සිංහල සුබාවිත ගීතාවලියේ පිපුන නුඹ මාලතී

184

ගීතය යනු සාහිත්‍යයේ එන අති රමණීය ශානරයකි. අතීතයේ දී කවිය හා අත්වැල් බැඳ පැමිණි ගීතය කවියෙන් මිදී ජනප‍්‍රිය කලා මාධ්‍යයක් බවට පත්ව මේ වනවිට වෙනස් ම මගක ගමන් කරමින් සිටී. ගීතයට එසේ කවියෙන් මිදෙන්නට හැකි වුව ද, කවීන්ගෙන් මිදෙන්නට නම් ගීතයට හැකි වී නැත.

 එය එසේ වී තිබෙන්නේ, ‘හොඳ ගීත රචකයෙකු තුළ හොඳ කවියෙකු සිටී’ යන කියමන සනාථ කරමිනි. ඊට අවැසි ඕනෑ තරම් උදාහරණ ඔබ අප වෙසෙන මේ සාහිත්‍ය ලෝකය තුළ ම අපට මුණගැසේ. ඒ අනුව, හොඳ ගීත රචකයන් බවට පත් බොහෝ දෙනකු පළමුව හොඳ කවීන් ය.

සිංහල සුබාවිත ගීතාවලියේ පිපුන නුඹ මාලතී

ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගෙන් පටන් ගතහොත්, එහි පළමු පරපුර මහගම සේකර හරහා විමල් අභයසුන්දර, අරිසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර වැන්නන් දක්වා විහිද යයි. ඉන් අනතුරුව එහි දෙවන පරපුර මඩවල ඇස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, පේ‍්‍රමකීර්ති ද අල්විස් දක්වා ද, එයින් පසු එය මහාචාර්ය සුනිල් ආරියරත්න, බන්ධුල නානායක්කාරවසම්, රත්න ශ‍්‍රී විජේසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, යමුනා මාලනී පෙරේරා දක්වා ද විහිදෙයි. මෙම අසම්පූර්ණ පෙළගැස්මට අමතරව එවන් නවක ගීත රචක පරපුරක් ද අපට සිටී.

 අප කලින් සඳහන් කළ ගීත රචකයන් සේ ම, එම නව පරපුරේ ගීත රචකයන්ගෙන් බොහෝ දෙනෙක් ද, කවියෙන් ගීතයට ප‍්‍රවිශ්ඨ වූවෝ වෙති. එනිසා ම ඔවුන්ගේ ගීත කවියක් සේ ම

 රසවත් ය, හරවත් ය. කාෂ්‍යප සත්‍යප‍්‍රිය ද සිල්වා නම් කවියා ද, එසේ කවියෙන් ගීත රචනයට පිළිපන් නව පරපුරේ ප‍්‍රතිභාපූර්ණ ගීත රචකයෙකි.

 1996 තරම් ඈත වකවානුවක සිය පළමු කවිසරණිය ‘විංශතිය’ නමින් පළකරන කාෂ්‍යප ‘අකල් මේඝ මැද’ නමැති ඔහුගේ දෙවන කවිසරණියට පිවිසෙන්නේ 2020 වසරේ එනම්, ඉන් වසර විසිහතරකට පසුව ය.

 එතරම් ම ඈත කාලයක සිට ගීතයට ද පෙම්බඳින ඔහු පසුගිය කාලය තුළ විටින් විට ලියූ ගී පද රචනා ‘නුඹ මාලතී’ නම් මුද්‍රිත කෘතියෙන් අප වෙත සංගෘහිත කර දක්වයි. එපමණක් නොව, එම ගීත අතරින් තෝරාගත් ගීත දහඅටක් එනමින් ම සංයුක්ත තැටියකට නගන්නට ද ඔහු කටයුතු කර තිබේ.

 කාෂ්‍යප සත්‍යප‍්‍රිය ද සිල්වා ලියූ ගී පද රචනා 74ක් ‘නුඹ මාලතී’ ගී පද සරණියට ඇතුළත්ව ඇති අතර, එයින් ගී පද රචනා 27ක් ම මෙරට ප‍්‍රවීණ සංගීතඥයන්ගේ සංගීතයට ප‍්‍රවීණ මෙන් ම, නවපරපුරේ ගායක ගායිකාවක් විසින් ද ගායනා කරනු ලැබ තිබේ.

 කාෂ්‍යපගේ ගීත රචනා සංගීතවත් කළ සංගීතඥයන් අතර ආචාර්ය රෝහණ වීරසිංහ, දර්ශන වික‍්‍රමතුංග, දර්ශන රුවන් දිසානායක, ආනන්ද පෙරේරා, නවරත්න ගමගේ, විශාරද නන්දසේන කටුවාවල, රෝහණ ධර්මකීර්ති වැනි ප‍්‍රවීණයන් මෙන් ම, සුප‍්‍රසිද්ධ MDT වාද්‍ය වෘන්දය ද කටයුතු කර තිබීම මෙහි ඇති විශේෂත්වය යි.

 එම සංගීතවේදීන්ගේ මියුරු සත්සරට අනුව කාෂ්‍යපගේ ගීත ගායනයට ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, සශිකා නිසංසලා, උරේෂා රවිහාරි, කරුණාරත්න දිවුලගනේ, දීපිකා ප‍්‍රියදර්ශනී, කසුන් කල්හාර, බන්දුල විජේවීර, රොඞ්නි වර්ණකුල, සේනානායක වේරලියද්ද වැනි ප‍්‍රවීණ ගායනවේදීන් මෙන් ම, රවීන්ද්‍ර අලගියවන්න, දුමාල් වර්ණකුලසූරිය, තුසිත් සිම්සන්, ශිරෝමී කුමුදිනී තිසේරා, දර්ශන රුවන් දිසානායක, ශම්මිකා අමානි, මංජුලා දිල්රුක්ෂි, සචිනි නිසංසලා, ධම්මි හතුරුසිංහ, නදීශා රංගනී, දේදුනු චම්පිකා විජයපාල, ශ්‍යාමලී ගුණවර්ධන, තිලාන් චමින්ද සෙනෙවිරත්න සහ අකිඳු බණ්ඩාර යන නව පරපුරේ ගායක ගායිකාවන් ද සම්මාදම් වී තිබේ.

 කාෂ්‍යප සත්‍යප‍්‍රිය ද සිල්වාගේ ‘නුඹ මාලතී’ සංයුක්ත ගී තැටියට සහ එනමින් ම වන ගීත සංග‍්‍රහයට ඇතුළත් ගීත රචනා එකිනෙකට වෙනස් අනුභූතීන් ස්පර්ශ කරමින් ලියැවී තිබේ. ඒ, විවිධ පෞද්ගලික අනුභූතීන් මෙන්ම, විවිධ සමාජානුභූතීන් හරහා ද ගමන් කරමිනි.

 මෙහි එන පළමු ගීතය වන දර්ශන රුවන් දිසානායකගේ සංගීතයට ටී. එම්. ජයරත්නයන් ගායනා කරන ‘ලොකු පුතේ’, ආනන්ද පෙරේරාගේ සංගීතයට උරේෂා රවිහාරී ගායනා කරන ‘අම්මා දවසක’ වැනි ගීත මගින් වර්තමානයේ අපේ මව්පියන් මුහුණ දී සිටින ඛේදවාචකයට සංවේදී වන කාෂ්‍යප, නවරත්න ගමගේ ගේ සංගීතයට ශිරෝමි කුමුදිනී තිසේරා ගායනා කරන ‘නුඹ මාලතී’ ගීතයෙන් වත්මන් යෞවනය මුහුණ දෙන දුක්ඛ දෝමනස්සයන් ස්පර්ශ කරයි. එසේ ම, ඔහුගේ වඩාත් ජනප‍්‍රියත්වයට පත් ගීතයක් වන දර්ශන රුවන් දිසානායකගේ සංගීතයට සේනානායක වේරලියද්ද ගයන ‘ඔබ ඇවිත් යන්න එනවා නම් දුර සඳ මඬලට’ වැනි මෙහි එන බොහොමයක් ගීත මගින් කවියන්ට ගීත රචකයන්ට නිර්මාණකරණයට නැතිවම බැරි පේ‍්‍රමයට ද සමීප වෙයි.

 තව ද, ජාතික සමගිය කුළු ගැන්වෙන ගීත දෙකක් ම මෙම සංයුක්ත තැටියට එක් කරන්නට ඔහු අමතක නොකරයි. ඉන් එකක් ආනන්ද පෙරේරාගේ සංගීතයට මංජුලා දිල්රුක්ෂි ගයන ‘කොකුම් තිලකය’ ගීතය යි. අනෙක මහින්ද කුමාර් විසින් දමිළ පරිවර්තනයක් ද එක්කර ඇති දර්ශන රුවන් දිසානායකගේ සංගීතයට උරේෂා රවිහාරී ගයන ‘මම තමිළිනී’ ගීතය යි.

 එම ගීතයේ මුල්පද කිහිපයක් අප මෙහි උපුටා දක්වන්නේ එයින් කාෂ්‍යප සත්‍යප‍්‍රිය ද සිල්වා ගී පද රචකයාගේ ගී පද රචනා කෞෂල්‍යය යම් තරමකින් හෝ පැහැදිලි වේ ය යන අපේක්ෂාවෙනි.

 ‘මම තමිළිනී අවි අත දැරූ ලොව ගුගුරුවා දෙවනත් කෙරූ

 දැය හද දැවී – සුරු අත් බිඳී

 අවි හැර දමා – සොයනෙමි ඔසූ..’

 කාෂ්‍යප වැනි නවක ගී පද රචකයෙකුගේ ගීත රචනා අප අගය කළ යුත්තේ, එමගින් මෙරට සුබාවිත ගීත සාහිත්‍යයට සුවිසල් සේවයක් සිදුවන හෙයිනි. ඔහු වෙතින් එම සේවය සිදුවන්නේත්, ඔහු එම අභියෝගයට මුහුණ දෙන්නේත් කිසිදු ප‍්‍රමිතියකින් තොරව ගීත බිහිකිරීමට අද්‍යතන සමාජයේ ලැබී ඇති ඉඩ ප‍්‍රස්ථා ප‍්‍රයෝජනයට ගනිමින් හරසුන් ගීත නිර්මාණ හතු පිපෙන්නාක් මෙන් බිහිවන යුගයක වීම කනගාටුවට කරුණකි.

 මෙතෙක් නිර්මාණය වී ඇති කාෂ්‍යපගේ ගීත සුළු සංඛ්‍යාව පවා නිර්මාණය කිරීමේ දී බොහෝ නවක ගීත රචකයන් මුහුණ දෙන ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙන්නට ඔහුට ද සිදුවූ බව නොරහසකි. එවන් අවාසනාවන්ත තත්ත්වයන් මෙරට සුබාවිත ගීත කලාවේ අභිවෘද්ධියට බලවත් බාධාවකි. මේ නිසා, අපේ සිංහල සුබාවිත ගීතාවලියට එකතු විය යුතු වඩා හරවත් ගීත බොහොමයක් අපට මුණ නොගැසීම මග හැරී යයි.

 එමෙන්ම, හැත්තෑව දශකයේ අවසානයෙන් පසු හතු පිපෙන්නාක් මෙන් එෆ්එම් ගුවන්විදුලි නාලිකා මෙරට බිහිවුව ද, සිංහල සුබාවිත ගීතයකට ඒවායේ ලැබෙන ඉඩප‍්‍රස්ථා ඉතාමත් අඩු ය. නවක ගීත රචකයෙකු හෝ ගායකයෙකුට නම්, එවන් අවස්ථා නොලැබෙන තරම් ය. ඒ සඳහා ප‍්‍රශස්ත වැඩපිළිවෙළක් සකස් කිරීම මෙන් ම, එම නවක ගීත රචකයන්ගේ සහ නවක ගායකයන්ගේ හරවත් හා රසවත් ගීත රසිකයන් අතරට ගෙන යෑමට කටයුතු කිරීම ද කාලීන අවශ්‍යතාවකි.

 x අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment