමාවට ඇතුළත් වේ. සිනමා කර්මාන්තයේ බිඳ වැටීම වළක්වනු වස් විවිධ රජයන් යටතේ විවිධ සංගම් ඇති කෙරිණි. සිනමාකරුවන් පවතින රජයන් අනුව විවිධ යෝජනා ඉදිරිපත් කරත් එන්න එන්නම සිනමාව පිරිහුනා මිස ගොඩනැගීමක් අපට දක්නට නොලැබිණි.

වැටී තිබෙන සිනමාව නගා සිටුවීම උදෙසා කාමරැල්ලේ සහ හාස්‍යරැල්ලේ චිත‍්‍රපටද බිහිවුන අතර කාමරැල්ලේ චිත‍්‍රපට වලින් නම් සිනමාවට ආයෝජනය කළ නිෂ්පාදකයන් මුදල් ඉපැයූ බව නම් රහසක් නොවේ.

සිනමාව බිඳවැටීම ගැන මෙනෙහි කරද්දී සුනාමි ව්‍යසනය නිසා නොයෙක් ප‍්‍රදේශවල චිත‍්‍රපට සංස්ථාවට අයත් සිනමාශාලා කිහිපයක්ද විනාශ විය. පෞද්ගලික ව්‍යාපාරිකයන් කෙසේ වෙතත් සංස්ථාව සතු ශාලා පවා ප‍්‍රතිසංස්කරණය නොකිරීමත්, සිනමා ශාලාවල සැප පහසුකම් අඩුවීමත්, ප්‍රොජෙක්ටර් නිසි පරිදි කි‍්‍රයා නොකිරීමත්, ප‍්‍රවේශපත‍්‍ර මිල අධික වීමත් සිනමාව පිහිරීමට ලක්වීමට හේතුවූ බව කර්මාන්තයට 75 ලබන අවස්ථාවේ පෙන්වාදීමට කැමැත්තෙමි.

‘‘ලංකා චලන චිත‍්‍ර’’ සිනමා සඟරාවේ කර්තෘ සෝමපාල රණවීර මහතා සිරිසේන විමලවීර මහතා සමඟ සිංහල සිනමාව සිංහලයන් සතු කරගත යුතුය’ යනුවෙන් හඬ නැගුවද 75 ලබන තුරු එවැන්නක් දකින්නට ලැබුණේ නැත. සෝමපාල රණවීර මහතා විසින් තම සඟරාව හරහා චිත‍්‍රපට සංසරක්‍ෂණාගාරයක් අවශ්‍ය යැයි හඬ නැගූ අතර පසු කලෙක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාද එම අදහස ඉදිරිපත් කළ නමුත් එය පුස්සක් බවට පත්විය.

සිනමාව අගතිය කරා යාමට තවත් හේතුවක් වූයේ නිසි විචාරයන් නොපළකිරීමය. සෝමපාල රණවීර (සෝපාරවි) කරුණාසේන ජයලත්, රෙජී සිරිවර්ධන, සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, පියල් සෝමරත්න, ගාමිණි විජේතුංග ආදින්ගේ අවංක වැඩදායක විචාරයන්ගෙන් සිනමාව පෝෂණය විය. ජාතික පුවත්පත්වල සිනමාව සඳහා වෙන්වී තිබෙන පිටු දෙකෙන් හෝ පිටුවකින් අඩුම වශයෙන් සතියකට වරක්වත් විචාරයක් පළවිය යුතුය. දැනට චිත‍්‍රපට විචාරයක් පළකෙරෙන්නේ ගාමිණි වේරගම මහතා ‘‘ලංකාදීප’’ යට ලියන විවේචනය පමණි. දැනට ලංකාවේ ජාතික පුවත්පත් විශාල සංඛ්‍යාවක් ඇත. සතිපතා පත‍්‍රවල ‘ටැබ්ලොයිට්’ අතිරේක තිබේ. ප‍්‍රධාන කතුවරුන් සිනමාව නගා සිටුවීමේ කාර්යයට අත දුනහොත් එය අති විශාල කර්තව්‍යයක් වනු ඇත.

ඉතිරි කොටස ලබන සතියට
හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment