පසුගිය කාලය පුරාම, දිගින් දිගටම වාර්තාවන ප්‍රචණ්ඩත්වය හා බැඳුනු බොහෝ සිදුවීම්වලදී “බාලවයස්කාර” මැදිහත්වීම්, සහභාගිත්වයන් කැපී පෙනුණි.

හිටි හැටියේ පැන නැගුණු තත්ත්වයක් නොවුනද මේ වනවිට එය “සිඟිති පාතාලය” නමින් හඳුන්වන තරමට වැඩිදියුණු වී තිබේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන විවිධ කාරණා ගැන විමර්ශනාත්මකව කරනු ලැබූ සොයා බැලිීම්වලින් අනතුරුව මේ ලිපිය සකස් කර තිබේ.

පාතාලය හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි

හොඳට විකිණීය හැකි සහ දැනට කාලයක් තිස්සේ හොඳට ම විකිණෙන පාතාලය නමැති මාතෘකාව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම තුළින් වන්නේ තව දුරටත් එය ප්‍රවර්ධනය වීමය. ලේඛකයකු ජනප්‍රියවන්නේ ඔහු විසින් ලියන පොත් සංඛ්‍යාව අනුවය. දේශකයකු හෝ කථිකයකු ජනප්‍රිය වන්නේ ඔහු හෝ ඇය කරන දේශන හෝ කථිකාවන් වැඩිවන තරමටය. ගුරුවරයකු නමක් හදාගන්නේ තමුන් හදාගන්නා සිසු පරපුර මතයි. එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් හෙවත් පාතාලයකු එම සමාජයේ ජනප්‍රිය වන්නේ ඔහු මරණ මිනී ප්‍රමාණය, කරන සොරකම් හෝ මංකොල්ලකෑම් ගණන හෝ වෙනත් අපරාධ ප්‍රමාණය අනුවය. ජඩයන් වීරයන් කරන පාතාලය යන වචනය වෙනුවට එයට සංවිධානාත්මක අපරාධ කල්ලි යන යෙදුම නිර්මාණය කොට එය අප වාග් මාලාවට හඳුන්වා දුන් එකල පාතාලයන් නැමැති ජඩයන් වේව්ළවමින් ඒ අවර සමාජය හෙල්ලූ අප විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාව මෙහිදී සිහිකළ යුතුය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කාලයකට පෙර අපට ද කතා කර ඇත. උන් අපෙන් ඉල්ලා සිටින්නේ රටේ ලෝකේ කොහේ හෝ සිදුවුණු මිනීමැරුමක් මංකොල්ලයක් හෝ වෙනත් කිසියම් අපරාධයක් ඔවුන්ගේ නමට බැර කර ලියන ලෙසටයි. අප කිසිවිටකත් එසේ නොකළ ද බෝතල් පාටියකට, පොත්ත සුදු තායි හෝ යුක්රේන ගණිකාවකට, එසේත් නැත්නම් සල්ලි මිටියකට යටත්ව එලෙස ජඩ මිනීමරුවන්ට නමක් හදා දුන් ගවේෂණශීලී මාධ්‍යවේදීන් යැයි කියන සුළු කොටසක් එදත් සිටියහ. අදත් සිටී. මෙවන් අවර වැඩවලින් වන්නේ සමාජයක් තුළ අපරාධ වැඩි වෙනවා සේම ඒ හා සම්බන්ධ උප සංස්කෘතීන් බිහිවීමයි.

සිඟිති පාතාලයක් හෙවත් බාල අපරාධ කටයුතු (Juvenile Crime) නිර්මාණය වන්නේද මෙහි අතුරුඵලයක් ලෙසිනි.

සිඟිති පාතාලය(Juvenile under world)

සිඟිති පාතාලය යනු කුඩා ළමුන් සහ නව යොවුන් දරු දැරියන් විසින් කරගෙන යන අවර ක්‍රියා දඩබ්බරකම් අපරාධවලට අද සමාජයේ දි ඇති නම බව අපි දනිමු.

සිඟිති පාතාලය මුලින්ම ආරම්භ වන්නේ නිවස තුළින් බව අප කරන ලද සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. කුඩා දරුවා ඉස් ඉස්සෙල්ලාම තග දාගෙන මුරණ්ඩුකමෙන් අකීකරුකමෙන් තම මව හෝ පියා එසේත් නැත්නම් සහෝදර සහෝදරියන්ට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එය නවතා දමා නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කරන්නට ඉඩ නොදී මුලින්ම වළක්වා ගැනීම දෙමාපිය වගකීමකි. බොහෝ දෙමාපියන්ට එය කරන්නට බැරි ඔවුන්ද කුමන හෝ අවර කටයුත්තක යෙදී ඇති බව දරුවා දන්නා නිසාය. සමහර දරුවන් තම නිවසේදී දෙමාපියන් තුළින් දකින දෙයට නිවස තුළ ප්‍රතිචාර නොදක්වා පාසල තුළ හෝ සම වයස් මිතුරන් අතරට ගොස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් දරුණු වැඩ කරන්නටත් පෙළඹෙයි.

එමෙන්ම පාසලේ පන්තියේ එකට ඉගෙන ගන්නා මිතුරු මිතුරියන් අතර ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් කල කෝලාහල කරන්නට පටන් ගනී. අවසානයේ මේවා බරපතළ හිංසන, මිනීමැරුම් සහ සියදිවි නසා ගැනීම් යන තත්ත්වයන් දක්වා ද වර්ධනය වන අවස්ථා අප දැක ඇත.

මෑතකදී මාධ්‍ය තුළින් අප දුටු තම ගුරුවරයකුට ඉතා අසීලාචාර සහ දරුණු අන්දමට බැන වැදුණු පාසල් සිසුවාගේ හැසිරීම අප කාටත් අනුමත කළ නොහැක. නමුත් ඒ ළමයාගේ පසුබිම සොයාබලා ඔහුට අවශ්‍ය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදීම කළ යුතුය.

මේ සිඟිති පාතාලය කොටස් තුනකට බෙදිය හැකිය.

සිඟිති පාතාලයේ කොටස් තුන

  • ගම්බදව සිදුවන ළමා අපරාධ කටයුතු.
  • නාගරික අඩු ආදායම්ලාභී වතු හෙවත් මුඩුක්කු යැයි කියන පරිසරවලින් බිහිවන බාල අපරාධ කල්ලි සහ ක්‍රියාවන්
  • නගරය ආශ්‍රිත ධනවත් උසස් යැයි සමාජය සිතන පවුල්වල දරුවන් අතර කරන අපරාධ කටයුතු ගමේ සිඟිති පාතාලය

විශ්ව සාහිත්‍යයේ එන ටොම් සෝයර්ලා හකල් බෙරි ෆින්ලා මෙන්ම මඩොලදූව, පාරදිගේ, විදුහලේ විත්ත,ි හිඟන කොල්ලා, මගේ බාල කාලේ වැනි කෘතීන්වල ද සමහර දඩබ්බර ළමයින් වූහ. නමුත් කවුරුත් කවදාවත් ඔවුන් සිඟිති පාතාලයන් ලෙස හැඳින්වූයේ නැත. නමුත් අද කතාවල ටෙලි නාට්‍යවල එක සමහර ළමා චරිතවල ඇත්තේ පාතාල ක්‍රියාකාරකම් බව අපට හැඟේ. ළමා නළුවන් යොදා සමහර අමන අධ්‍යක්ෂවරුන් සමාජගත කරන දෙබස් සහ ක්‍රියාකාරකම් ඇත්තට ම ඒවා දකින්න ළමා මනසට උචිත නොවේ.

අද ගම්වල දරුවන් ද විවිධ අපරාධ කටයුතුවල නිරත වෙයි. නගරයේ තරමට ම ගමේ ළමා අපරාධ සුලභ නොවුණ ද ඉදිරියෙදී තත්ත්වය තව වර්ධනය වීමට හැකි බවට කරුණු මතුවෙමින් පවතී. අයිස් වැනි මත්ද්‍රව්‍ය ගමට පැමිණීම රාගය කාමය උළුප්පන සංස්කෘතියක් ගම තුළට සංක්‍රමණය වීම අද රහසක් නොවේ.

නගරාශ්‍රිත සිඟිති පාතාලය

80 දසකයේ කොළඹට තදාසන්න ජනප්‍රිය පාසල් කීපයක සිසු සිසුවියන්ගෙන් සෑදුම්ලද 48 කල්ලිය හෙවත් ගැංන්ග් ෆෝර්ටි එයිට් නමින් සිඟිති පාතාල කල්ලියක් විය. ( Gang 48) එහි නගරයේ ජනප්‍රිය සුපිරි විද්‍යාල 12ක සිසුන් 45ක් සහ කොළඹ ඉහළ පෙළේ බාලිකා විද්‍යාලයක සිසුවියන් තිදෙනකු සාමාජිකත්වය දැරීය. එම ගැන්සියේ උපරිම සාමාජිකත්වය හතළිස්අට දෙනකුට සීමා වී තිබුණි. එහි මෙම්බර් කෙනකු වීමට නම් අට ශ්‍රේණියෙන් ඔබ්බට ගිය අයකු වීමත් ස්කූල් කට් කිරීම හෙවත් පාසලින් කට්ටි පැන තිබීම, සිගරැට් බීම සහ ඒවායේ දුම පපුවට ඇද නාසයෙන් දුම් වළලු පිට කිරීමටත් හැකියාව අනිවාර්යයෙන් තිබිය යුතුය.

මෙම 48 කල්ලියට පාදක වී තිබුණේ එවකට ඇමෙරිකාවේ ක්‍රියාත්මකව තිබූ ළමා පාතාල කල්ලි සංස්කෘතියයි.

ඊගල්ස්, බිශප්ස්, කිඩ්ස්, මව්මව්ස්, සේටන්ස් සහ බ්‍රේව් බෝයිස් වැනි ගැංසි ගැන එකල අප චිත්‍රපටවලින් දැක පොත්පත්වලින් කියවා තිබූ නිසා අප සිතුවේ ඔවුන් වීරයන් බවත් අපත් එවැනි අය වීම වීරකමක් බවත්ය.

අද ද සමාජ මාධ්‍ය ජාලා අතර පමණක් නොව සාමාන්‍ය සමාජයේ විවිධ සංස්කෘතීන් සහ ජන සමූහයා අතර ද මෙවැනි ළමා අපරාධ කල්ලි විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන හෙවත් ඉන්ටර්නැෂනල් ස්කූල් යැයි කියන පාසල් ආශ්‍රීතවත් නගරයේ වෙනත් සුපිරි විදුහල්වලත් සිඟිති පාතාල සංස්කෘතීන් බිහිවෙමින් පවතී.

තමන්ට පාට් දාන කොල්ලන්ට පහර දීමට හෝ බය වැද්දීමට කුඩා මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝල ( උණ්ඩ රහිත), රම්බෝ වර්ගයේ පිහි, නකල් ඩස්ටර්, කිණිසි, බයිසිකල් චේන්, ෆ්ලයිං ස්ටාර්ස්, ගූස් බෝල්ස්, දුම් බෝම්බ වැනි ආයුධ රැගෙන පාසල් ආ සහ එන නව යොවුන් සිසුන් ගැන අපට කරුණු වාර්තා වී තිබේ. මතට යොමු වූ හෝ ඒ බවට සැක කරන යොවුන් දරුවන් මගේ මනෝ උපදේශන සැසිවලට සහභාගී වෙද්දී සාක්‍ෂි සහිතව මෙවැනි සිදුවීම් මට දැනගන්නට ලැබේ. සමහර ළමුන් කියන සමහර දේ අපට ඇසෙද්දී ඒවා විශ්වාස කිරීමට පවා අසීරුය. අපුලය.

තම නැටුම් ගුරුවරිය සමූහ දූෂණයකට ලක් කළ අගනුවර ජනප්‍රිය පෞද්ගලික පාසලක නව යොවුන් සිසුන් හතරදෙනකු ගැන මම දනිමි. ඔවුන් උසාවි නොගොස් පොලිසියෙන්ම නඩුව බේරාගෙන තරුණ ගුරුවරියට ද සාධාරණයක් ඉටු කර ඇයව නවසීලන්තයට යවා සියල්ල ෂේප් කරන්නට එක්තරා ධනවත් දේශපාලනඥයකු මැදිහත් වූ බව ඒ පාසලේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්ව තිබුණ.ි

හත වසරේ සිසුවියක් සමග එක්වර ලිංගිකව හැසිරෙන එම ජාත්‍යන්තර පාසලේම සිසුන් තිදෙනකුගෙන් එක් අයෙක් මට හමුවිය. ඔහු අටවන වසරේ ඉගෙන ගන්නා අතර සතියකට වරක් මනෝ භ්‍රාන්තික පන්තියේ උත්තේජක පාටි ඩ්‍රග්ස් වර්ගයක් ඔහුගේ මිතුරන් සියල්ලෝම පරිහරණය කරති. අර කී දැරිවිය ද ඔවුන් සමග එකතු වන අතර පාඩම් කරන්නට කියා රාත්‍රියේ නිවසින් එළියට යන ඔවුන් රාත්‍රී සමාජ ශාලාවල සහ කැරෝකේවල මැදියම පසුකොට ඉන්පසුව යන්නේ කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවාස සංකිර්ණයකටයි. එහිදී පසුදා පහන් වන තුරුත් දහවල් වෙදදී මත් ගතිය පහවන තුරුත් මේ පහේ කල්ලිය කරන්නේ කණ්ඩායම් ඕජීස් හෙවත් කණ්ඩායම් කම් සැප සෙල්ලමයි.

මුඩුක්කුවේ සිඟිති පාතාලය

ධනවත් ඉහළ යැයි සම්මත සමාජයේ හෝ එම සංස්කෘතියේ පමණක් නොව අඩු ආදායම් ලබන මුඩුක්කු ජනාකීර්ණ වතු පහළ බිම් මට්ටමේ මහල් නිවාස සංකීර්ණ පද්ධතිවල, කම්කරු නිවාසවල ද මෙවැනි ළමා අපරාධ කටයුතු අනන්තවත් සිදුවෙයි. නීතියෙන් නිසි සරණක් සාධාරණයක් නැති නිසාත් දරුවන්ට ලැබෙන අසීමිත නිදහස පහසුවෙන් ලැබෙන මුදල් ප්‍රජා සහ සංස්කෘතික සහයෝගය නිසාත් මෙවන් ක්‍රියා තව තවත් වර්ධනය වෙයි.

අප ඉහත කී බිම් මට්ටමේ පරිසර සංස්කෘතීන් තුළ කුඩා දරුවන් ගංජා, අයිස්, පිල්ස්, ඇපල්, බම්පිං වැනි මත්ද්‍රව්‍ය භාවිත කිරීම, ඒවා අලෙවි කිරීම, ප්‍රවාහනය, ප්‍රචාරණය වැනි දේ සරලය, සාමාන්‍යය. එමෙන්ම නව යොවුන් තරුණයන් විසින් කුඩා දැරිවියන් දූෂණය කිරීම අපහරණයට ලක් කිරීම ආදී කටයුතුද නොවෙනවා නොවේ. ගංජා මතින් සිටි ළා බාල කොලු කුරුට්ටන් තිදෙනකු වයස අවුරුදු හයක දැරියක් බලහත්කාරයෙන් අල්ලා කෙළෙසා දූෂණය කොට සිහි නැති වූ කල අසලින් ගලා යන කිරුළපන කුණු ඇළට විසි කර මරා දැමූ පුවත අප වැඩි දෙනකුට අමතක නැත. එම දැරුවියගේ මළගෙදරට යෑමටත් එකී දුක්ඛිත කතාව සිය කනින් අසන්නටත් තරම් මා පවු කර තිබුණි.

සිඟිති පාතාලයේ ක්‍රියාකාරකම්

දුප්පත් පොහොසත් උසස් පහත් උගත් නූගත් වශයෙන් වෙන් නොකර පොදුවේ ගත් කල අද අපට දකින්නට ලැබෙන සිඟිති පාතාල වැඩ මේවාය.

රංචු ගැසී කරන මහමඟ මංකොල්ල සහ සොරකම්

මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම

වටකර පහර දීම් සහ මරා දැමීම්

ස්ත්‍රී දූෂණය සහ අතවර

රාත්‍රී ගෙවල් බිඳීම්

සුපිරි වෙළෙඳසැල්වලට ගොස් බඩු සොරකම් කිරීම් (සාම්බු ගැසීම)

කුඩා දැරියන්ට කරන

ලිංගික අතවර

වයෝවෘද්ධ හෝ වැඩිහිටි කාන්තාවන් දූෂණය කිරීම

සමූහ දූෂණ

අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය

දුරකතන මගින් බියවද්දා කප්පම් ගැනීම්

නොදරුවකු බාල වයසේදීම අපරාධවලට අවර ක්‍රියාවකට යොමුවීමට ප්‍රධාන කරුණු කීපයක් බලපායි.

එසේ දරුවකු නොමඟට යෑමට ප්‍රධාන හේතු තුනකි.

ජානමය බලපෑම හෙවත් ප්‍රවේණිය

දෙමාපියන්ගෙන් හෝ ප්‍රවේණියෙන් ලැබෙන ජානමය බලපෑම ( ආගමික ඉගැන්වීම්වලදී මේවාට කර්මය පෙර ආත්මයේ අකුසල් නිසා පෞරුෂය

පෞරුෂයේ දුර්වලතා නිසා (හීනමානය කුතුහලය වීරත්වය සොයායෑම සහ ප්‍රතික්ෂේප කිරීමේ කුසලතා නැතිකම නිසා (lack of Personality and refusal skills

සමාජ සාධක සහ පාරිසරික බලපෑම්

පවුලේ සමාජයේ සහ ඇසුරු කරන්නන්ගේ අභාසය ඇහෙන දේ නිසා සහ දෙමාපියන්ගෙන් නිසි රැකවරණය සහ ආදරය නොලැබීම මෙන්ම සමාජයෙන් ප්‍රතික්ෂේප වීම.

මග්ගොන සහ බෝස්ටල්

ඒ කාලයේ ගෙදරට පවුලට පාසලට ගමට හානි කරන අකීකරු දඩබ්බර මාර පුත්‍රයන් වැනි ළමයි හරිමඟට ගනු පිණිස යවනු ලැබුවේ මග්ගොනටයි. මෙය කතෝලික පල්ලිය විසින් ආරම්භ කළ වෘත්තීය පුහුණු පාසලකි. දැඩි විනයක් සහ හික්මවීමක් මෙන්ම දරුණු දඬුවම් පවා ඇති මෙම ස්ථානයේ නම ඇහෙනවිට පවා එකල කොල්ලන් බියට පත්ව ඇත. පසුව බිහිවූයේ බාල සහ තරුණ අපරාධකරුවන් රඳවන බෝස්ටල් හෙවත් වැඩ කඳවුරුය.

බාල අපරාධකරුවන් රඳවන බෝසටල් හිරගෙදරට ගියවිට ඉංග්‍රීසි අකුරක් මුලට යෙදු නොම්බරයක් ලැබේ. එහිදී බිම් කොටන්නට, හරක් බලන්නට, වැව් කපන්නට දර පලන්නට වැනි බර වැඩ කරන්නට සිදුවේ. එක් වරදක් කර එහි යන යෞවනයා තවත් විවිධ වැරදි කළ අය හමු වූ විට තවත් වැරදි ඉගෙන ගනී. සමාජය ගැන පවුල ගැන වෛරයක් තරහාවක් ඇතිව එහි අකමැත්තෙන් සිටින ළමයා යම් දිනයක එළියට ආවිට මුළු සමාජයෙන්ම පළි ගනී. රටට ලෝකයට පිළිලයක් බවට පත්වෙයි. ළමා අපරාධකරුවා රටේ නමගිය අපරාධ කරුවකු බව පත්වන්නේ නිරායාසයෙනි.

නම නොකියා ටී විසි පහ වයි හැට අට, ඩබ්ලිව්. අසූව වැනි අකුරුවලින් තාමත් අමතන දරුණු අපරාධකරුවන් අනන්තවත් මට වැලිකඩ මහර බෝගම්බර සිරගෙවල් වලදීත් පාතාල ලෝකය යැයි කියන අවර සමාජය තුළත් හමු වෙයි. බොහෝ අය ඔවුන්ගේ නියම නම දන්නේ නැත. නිතර නිතර සිරගත වන එළියට වඩා වැඩිපුර ඇතුළේම ලගින ඔවුන්ගේ සදාගනික අනන්‍යතාවය අර බෝස්ටල් කඳවුරෙන් ලැබෙන නොම්මරයයි.

මෑතකදී පිහි ඇනුමකින් මිය ගිය අච්චුවා හෙවත් ගමේ මල්ලදී බෝස්ටල් අකුරකි. ( ටී තිස් හය) ගමේදී කළ දඩබ්බරකමක් නිසා බෝස්ටල් කඳවුරට එන ඔහු එහදී ද තම සහෝදර ඳවියකු මරා දමන්නේ උදැල්ලෙන් බෙල්ලට ගසා ගෙල කපා හිස සහ කඳ දෙපළු කිරීමෙනි.

සිඟිති පාතාලයට විසඳුම

මහ ජලදහරාවක් බවට පත්වන කුඩා දිය දොළක් ආරම්භ වන්නේ පොළොව යටින් මතුවන කුඩා උල්පතකින් සේම දාමරිකයකු අපරාධකාරයකු ජඩයකු ස්ත්‍රී දූෂකයකු හෝ පාතාලයෙකු මුලින්ම කුඩාවට බිහිවන්නේ නිවසකිනිි එමෙන්ම පාසල සහ ගුරුවරුන්ගේ ආභාසයද එයට බලපායි.

ඒ නිසා ළමා මනස හැදීම සහ යහපත් නිරවුල් මනසක් ඇති දරුවකු සමාජගත කිරීමේ වගකීම ඇත්තේ නිවසේ අයට සහ පාසලටයි. බහුතරයක් නිවෙස්වල ප්‍රශ්න නූගත්කම සහ දරිද්‍රතාවය නිසා ළමුන්ට හරි උපදේශන නිසි මඟපෙන්වීම් මඟ හැරේ. එහෙයින් එහි වගකීම ගත යුත්තේ පාසලයි. ආගමික නායකයන්ටද මේ පිළිබඳ වගකීමක් ඇත. නමුත් උපදේශනය මඟපෙන්වීම සාරධර්ම සහ විනය පාලනයක් නැති නිසි දැනුමක් පුහුණුවක් නැති සිංහල සර්ට ගණිත සර්ට හෝ නැටුම් මිස්ට හරියට චයිල්ඩ් කවුන්සලිං දන්නේ නැත. ඒ නිසා සෑම පාසලකටම මනා පුහුණුවලත් ළමා මනෝ උපදේශකවරු පෞරුෂ වර්ධන ගුරුවරු දයාව කරුණාව ඇති ළමයින්ට ඇහුම්කන් දීමට පුහුණුවලත් සුවිශේෂී ගුරු කණ්ඩායමක් ඇති කළ යුතුය. එය රජයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකීමකි. දහම් පාසල්වල සබත් පාසල්වල මෙන්ම ටියුෂන් පන්ති කරන ගුරුවරුන් හරහා ද මේ පෞරුෂ වර්ධන වැඩසටහන් දියත් කළ යුතුය. එමෙන්ම ඒවා නිසි ක්‍රමවේදයක් තුළින් නියාමනය සහ නිරීක්ෂණය කිරීමද අනිවාර්ය කළ යුතුය.

සිඟිති පාතාලයක් හෝ සංවිධානාත්මක අපරාධ ක්‍රියා වල නියැළෙන නව යොවුන් වැරදි කරුවන් සමාජයට බිහි වන්නේ ඇයිද කියා ගැඹුරින් සොයාබලා නිසි පිළයම් යෙදීම ද ඉතා වැදගත්ය. ඉක්මණින් කළ යුතුය.

මිත්‍ර ශ්‍රී කරුණානායක
[email protected]


advertistmentadvertistment